ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලිකම දේ උත්තරීතරභාවයයි – ආචාර්ය දීපිකා උඩගම

නිමල් අබේසිංහ

නිරවුල් නොසෙල්වෙන හිදැස් රහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමේ වටිනාකම ගැන ඔබේ විග්‍රහය කුමනාකාරද?

ප්‍රජාතන්ත්‍රවාදයට වැදගත් වන්නේ මූලික නීතිය නිසි ලෙස සකස් කර ගැනීමයි. මොකද? එයින් උඩට කවුරුත් නෑ. සියල්ලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්විය යුතුයි. නීතිරීතිද, රෙගුලාසිද, චක්‍රලේඛද හැම දෙයක්ම ඒ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් විය යුතුයි. එහෙත් ඔබ කීවා හිදැස් නොමැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියල. බොහෝ රටවල්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිපූර්ණ නෑ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් පරිණත දේශපාලනයක් සහ පරිණත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් දේශපාලනික වශයෙන් ඇතිකර ගත්තහම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබෙන හිදැස් පියවෙන්න කටයුතු වෙනවා. දැන් අපි පැරණි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ගත්තොත්, මහා බි්‍රතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, අපේ කලාපයේ බැලුවොත් ඉන්දියාව. ඉන්දියාවෙත් විශාල පරිණත බවක් අපි දකිනවා. විශේෂයෙන්ම අධිකරණ ක්‍රියාදාමය තුළින් ව්‍යවස්ථාව අර්ථ නිරූපණය මගින් ඒ හිදැස් පිරෙව්වා. තව එක දෙයක් අපට ඉගෙන ගන්න පුළුවන්. බොහොම ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවල අපිට දකින්න තිබෙන ලිඛිත නීතිය වැදගත්. එහෙත් ලිඛිත නොවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබෙන මහා බි්‍රතාන්‍යයෙන් අප ඉගෙන ගන්න ප්‍රබලම පාඩම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සම්මතයක් ගොඩනගා ගැනීම. (අර කන්ස්ටිටියුෂනල් කොන්වෙන්ෂන්) ඒ සම්මතයන් සම්ප්‍රදායන් චාරිත්‍රානුකූල නීතිය වගෙයි. ඒ කියන්නේ ලිඛිතව නොතිබුණත් ඒවා ලිඛිත නීතියට වැඩිය බලසම්පන්නයි. ඒවා කිසිම අයකු උල්ලංඝනය කරන්නේ නැහැ. අධිකරණ ස්වාධීනත්වය, රජයන් මාරුවන අවස්ථාවලදී තිබෙන ක්‍රියාවලිය හැම එකක්ම සම්ප්‍රදායයන්.

