වතුරට වැටුණු පසු නා ගැනීම

ඒ. වික්‍රමසූරිය

ඕනෑම ක්‍රීඩාවක් ඉබේ සංවර්ධනය වන්නේ නැත. ඊට මනා දැක්මක් සහිත පරිපාලනයක් අවැසිය. දැන් ක්‍රීඩාව තුළ නැත්තේ ඒ දේය. ඒ ඒ ක්‍රීඩාව ඉදිරියට ගෙන යන සංගම්හි අද ඇත්තේ නිකමුන්ය. අද ඒ බොහොමයක අය කරනුයේ ක්‍රීඩාවේ සංවර්ධනය, අභිවෘද්ධිය වෙනුවට තම තමන් ගොඩනැගීමය. මේ සංගම්වලට රිංගන බොහෝ දෙනකුට රැකියාවක් නැත. ජීවත් වන්නට ආදායමක් නැත. ඒ අයගේ ජීවනෝපාය හැදෙනුයේ සංගම්වල පිහිටෙනි. ඔවුහු සංගමයට ලැබෙන මුදල් තම සුඛ විහරණයට යොදා ගනිති. ළමුන්ගේ මාර්ගයෙන් රට සවාරි යති. ක්‍රීඩකයන්ට දෙන සහතිකයේ සිට පදක්කමෙන් පවා ගසා කති. ඇත්ත එයය. අද සංගම්වල ප්‍රධාන තනතුරු දරන බොහෝ අයගේ ඉතිහාසය බැලුවහොත් ඒ අය ජීවත් වී ඇත්තේම මේ සංගම් නිසාය. ඒ අය සංගම් අතනොහරින්නේද ඒ නිසාය. මේ තත්ත්වයන් වෙනස් නොකරන තාක් ක්‍රීඩාව එකතැනමය.

මීට දශකයකට ඉහත ක්‍රීඩා සංගම්වල සිටියේ ධන කුවේරයන්ය. ඔවුන්ට ක්‍රීඩාවෙන් ගන්න තිබුණේ ඒවායේ නියැලෙන අභිමානය සහ බැබලීමය. ඒ නිසා ඔවුහු තම අතින් වියදම් කොට ක්‍රීඩාව එසවූහ. එහෙත් කාලයත් සමග ඒ අය මේ ක්‍රීඩාවන්වලින් ඈත්වූ අතර ඉන්පසු ඒ තැන්වලට රිංගුවේ හරිහමන් රැකියාවක්වත් නැති වුන්ය. ක්‍රීඩාවට ඒ අයගේ බිස්නස් එක්වූ අතර පිටරටින් එන මුදල් තම පසුම්බිවලට දාගත්හ. මෙරටින් උපැයිය හැකි උපරිමයද තම වියදමට ගත්හ. ඒ නිසා හරි අධ්‍යයනයක් කරන්නේ නම් පසුගිය කාලය තුළ ක්‍රීඩාව සහ ක්‍රීඩකයා බංකොළොත් වුවද සංගම් ප්‍රධානීන් හොඳින් දිවි ගෙවන අයුරු දැකගත හැකිය. ක්‍රීඩාවට පින්සිදුවන්නට ඔවුන් මහා චරිත වී සිටින හැටි දැකගත හැකිය. අභාග්‍ය නම් ඒවා මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ ඇස නොගැටීමය. කොතෙක් ලියා පෙන්වා දුන්නද ඒවාට ඇහුම්කන්දී ඒ කියනුයේ ඇත්තද නැත්තද යන්න නිසි අධ්‍යයනයක් කොට ඊට පිළියම් යොදන ක්‍රියාකාරී ඇමතිවරුන් නොමැති විය. ආ ගිය ඇමතිවරු ඊට වඩා පිස්සු නැටූහ. රට සවාරි ගියහ. ඒ වළටම වැටුණේය. සංගම් පිරිස් සමග එක්වී ක්‍රීඩාව විනාශ කළෝය.

පසුගිය කාලය තුළ අප එක දිගටම පිහිනුම් ගැන ලියා ඇත. ඒ එක් ක්‍රීඩාවක් පමණි. එහෙත් ඒ එක වුවද අද බේරා ගැනීම ලේසි නැත. ඊට අවැසි කිමිදුම්කරුවන් ක්‍රීඩා අමාත්‍යාංශයේ නැත. පිහිනුම් ක්‍රීඩාවේ නියැලී ඇති නිසා වත්මන් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු ජලයට පනිතැයි කියා සිතුවද තාම එය නොදුටුවේය.

