අලුත් මැරයකු ඕනෑකර තිබේ

ටිරන් කුමාර බංගගමආරච්චි

මාධ්‍යයට මෙන්ම ආණ්ඩුවටද කලින් කලට ජාමේ බේරා ගන්නට මොකක් හෝ මාතෘකාවක් ලැබෙන්නේය. පසුගිය සතිවල සේනාය. සේනා පසුබසින විට මාකඳුරේ මධුෂ්ය. දැන් සැවොම අවදි වූ තැන සිට නින්දට යන තැන දක්වා සිතනුයේ මධුෂ් ගැනය.

මාකඳුරේ මධුෂ් නැතිව පසුගිය කාලයේ කළහැකි කිසිවක් නොවීය. ඝාතනයක් වුවද? මංකොල්ලයක් වුවද? අඹ ගෙඩියකට ගලක් ගැහැව්වද? මේ සියල්ල පිටුපස සිටින්නේ මාකඳුරේ මධුෂ් යැයි මාධ්‍ය පුවත් පළවිය. පොලිසිය දෙන ඕනෑම දෙයක් වග විභාගයෙන් තොරව කටේ දමා ගන්නා මාධ්‍ය හැම කෙන්ගෙඩියටම මුල මධුෂ් යැයි පසුගිය කාලයේ ලීවේය. කීවේය. අවසානයේ ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනයේ කොන්ත්‍රාත්තුවද මධුෂ්ට භාර දුන් බව කීවේය. එසේ නම් මධුෂ් යනු එසේ මෙසේ පොරක්ද? ඩුබායි සිට ලංකාවම සියතට ගත් අරුම පුදුම කෙරුමෙක් නොවේද? කියන තරම් යකා කළුද යන්න අපි නොදනිමු. එහෙත් යකා කට්ට කළු බව මාධ්‍ය නම් නියමාකාරයට වේෂ නිරූපණය කොට හමාරය. එබැවින් මධුෂ් කී කල රෝම කූප කෙළින් කරගත් අය දැන් මධුෂ්ගේ රූපය දෙස බලා විවිධ කතා කියති.
ඊටත් වඩා එතරම් භයංකාර පාතාලයේ රජු හසු වුවත් ඊට වඩා පුවත වී ඇත්තේ ඒ රංචුවේ අමල් පෙරේරා සිටීමය. දක්ෂ ගායකයකු වන අමල් එහි සිටීම මධුෂ් අමතක කරන පුවත වී ඇත.
දැන් මධුෂ්ගේ ජීවිත කතාව ලියවේ. ඔහු පාතාලයකු වූ හැටි කියැවේ. ඝාතන කොට හිරේ ගොස් ආ හැටි කියැවේ. ඉන්පසු රට පැනීමත් රට සිට මෙරට ඝාතන රැල්ලක් ගෙන ගිය හැටිත් රූප රාමු මැවෙන ලෙස දිග හරිති. මේ සියල්ල කළ මධුෂ් අල්ලා ගත් පසු ඇත්තේ ලොකු ගැටලුවකි. තනිකමකි. එසේ නම් හෙට සිට මෙරටට කුඩු එන්නේ නැත. හෙට සිට මෙරට මිනීමැරුම් වන්නේ නැත. ව්‍යාපාරික ස්ථානවලින් කප්පම් ගන්නේ නැත. හෙට සිට සමාජයට බියෙන් සැකෙන් තොරව දිවි ගෙවිය හැකිය. ජනපතිට සහ හිටපු ආරක්ෂක ලේකම්ටද දැන් බයෙන් සැකෙන් තොරව දිවි ගෙවිය හැකිය. මධුෂ් අත්අඩංගුවේය. ඔහුට දැන් කළ හැකි කිසිවක් නැත.

අමල් සහ මධුෂ්

මධුෂ්ගේ දරුවකුගේ පාටියකට ගිය අමල් පෙරේරා සහ ඔහුගේ පුතාද? තව නළුවෙක් සහ පාතාලයෝද ඒ අතර අත්අඩංගුවට ගත්හ. අමල් ගායකයෙකි. පාතාල හෝ කුඩුකාරයෝ, මිනීමරුවෝ සිංදු අහන්නේ නැද්ද? ඉක්මන් සල්ලිකාරයෝ ජීවිතය විඳින්නේද ඉක්මනින් යන්නටය. ඒ තම ජීවිතය ඉතාම කෙටි බව ඔවුන් මනාව දන්නා නිසාය. අනෙක් අයගේ ජීවිත තීන්දු කරන අය තම ජීවිතය කොයි මොහොතකද යන්න හොඳාකාරවම දනිති. ඒ නිසා මේ අය ජීවිතය ඇති පදම් විඳිති. ඒ නිසා එළියට නොයන කූට ව්‍යාපාරිකයන්ගේ පාටිවලට කලාකරුවන් කොතෙක් යයිද?