අපේ රටේ ඉතිහාසය දිහා බලන කොට නිදහසෙන් පස්සෙ හතරවැනි ව්‍යවස්ථාවට යන්නෙ. ඇත්තටම අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උපුටා ගන්නවා නම් තුන්වැනි ජනරජ ව්‍යවස්ථාවටයි යන්නේ. එතනදි අපේ තිබෙන දුර්වලතාව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන ක්‍රමය ශ්‍රී ලංකාවේ සාර්ථක වෙලා නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ රටේ මූලික නීතිය නම් ඒක නිකම්ම වචනයට සීමාවුණ නීතියක් වෙන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීම ජනතාවගේ සහාය ලැබීම සහ ජනතාවගේ හදවතට සමීප වන ආකාරයට සිදුවිය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හදාරන අය හැටියට අපිට පෙනෙන්න තිබෙන දෙයක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල් සාර්ථක වෙලා දශක ගණන් සියවස් ගණන් අල්ලගෙන යන්නෙ ලිඛිත නීතිය හින්දම නොවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාවගේ හදවත්වලට ඇතුළු වී තිබෙන නිසයි. උදාහරණයකට ගතහොත් ඉන්දියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගත්තේ 1950දී. එය සංශෝධන සහිතව දිගටම යනවා. එයට වඩා වැදගත් මේ ගැන ඉන්දීය ජනතාවගේ තිබෙනව විශාල බැඳීමක්. හේතුව තමයි උතුම් මිනිස්සු එය නිර්මාණය කිරීම. ජනතාව ඉතාම ළැදියි. එය ඔවුන් සලකන්නේ උතුම් ආගමික ග්‍රන්ථයක් හැටියටයි.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන එහෙම සම්බන්ධතාවක් අපිට නැහැ. ඒකට හේතුව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන ක්‍රමය. එකක් තමයි ජනතාවගේ අපේක්ෂාවන් ඉදිරිපත්වෙලා ජනතාවගේ හඬක් නැගිලා යම්කිසි ව්‍යාපාරයක් තුළින් ඒක එනව නම් හරිම සාර්ථකයි. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආවේ ඒ වගේ නිදහස් සටනත් එක්ක. ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආවේ එහි විප්ලවයත් එක්ක. දකුණු අප්‍රිකාව දිහා බැලුවත් ඒකත් විශාල වෙනසක් සිදුවුණු අවස්ථාවක. ඉතින් අපිට තිබුණා අවස්ථා දෙකක්. එකක් තමයි අපි නිදහස ලබපු අවස්ථාව. දෙවැනි එක 1972 අපි ජනරජයක් ඇතිකර ගත්ත අවස්ථාව. අපි දන්න දේශපාලන හේතූන් නිසා ඒක අපිට නිසියාකාරයට කරගන්න බැරිවුණා. එහි ප්‍රතිවිපාක තමයි අද අපි විඳින්නේ. දැන් අපි යන මේ ක්‍රියාවලිය, ඒකත් අපි තාක්ෂණික විදිහට දකිනවා. ජනතාවගේ බැඳීම මේ ක්‍රියාදාමයට අඩුයි. එහෙත් මම කියන්න ඕනේ මහජන අදහස් විමසීමේ කමිටුවට විශාල සංඛ්‍යාවක් ආවා, අදහස් ප්‍රකාශ කරන්න. ඔවුන්ගේ මත ලබාදෙන්න. ඒක මුල්කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොනු කළා නම් මට හිතෙනවා ජනතාවටත් හිතෙනවා මේක අපි නේද නිර්මාණය කළේ. අපියි අදහස් දුන්නේ කියන එක. ජනතාව ලබා දුන් අදහස් ඇතුළත් ඒ වාර්තාව වටිනා වාර්තාවක්. අපි ඒක නිරන්තරයෙන් භාවිත කරනව. රාජ්‍ය ක්‍රමය පිළිබඳව, මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳව ආදී වශයෙන් අපි ජනතාවගේ සිතුම් පැතුම් ගැන දැනගන්නේ ඒකෙන් තමයි. ඒකට කේන්ද්‍රීය ස්ථානයක් දුන්න නම් මම හිතන්නේ ඔය කතිකාවත ටිකක් වෙනස් වෙයි. අනෙක් එක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිගත්තහම ඒක රැකගන්න ඕනේ. රැකගන්නව කියල කියන්නෙ සම්ප්‍රදායන් අපි ඇතිකර ගන්න ඕනේ. ඒක බොහොම උතුම් විදියට සලකල අධිකරණ ක්‍රියාදාමය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මිනිස්සුන්ට වැදගත් වන විදියට අර්ථ නිරූපණය කරගන්න ඕනේ.

නීතිය කියන දේ ජනතාවගේ හදවතට සහ පරිකල්පනයට ඇතුළත් වුණේ නැතිනම් ඒක ඒතරම්ම සාර්ථක නැහැ. ජනතාවට ඉතාම සමීප වුණ යම් යම් අණපනත් තිබෙන බව අපි දන්නවා. ඒත් ඒ හැම අණ පනතකටම වැඩිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අපිට විශ්වාසයක් තිබෙන්න ඕනේ. ඒක කාටවත් බලෙන් පොවන්න බැහැ. නිරායාසයෙන්ම ඇතිවිය යුතු දෙයක්. තව එක උදාහරණයක් දෙනව නම් ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කරල මරා දමපු සිද්ධියේදී, මුළු ඉන්දියාව පුරාම උද්ඝෝෂණ පැවැත්වුණා කාන්තා අයිතිවාසිකම් ගැන. දස ලක්ෂ සංඛ්‍යාත ජනතාව පාරට බැස්සා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාන්තාවන් වෙනුවෙනුත් කටයුතු කිරීමට ඉඩ සලසන්න කියා ලියා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළ අයත් අපි එහිදී දැක්කා. ඒ කියන්නේ හදවතට තුවාල වුණ අවස්ථාවලදී මෙන්න මේ වගේ දෙයක් අපට තිබෙන බව ජනතාව කියනවා. ඇයි කාන්තාවන් වෙනුවෙන් ආණ්ඩු්‍රම ව්‍යවස්ථාව භාවිත නොකරන්නෙ කියා ඒ අය ඇහැව්වා. මෙය තමයි වැදගත්කම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේ ජීවිතවල තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඕනේ. ඒ වාගේම එහි ඊට වැඩිය පරමාදර්ශී බවක් තිබෙන්න ඕනේ. ඒ නිසා මම එකඟවන්නේ නැහැ හිදැස් නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්න පුළුවන් කියන එක ගැන. මානවයා විසින් නිර්මාණය කරන ඕනෙම එකක හිදැස් තිබෙනවා. ඒත් දේශපාලනික වශයෙන් පරිණත බවක් තිබෙනව නම් අපිට පුළුවන් ඒ හිදැස් ඉතාම ලස්සනට ජනතාවට හිතකර විදිහට පරිවර්තනය කරගන්න.