පිහිනුම් සංගමයේ මෑත කාලයේ බලය හෙබවූයේ මහින්ද ලියනගේය. ඔහු මෙරට සිටින ප්‍රධාන පුහුණුකරුවෙකි. පුහුණුකරුවකුට සංගමයක ඉහළ තනතුරු දැරිය නොහැකි බව ක්‍රීඩා පනතේ පැහැදිලිව සඳහන්ය. ක්‍රීඩා පනත ක්‍රියාත්මක කිරීමට ඇති කර ඇති ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකිවයුත්තන් මෙය නොදනීද? එහෙත් නොදන්නා ගාණට සිටියහ. මහින්දද සභාපති, ලේකම් හිස් වූ තැන තමාට හිමිවූ සභාපතිකම පාඩුවේ කරගෙන සිටියේය. මේ වරද ඔහු කරද්දී ඊට අනුබල දුන්නේ එවකට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකරය. ඔහුට එකෙන්ම මෙය නිවැරදි කළ හැකිව තිබුණි. එහෙත් එය නොකළේ ඔහුට ක්‍රීඩාවට වඩා ඔහුගේ කැපී පෙනීම අදාළ වූ නිසාය. දැන් ඒ යටගියාව නැවත නැවත කීම වැඩක් නැතත්, අදටත් පිහිනුම් නන්නත්තාර වී ඇත්තේ ඒ නිසා යැයි නොකියාම බැරිය. මෙය මේ තරම් විනාශ වූයේ මහින්ද නිසා නොව එහෙත් අද අවුල් වී ඇත්තේ ඒ නිසාය.

හැමදේම කුරුවල් වන්නට දී පිළිතුරු හොයන අමාත්‍යාංශ බලධාරීන් පිහිනුම් අතුරු කමිටුවක් පත් කරන විට කල් ඉකුත් වී බොහෝ කල්ය. මහින්දලාද එය අතහරින්නට බැරි තරමට ඊට ඇලීය. ගැලීය. වේලීය.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පත් කරන මේ අතුරු කමිටුව හැකි පමණින් තම වැඩ ටික කරගෙන යන අතර බැංගලෝරයේදී ආරම්භවීමට නියමිත දකුණු ආසියා පිහිනුම් හා ජල ක්‍රීඩා තරගාවලියට යවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද තෝරා ගනිමින් සිටියහ. එලෙස තෝරාගත් පිරිස 111කි. එම තරගාවලිය සඳහා සහභාගි වන එක් ක්‍රීඩකයකු තම සහභාගිත්වය වෙනුවෙන් රු. 45,000ක මුදලක් ගෙවිය යුතු විය. ඒ ගුවන් ප්‍රවේශයක් සඳහාය. ක්‍රීඩා උපකරණ සහ අනෙකුත් සියලු පහසුකම්ද පෞද්ගලිකව එකිනෙකා සපයාගෙන ඇත. එවන් වටපිටාවක මෙම තරගාවලියට යෑම තහනම්වීම කෙබඳු අභාග්‍යයක්ද? මෙලෙස තාවකාලිකව තහනමට ලක්වන්නේ අතුරු කමිටුවක් පත්කර ඇති නිසාය. අතුරු කමිටුවක් පත් කරන්නේ නම් ඒ බව ජාත්‍යන්තර සංගම් දැනුවත් කළ යුතුය. දැනුවත් කිරීමෙන් නොනැවතී ඒ කෙටි කාලය තුළ මෙරට පිහිනුම් ක්‍රීඩාවේ බලධාරීන් ඔවුන් බව වගවී ජාත්‍යන්තරය සමග වැඩ කරන හැකියාව ලබාගත යුතුයි. මේ කිසිවක් සිදුවී නැත. ලංකාවේ අතුරු කමිටුව වැඩ කරද්දී ජාත්‍යන්තර සංගමය දන්නේ හිටපු සංගමය ගැනය. ඒ ඔවුන් සමග සම්බන්ධකම් ඇත්තේ ඔවුන්ට නිසාය. බැලූ බැල්මට මේ තහනමෙහි වරද භාරගත යුත්තේ අතුරු කමිටුවය. ක්‍රීඩා බලධාරීන්ය. විශේෂයෝමය. එහෙත් දැන් ඇසෙනුයේ ඊට වෙනස් කතාවකි. එනම් හිටපු බලධාරීන් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන මුරපදය ලබා නොදෙන බවය. මෙය කාලෙන් කාලයට ඇතිවන පැනයකි. නීත්‍යනුකූලව පත්වන අයට වුව හිටපු ප්‍රධානීන් මේ මුරපදය ලබා නොදේ. මේ තරම් හිරිකිතකමක් ඇයි? මේ අයට බරපතළ දඬුවම් දිය යුතුය. සංගමය පළාතේ නැවත නොඑන තැනට තහනම් කළ යුතුය. හරි හෝ වැරදි තමන් ඉවත් කළේ නම් රට බිලිදිය යුතු නොවේ. මේ මුර පද නොදීම හරහා පහර වැදුණේ අතුරු කමිටුවට නොව ක්‍රීඩකයන්ටය. මේ රිද්දනුයේ ක්‍රීඩා බලධාරීන්ට නොව ක්‍රීඩාවටය. ක්‍රීඩකයන්ටය.

