සිරිසේනට මහින්ද බෑ කිවහොත් සජිත් හා කියයිද?

ටිරන් කුමාර බංගගමආරච්චි

මේ මොහොතේ මෙරට දේශපාලනයේ නරකම සහ කැතම දේශපාලන භාවිතයක නියැලෙනුයේ කවුද යන පැනය නැගුවහොත් එයට විවිධාකාර පිළිතුරු ලැබෙනු ඇත. එකිනෙකාගේ දේශපාලන රුචි අරුචිකම් මැද පිළිතුර මැවෙන බව සහතිකය. එම පැනය මා මට ආදේශ කරගත් විට දෙවරක් නොසිතා දිය හැකි පිළිතුර නම් ඒ අන් කිසිවෙක් නොව ජනපති සිරිසේන බවය. මේ මොහොතේ දේශපාලනය කරන කිසිම චරිතයක් කෙරෙහි මාගේ රුචි – අරුචියක් නැත. ඒ හැම චරිතයක්ම කියවා වටහා ගැනීමේ උත්සාහයක් පමණක් ඇත. එබැවින් මෙහි ඇත්තේ මගේ කියවීම්ය. එය සම්පූර්ණයෙන්ම මට පක්ෂග්‍රාහීය.

කැත කම

මේ මොහොතේ කැතම දේශපාලනයක නියැලෙන කැතම දේශපාලන චරිතය සිරිසේනය. ඔහුට නායකයකු සතු ගුණාංග ගෑවීවත් නැත්තේය. පැරැන්නෝ ගුණමකු කීවේද මෙවැන්නෝටය. නායකයකු සතුවිය යුතු මූලිකාංගය නම් තමා යටතේ සිදුවන හොඳ – නරක දෙකම භාර ගැනීමට හැකිවීමය. එහෙත් ජනපති සිරිසේන කිසිදු හිරිකිතයකින් තොරව කරනුයේ ගෙවුණු සිව් වසර තුළ සියලු හොඳ තමාගේ නමට ලියා ගැනීමත් නරක රනිල්ගේ නමට ලිවීමත්ය. දැන් යහපාලන ඉතිහාසය ලියනුයේ ජනපති සිරිසේනය. එහි ඇත්තේ ඔහුගේ හොඳ සහ රනිල්ගේ නරකය. රටට හොඳක් යන යමක් සිදුවී නම් ඒ සිරිසේනගේ දැනුවත්කමින් මැදිහත්කමිනි. නරක සිදුවී ඇත්නම් ඒ සිරිසේන නොදැනුවත්ව රනිල්ගේ ඕනෑකමටය. “මම දන්නේ නෑ”, “මම පස්සේ දන්නේ” වැනි ළාමක කතා කීම ජනපති සිරිසේනගේ වේදිකාවල මේ දිනවල නිතර සිදුවේ. දැන් කවුරු අකමැති වුවද තිබුණු තුරුම්පුව සිරිසේනය. ඒ නිසාම ජනපති සිරිසේන අමතක නොකළ යුත්තේද කවුරු කැමති වුවද අකමැති වුවද 2015 සිට මේ වසරේ නැවත ජනාධිපතිවරණයක් පවත්වන තුරු ජනපති තමා බවය. ජනපති තමා බව දන්නේ නම් 2015 සිට සිදුවූ සියලු හොඳ – නරක සියල්ලෙහි තමා ඍජු කොටස්කරුවෙක් බවද අමතක නොකළ යුතුය. හොඳ නායකයකු යනු තමා දැනුවත්ව හෝ නොදැනුවත්ව වන හොඳ නරක දෙකෙහිම වගකීම තමන් භාරගැනීමය. ඒ වෙන කිසිවක් නිසා නොව, තමා නායකයා නිසාය. එය වෙනකකු පිටදා තමාට ඇඟ බේරා ගැනීමට නොහැකිය. “මම දන්නේ නෑ” වැනි ළාමක කතා කිව නොහැකිය. පැය විසි හතරේම තමා සුදනා, රනිල් දුදනා කියමින් මැතිරිය නොහැකිය. මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවන්නේ යහපාලන දින සියය ඇතුළතය. ඒ නිසා ඒ පව රනිල්ට මෙන්ම සිරිසේනටද අදාළය. මන්ද යහපාලනයේ මහ මැතිවරණය තිබුණේ ඉන් අනතුරුව බැවිනි. එහිදී මහා ඉහළින් වියදම් කළේ බැඳුම්කර සල්ලි බව අමුතුවෙන් කිව යුතුද? 2015දී යහපාලනය හරහා සිරිසේන ජනපති කරන්නට මුදල් වියදම් කළේ ඩඞ්ලි සිරිසේනද? ඒ මුදල් කාගේදැයි සිරිසේන සොයා බැලුවේද? යහපාලන මහ මැතිවරණයේදී ඉහළින් ජය ගත්තේ බැඳුම්කර සල්ලිවලින් නොවේද? බැඳුම්කර සල්ලි ගෙන ඡන්ද කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අද එජාපය සමග ගනුදෙනු කරන ශ්‍රී ලංකාකාරයන්ට අභියෝග කරනුයේ රෙදි ඇඳගෙනද? අද සිරිසේන සහ දයාසිරිලා වීරයන් වී ඇත්තේ එජාපයේ පිහිටෙන් පැමිණ නොවේද? දයාසිරි යනු සිරිසේනටම ගැළපෙන අංක එකේ කේවට්ටයාය.