ශ්‍රී ලංකාවේ පළමුවැනි සහ දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකම සැබෑ ජන සහභාගිත්වයකින් තොරව ඒ ඒ යුගයේ පාලකයන්ගේ අභිමතය මත පමණක් නිර්මාණය වී සම්මත කරගත් ඒවායි. ඒ නිසාම ඒ ව්‍යවස්ථාවෙනුත් පසුකාලීනව විවිධ අර්බුදයන්ට පාත්‍රවූවා. අර්බුදයන් ඇති නොවනසුලු ව්‍යවස්ථාවක් සකසා ගැනීමට සැපිරිය යුතු කොන්දේසි මොනවාද?

මූලික වශයෙන්ම ජනතා සහභාගිත්වය. නීතිය පිළිබඳව ශාස්ත්‍රීය කටයුතුවල යෙදෙන අයෙක් හැටියට මට මේ දේ පෙනෙනව. ඒ අදහස් මේ තනතුර පිළිබඳ කටයුතු කිරීමේදී අදාළ වෙනවා. ජනතාවගේ සහභාගිත්වය ඉහළම මට්ටමක තිබෙන කොට හෘදයාංගම බැඳීම ළබැඳියාව ඇතිවෙන බව අපි දකිනවා. දකුණු අප්‍රිකාවෙ ඒක අපි දැක්කා. නේපාලයේ අපි ඒක දැක්කා. කලින්ම ඒක ඉන්දියාවෙ අපි දැක්කා. දැන් ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මුළු ලෝකයේම උත්තරීතර ලේඛනයක් විදියටයි සලකන්නේ. මෑතකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් නිර්මාණය කරගත්තු රටවල් ඒවා ජනතා රැල්ලකින් වගේම ජනතා ව්‍යාපාර ඇසුරෙන් සාදා ගත්තේ. මගේ පෞද්ගලික අදහස වන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරගැනීමේදී අර මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව මේ සාකච්ඡාවල කේන්ද්‍රය බවට පත්කර ගන්නව නම්, ඒ වාර්තාව මාර්ගයෙන් සහ මත සම්පාදකයන්ගෙන් විග්‍රහ වෙනව නම් මේක අර්ථවත් ක්‍රියාවලියක් වෙනවා. නැත්නම් ජනතාව මේක දිහා බලන්නේ හුදෙක්ම දේශපාලනික ක්‍රියාවලියක් ලෙසටයි. ඒක නිසා ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ වැදගත් කොටස්කරුවෝ නොවෙයි කියන හැඟීම ඔවුන් තුළ ඇතිවෙනවා. එහෙම ඇතිවුණහම ඒ ලේඛනය එතරම් සාර්ථකත්වයක් ඇතිවෙන්නේ නැහැ. ඕනෑම මානව ක්‍රියාකාරීත්වයක තාක්ෂණික පදනම මතින්ම එහි සාර්ථකත්වය ළඟාකර ගන්න බැහැ. මනුෂ්‍යයන්ගේ හැඟීම්වලට කරන දේ ග්‍රහණය වෙන්න ඕනේ. එහෙම ආකර්ෂණයක් ජනතාවට නැත්නම් ජනප්‍රිය දෙයක් බවට පත් කරන්න හරි අපහසුයි.

පෙර ව්‍යවස්ථා සම්පාදකයන්ට මුහුණ දෙන්නට සිදුවූ ප්‍රශ්නවලට වඩා නූතන ව්‍යවස්ථා සම්පාදකයන්ට මුහුණ දෙන්නට සිදුවන ප්‍රශ්න වෙනස්. මෙවැනි වාතාවරණයකදී නූතන ව්‍යවස්ථා සම්පාදකයන් සැලකිය යුතු සුවිශේෂ කාරණා මොනවාද?

