දියුණු කතා කලාවක පදනම බහු සංස්කෘතියකට විවර වීමයි මහාචාර්ය ලියනගේ අමරකීර්ති

සංවාදය – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ පස්වන විචාර-න්‍යාය ග්‍රන්ථය වන “කෙටිකතා කලාව න්‍යායික සහ තුලනාත්මක අධ්‍යනයක්” ලෝක කෙටිකතාව සහ විචාර න්‍යායන් ලාංකික ප්‍රකරණයන් තුළට ගෙන සිදුකරන අපූර්ව න්‍යායාත්මක සහ තුලනාත්මක ඇගයුමක්.

ඉනිදු නොනැවතී මෙය ස්වාධීන පර්යේෂණ කෘතියක මුහුණුවරද ගන්නේ මෙතෙක් සිංහලෙන් පළවූ කෙටිකතා විචාර ග්‍රන්ථයන් සියල්ල ගෙන සිදුකරනු ලබන සිංහල සාහිත්‍යය ක්ෂේ්‍රත්‍රයේ මෙතෙක් සිදු නොවුණ ආකාරයේ සෑහෙන තරම් ප්‍රාමාණික පර්යේෂණයක් මෙහි මුල් පරිච්ජේදය ලෙස සංගෘහිතව තිබීම නිසා.

සිංහල කෙටිකතාවත්, කෙටිකතා විචාරයත්, ලතින් ඇමරිකානු කෙටිකතාව ඇතුලු විදෙස් කෙටිකතාවත් සමාජ පසුබිම ආදියත් පිළිබඳව මහාචාර්ය ලියනගේ අමරකීර්ති සමග කරන මේ සංවාදය “කෙටිකතා කලාව න්‍යායික සහ තුලනාත්මක අධ්‍යනයක්” කෘතිය පාදක කරගත්තකි.

කෙටිකතා න්‍යායන්හි විතරක් නෙමෙයි පොදුවේ ගත්තාම සෑම කලා න්‍යායකම අසම්පූර්ණ ලක්ෂණ දක්නට ලැබෙනවා. සිංහල විචාර න්‍යායන් නවීකරණය නොවී මේ අයුරින් පවතින්නේ ඇයි?

කාරණය තමයි කලින් පරම්පරාව ප්‍රශ්න කරන්න අපි සූදානම් නැති එක. ඇමරිකා එක්සත් ජනපදය වගේ රටක නම් පශ්චාත් උපාධි කරනකොට කලින් දේවල් කිව්වේ මහාචාර්යවරු ද කවුද කියලා බලන්න නැතිව පරීක්ෂා කරනවා. ඒ අයට මගඇරුණේ මොනවද යනාදී කරුණු. එහෙම කළා කියලා ඒ අය කළ දේවල්වල ගෞරවය නැති වෙන්නෙ නෑ.

නමුත් අපේ රටේ කෙටිකතාව සම්බන්ධයෙන් අවුරුදු පනහක් විතර කැරකිලා තියෙන්නෙ ඉතාමත් සරල අදහස් දෙක තුනක් විතර. මං දැක්කා මහාචාර්ය ඒ වී සුරවීර යම් පොතකින් එතුමා කැමති විදිහට සරල කරලා ඉතාම ආංශික විදිහට අරං පාවිච්චි කළ සංකල්පයක් ඉදිරියට ඇවිත් තියෙන හැටි. ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහ ගත් ඒවත් එහෙමයි.

මේ වගේ අදහස් ප්‍රශ්න නොකර පරම්පරා ගණනාවක් පාවිච්චි කළ එකට එක හේතුවක් තමයි දේශන අහගෙන ඉඳලා ඒවාම උත්තරවලට ලියන සම්ප්‍රදායක් අපිට තියෙන එක. ඔබ කිවුවා වගේ මේ ගැටලුව සාහිත්‍ය ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි අනික් ක්ෂේත්‍රවලත් ඇති.

