ව්‍යවස්ථාදායක සභාව හා ජනපති ගැටුම උග්‍ර වෙයි

කෝසල කුරුවිට බණ්ඩාර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ) යන සාමාන්‍ය විධිවිධානය සමග 109 වගන්තියේ එන විශේෂ ප්‍රතිපාදනය සලකා බැලීමේදී, අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපතිවරයා ලෙස ජනපති යම් අයකු පත් කිරීම ව්‍යවස්ථා විරෝධි බව, නීති විශාරදයෙක් රාවයට පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ 41 (ඇ) වගන්තියේ සාමාන්‍ය ප්‍රතිපාදනය අනුව ව්‍යවස්ථාදායකයේ අනුමැතිය නොමැතිව අභියාචනාධිකරණයට වැඩ බලන සභාපතිවරයකු පත් කළ හැක්කේ දින 14ක් සඳහා පමණක් බවය. දින 14කට වැඩි කාලයක් වැඩ බැලීම සඳහා පත් කරන්නේ නම් අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාගත යුතු බවද ඔහු කීය.

එහෙත් ව්‍යවස්ථාවේ 109 වන වගන්තියේ විශේෂ ප්‍රතිපාදන අනුව හිස්ව තිබෙන ධුරයකට වැඩ බැලීම සඳහා අයකු පත් කළ නොහැකි බව පැවසූ ඔහු, රෝගාතුර වීම නිසා හෝ රටින් බැහැරව සිටීම නිසා හෝ පමණක් අග්‍ර විනිශ්චයකාර ධුරයට හා අභියාචනාධිකරණ සභාපති ධුරයට, වැඩ බලන අයකු පත් කළ හැකි බවද සඳහන් කළේය.

දීපාලි විජේසුන්දර මහත්මිය, අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපතිනිය ලෙස දින 14ක් සඳහා ජනාධිපතිවරයා විසින් පළමුව පත් කරනු ලැබුවේද හිස්ව තිබෙන තනතුරක් සඳහා වන අතර එම කාලය අවසන් වීමෙන් පසු එය තවත් දිගු කරන්නේ නැතිව දින 14 අවසන් වී දින කිහිපයක් ගත වන්නට හැර තවත් දින 14කට වැඩ බැලීම සඳහා පත් කළේය. එම දෙවන පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාගත යුතු වුවත් එවැන්නක් සිදු කළේ නැත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී බදාදා (06) පැවසුවේ තමා නිර්දේශ කරන නම් අනුමත නොකිරීමට හේතු දැක්වීමක් ව්‍යවස්ථාදායක සභාව විසින් සිදුකර නොමැති බවය. බ්‍රහස්පතින්දා (07) පස්වරුවේ ද ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව තිබිණි. ■