නිර් දේශපාලනීකරණය විය යුතු රේගුව

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

ඉකුත් ජනවාරි 30 වැනි දින රේගුවෙන් පටන් ගෙන පිටකොටුවේ වීදි දිගේ විහිදී ගිය රේගු සටන ඉකුත් පෙබරවාරි පස්වැනි දින කැබිනට් මණ්ඩලය විසින් ගැනීමට සිදුවූ තීරණයත් සමග නිමාවිය.
රුපියල් බිලියන 7ක ආදායමක් රටට අහිමි කරමින්, රේගුවේ වැඩ කටයුතු අඩාල කරමින්, කම්කරුවන් 6000ක් පමණ පාරට ඇද දමමින්, අඛණ්ඩ වැඩ වර්ජනයකට අර අඳිමින් මෙන්ම ආහාර හිඟයක් ඇතිවීමට අනතුරු අඟවමින් පවත්වාගෙන ගිය රේගු සටන දිග් ගැස්සීමට ඉඩ නොදීම වැදගත්ය. එය නතර කරගනු පිණිස මාස තුනක කාලයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නුදුටු බව කියන කැබිනට් පත්‍රිකාවක් මගින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කරන ලද පී.එස්.එම්. චාල්ස් මහත්මිය යළිත් එම තනතුරට පත්කිරීමට කැබිනට් මණ්ඩලයට සිදුවිය. ඒ හැර වෙනත් විකල්පයක් ඔවුන්ට තිබුණේ නැත. එය රේගු සටනට විවිධාකාරයෙන් දායක වූ සටන් සගයන්ගේ ජයග්‍රහණයකි. එමෙන්ම එය මුදල් අමාත්‍යවරයා ප්‍රමුඛ මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගේ සහ මුදල් අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයාගේ තාවකාලික පරාජයකි.

රේගු නිලධාරීන් විසින් අකුරට වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාරය ඉකුත් ජනවාරි 30 වැනි දින ක්‍රියාත්මක කළ අතර ඊට ප්‍රධාන හේතුව වන්නේ එවකට රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉවත් කර නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියකු වූ රියාද් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු එම තනතුරට පත් කරමින් රේගුවේ ඉහළම තනතුරට එතෙක් පත් කරන ලද ක්‍රියා පිළිවෙත වූ පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ කෙනකු තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදය උල්ලංඝනය කරමින් දේශපාලනික පත්වීමක් ලබාදීමය. පුරා වසර හතරක් තුළ රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පස්දෙනකු පත් කිරීමද දේශපාලන තීන්දු මත ගන්නා ලද තීරණ ඉවසිය නොහැකිවීම සහ රේගුවේ කටයුතුවලට දේශපාලන බලපෑම් බහුලවීමද ඊට හේතුවූ තවත් කරුණු දෙකකි.

රේගු නිලධාරීන්ගේ සංගමය අකුරට වැඩ කිරීමේ විරෝධතාව හේතු කොටගෙන විශ්‍රාමික නාවික හමුදා නිලධාරියාගේ පත්වීම අත්හිටුවා මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ වැඩබලන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරනු ලැබිණ. එම පත්වීම පිළිනොගන්නා බවත් හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය යළිත් සේවයේ පිහිටුවන ලෙසත් අකුරට වැඩ කිරීමේ ක්‍රියාදාමයේ නියැලුණු රේගු නිලධාරීහු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් මෙන්ම ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා සිටිනු ලැබූහ.

රේගු වෘත්තීය සමිති සන්ධානය විසින් ඉකුත් පෙබරවාරි 1 වැනි දින මාධ්‍ය හමුවක් කැඳවමින් තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මෙන්ම චාල්ස් මහත්මිය තනතුරින් ඉවත් කිරීමට බලපාන ලද සැබෑ හේතූන් මාධ්‍ය වෙත අනාවරණය කෙරිණ.

