එලිසබත්ගේ ඇස් දෙක

ඉදුනිල් උස්ගොඩ ආරච්චි

ඇය පත්තිනාදන් එලිසබත් (53)ය. ඇය අපට හමුවන්නේ මන්නාරම, අන්තෝනියාර්පුරම් ගම්මානයේදීය. ඇය ධීවර රැකියාවට ආගන්තුක නොවන්නේ වයස අවුරුදු පහළොවක තරම් වූ වියේ සිට ඒ හා බැදී ජීවත් වූ නිසා බව ඇය කියන්නීය. දැන් ඇය අන්තෝනියාර්පුරම් සමූපකාර ධීවර සංගමයේ සභාපතිනියයි. තවත් කාන්තාවන් කණ්ඩායමක්ද සමග ඇය නතරවූ තැනින් නැවතත් ධීවර වෘත්තියම අරඹා තිබුණි. මීට වසර ගණනකට පෙර එලෙස නතරව තිබුණේ ඔවුන්ගේ සුපුරුදු රැකියාව පමණක් නොවේ. අන්තෝනියාර්පුරම්හි වැසියන්ට තමන්ගේ උන්හිටි තැන් පමණක් නොව තම පවුලේ අයද නෑදෑ හිතමිතුරන් ද අහිමි කළ අදුරු මතකයන්ගෙන් පිරි අතීතයක් තිබිණ.

“යුද්ධය ගැන නැවත මතක් කරන්නත් අමාරුයි. ඒ තරමටම ඒ මතකය තවමත් දරාගන්න අමාරුයි. ඒත් මම ඒ ගැන එක් කතාවක් කියන්න කැමතියි.” එලිසබත් එලෙස තම මතකයෙන් අහුලාගත් කතාවක් අප හමුවේ තැබීමට අන්තෝනියාර්පුරම්හි දෙව්මැදුර ඉදිරිපිට වැලිතලාවේ හිද ගත්තාය.

අවතැන්වීම

“මගේ දරුවෝ හයදෙනාම ගැහැනු ළමයි. ඒ කාලය වෙද්දී එක දුවෙක් විවාහවෙලා හිටියා. යුද්ධය නිසා අපි හැමෝටම ගෙවල් දොරවල් අතහැරලා තැන තැන යන්න සිදුවුණා. ඒක ගැහැනු ළමයිගේ ආරක්ෂාවට සුදුසු නැහැ කියලා හැමෝම අපට කීවා. ඒත් වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. ජීවිත බේරා ගන්න හැමෝම ගෙවල් අතහැරලා තැන් තැන්වලට යමින්, බංකර් තුළ හැංගෙමින් ජීවත් වුණා.” එලිසබත් තම සැමියාත්, දියණියන් හයදෙනාත්, බෑණාත් තවත් ගම්වාසීන්ද සමග ගම්බිම් අත්හැරදමා යාමට සිදුවූ ඒ ගමන ගැන මතකය අලුත් කළාය. ඒ වන විට යුද්ධය ඉතා දරුණු අතට හැරෙමින් තිබිණ. සියල්ල අත්හැර දමා යද්දී ජීවිතය පමණක්වත් ඉතිරිකර ගැනීමට හැකිවේදැයි යන විශ්වාසයද බිඳවැටෙමින් තිබූ අයුරු ඇය මතකයට නැඟුවයා. තම හිතවතුන් අතරමග මිය යද්දී ඉමක් නොදන්නා ගමනක යමින් සිටි අයුරු ඇය මතකයට නැගුවාය.

“එහෙම ඇවිදලා ඇවිදලා අවසානයේ අපි මුල්ලි වයික්කාල්වලට ගියා. ඒ යුද්ධය අවසාන වෙන්න කිට්ටු කාලය. එල්ටීටීඊ සංවිධානයෙන් අපිට කීවා බංකර් ඇතුළටම වෙලා ඉන්න, කොහේවත් යන්න එපා කියලා.” ඔවුන් සහ තවත් ඥාතීන් කිහිපදෙනෙකු බංකරය තුළ රදවා තම සැමියා බංකරයේ එළියේ ඔවුන්ගේ ආරක්ෂාවට සිටීමට තීරණය කළ අයුරු ඇය සිහි කරන්නීය. “ඒක දවල් වෙලාවක්. එහෙම ඉන්න අතරේ මහත්තයා කෑ ගහන ශබ්දය ඇහිලා අපි එළියට ආවා. ෂෙල් ප්‍රහාරයක් වැදිලා එයාගේ එක කකුළක් කැඩිලා අතත් තුවාලවෙලා. එහා පැත්තේ බංකරේ හිටිය අයත් ඇවිත් එයාව වෙල්ලාමුල්ලිවයික්කාල් රෝහලට ගෙනිච්චා.”