2020 සිහිනය

2020දී ජනාධිපති වීමට වැඩිම බලාපොරොත්තු ඇත්තේ ජනපති සිරිසේනටය. ඔහු 2020දී ජනපති නොවුණහොත් උමතු වනවා නියතය. ඒ තරමට බලයට නායකත්වයට ඔහු කෑදර වී ඇත. 2015දී තම ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂ සමග පවා ජනපති සිරිසේන එකතු වූයේ වෙන කිසිවක් නිසා නොව දෙවන වර ජනපති වීම සඳහාය. ඒ සඳහා යා හැකි මග කොපමණ ගන්ධස්කාර වුවත් ඒ මග යෑමට ජනපති හිත හදාගෙන අවසන්ය. රනිල් සමග ගමන අනතුරුදායක බව වැටහුණු නිමේෂයෙන් ඔහු මහින්ද තෝරා ගත්තේය. බලයට කෑදරකමින් අනන්ත දුක් විඳින මහින්ද කා සමග වුව හවුලේ බලය බෙදා ගන්නට කැමතිය. එහි පංගුවක් ඔහුට අවැසිය. ගිවිසුම එපමණය.

එහෙත් දැන් දැන් ප්‍රශ්නය එහා මෙහා වුණේ ගෝඨාභයටත් නායකයා වීමේ නොනිම් ආශාව ශරීරය පුරාම දිව ඇති බැවිනි. ඔහුගේ නිගමනය මහින්දත් දැන් ඉවරයි. දැන් ඉන්නේ ගෝඨා පමණක්ම යන්නය. මහින්දත් ගෝඨා එනවාට අකමැතිය. ඔහුට සිරිසේන ප්‍රශ්නයක් නැත. අපිට වඩා සහෝදරයෝ සහෝදරයන් ගැන නොදන්නේද? කෙසේ වෙතත් පොහොට්ටුවත් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවට කයිවාරු ගැසීමත් සමග වඩා සෙලවෙන්නේ ජනපති සිරිසේන බව අමුතුවෙන් කිවයුතුද? එහෙත් සිරිසේන දැන් පියවරක් ආපස්සට ගන්නා තැනක නැත. ඔහුගේ එකම අභිප්‍රාය නැවත ජනපති වීමය. පොහොට්ටුව සහය නොදුනහොත් ජනපති සිහිනයට සිරිසේන ඉගිල්ලෙනුයේ කොහොමද? එසේ කියා දැන් සිරිසේන ආපස්සට යනු ඇද්ද? 2015 යහපාලනය ආ දා සිට ගුවනේම කල් ගෙවමින් සංචාරකයකු වූ ජනපති සිරිසේන දැන් බිමට බසින්නට කැමති නැත. මහින්දට, රනිල්ට වඩා දැන් සිරිසේන බලයට කෑදරය. වඩා යැයි කීවේ වෙන කිසිවක් නිසා නොව ජනපති සිරිසේන අලුත් කෑදරයා වූ නිසාය. ඒ නිසා මේ රහ ඉක්මනින් අමතක කරන්නට, අත අරින්නට ඔහු කැමති නැත. එසේ නම් පොහොට්ටුව අහිමි වුවහොත් සිරිසේනට කාගේ පිහිටක්ද?