දැන් මට පිළිතුරු දෙන්න පුළුවන් මානව හිමිකම් කෝණයෙන් පමණයි. මම වෙනත් ප්‍රශ්න ගැන බලන්නේ නෑ. මූලික වශයෙන්ම මානව හිමිකම් කෝණයකින් බලන විට ප්‍රජාතන්ත්‍රවාදයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වැදගත් වන්නේ ජනතාව රැක ගැනීමයි. එනම් ජනතාවගේ පරමාධිපත්‍යය රැකීමයි. අයිතිවාසිකම් රකින්න තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වී තිබෙන්න ඕනේ. එතනදි ජනතා සිතුම් පැතුම් සහ හැම ජන කොටසක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියෝජනයක් ලබාදෙන විදිහට නිර්මාණය කිරීම අතිශයින්ම වැදගත්. එතනදි සමානාත්මතාව කියන සංකල්පය, නිදහස, මානවයාගේ පූර්ණ හැකියාවල් එළිදක්වන්න හැකි සමාජයක් නිර්මාණය කිරීම, මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එළිදක්වන්න ඕනේ. මේ වගේ නිර්මාණය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලේඛනය හුදෙක්ම තාක්ෂණික මට්ටමින් නොදැක, මේක මගේ ජීවිතයටත් සම්බන්ධයි නේද? මගේ හදවටත් දැනෙනවා නේද යනුවෙන් ජනතාවට දැනෙන මට්ටමින් නිර්මාණය වෙන්න ඕනේ. එහෙම නම් කාන්තාවන්ටද ආබාධිත පුද්ගලයන්ටද සමාජයෙන් කොන්වුණු නොයෙකුත් ජන කොටස්වලටද ප්‍රයෝජනයක් ඒක තුළ තිබිය යුතුමයි. ඒ වගේම විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක සමාජ සාධාරණත්වය මූලික මූලධර්මයක් විය යුතුයි. දැන් රටේ තිබෙන සාකච්ඡා දිහා බලපුවහම මේ මානව හිමිකම් පැත්තෙන් තර්ක විතර්ක ඉදිරිපත් කරනව අපි එතරම් දකින්නේ නැහැ. බොහෝ වෙලාවට සාකච්ඡා කරන්නේ පෙඩරල්ද? ඒකීයද? එහෙම නැත්නම් ජනාධිපති ක්‍රමයක්ද? එහෙම නැත්නම් පාර්ලිමේන්තු ක්‍රමයක්ද? ඔය වගේ දේවල්. ස්වාධීන කොමිසමක සභාපතිනියක් හැටියට ඒ ගැන මට මුකුත් කියන්න බැහැ. මොන ක්‍රමයකට ගියත් අපගේ අවසාන ඉලක්කය විය යුත්තේ ජනතාවගේ යහපත සහ සුබ සිද්ධියයි. ජනතාවගේ නිදහස සහ ජනතාවගේ අවශ්‍යතාව ඉටුකරන්න පුළුවන් මූලික නීතියක් හදාගන්න ඕනේ.
අද දවසේ අපි ඕනෙම ප්‍රශ්නයක් කතා කරන කොට හැම තිස්සෙම මනුෂ්‍යයා කේන්ද්‍ර කරගෙනම බලන්නේ නෑ. ගහකොළ, පරිසරය, තිරසර සංවර්ධනය මේ හැම දෙයක්ම අද දවසේ අපි බලනවා. ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ දේවල් ඇතුළත්වීම ඉතාම වැදගත්.