සැමියා සොයා

ඒ වන විට අහසින් වැසි වැටෙන ලෙස ෂෙල් කැබිලි වැටෙන්නට පටන්ගෙන තිබූ බවත් එළියේ ඇවිදීම අනාරක්ෂිත බැවින් සැමියා බැලීමට යෑමට අනෙක් අය තහංචි දැමූ බවත් එලිසබත් පැවසුවාය. එල්ටීටීඊ සංවිධානයෙන් ද එලෙස ඇවිදීම තහනම් කළ බැවින් වෙනත් මගකින් රෝහල වෙත පිවිසීමට ඇය තීරණය කර තිබිණ. “අනෙක් අය එපා කියද්දී මම එයාව බලන්න ගියා. රෝහලේ එළියේ ලොකු කාපට් එකක් බිම එළලා ඒකේ තුවාල වුණු ගොඩාක් අය දාලා තිබුණා. මැස්සෝ ඒ වැතිරිලා හිටිය මිනිස්සු වහගෙන තිබුණා. ඒක බලන්න අමාරු දර්ශනයක්. තුවාලත්, මහුණුත් වහගෙන මැස්සෝ පිරිලා හිටියා. මම ඒ කාපට් එකේ දාලා හිටිය මිනිස්සු අතරින් මගේ මහත්තයාව හෙව්වා.” අන්තෝනියාපුරම් අහසට ලියලා වැඩෙන තල්රුප්පාව මත එලිසබත්ගේ නෙත් නිසලව මොහොතක් නතරව තිබිණ. ඇය නැවතත් මතකයන් වචනවලට පෙරලුවාය.

“මම එයාව හොයා ගත්තා. තට්ටු කරලා කතා කළත් එයා නැගිට්ටේ නෑ. එයාගේ සිරුර ලේවලින් නෑවී තිබුණා. මට හොදටම ඇඬුණා.” හඬමින් සිටියදී තම ස්වාමියා අවදි වූ අයුරු ඇය තවමත් තෙතැති දෑසින් සිහි කරන්නීය. ඔහුගේ හැදුනුම්පතත්, දෙවියන් පිළිබද වූ පොත් පිංචකුත් ඔහුගේ කමීස සාක්කුවට දැමූ අයුරු ඇය සිහිපත් කළාය. වළල්ලක් විකුණා ලබාගත් රුපියල් දහස ද ඔහුට දීමට සැරසුණු විට එය වැළකූ අයුරු ඇය පැවසුවාය. “ඒ වෙලාවේ ඒ කිට්ටුව තිබුණු එල්ටීටීඊ සංවිධානයට අයත් ආහාර ගබඩාවක් මිනිස්සු කඩලා පිටි, සීනි, සැමන් වගේ දේ ගෙනිච්චා. මිනිස්සු ගබඩාව කඩලා බඩු ගෙනියන නිසා බඩු ටිකක් ගෙනියන්නද කියලා මම මහත්තයාගෙන් ඇහුවා. ඒවා ගන්න එපා, මට දුන්න රුපියල් දාහ ගෙනිහින් දරුවන්ට කෑම අරන් දෙන්න කියලා මහත්තයා කීවා.”

බිදවැටීම්

ඉන් දින හතරයකට පසු බංකර් තුළ හිරවී සිටි මිනිස්සුන්ට යුදහමුදාව සිටින දිශාවට යන ලෙස එල්ටීටීඊ සංවිධානය විසින් ඔවුන්ට පවසා තිබේ. එදිනම ඔවුන්ට තවත් පුවතක් ලැබෙන්නේ තම සැමියා සිටි රෝහලට ෂෙල් වැටීම නිසා එහි සිටි එකසිය පනහක් පමණ මියගොස් බව සදහන් කරමිනි. එහෙත් රෝහල වෙත යාමට මගක් නොවූ අයුරුත්, තමාත්, දරුවන් තිදෙනෙකුත්, බෑණාත් ඒ වන විටත් ෂෙල් කැබලි වැදී තුවාල ලබා සිටි අයුරුත් සිහලුදෙනා ඒ පුවත අසා හඩාවැළපුණු අයුරුත් එලිසබත් සිහි කළාය. ෂෙල් කැබලි වැටෙද්දී බංකර් තුළට යමින්ද නැවත ගමන් කරමින්ද ඔවුහු නන්දිකඩාල් වෙත ගොස් තිබිණ. පසුව නන්දිකඩාල් කලපුව හරහා යුදහමුදාව වෙත ගොස් තිබේ. එහි කදවුරක සිට නැවතත් ඔවුහු වවුනියාව කදවුරක් වෙත රැගෙන ගොස් තිබූ අතර තුවාල ලබා සිටි ඇගේ බෑණා එහිදී වවුනියාව රෝහලට ඇතුළත් කර තිබේ.