උදාහරණයක් විදිහට සිංහල සාහිත්‍යයේ ජනප්‍රිය කියමනක් තියෙනවානෙ රොබට් ෆ්‍රොස්ට්ගෙන් ගත්ත. ඒ කවිය ආනන්දයෙන් ආරම්භ වෙලා ප්‍රඥාවෙන් අවසන් වෙනවා කියන එක. අද වන විට ඒක කිව්වේ රොබට් ෆ්‍රොස්ට් කියන එක පවා හැමෝටම අමතකයි. ඒ විතරක් නෙමෙයි රොබට් ෆ්‍රොස්ට් ඕක කිව්වේ අපි අරං තියෙනවට වඩා තරමක් ගැඹුරු අදහසකින්. රොබට් ෆ්‍රොස්ට්ගෙ ඒ කියමන ලස්සනයි තමයි. නමුත් ඒ වගේම ලස්සන තව කියමන් ඕන තරම් තියෙනවා වෙනත් කවියෝ කියපු. ෆ්‍රොස්ට් ම කියපු තව ගැඹුරු අදහසුත් තියෙනවා.

අනික් කාරණය තමයි ඉංගීසි භාෂාවෙන් න්‍යායාත්මක කෘති කියවන අය අඩු වීම. එහෙම වුණාම එක්කෙනෙක් ඒවායෙන් අරං අති සරල කරලා සිංහලෙන් කියපු දෙයක් අනික් අය අරගෙන නැවත නැවත කියනවා. මේවා මුලින්ම හඳුන්වා දුන් අය සමහරවිට හිතන්න නැතිව ඇති තමන් සිංහලට ගෙනාපු දේවල් ඊට පස්සෙ පරම්පරාව දශක ගණනක් ගිරව් විදිහට කියයි කියලා. මේ දේ වෙන්නේ සහතිකපත්‍ර අධ්‍යාපනය නිසා වෙන්න ඇති. සුරවීර කියු එක විශ්වවිද්‍යාල හැම එකේම වගේ දේශනවලදී නැවත නැවත කියනවා. බාහිර උපාධි පන්තිවල නැවත නැවත කියනවා. උසස්පෙළ ටියුෂන් පංතිවල කියන්නෙත් ඒ ටික. උසස්පෙළ පාඨග්‍රන්ඨවල තියෙන්නෙත් ඒ අදහස්මයි.

මේ විද්වත්තු බහුතරය ඒ අදහස් ලියලා අවුරුදු ගණනාවක් ගියාමත් ඒ මුල් කෘතිවල තිබුණු අදහස් වෙනස් කරගෙන වඩා නවීන අදහස් සහිත කෘති ලියන්නෙ නෑ. ඒනිසා ඉදිරියේදී තමන්ගේ අදහස් ගිරව් වගේ සමාජය භාවිත කරයි කියලා හිතන්නෙ නැතිව මේ මේ විද්වත්තු පොත් ලිව්වා කියලා කියන්න බෑ?

ඒක ඇත්ත. මං ඒ ගැන පොතේ කියලත් තියෙනවා. උදාහරණයක් විදිහට බවතිමිර ප්‍රස්ථාවනාවේ සුරවීර කියපු දේවල් පස්සෙ කවදාවත් ඊට වඩා සංකී්ර්ණ කරලා නෑ. විස්තාරණය කරලත් නෑ. ඒක ශ්‍රාස්ත්‍රීය වශයෙන් නරක වැඩක්.

මේ කාරණයේදී මගේ වැඩිම අවධානය යොමු වුණේ රංජිත් ධර්මකීර්ති. මොකද ඔහු තමයි කෙටිකතා කලාව ගැන මේ අය අතරින් මෑතම පොත ලියන්නේ. ඉතිං ඔහුට විශාල වගකීමක් තිබ්බා නවීන අදහස් සහිත විචාරශීලී කෘතියක් කරන්න. නමුත් ඔහු අනික් අයටත් වඩා ආංශිකයි. උදාහරණයක් වශයෙන් සුරවීර අඩුතරමින් පිළිගන්නවා කෙටිකතාවේ ධාරා දෙකක් තියෙනවා කියලවත්. ඊට අවුරුදු තිහකට විතර පස්සේ ලියන රංජිත් ධර්මකීර්ති සුරවීරටත් වඩා ආංශිකයි.