වෙලේ සුදා හසුවූ විට වෙලේ සුදාට ඈඳා මෙරට නිළි රොත්තක් ගැන කතා මැවුණි. මේ පාතාල හෝ, කුඩුකාරයෝ මුලින්ම කරනුයේ තම සිතැඟියාවන් ඉටුකර ගැනීමය. කලාකරුවන්ට සාමාන්‍ය මිනිසුන් ආශ කළද වටිනාකම් ඇත්තේ මෙවන් චරිතවලිනි. ඔවුන් ගෙවන මිල අතිවිශාලය. මෙරට කලාකරුවන් රට සවාරි යන්නේ එරට සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරාධනයන්ටය. ඔවුන් මුදල් සොයාගෙන ඇත්තේ කෙසේද කියා වත්කම් පරීක්ෂා කොටද මේ අය ඊට සහභාගි වනුයේ. අද සියල්ල විවෘතය. මේ කලාකරුවන් මෙරටද ධනවතුන්ගේ සෙල්ලම් බඩුය. නිළියන් කෙළි බඩුය. එවිට ඔවුන් සියල්ල සලකනුයේ මුදල් මතය. වෙලේ සුදාද? මාකඳුරේ මධුෂ්ද යන්න ගණන් හැදිල්ලක් නැත. ගණන් කරනුයේ මුදල් පමණය.

එහෙත් ප්‍රශ්නය මේ චරිත සමග ඍජුවම මුදලට ගනුදෙනු කරන කලාකරුවන් පට්ට ගසන මාධ්‍ය මේ චරිත ගොඩනගන්නට පූර්ණ සහය දුන් දේශපාලකයන්ගේ නම්වල ඉඟිවත් නොසැපයීමය. මාධ්‍යයට තොරතුරු දෙන පොලිස් ගිරවුන්ද ඒ ගැන කෙළ බිඳක් නොසොලවති. මාකඳුරේ මධුෂ් ගොඩනගන්නට සහය දුන් මාතර ඇමතිලා, අද නෙළුම් මල්ද පොහොට්ටුද යන්න දන්නෝ දනිති.
මාකඳුරේ මධුෂ් කෙරුමකු වූයේ තනිව නොවේ. මේ දේශපාලකයන්ගේ සහ රටේ ප්‍රභූ පිරිසගේ ආශිර්වාදයෙනි. අමල් හෝ නිළියක මධුෂ්ලාට ළංවන්නේ ඔවුන් කෙරුමන් වූ පසුවය. ඒ ඔවුන් පිනවන්නටය. මේ තැන කසුන් කල්හාර වුව සිටිය හැකිය. ඒ කලාකරුවන් ආරාධනය සහ එහි වටිනාකම අනුව ක්‍රියාකරන බැවිනි.

මාකඳුරේ මධුෂ් ගෙන්වා නීතිය අනුව ක්‍රියා කරද්දී පසුගිය කාලයේ ක්‍රියාවලට ඔහු සම්බන්ධ යැයි ඔප්පු කරන්නේ කෙසේද? නැති බිල්ලකු මවාගෙන සියල්ල ඔහුට දි ළමුන්ට බත් කැවිය හැකිමුත් දැන් මධුෂ්ම මේ දේවල් කළා යැයි ඔප්පු කරනුයේ කෙසේද? නාමල් කුමාරගේ අතේ පැලවෙන කතා මේ වනවිට විහිළු බවට පත්වෙද්දී එදා ඒ කතා ආණ්ඩු පෙරළන්නටත් හේතු වූවා යැයි කීවේ ජනපතිම නොවේද?
මහා කුඩු ව්‍යාපාරිකයා වෙලේ සුදා කියා නැටූ කාලයක් විය. මහා පාතාලයා මධුෂ් කියා නැටූ කාලයක් විය. දැන් ඒ කාල අහවරය. හෙට සිට අපට පවතින්නට නම් තවත් පාතාල හෝ කුඩුකාරයෝ, මිනීමරුවෝ වුවමනාය. රටේ කප්පරක් ප්‍රශ්න මොවුන් නැතිව අමතක කරන්නේ කෙසේද? (යාපනය බියගන්වන ‘ආවා’ කල්ලියක් ගැන පුවත් මැවෙන අතර අපි ‘ආවා’ කියා ආවා ගෲප්හි ප්‍රධානියකු දෙරණට ඇවිත් මාධ්‍ය සාකච්ඡා පවත්වති. නමට කුඩු ලියාපදිංචි කර තිබූ කුඩු ලාල්ද මෙරට නියෝජිතයකු ලෙස ඡන්ද ඉල්ලුවේය. ගෝනවල සුනිල්ලා සාම විනිසුරුවන් විය.

දේශපාලකයා සමග ගොඩනැගෙන උප සංස්කෘතීන් ඇත. ඒවා අතර පාතාලය ප්‍රබලය. පාතාලය සමග කුඩු එකටය. දේශපාලකයා රැකෙන්නේ මේවා හරහා නම් ජනතා නියෝජිතයාට ආරක්ෂාව රැකවරණය මොවුන් නම් මේවා ඉවර වන්නේ කෙසේද? මහා කුඩු තොග ඇල්ලූමුත් ඒවාට අදාළ මහා මෝරුන් කවාද හෝ හසුවීද?

මාකඳුරේ මධුෂ්ගෙන් නාඩගම ඉවරය. ඔහු මෙරටට ගෙන්නුවද අවසානයේ ඔය කියන තරම් වීර ක්‍රියා සිදුකර නැති බවද තහවුරුය. මාධ්‍ය පොලිසියේ වුවමනාවට මවන චරිත අවසානයේ මාධ්‍යයටද අමතකය. දැන් මධුෂ්ට වඩා අමල් ගැන කතා කරන්නේ එබැවිනි. හෙට සිට කතා කිරීමට අලුත් මැරයකු ඕනෑකර තිබේ. එයද මාධ්‍ය ඉක්මනින්ම හදාදෙනු ඇත. ජනතාවට ඇත්තේ එතෙක් ඉවසන්නටය. දේශපාලකයන් තරමටම මාධ්‍යයද වෙට්ට පිත්තලය. දේශපාලනිකය.