අකුරට වැඩ කිරීමේ විරෝධතාවට කඩිනම් විසඳුම් නොලැබීම හේතු කොටගෙන අඛණ්ඩ වැඩ වර්ජනයක් කරා තම සටන ඉදිරියට ගෙනයෑම සඳහා රේගු වෘත්තීය සමිති සන්ධානය අනෙකුත් වෘත්තිය සමිති සමග සාකච්ඡා පවත්වා රජයට ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට සැලසුම් කෙරිණ. ඔවුන්ට සහාය දැක්වීමට කැමැත්ත පළ කර තිබෙන වෘත්තීය සන්ධාන පිළිබඳ රාවය කරන ලද විමසුමට පිළිතුරු සපයමින් රේගු අධිකාරීන්ගේ සංගමයේ සභාපති උදිත් ජයසිංහ පවසා සිටියේ තම සටන සඳහා සහාය දැක්වීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, බැංකු වෘත්තීය සමිති, වරාය අධිකාරියේ වෘත්තීය සමිති, කන්ටේනර් සහ බහාලුම් ප්‍රවාහන සංගම්, නිමි ඇඳුම් අපයන සංගම් සහ භාණ්ඩ නිෂ්කාෂණ ඒජන්තවරුන්ගේ සංගම් කැමැත්ත පළකර තිබූ බවය. එමෙන්ම රේගුව පාර්ශ්වයෙන් රේගු අධිකාරී සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, රේගු පරීක්ෂකවරුන්ගේ සංගම් ත්‍රිත්වය සහ රේගු නියාමක සංගමයද වැඩවර්ජනය සඳහා පූර්ණ සහාය පළකර තිබූ බව ඒ මහතා පැවසීය.

ජයසිංහ මහතාට අනුව අකුරට වැඩ කිරීමේ විරෝධතාව හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ හමුදාවන්ට අවශ්‍ය කරන බඩු මුට්ටු නිෂ්කාෂණය කිරීමේ වැඩකටයුතුවල පමණක් නිරතවීමට රේගු නිලධාරීන් කටයුතු කළ අතර, එමගින් රේගුවේ වැඩ කටයුතු මුළුමනින්ම පාහේ අඩාල විය. දිනකට කන්ටේනර් 1500ක් පමණ නිෂ්කාෂණ කටයුතු කෙරුණද විරෝධතාව හේතු කොටගෙන එය කන්ටේනර් 200 දක්වා අඩුවිය. ඒ මගින් රජයට ලැබෙන ආදායම ශීඝ්‍රයෙන් පහළ වැටිණ.

රේගුවේ විරෝධතා ව්‍යාපාරය නිසා බැටකන ලද පිරිසක් වූහ. ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්, තොග වෙළෙඳුන් සහ ඊට සමගාමීව කටයුතු කරන 6000ක පමණ කම්කරු ජනතාවය. ඔවුන්ට සිදුවූ අසාධාරණය හේතුවෙන් පිටකොටුවේ හතරවන සහ පස්වන වීදියේ කඩ සාප්පු වසා දමමින් හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය විසින් කටයුතු කෙරිණ.

ඒ පිළිබඳව තොරතුරු හෙළිදරව් කරමින් රේගුවේ අකුරට වැඩ කිරීමේ විරෝධතාව නිසා තම සංගමයේ සාමාජිකයන්ට සිදුවූ පාඩුව කොපමණදැයි කිව නොහැකි බව එහි මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු රාවයට පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රේගුවේ වර්ජන තත්ත්වය නිසා ලූනු, අල සහ සුදුලූනු යනාදී ඉක්මනින් නරක් වන ආහාර ද්‍රව්‍ය පමණක් නිෂ්කාෂණය කිරීම සිදු වුණත් වියළි ආහාර වර්ග වන සීනි, පරිප්පු, කඩල, මුංඇට, වියළි මිරිස් බහාලුම් 1000ක් පමණ වරායේ රඳවාගෙන තිබෙන බවත්, අඩි 40ක කන්ටේනරයක් වරායේ දින තුනකට වඩා රඳවා තැබීම නිසා ප්‍රමාද ගාස්තු, නැව් ගාස්තු, විදුලි ගාස්තු යනාදී වශයෙන් ඩොලර් 700ක පමණ අමතර වියදමක් දැරීම හේතු කොටගෙන එය භාණ්ඩ අලෙවියේදී එකතු කිරීමට සිදුවීම තුළින් පාරිභෝගිකයාටත් අසාධාරණයක් සිදුවන බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව හොරකම ආගමක් බවට පත්කරගෙන තිබෙන රටක් බවට පත්ව තිබෙන බවත්, නීත්‍යනුකූලව කටයුතු කළ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කිරීම අසාධාරණ බවත් හේමක ප්‍රනාන්දු කීය.
යහපාලන රජයේ ඇතැම් මැති ඇමතිවරුන්ට සහ රේගු නිලධාරීන්ගේ වෘත්තීය සමිති නායකයන්ට අනුව හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වාර්ෂිකව භාණ්ඩාගාරය වෙත ලබාදිය යුතු බදු මුදල් ප්‍රමාණය උපයාදීමට අසමත්ව තිබීම ඇය එම තනතුරින් ඉවත් කිරීමට නගන චෝදනාවකි. එම චෝදනාව අසාධාරණ එකක් බවත්, පසුගිය වසරේ දේශපාලන ක්ෂේත්‍රය තුළ සිදුවූ අර්බුදයන් සහ ආනයන දිරිගැන්වීමට අනුබල නොදෙන බදු පැනවීම්, තුළින් භාණ්ඩාගාරය විසින් වසරක් වසරක් පාසා කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව ඉල්ලා සිටින ආදායම් ප්‍රමාණය ලබාදීමට රේගුවට හැකියාවක් නොමැති බවත් පෙබරවාරි 1 වැනි දින පැවති මාධ්‍ය හමුවේදී රේගු නිලධාරීහු පැවසූහ.