කෙටිකතා කලා න්‍යාය මේ විදිහට පල් වෙද්දි අපේ කෙටිකතා ඒ අනුව සීමා සහිත වුණාද? නැත්තම් අපේ නිර්මාණශීලී ලේඛකයෝ ඒ සීමාවන් කඩාගෙන ගියාද?

ඇරිස්ටෝටල්ගේ කාලයේ ඉඳන් වර්තමානය දක්වා විචාර න්‍යායන්ගේ තියෙන වැදගත් ම අවබෝධයක් තමයි න්‍යාය නෙමෙයි කලා කෘතියයි ප්‍රාථමික කියන එක. කෘතිය බිහිවුණාමනෙ න්‍යාය ගොඩනැගෙන්නෙ. විචාරය ආවට පස්සෙ ඒකට කලා කෘතියක් නිර්මාණය කරන්නෙ නෑනෙ. ඇරිස්ටෝටල් ඒ කාලෙ තිබුණු ශෝකාන්ත නාට්‍ය අරගෙන තමයි න්‍යාය හදන්නෙ. ලංකාවෙත් කරන්න තිබ්බේ කෙටිකතාකරුවා මොනවද කරන්නේ කියලා බලලා ඒ ගැන න්‍යායික ඇගයුමක් කිරීම. කලිනුත් කිව්වා වගේ අන්තිමට ම කෙටිකතා කලාව ගැන පොතක් ලිවුව රංජිත් ධර්මකීර්ති තමන්ගේ පොත ලියන්නෙ සයිමන් නවගත්තේගම, අජිත් තිලකසේන, ටෙනිසන් පෙරේරා, නිශ්ශංක විජේමාන්න වගේ විශාල කෙටිකතාකරුවන් ප්‍රමාණයක් අතඇරලා.

ඒ. වී සුරවීර විසින් ඉදිරිපත් කරලා කුලතිලක කුමාරසිංහ විසින් අති සරල කළ ‘ඒකීය ධාරණාව‘ කියන සංකල්පයේ අපේ ලේඛකයෝ සීමා වුණේ නෑ. ඒක වාසනාවක්. අනූව දශකයෙන් පස්සේ අර කියූ ලේඛකයින්ට අමතරව කේ.කේ සමන් කුමාර, නිශ්ශංක විජේමාන්න, එරික් ඉලයප්ආරච්චි, පියල් කාරියවසම්, ප්‍රභාත් ජයසිංහ වගේ විශාල කෙටිකතාකරුවෝ පිරිසක් බිහිවුණා අර කියූ අච්චුවෙන් පිටපැන්න. ඒකයි රංජිත් ධර්මකීර්තිගේ පොත වගේ න්‍යාය පොත් නූතන ලාංකීය කෙටිකතාවත් එක්ක ගැලපෙන්නෙ නැත්තෙ. ඒ විතරක් නෙමෙයි ඉතාම ද්වේශසහගත කියමන් තියෙනවා ඔහුගේ පොතේ. මේ අය තවමත් ජනතාවාදී සාහිත්‍ය අච්චුවේ හිරවෙලා ඉන්න ඉතාම සීමාසහිත චින්තකයෝ වීම සමහර වෙලාවට මේ විදිහේ විචාර ලියන්න මූලික හේතුවක් වෙන්ඩත් ඇති. ඒ වගේ අයට නූතන සාහිත්‍ය, කෙටිකතාව වගේ දේවල් අහුවෙන්නෙ නෑ. ඒක පුදුමයක් නෙමෙයි. වැඬේ තියෙන්නෙ යම් කලාවක් ගැන ශාස්ත්‍රීය පොතක් ලියද්දි යම් විවෘත කමක් තියෙන්න ඕන. ලෝකෙ අලුත් කෙටිකතා කොහොමද ලංකාවෙ කොහොමද, මගේ අච්චුවෙන් කෙටිකතා කලාවේ තියෙන ප්‍රතිභා ශක්තිය හරියට අල්ලගන්න පුලුවන් ද කියලා කල්පනා කරන්න ඕන. ඒ අතින් බලද්දි ජී.බී සේනානායක, මාර්ටින් වික්‍රමසිංහ වගේ අය මේ අයට වඩා සෑහෙන ඉස්සරහින් හිටියා. ඒකට හේතුව ඒ අය ඒ යුගයේ පැවති ලෝක සාහිත්‍ය ගැන අවංකව ම දැනගෙන හිටි අය වීම.