සිරිසේන සහ ප්‍රේමදාස

මේ ලංකාවේ දේශපාලනයේ ඕනෑම විපර්යාසයක් විය හැකි යුගයකි. අද කිසිදු පක්ෂයකට බොරු සුජාතභාවයන් රකිමින් තනියෙන් බලපුළුවන්කාරයන් විය නොහැකිය. එජාපය, ශ්‍රී ලංකා එක යැයි අද තනි ගමන් නැත. සියල්ල හවුලේය. අද ශ්‍රී ලංකා එකේ මෙන්ම පොහොට්ටුවේ සිටිනුයේද එදා එජාපයේ බල කණුය. එසේ නම් මේ පක්ෂ සියල්ල අද දෙමුහුම් වී ඇත. එජාපයේ අද සුක්කානම් කරකවනුයේ ජාතිවාදී චම්පිකය. ෆොන්සේකා, රාජිත කුමන දේශපාලන සත්වයෝද යන්න නොවැටහේ. එසේ නම් අද ඩී.එස්.ගේ එජාපයක් හෝ බණ්ඩාරනායකගේ නිදහස් පක්ෂයක් ඇද්ද? රනිල්ගේ පිහිටෙන් නායකයා වී ශ්‍රී ලංකා එක රකින සිරිසේනට ලැජ්ජා නැතිව බණ්ඩාරනායක ගැන කිව හැකිද? එහාට මෙහාට බල්ටි ගැසූ දයාසිරිට තම ලේ නිල්පාට යැයි කිව හැකිද? තමන් ශ්‍රී ලංකා යැයි කියමින් පොහොට්ටුව හැදූ මහින්දට ඊළඟ ඡන්දයේදී ශ්‍රී ලංකා එක වුවමනාද?

මහින්දගෙන් දේශපාලන කෙරුමෝ වූ බැසිල්ට-ගෝඨාට ගමනක් ඇත්තේ පොහොට්ටුවේ නොවේද? මේ සියලු ප්‍රශ්න හමුවේ ඔළුව කම්මලක් වී ඇත්තේ ජනපති සිරිසේනගේ නොවේද? ඒ තමා ඊළඟ ජනපති වන්නේ කෙසේද යන්නය. ඔහුට ඇති එකම සිහිනය එයය. එසේ නම් මහින්ද ප්‍රමුඛ පොහොට්ටුව සිරිසේනගෙන් ගැලවුණහොත් විකල්පය කුමක්ද? ශ්‍රී ලංකා එක තනිව එන්නද? තනිව ඇවිත් කුමන දිනුම්ද? අන්න ඒ නිසා විකල්ප නැතැයි අපි නොකියමු. දැන් කල්පනා කළයුත්තේ ජනපති සිරිසේනට ගැළපෙන අය සොයා යෑමය. පොහොට්ටුවේ සිරිසේනට ගැළපෙනුයේ මහින්දය. එය අත්හදා බැලීය. ඉදිරියටත් ස්ටෑන් බයිය. එහෙත් එය මගහැරුණහොත් තව ශක්තිමත් අගමැතිවරයකු ඕනෑ වේ. ඒ කවුද? සිරිසේන දකින දුර නම් සජිත් ප්‍රේමදාස විය යුතුය.