අද පිහිනුම් ක්‍රීඩාව පිහිනුම් පුහුණුකරුවන්ගේ බූදලයක් වී ඇත. එක පැත්තකින් ජූලියන් සහ මානවඩු ආධිපත්‍යය දරන අතර අනෙක් පැත්තෙන් මහින්ද සහ මනෝජ් කෙරුමන් වී සිටිති. මේ දෙගොල්ලෝ ක්‍රීඩාව හප කරමින් සිටිති. පරිපාලනය මෙහෙයවනුයේ මොවුන්ය. අද අතුරු කමිටුව මෙහෙයවනුයේ ජූලියන්ගේ පිලය.
මේ පුහුණුකරුවන් මහ දැවැන්තයන් වී ඇත්තේ පිහිනන ළමුන් නිසාය. ඔවුන්ගේ මුදලින් නඩත්තු වන පුහුණුකරුවන් මීට වඩා ක්‍රීඩාවට වගකිවයුතු වේ. ඒ අනුව පුහුණුකරුවා ඉහළ තනතුරක් බව පැහැදිලිය. එහෙත් පිහිනුම් තුළ එය මුදලාලිකරණය වී ඇත.

ලංකාවේ පිහිනුම් පුහුණුකරුවන් සැබැවින්ම නියම සුදුස්සෝද යන ගැටලුවක් පවතී. මෙරට පුහුණුකරුවන් ලෙස බඳවා ගැනීමට ASCA (American Swimming Coaches Association)  අදියර විභාගයන් සමත් විය යුතු අතර පාසල්වලට බඳවා ගැනීමේදී ඒ නිසා ප්‍රමිතීන් සොයනවාද යන්නත් ගැටලුවකි. ජූලියන් වසර ගණනාවක පුහුණුකරුවෙකි. අද ඔහු යටතේ ඇති සංගම් ගණන විශාලය. එහෙත් මෙරට පිහිනුම් ජයගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෝ. ඕනෑම ක්‍රීඩාවක එක් එක් මට්ටමෙන් වර්ධනය වන විට ඉන් එහාට රැගෙන යෑමට මුලට වඩා දක්ෂ පුහුණුකරුවන් සිටිය යුතුය. පිහිනුම්වල එවැන්නක් ඇත්තේම නැත. එය නිර්මාණය කළ යුත්තේ සංගමය සහ ක්‍රීඩා බලධාරීන්ය. පුහුණුකරුවන්ගේ සංගමය යනු මේ නම් සහිත අයගේම ගුබ්බෑයමකි. ජාතික මට්ටමේ අය ඉන් එහාට යන්නට නම් ඊට එහාට අවැසි දැනුමට වුවමනා පුහුණුකරුවන් අවශ්‍යය. ජූලියන් යටතේ ජාතික තලය දින්නේ නම් ඒ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ඉන් එහාට දිනන්නට ජූලියන්ගේ දැනුම මදිය. ඊට ජාත්‍යන්තර දැනුම වුවමනාය. එයට අවශ්‍ය වැඩපිළිවෙළවල් සකස් කළයුත්තේ සංගමයය. සංගමයට එවැන්නක් සිතියවත් නොහැකිය. කලක් පිහිනුම් සංගමය මගින් ලොව ඉහළම මට්ටමේ සිටින පුහුණුකරුවන් මෙරටට ගෙනවිත් පුහුණු සැසිවලට යොදවන ලදි. ඒවා කළ යුතුම වැඩය. එහෙත් එවැන්නකට විශාල වශයෙන් මුදල් වුවමනාය. ජාත්‍යන්තර සබඳතා අවැසිය. මේ කිසිවක් නැති තම බඩවියත රැක ගන්නට සංගමයට රිංගන අයගෙන් මෙවැනි දේ බලාපොරොත්තු විය හැකිද? මේ ක්‍රමය වෙනස් කළ යුත්තේ එබැවිනි. එහෙත් එය වෙනස් නොවේ. ඡන්දයෙන් පත් වුවද පත්වන්නේද මේ හොරුමය.
කාලානුරූපව මිල ඉහළ දැම්මද ප්‍රතිඵල නැත. එතෙක් පිහිනුම් සංගමයේ ලියාපදිංචි ගාස්තුව වූ රු. 200 මේ වනවිට රු. 500 වී ඇති බවත් තිදෙනකුව සිටි කාර්ය මණ්ඩලය පස්දෙනකු වී ඇතිමුත් වැඩ නම් පරණ පරිදිමය.

ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා බලධාරීන් මේ ක්‍රීඩාවන් රැක ගැනීමට උපරිමය කළ යුතුය. එසේ නොවී මේවා අඩියක්වත් ඉදිරියට ගත නොහැකිය. නිලවරණ පවත්වා පුද්ගලයන් පත්වූ විට සියල්ල සිදුවන්නේ නැත. එයට හේතුව පත්වන්නේ නියම සුදුස්සන් නොවන නිසාය. මෙයට මේ ක්‍රම නිර්මාණය වන්නට ඉඩ හැරී ක්‍රීඩා බලධාරීන්ම වගකිව යුතුය. මේ තත්ත්වය ඇති කළ ඔවුන්ම මෙය නිවැරදි කළ යුතුය. එයට ක්‍රීඩා ඇමති පෙරමුණ ගත යුතුය.