ඔබ මේ කෘතියේදී හුලියෝ කොර්තසර්, ඔර්හේ ලුවී බෝර්හේස් වගේ අපූර්ව ආර්ජන්ටිනානු ලේඛකයින් හඳුන්වා දෙමින් ඔවුන්ගේ නිර්මාණ තුලනාත්මකව අධ්‍යයනය කරනවා. අපේ රටේ කෙටිකතාව සහ න්‍යාය මේ විදිහට තියෙද්දී ආර්ජන්ටිනාව ඇතුලු පශ්චාත් යටත්විජිත ලතින් ඇමරිකානු රටවල් මේ විදිහට කලාත්මක සහ න්‍යායාත්මක අවබෝධයෙන් පොහොසත් වුනේ කොහොමද?

ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක් වගේම ලෝකයේ බොහෝ අය ඒ පිළිබඳව කතා කරලත් තියෙනවා. මෙතනදි අපි බලන්න ඕනා අපේ රට ඒ කියූ රටවල් වගේම යටත්විජිත වුණාට ඒ යටත්විජිත ස්වරූපයන් එක වගේද කියලා.

ඇත්තටම ආර්ජන්ටිනාවේ සහ ලතින් ඇමරිකානු රටවල යටත්විජිත සහ පශ්චාත් යටත්විජිත තත්ත්වයන් අපිට වඩා සෑහෙන වෙනස්. අපේ වගේ නෙමෙයි පශ්චාත් යටත්විජිත තත්වයේදී ඒ රටවල මිනිස්සුන්ගෙ ද්විභාෂිකත්වය සහ බහු භාෂිකත්වය අතඇරුණේ නෑ. ඒ රටවල සංස්කෘතික ලෝකය අත්‍යන්තයෙන් ම බහු සංස්කෘතිකයි. ඒ වගේම ඒ රටවල අයට ඇමරිකානු මහාද්වීපයට යටත්විජිතවාදීන් එන්න කලින් තිබ්බ, මායා, ඇස්ටෙක් සහ ඉන්කා කියන ශිෂ්ටාචාර තුනේ ම තිබුණු ජන කතා සහ ජනප්‍රවාද වගේ දේවල පෝෂණය ලැබුණා. ඒ වගේම යටත්විජිතවාදීන් ආවට පස්සෙ යුරෝපීය නූතන සාහිත්‍යයේ ආභාෂයත් ඒ අය උකහාගත්තා. ඒ බව ගාර්සියා මාර්කේස්ටත් වඩා ගෝතමාලානු ලේඛක අස්තුරියාස් (Miguel Ángel Asturias) වගේ අයගේ නිර්මාණ දිහා බලද්දි පේනවා. ඔහුගේ නවකතා ගත්තොත් ඒවා යුරෝපීය නවකතා වගේම ලතින් ඇමරිකානු ජනකතාවල එකතුවක්.