2016දී මානව හිමිකම් කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා වූ යෝජනා ඉදිරිපත් කළා. අපි ගරු ජනාධිපතිතුමාටත්, ගරු අගමැතිතුමාටත් ගරු කතානායකතුමාටත් ඉදිරිපත් කළා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ උප කමිටුවට අපව කැඳෙව්වා. එහි සභාපති වූයේ අමාත්‍ය මහින්ද සමරසිංහයි. අපිත් යෝජනා ගැන එතනදි සාකච්ඡා කළා. එතනදි අපි පෙන්නුම් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැමෝම නියෝජනය කළ යුතු බවයි. හැම ජන කොටසකටම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගෙ නේද කියන එක හිතෙන්න ඕනේ. ළමයින් වේවා, කාන්තාවන් වේවා එය හරි වැදගත්. වයෝවෘද්ධ, සුළුජන, ආබාධිත ඕනේ අයකුට මේක මගෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නේද කියා දැනෙන්න ඕනේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මාව නියෝජනය කරනව මගේ ජීවිතයට ආරක්ෂාව දෙනව කියන දේ දැනෙන්න ඕනේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යම් යම් මූලධර්මයන් අපි යෝජනා කළා. අපි කීවේ මේවා වෙනමම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධර්ම හැටියට ලැයිස්තුගත කරන්න කියලයි. මූලධර්ම කියා කියන්නේ මුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුරාම තිබිය යුතු අගයයන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තිබෙන අර්ථනිරූපණ පණගැන්වීමට හැකියාවක් තිබෙන්නේ ඒ වටිනාකම්වලින් තමයි. ඒවාහි මූලධර්ම තිබීම අතිශය වැදගත්. නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල මේ මූලධර්ම වෙනම පෙන්වනවා. මෙයින් සමහර ඒවා පූර්විකාවෙ දක්වනවා. ඉන්දියාවෙ නම් මේ මූලධර්ම තිබෙන්නේ පූර්විකාවෙයි. තවත් සමහර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල මේව තමයි මූලධර්මයන් කියල දක්වා තිබෙනවා. ජනතා ස්වාධිපත්‍යය පාලනයේ පදනම විය යුතුයි. පාලන ක්‍රමයේ විනිවිදභාවය සහ වගවීම, වගේ දේවල්. මූලිකම දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ උත්තරීතරභාවයයි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උත්තරීතර නෑ. මොකද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වන නීති පනවා ගන්න පුළුවන්. දැන් එහෙම පැනෙව්වට ඒකට කරන්න දේකුත් නෑ. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වැනි ව්‍යවස්ථාව යටතේ පැවති නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වුණත් ඒක දිගටම පැවතීමක් තිබෙනවා. ඒ වගේම යම්කිසි පනත් කෙටුම්පතක් අභියෝගයට ලක්වුණේ නැතිනම් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී වුණත් පවත්වාගෙන යන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර නොවන ඒ වගේ බොහෝ අවස්ථාවල් තිබෙනවා. ඒක වැරදියි. නීතිය රජයන අවස්ථාවක් හදාගන්න නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර වෙන්නම ඕනේ. රජදරුවන්ගේ කාලෙ පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නොතිබුණත් එවැනි සම්මතයක් තිබුණා. ඒ සම්මතයන්ගෙන් එහාට රජතුමාට හෝ රැජිනට යන්න බැහැ. මොකද? ජනතාව ඒවා විශ්වාස කරනවා. අපි අද දවසේ මේ වගේ ලිඛිත ලේඛනවලින් තමයි ඒක කරන්නේ. අනෙක් එක බහුවිධතාවට ගරු කිරීම. සියල්ලන්ගේ මානව ගරුත්වයට හා තනිව හා කණ්ඩායම් වශයෙන් භුක්ති විඳින නෛසර්ගික මානව හිමිකම්වලට සමසේ ගරු කිරීම. මේ අයිතිවාසිකම් රැගෙන එන්නේ උත්පත්තියෙන්. ඒ අදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබෙන්න ඕනේ. ඒ වගේම තනිව ගත්තත්, කණ්ඩායම් වශයෙන් ගත්තත් අපිට මෙහි නියෝජනයක් තිබෙනවයි කියන එක වැදගත්. බොහෝ අය කතා කරන සුළුජන කොටස්වල අයිතිය බොහොමත්ම වැදගත්. එහෙම නැතිව රටේ තිබෙන ඒකාග්‍රබව රැකගන්න අපහසුයි. 1972 සහ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිහා බැලුවොත් කාන්තාව කොහිද ඉන්නේ. ඒක ව්‍යවස්ථාවක තිබෙනවා. ඉන් එහාට වැඩිය දෙයක් නැහැ.

අනෙක සියලුදෙනාගේම ආගමික නිදහසට ගරු කිරීම, සමාජ යුක්තියට සහ සමාජ සාධාරණත්වයට ගරු කිරීම, බලය බෙදීම, ඒවාගේම සියලුම සත්ව වර්ග ආරක්ෂා කිරීම වාගේම පරිසර සංරක්ෂණය විශේෂ අවධානයක් යොමු කරමින් අනාගත පරම්පරාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. එතන තමයි අර තිරසර බව පෙන්නුම් කරන්නේ. මොකද? මානවයට හුදෙකලා ජීවිතයක් ගත කරන්න බැහැ. මානව ජීවිතය මේකෙන් පිළිබිඹු වෙන්න ඕනේ. මානව ජීවිතය ඔය තාක්ෂණික කරුණුවලින් විතරක් මනින්න බැහැ.