ජනපති සිරිසේනගේ මහින්ද දීගය අහවර වූ තැන සිට සජිත් ප්‍රේමදාස ජනපති සිරිසේනට ඕනෑවටත් වඩා ළංවීය. ඒ අන් කිසිවක් නිසා නොව රනිල් ඒ මොහොතේ සජිත් පාවිච්චි කළේ හෙට බලය දී එජාපයෙන් මිදෙන ගාණටය. එහෙත් රනිල් අගමැති වූ පසු නැවත පරණ සෙල්ලමම පටන් නොගත්තේද? රනිල් රනිල්මය. දැන් රනිල් වාදීන්ටත් කර කියාගත නොහැකි තැන කරුගේ කරමත නැග ඇත. ඒ රනිල්වාදී පන්තිය සජිත්ට කවදාවත් කැමති නැත. ඒ පන්ති ප්‍රශ්නයක්මය. මේ නිසාම සජිත්ට වුව වඩා ගැළපෙනුයේ සිරිසේනවය. පොහොට්ටුව සිරිසේනව අතහැරියොත් එමෙන්ම ලබන වර සජිත් එජාපයේ ප්‍රබලයා නොකළහොත් මේ දෙක එකක් වනු නියතය. එජාපය කඩාගෙන සජිත් එයිද? දැන් මේවා ප්‍රශ්නද? කැඩී නැත්තේ මොන පක්ෂද? ශ්‍රී ලංකා එකෙන් ආ මහින්ද ශ්‍රී ලංකා එක අත ඇරියේ ඇයි? බලය නිසා නොවේද? ජනපතිකමට සිරිසේන එනවිට සජිත් තම සහය දෙන්නේ සිරිසේනට යැයි කිවහොත් තමා ජනපති වී පෙරමුණක් යටතේ අගමැති සජිත් යැයි සිරිසේන කිවහොත් ඒ වටා පිරිසක් ඒකරාශී නොවේද? දැන් සෙල්ලම ලේසි නැත. දිගුකාලීන ප්ලෑන් නැත. ඇත්තේ කෙටිකාලීන සැලසුම්ය. ඉක්මනින් බලය ඇල්ලීමේ උපායයන්ය. කවුරුත් දැන් කල් මරන්නට කැමති නැත. රනිල්ගෙන් බලය ගන්නවාට වඩා සජිත්ට සිරිසේන විශ්වාසය. සිරිසේන යටතේ අගමැති වුවහොත් ඊළඟ පාර ඔහුට පාර විවෘත වනු ඇත. සිරිසේනගේ උපදේශකයා ශිරාල්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් එදා නැහුණේ සජිත් ගන්නටය. මහරාජාට ඇති එකම සිහිනය සජිත් නායකයා කිරීමය. මහරාජා ජනපති සිරිසේන මෙන්ම ශිරාල්ගේ ද හඬ උඩින් සිටී.

රනිල් ප්‍රමුඛ එජාපය දුටු විට ඇගේ පළු දමන ජනපති සිරිසේනට සජිත් අමා ඔසුවක් වන්නේ කෙසේද? ජනපති සිරිසේනට 2015දී තම මාරයා වූ මහින්ද සමග 2018දී එකතු වී එකට යා හැකි වී නම් මින් ඉදිරියට මෙරට දේශපාලනයේ කුමක් වුවද පුදුමයක් නොවන බව හිතන්න. දැන් ඇත්තේ දේශපාලන ගේම් එකකි. එය පැරණි අය වුව අලුත් විදිහට සෙල්ලම් කරන්නේ නම් ජනතාව ඒ අය තෝරා ගන්නවා නියතය. මන්ද අනන්නට ඇත්තේ මේ කාඞ් කුට්ටම ම බැවිනි.