දල වශයෙන් ගත්තාම ලතින් ඇමරිකානු රටක ජනගහණය කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ තමයි සම්පූර්ණයෙන් ස්වදේශික ජනගහණය. අනික් අය තමයි යුරෝපානු රටවලින් ඇවිත් ඇමරිකානු මහද්වීපයේ ජීවත්වෙන්න තීරණය කළ යුරෝපියන් අය. ඒ වගේම යුරෝපීයන්ගේ සහ ස්වදේශිකයින්ගේ මිශ්‍රවීමෙන් හැදුනු කොටස. අනික් වැදගත් කාරණය තමයි මේ රටවල මේ කොටස් තුනම සමාන ප්‍රතිශතවලින් වගේ ඉන්නවා ඉන්නවා. මේ අය අතරින් යුරෝපීය අයයි යුරෝපීය සහ ස්වදේශික මිශ්‍රත්වයෙන් බිහිවුණු ජන කොටසයි ස්වභාවිකවම වගේ භාෂා දෙක තුනක් දන්න අය. ඒ අය බොහෝවිට උගත්. ඒ වගේම ඒ අය පසුබිමින් ම විද්වතුන්.

එහෙත් අපේ රටේ ඒ විදිහේ ජන සංයුතියක් නෑනෙ. අපේ රටේ ඉන්න බර්ගර් ජනගහණය ගන්නකො.ඒ අය කන බොන සතුටින් ජීවත්වන ජනගහණයක් වුණත් ඒ අය ඉන්ටලෙක්චුඅල්ස්ලා විදිහට අපිට පේන්නෙ නෑනේ. එහෙම අය ඉන්නවානම් ඉන්නේ මයිකල් රොබට් වගේ කීපදෙනෙක් විතරයි. අනික අපේ රටේ මේ ජන සංයුතියේ ප්‍රතිශතය ඉතාම කුඩායි. ඒ නිසා ඒ අයට සුවිශේෂ සාහිත්යික ප්‍රකාශනයක් සිංහල හෝ දෙමළ භාෂාවලින් ආවෙ නෑ. යම් භාෂාවකින් විවිධ ජනවාර්ගික සහ සංස්කෘතික පසුබිම්වලින් එන අය ලියනකොට ඒ භාෂාවෙ සාහිත්‍ය දියුණු වෙනවා. අද වැඩිවශයෙන් සිංහලෙන් ලියන්නෙ සිංහල බෞද්ධ අය විතරනෙ. වෙනත් පසුබිම්වල අයත් සිංහලෙන් ලියනකොට භාෂාවයි සාහිත්‍යයි විචිත්‍ර වෙනවා. ලතින් ඇමරිකාවෙ එහෙම නෙමේ. විවිධ පසුබිම්වල අය ස්පාඤ්ඤ භාෂාවෙන් ලියනවා. ඉංග්‍රීසියෙ ප්‍රකාශන ශක්තියයි සාහිත්‍යයත් වර්ධනය වෙලා තියෙන්නේ විවිධාකාර අය ඒ භාෂාවෙන් ලියන හින්දා.