සමහර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්වල පූර්විකාවන් කියවන කොට අඬන්න පුළුවන්. ඒ කෙනෙක් සැලෙනවා. මේ මූලධර්මයන්වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි බැඳීම ඇතිවීමට අවශ්‍ය පරිසරය සකස් වෙනව කියල අපි හිතනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික පදනම මානව හිමිකම්. ඒ මන්දයත් මෙය නිර්මාණය වන්නේ මිනිසුන් වෙනුවෙන් වීමයි. එහෙත් පාලකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකරන විටෙක එය නිවැරදි කිරීමට අධිකරණයට ඍජුව මැදිහත්වීමක් කිරීමට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රතිපාදන නැහැ. එවැනි අවශ්‍යතාවකුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමේදී මතුවෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ ඔය කරුණු ඔක්කොම ඇතුළත්ව තිබෙනවා. අපේ යෝජනාවලදී අපි පැහැදිලිවම කිීවෙ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න නම් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පරිච්ඡේදයක් විතරක් වෙන් කරලා මදිය කියන එක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යුහය පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. මොකද? මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් තිබුණත් ඒ සංවරණ හා තුලන ක්‍රමය නිසියාකාරයට අපි හදාගත්තෙ නැතිනම් එතැනින් පළක්වන්නේ නෑ. උදාහරණයක් විදියට මූලික දෙයක් තමයි රාජ්‍ය ක්‍රමයේ හැම ආයතනයක්ම මූලික අයිතිවාසිකම්වලට නතුවිය යුතුයි. එතනදි 72 සහ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙස බැලුවොත් කිසියම් නීතියක් පැනෙව්වට පස්සේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැතිද බලන්න කාටවත් බෑ. අධිකරණයට බෑ. පනත් කෙටුම්පත් අවස්ථාවෙදි පුළුවන්. ඒකත් සතියක් ඇතුළත. ඉන්දියාව මුල් කාලයෙ ඉඳලම මේ දේ නීති තත්ත්වයක් විදියට උපුටා ගත්තා. අද දවසේ ඉන්දියාවේ රාජ්‍ය ක්‍රමය පරිණත බවක් අපි දකිනවා. ඒ පරිණත බව විශාල වශයෙන් ඇතිවුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීමෙන්. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය තුළින්. එතනදි ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් තිබෙනව කියන එකට කවුරුත් නතුවෙනවා. අපේ අද දවසේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් බෑ පනවපු පනතක් අධීක්ෂණයට ලක් කරන්න. එතකොට තාම ජනාධිපතිවරයාට මුක්තිය තිබෙනවා. හැබැයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ එක වෙනසක් වෙනවා. මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගෙන ආ හැකියි. දැන් ඔය සංවරණ තුලන ක්‍රමය එහෙම සීමාවුණහම ඇත්තටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එතරම් උත්තරීතර බවක් ජනතාවට දැනෙන්නේ නැහැ. මූලික බලතල ඕනෙම නීතියක් ප්‍රතිපත්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද කියල බලන්න අධිකරණයට මූලික බලතල තිබෙන්නෙ ඕනේ. එතකොට විධායක හෝ වේවා පාර්ලිමේන්තු හෝ වේවා නීති සම්පාදනයේ බලතල අධිකරණයේ ක්‍රියාදාමයට යටත්. ඒ වගේම අධිකරණයේ කිසියම් විසමතාවක් හා ප්‍රශ්න තිබෙනවා නම්, ස්වාධීනත්වය ඒ වාගේම එතන දූෂණ තිබෙනවා නම් ඒවා නිරීක්ෂණය වන ක්‍රමයක් තිබෙන්න ඕනේ. අපි දන්නවා දෝෂාභියෝග ක්‍රමය. ඒ ඒ විනිසුරුවන්ට විරුද්ධව ගේන්න පුළුවන්. ඒ වාගේම රටේ විධායක ජනාධිපතිවරයාට විරුද්ධව ගේන්න පුළුවන්. ඒ නිසා ජනතා නිදහස ආරක්ෂා කරගන්න සංවරණ හා තුලන ක්‍රමය හරි වැදගත්. මේ හැම මූලධර්මයකම අරමුණ ජනතාවගේ නිදහස සාක්ෂාත් කිරීමයි. ව්‍යවස්ථාදායක සභාවේ බහුතර සාමාජිකයන් දේශපාලනඥයන් නොවී ගෞරවනීය පුරවැසියන්ගෙන් සමත්විය යුතුයි. සමාජ විවිධත්වය ව්‍යවස්ථාදායක සභාව තුළ නිරූපණය විය යුතුයි. ඒකෙන් විශාල සංවරණ හා තුලන ක්‍රමයක් ඇතිවෙනවා. ඒක දැනටම අපි යම් තරමක් දුරකට දැකල තිබෙනවා. ව්‍යවස්ථාදයක සභාව තුළින් වැදගත් ආයතනවලට තෝරා ගන්න කොට තනි පුද්ගලයකු විසින් තෝරා ගන්නවාට වඩා විශ්වසනීයත්වය වැඩියි. මේක තවදුරටත් වර්ධනය වෙන්න ඕනේ.
අධිකරණයේ ස්වාධීනත්වය ඉහළ නැංවීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව ශක්තිමත් කළ යුතුයි. අධිකරණ සේවා කොමිසම විශ්‍රාමලත් විනිසුරුවරුන් රජයේ හා රජයේ නොවන නීතිඥයන්ගෙන් සහ විද්‍යාර්ථීන්ගෙන් සමන්විය යුතුයි. එතනදීත් අපි යෝජනා කරන්නේ ගෞරවනීය පුරවැසියන්. මේකට හොඳම උදාහරණය දකුණු අප්‍රිකාවයි. විනිසුරුවරුන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා ස්වාභාවික යුක්ති මූලධර්මය මත පදනම් වූ සුවිශේෂී ක්‍රියාපටිපාටියක ව්‍යවස්ථාපිත නීතියක් ලෙස සකස් විය යුතුයි. ව්‍යවස්ථා සමාලෝචනයට ඇති අධිකරණ බලය අත්‍යවශ්‍ය දෙයක්. මෙය තමයි නොම්මර එකට සිදුවිය යුත්තේ. මෙතන සමාලෝචනය කියන්නේ අධීක්ෂණයයි. අධීක්ෂණයට ඇති බලය පූර්ව ව්‍යවස්ථා සම්පාදන අවධියේ සිට පවත්වාගෙන යා යුතුයි. මොකද නීතිය ජනතාවගේ දෙයක්. පාර්ලිමේන්තුවේ වැදගත්කම තිබෙන්නේ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට නොව ජනතාව ආරක්ෂා කිරීම නිසයි.