රේගු නිලධාරීන් මුදල් අමාත්‍යාංශයට ගොස් එහි ලේකම් ආචාර්ය ආර්.එස්.එම්. සමරතුංගට රේගුවෙන් අපේක්ෂිත ආදායම ලබාදීමේ නොහැකියාවට හේතු සාධක ඉදිරිපත් කරනු ලැබුවද ඒ ගැන කිසිදු තැකීමක් ඔහු සිදු නොකළ බවත් ඔහු රේගුව සමග සතුරු ආකල්පයකින් කටයුතු කරන බවත් ඔවුහු පෙන්වා දුන්හ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා රේගුව සමග උරණවීමට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දුන්නේ ඔහුගේ සමීපතම මිත්‍රයකු වන වෙහිකල් ලංකා පුද්ගලික සමාගමේ අධිපති හර්ෂ ප්‍රභාත් ද සිල්වා කොටස් වශයෙන් ආනයනය කරන ලද මෝටර් රථ වාහන සඳහා රජයට අයවිය යුතු බදු මුදල් ගෙවීම සම්බන්ධයෙන් බලපෑම් සිදුකළද ඒවා නොතකා එම සමාගමට එරෙහිව නීතිපතිවරයාගේද උපදෙස් ඇතිව හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය කටයුතු කිරීමය. මෙම සමාගම සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමට මුදල් අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීන්ගෙන් බලපෑම් පමණක් නොව, රේගු ආයතනයට පැමිණ වෙහිකල් ලංකා පුද්ගලික සමාගමේ අධිපතිවරයාද චාල්ස් මහත්මියට මරණීය තර්ජන පවා එල්ල කර තිබෙන බව රේගු නිලධාරීන්ගේ වෘත්තීය සමිති නායකයෝ පැවසූහ.
රාජ්‍ය සේවයේ අවුරුදු 26ක පළපුරුද්දක් ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන එවකට මඩකළපුවේ දිසාපති ලෙස සේවය කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය ක්‍රි.ව. 2017 සැප්තැම්බර් මස අවසාන සතියේදී කැබිනට් පත්‍රිකාවක් මගින් ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කරනු ලැබුවේය.

නව නිලයේ වැඩ භාරගත් ඇය ශ්‍රී ලංකා රේගුවේ කටයුතු පිළිබඳව මනා අධ්‍යයනයක් සිදු කොට එහි නිලධාරීන්ගේ ගෞරවයට පාත්‍රවෙමින් රේගු ආඥා පනතේ විධිවිධානයන් අකුරටම පිළිපදිමින් කටයුතු කිරීමට වෑයම් කළාය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රේගුව තුළ සිදුවන ජාවාරම් කටයුතුවලට සම්බන්ධ නිලධාරීන් සේවයෙන් පහ කිරීමටද ඇය පෙරමුණ ගත්තාය. ජාවාරම්වලට සම්බන්ධ රේගු නිලධාරීන් මෙන්ම ජාවාරම් කරනු ලබන අපරාධකරුවන්ට චාල්ස් මහත්මියගෙන් කිසිදු අනුකම්පාවක් නොලැබිණ. අපරාධකාරයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වහාම නතර කරන ලෙස මැති ඇමතිවරුන්ගෙන් පමණක් නොව ඔවුන්ගේ අමාත්‍යාංශ නිලධාරීන් සහ අනෙකුත් ගෝල බාලයන්ගේ බලපෑම් ඇයට එල්ල විය.