අනික තමයි ලතින් ඇමරිකානුවන්ගෙන් බහුතරය යුරෝපයට සහ ඇමරිකාවට නිතර යන ගිහින් ඉගනගෙන බුද්ධිමය වෘත්තීන්වල ඉන්න අය. ගාර්සියා මාර්කේස් නිතර කියන කාරණයක් තමයි තමන්ගේ නිර්මාණවලට ඇමරිකානු සාහිත්‍යය තදින් බලපෑවා කියලා. විශේෂයෙන් හෙමිංවේ, හෙන්රි ජේම්ස්, විලියම් ෆෝක්නර් සහ එඞ්ගාර් ඇලන් පෝ වැනි අය බලපෑවා කියලා මාර්කේස් නිතර කියනවා.
තවත් හේතුවක් තමයි ඉතා සජීවී වමේ ව්‍යාපාරයක් ලතින් ඇමරිකාවෙ පැවතීම. ඒක බොහෝ විට වීදී සටන්, කැලෑ සටන්වල සිට බුද්ධිමය වාදවිවාද දක්වා ගිය වමේ කතිකාවක්. ඊට සමාන්තරව ඉතාම මර්දනීය මිලිටරි ආණ්ඩුත් හැම ලතින් ඇමරිකානු රටකම වගේ තිබුණා. ඒ නිසා ඇති වුණු පණ නැසෙන, වගේ පණ ගැහෙන දේශපාලන සජීවී බවක් නිසා සාහිත්‍යකාරයන්ගේ නිර්මාණවල අත්දැකීම් කලාපය පළල් වුණා. අපේ වගේ ගමක් ගැන සරල කතාවකට එහා ගිය සංකීර්ණ කතාවක් එයාලට කියන්න තිබුණා. වර්ගාස් යෝසා, ගාර්සියා මාර්කේස්, කාර්ලෝස් ෆුවෙන්තේස්, ඉසබෙල් අය්යන්දේ, ඔර්හේ අමාදෝ (බ්‍රසීලයේ) යනාදී මේ කවුරුත් අර මර්දනීය පාලකයන්ගෙ යුග ගැන ගැඹුරු පොත් ලියලා තියෙනවා.

පූර්ණකාලීන ලේඛකයින් බිහිවීම කියන කාරණය මේකට තවත් සාධකයක් නේද?

ඔව්. මේ රටවල් බොහෝමයක් ස්පාඤ්ඤ යටත් විජිතනෙ. ඔවුන් ස්පාඤ්ඤ යටත්විජිතයෙන් මිදුණට පස්සෙත් ස්පාඤ්ඤ සමග සම්බන්ධකම් තියාගත්තා. බ්‍රසීලය වගේ රටක් හැරෙන්න අනික් හැම රටකම වගේ භාවිත වෙන්නේ ස්පාඤ්ඤ භාෂාව. ඒ නිසා ඒ රටවල සාහිත්‍යයට විශාල වෙළඳපොළක් තියෙනවා. උදාහරණයක් විදිහට ගාර්සියා මාර්කේස්ගේ නවකතාවක් පළවුණාම අඩු තරමින් රටවල් එකොළහක විකුණන්න පුළුවන්. ඉතිං සාර්ථක වුණු ලේඛකයෙක්ට ස්පාඤ්ඤ භාෂාවෙන් ලියලා විතරක් වුණත් විශාල ආදායමක් ලබාගන්න පුළුවන්. මේ කාරණය නිසා ලේඛන කලාව වෙනුවෙන් ම කැපවුණ අත්හදාබැලීම් කළ සැබෑ වෘත්තීය ලේඛකයින් බිහිවුණා. ඒ වගේම මේ ලේඛකයින් ජාත්‍යන්තර භාෂාවක් වුණ ස්පාඤ්ඤ භාෂාව පාවිච්චි කළ නිසා අනික් රටවල් වල විශ්වවිද්‍යාලවලින් ආරාධිත මහාචාර්ය තනතුරු ලැබුණා. මං මේ පොතේ පෙන්නල දීල තියෙන කොර්තසර් ඇමරිකාවෙ විශ්වවිද්‍යාලයක ආරාධිත මහාචාර්යවරයෙක් විදියට ස්පාඤ්ඤ බසින් උගන්නන්නේ. ඒ වගේ මාස හතරක් වැඩ කළාම අවුරුද්දම පූර්ණ කාලීනව ලියන්න මුදල් හොයාගන්න පුළුවන්. ඒ නිසා ඒ ලේඛකයින්ට තවත් නිදහසේ ලියන්න අවශ්‍ය ආර්ථික පසුබිම සැකසෙනවා. අනිත් පැත්තෙන් විශ්වවිද්‍යාලවල ඒ වගේ සුප්‍රකට ලේඛකයින් ඉගැන්වීම නිසා සාහිත්‍ය ගැන නව පරම්පරාවන්ට අභිප්‍රේරණය ලැබෙනවා.