මේ නිසා ඉතා හොඳ සංවරණ හා තුලන ක්‍රමයක් හදාගත්තොත් තමයි, හොඳ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් අර්ථවත් වනුයේ.  ඒ වගේම අපි යෝජනා කරනවා බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට එරෙහිව සිටීමට ඇති අයිතිය අපි පිළිගන්න ඕනේ කියලා.

ජනතාවට යුක්තියට ප්‍රවේශවීමේ අයිතිය අහිමිවීම ඉවත් කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රතිපාදන තිබිය යුතුයි නේද?

නීතියට ප්‍රවේශවීමට ඇති අයිතිය අපි අනිවාර්යයෙන්ම පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් එතැනින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නෙ බොහොම අතළොස්සකට විතරයි. ඒක අපි දකිනවා. යුක්තියට ප්‍රවේශවීමේ හැකියාවක් අපිට නෑ. ඒ වගේ නීති ආධාර තිබෙන්නේ ස්වල්පයයි. නීති ආධාර කොමිෂන් සභාවට දෙන ප්‍රතිපාදන බොහොම මදි. ජනතාවට ප්‍රයෝජනවත් වෙන්න රැකවරණය ලබාගන්න නම් යුක්තියට ප්‍රවේශවීමට හැකියාව තිබෙන්න ඕනේ. එතනදි තමයි අපි කියන්නේ ඒ දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරලා ඒ පිළිබඳ වැඩ කොටස කෙරෙන්න ඕනය කියන දේ. මූලික වශයෙන්ම අපි කියන්නේ නීති ආධාර ලබාගැනීමට ඒ වගේම වෙනත් ක්‍රම යොදා ගැනීමට ඉඩක් තිබිය යුතුයි. වෙනත් පර්ෂද නිර්මාණය කරලා ජනතාවට යුක්තියට ප්‍රවේශවීමට කටයුතු යොදන්න ඕනේ. ඒත් මේක මූලධර්මයක් විදියටත් මෙතනදි පිළිගන්න ඕනේ.