හමුවීම්

එතැන් සිට සිදුවූ සියල්ල ඇය සිහි කළේ හසරැල් රැදුණු මුවිනි.” මහත්තයා හිටිය රෝහල විනාශ වුණා කියන පුවත දැනගත්තාම හැමෝම ඇඩුවා. ඒත් එයා ජීවත්වෙනවා ඇති කියන විශ්වාසය මට තිබුණා. මට මේ කොටස දැනගන්න ලැබෙන්නේ මගේ මහත්තයාගෙන්. ඇය තම සැමියා මරණයෙන් ගැලවී තිබූ අයුරු සිහිපත් කළාය. වවුනියාව රෝහලේ සිටි ඇගේ බෑණා තමන් දන්නා හදුනන අය රෝහලේ සිටී දැයි විමසිල්ලෙන් පසුවී තිබිණ. ඒ අතර එලිසබත්ගේ සැමියාද වවුනියාව රෝහලේම සිහිසුන්ව හිද ඇත. සිහි ලද විට ඔහුද තමන් දන්නා කිසිවකු සිටී දැයි විමසිලිමත්ව ඇත. එලෙස සිටියදී දෙදෙනාට දෙදෙනා රෝහලේදී හමුවී තිබිණ. “මහත්තයා බේරුණු විදිය කියද්දී මට හොදටම ඇඬුණා. එදා රෝහලේ හිටි අයගෙන් බේරිලා තිබුණේ දෙන්නෙක් විතරයි. රෝහල ළඟ පැත්තක බංකර් එකක් තිබිලා තියනවා. යුද්ධයේ අවසාන දවස් වෙද්දී ඒ පැත්තට ෂෙල් ගහවි කියලා මහත්තයා හිතලා තියනවා. ඒ නිසා එයා බංකර් එක පැත්තට බිම දිගේ ඇදි ඇදී යන්න උත්සහ කරලා. එහෙම ඇදෙද්දී ඒ අතරේ තුවාලවෙලා වැටිලා හිටි තවත් කෙනෙක් මහත්තයාගේ සරමෙන් අල්ලලා කියලා තියනවා මාව අතහැරලා යන්න එපා, මාවත් ගෙනියන්න කියලා. එයා පුළුවන් උදවුවක් කරනවා කියලා ඒ කෙනාවත් ඇදගෙන ඇදි ඇදී ගිහින් එයාව බංකර් එක ඇතුළට දාලා.” අහාර, ජලය කිසිවක් නොමැතිව එලෙස සිටියදී ඔවුහු කතා කරගත නොහැකි තරමටම දුර්වලව සිට ඇත. ඒ අතරතුර යුද්ධයේ නිමාව සමග යුදහමුදා නිලධාරීන් කිහිපදෙනකු ඒ අසලින් ගමන් කර තිබේ. “ඒත් එයාට කතා කරන්න ශක්තියක් නැති නිසා ඒ පැත්තට පොඩි කෝටුවක් විසිකරලා. හමුදා නිලධාරීන් කලබලවෙලා එල්ටීටීඊ කියලා හිතලා ඒ පැත්තට තුවක්කු මානලා තිබුණා. පස්සේ මෙයා බිම ඉද්දීම අත්දෙක උස්සලා. පස්සේ හමුදා නිලධාරීන් එයා ළගට ඇවිත් වතුර දීලා, බිස්කට් දීලා, එතනම ඉන්න ටිකකින් එනවා කියලා ගිහින්. ටික වෙලාවකින් ඒ අය ලෑල්ලක් ගෙනල්ලා මහත්තයාත්, අනෙක් බේරුණු කෙනාත් ඒකේ තියලා ට්‍රැක්ටර් එකක නංවාගෙන වවුනියාව රෝහලට ගෙනල්ලා තිබුණා.” ඇය කියන්නීය.

වවුනියාව රෝහලේ ද සෑම අස්සක් මුල්ලක්ම තුවාලකරුවන්ගෙන් පිරී තිබූ බැවින් දින හතරක් යන තුරු ඔහුට ප්‍රතිකාරයක් ලැබී තිබුණේ නැත. අවසානයේ ඔහු වේදනාව දරාගත නොහැකි තැන ඒ අසලින් ගිය විදේශීය වෛද්‍යවරයකුගේ ඇදුමේ එල්ලී තමන්ට ප්‍රතිකාර කරන ලෙස ඉල්ලා තිබේ. ඒ වන විට කකුලේ තුවාලවල පණුවන් හටගෙන දරුණු තත්ත්වයක පැවත ඇත. ඔහුව පරීක්ෂා කළ වෛද්‍යවරයා අත් ආවරණද රහිතව තුවාල ශුද්ධ කර පසුව ශල්‍යාගාරයට ඇතුලත් කර කකුලේ අස්ථි බද්ධ කිරීමට පියවරගෙන තිබිණ.

“දැන් මහත්තයාට ඇවිදින්න පුළුවන්. ඔහුත් දැන් ධීවර රැකියාවේ යෙදෙනවා. අපි ආපහු ගමට එද්දී ගෙවල් ඔක්කොම විනාශ වෙලා තිබුණා. ඒ හැමදේම හෙමිහෙමින් ගොඩනගා ගත්තා.” එලිසබත් දෙව්මැදුර දෙසට නෙත් යොමා මිමිනුවාය.