කෙසේ වුවද හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය සිය තනතුරේ අභිමානය සුරක්ෂිත කරමින් තමන්ට පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරමින් රේගු දෙපාර්තමේන්තුවේ වගකීම අකුරටම ඉටුකිරීමට උත්සාහ කළ අතර නීති විරෝධී කටයුතුවලදී නීත්‍යනුකූල පියවර ගනිමින් අවශ්‍යවන්නේ නම් නීතිපතිවරයාගේ උපදෙස්ද ලබාගනිමින් අපරාධකාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා. ඊට කදිම නිදසුනක් ලෙස ඉකුත් දෙසැම්බර් 03 වැනි දින බංග්ලාදේශයේ සිට ගුවනින් ශ්‍රී ලංකාවට ගෙනෙන ලද අඩි 40 රෙදිපිළි කන්ටේනරයක් තුළ බහා බීඩි කොළ තොගයක් ගෙනැවිත් තිබෙන බවට ලද ඔත්තුවක් සම්බන්ධයෙන් ඇයගේ උපදෙස් මත එය අත්අඩංගුවට ගෙන වරදකරුවන් රිමාන්ඞ් භාරයේ තබාගනිමින් ප්‍රශ්න කොට ඒ ජාවාරම පසුපස සිටින අපරාධකරුවන් හඳුනා ගැනීමට කටයුතු කිරීමය.

එම කන්ටේනරය ප්‍රතිඅපනයනයක් ලෙස ඉතාලියට ගුවනින් ගෙනයෑමට සැලසුම් කර තිබිණ. මෙහි බීඩි කොළ තිබූ බවට ඔත්තුවක් ලැබුණු බවට හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියට දැනුම්දීමෙන් පසු අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා ඇය පියවරෙන් පියවර අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය. ගුවනින් ගෙන්වන ලද කන්ටේනරය වරායේ අංගණයේ තිබියදී පරීක්ෂා නොකර එය ඉවත් කරගෙන යෑමෙන් පසුව එම කන්ටේනරය රැගෙන යන වාහනය පසුපස යෑමට උපදෙස් ලබා දෙන ලදුව එය වත්තල නගර සභාවේ හිටපු උප සභාපතිවරයකු සහ වර්තමානයේ මන්ත්‍රීවරයකු වවන ටී.එම්. රියාස්ට අයත් වත්තල පිහිටි අංගණයක් තුළට රැගෙන යනු ලැබිණ. එය හඹාගොස් නීති විරෝධී බීඩි කොළ තොගය වත්තල පොලිසියේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව අත්අඩංගුවට ගනු ලැබිණ. ඉන්පසු අපරාධකරු වූ මන්ත්‍රීවරයා වහාම නිදහස් කිරීමට සහ නීතිමය පියවර ගැනීම වහාම නතර කරන ලෙසට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් මෙන්ම ඇමතිවරුන්ගෙන්ද දුරකතන ඇමතුම් චාල්ස් මහත්මියට ලැබිණ. ඒ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළ ඇය මෙම ජාවාරමට සම්බන්ධ රේගු නිලධාරීන් දෙදෙනකු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර තිබෙන අතර, එයද වහාම නතර කිරීමට තර්ජන-ගර්ජන එල්ල විය. තවදුරටත් පරීක්ෂණ කටයුතු කිරීමේදී මෙම ජාවාරම පිටුපස ඉන්දියාවට කරුංකා සහ ගම්මිරිස් අපනයනය කරනු ලබන මුස්ලම් ජාතික කෝටිපති ව්‍යාපාරිකයකුද සිටින බව අනාවරණය විය. ඉන් අනතුරුව ඔහු බේරා ගැනීම වෙනුවෙන් මුස්ලිම් ජාතික ඇමතිවරයකුගෙන්ද ඇයට බලපෑම් එල්ල විය. මෙම ජාවාරම තුළින් රුපියල් කෝටි 4 1/2ක බදු වංචාවක් සිදුවුණු හෙයින් ඇය නීතිපති උපදෙස් ගැනීමටද කටයුතු කොට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් සිටියදී මංගල සමරවීර අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් මගින් දේශපාලන හේතූන් මත ඇය එම තනතුරෙන් ඉවත් කරනු ලැබිණ.
චාල්ස් මහත්මිය යළිත් රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ පිහිටවනු ලැබුවද එමගින් රේගුව ගොඩ නැගිය නොහැක. රේගුව ගොඩනැගීමට නම් එය නිර්දේශපාලනිකකරණය කළයුතුය. එවැන්නක් සිදුකළ හැකි වන්නේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දූෂණ විරෝධී රාජ්‍යතාන්ත්‍රිකයන්ට පමණි. එවැනි පුද්ගලයෝ ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රය තුළින් සොයා ගැනීම කළුණික සෙවීමටත් වඩා දුෂ්කරය.