නිදහස් ආර්ථික රටාවක් එක්ක අද පෞද්ගලික පාර්ශ්වයන් බලසම්පන්න වෙලා තිබෙනවා. එතනදි පෞද්ගලික අංශයටත් යුතුකම් තිබෙන්නෙ ඕනේ. සමාජයට තිබෙනව විශාල යුතුකම් මාලාවක්. අපි හිතමු යම්කිසි ජන කොටසකට ආගම හෝ ජාතිය මත වෙනස්කම් කරනවා. එහෙම වුණහම සමාජයට අහිතකරයි. ඒ නිසා පෞද්ගලික පාර්ශ්වයත් ජන සමාජය බරපතළ බලපෑම් කරන අවස්ථාවකදී ඔවුන්ටත් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීමක් තිබෙනවා.

ඒ වාගේම මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ පිළිගෙන ඇති අයිතිවාසිකම් පහසුවෙන් වෙනස් කළ නොහැකි බවත් එවැනි ඉවත් කිරීමක් සිදුකරන්නේ නම් ඒ යෝජනාව ජනමත විචාරණයක් හෝ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළයුතු බවටත් අපි යෝජනා කර තිබෙනවා.

පොදු දේපළ පැවරීම විකිණීම වැනි දේවලදි රාජ්‍ය නායකයන්ට තිබෙන බලය වගේම, පාර්ලිමේන්තුවට තේරී පත්වෙන ජනතා නියෝජිතයන් රජය සමග ව්‍යාපාරික කටයුතු කිරීම වැනි දේවලට වැට බැඳීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් සිදුකළ යුත්තක් නොවේද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය යටතේ පබ්ලික් ට්‍රස්ට් කියල අදහසක් තිබෙන්නේ ඒක නිසා තමයි. ඒ කියන්නේ ඒක මහජන භාරයක්. පොදු සම්පත් ඒවා රැකගත යුතු පොදු උරුමයක්. ඒක නිසා ඒ අනුව තමයි ඒක ආරක්ෂා කරගත යුත්තේ. ඉතින් එතකන් අපි කතා කරනව නේද මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට දෙසුවා යැයි කියන ප්‍රසිද්ධ කතාව. ඉතින් ඕවා ඓතිහාසික වශයෙන් එන සංකල්ප ඉතින් පොදු නීතිවලට ඇතුළත් වෙලා තිබෙන්නේ. එතකොට දේශපාලකයන්ට මේවා සමග ගනුදෙනු කරන්න තිබෙන අභිමතය අඩු කරන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසිනුත් එප්පාවල නඩු තීන්දුවේදීත් ඔය ප්‍රකාශය කරලා තිබෙනවා. ප්‍රබල විදියට පිළිගත් නෛතික සිද්ධාන්තයක් බවට ඒක පිළිඅරගෙන තිබෙනවා. පරිසරය සුරක්ෂිත කරන්න මේක අතිශය වැදගත්. අනාගත පරම්පරාවලට ඒගොල්ලන්ගෙ උරුමය ඉතුරු කරන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ මූලධර්ම හැටියට පිළිගන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමේදී මේකට බුද්ධි මහිමය විතරක් නෙවෙයි හදවතත් අවශ්‍යයි. සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ක්‍රියාත්මක කිරීමේදී අවසාන වශයෙන් මට කියන්න තිබෙන්නේ සද්භාවයෙන් ජනතාවට ඉතාම ආදරයකින් ජනතාවට මුල්තැන දෙමින් මේ ක්‍රියාවලිය සිදුවෙන්න ඕනේ කියන එකයි. මේ වනවිට රටට නව ආණ්ඩුක්‍රමයක් සකසා ගැනීමේ පසුබිමක් පැවතීම රටට මහඟු අවස්ථාවක්. මෙය දේශපාලනික කටයුත්තක් හෝ තාක්ෂණික කටයුත්තක් හැටියට සලකලා මෙය සිදුකළ යුතුයි. මේ රටේ පුරවැසියෙක් හැටියට මටත් ඕනේ මට ආඩම්බර වෙන්න පුළුවන් මට ගරු කරන්න පුළුවන් මගේ සිතුම් පැතුම් නියෝජනය කරන මානව හිතවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒත් නීතිය ක්‍රියාත්මක වන ආකාරය මහජනතාව දැනුවත් වෙන ආකාරය, මහජනතාව මේවා වැළඳගන්න ආකාරය මහජනතාවගේ ක්‍රියකාරීත්වය පුරවැසි බව මේවා හැම දෙයක්ම මේකෙ සාර්ථකත්වයට බලපානවා.