ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙහි සිරවූ ගල්කුලමේ අම්මාවරු

සටහන, ඡායා – රසික ගුණවර්ධන

“ණය ගත්ත නං මොනව කරල හරි ගෙවන්ඩ ඕනෙ.” ගල්කුලමට පැමිණි ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතනයක ණය එකතු කරන්නකු පැවසුවේ එසේ ය. ඔහු සේ ම බොහෝ දෙනකු ද පවසන්නේ එසේ ය. එය සැබෑවකි, අපද එය පිළිගනිමු. එහෙත් අධික ලෙස ඉහළ දැමූ පොලියක් ද, ඊට නොකඩවා එකතු කරන අමතර පොලී මුදල් ද, හේතුවෙන් ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගත් බොහෝ දෙනෙකු අද සිටින්නේ එය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකය. ඔවුහු සිය සබ්බ සකල මනාවම උකස්කර ණය ගෙවති. ණය ගෙවූ ඇතැමකු බඩගින්නේ ය, ඇතැමකුගේ දරුවන් පාසල් නොගොස් නිවසේය, අසනීප වූවෝ බෙහෙත් ගැනීමට නොහැකිව ගොඩ වෙදකම් කරමින් නිවෙස්වල පසුවෙති. එකී ණය මේ මිනිස්සුන්ගේ ජීවිත සුන්නද්ධූලි කර හමාර ය. ක්ෂුද්‍ර මූල්‍ය ණය ඔවුන් හසුකර ගැනීමට සෑදූ උගුල් සේය. සූරා කන්නට පැමිණි රකුසන් සේය. ශ්‍රී ලංකා මහ බැංකුව සහ වගකිවයුත්තෝ සිටින්නේ මේවා නොදැක්කා සේය. ඒ නිසාම ණය උගුලට හසුවූවන්ගේ ජීවිත දිනෙන් දින ම වියැකී යති. අප ගල්කුලමට යන්නේ අපේ කන වැකුණු ආරංචියකට ය. ණය උගුලේ ගිලී මියැදෙන්නට පෙර සිය දෑතින් ගෙල සිරකරගෙන මියැදෙන්නට හැදූ මවක් සොයා ය.

කුමාරි

ඇයගේ පෞද්ගලිකත්වය රැක ගැනීම උදෙසා අප ඇයට කුමාරි යැයි කියමු. කුමාරිට දරුවන් දෙදෙනෙකි. එක් දරුවකු පාසලේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර, අනෙක් දරුවා පෙර පාසල් යයි. ඇයගේ ස්වාමියා රජයේ සේවකයෙකි! එහෙත් ඇය කීවේ ඇයගේ ස්වාමියාත් ඔවුනුත් අතර මේ වනවිට එතරම් සම්බන්ධයක් නොමැති බවයි. ඔහුගේ සැමියා රජයේ ව්‍යාපෘතියක සේවය කරන්නෙකි. කුමාරි කියන ආකාරයට 2015 ආණ්ඩු මාරුවත් සමග එකී ව්‍යාපෘතිය නැවතී ඇත. ඒ නිසා ඒ ව්‍යාපෘතිය ආරම්භ වන තුරු සිය ස්වාමියාට බොහෝ කාලයක් නිවසට වී සිටින්නට සිදුව ඇත. ඒ අතරතුර කාලයේදී ඔවුන් මුදල් පොලියට දෙන පුද්ගලයින්ගෙන් ණය ලබාගෙන ඇත. අවසානයේ ඒ ණය මුදල් ලක්ෂ දෙකකට පමණ ආසන්න වී ඇත. ඒ මොහොතේ ඔවුන් ණය මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටින අතරතුර ඒ ණය මුදල ගෙවා හැරීමේ බලාපොරොත්තුවෙන් මුල්වරට ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයකින් ණය ලබාගෙන ඇත. ඒ ණය ද තව ටික කාලෙකින් ගෙවා දැමීමට නොහැකි වී ඇත. එහිදී ඔවුන් තවත් ආයතනයකින් ඉන්පසු තවත් ආයතනයකින් ද ආදී වශයෙන් ණය පිට ණය ලබාගෙන ඇත.

අවසානයේ ඇය ණය ලබාගෙන ඇති ආයතන ගණන හතකි. ඒ අනුව ඇය කමර්ෂල් ක්‍රෙඩිට් ආයතනයෙන් රුපියල් අසූ දහසක් ද, HNB ග්‍රාමීන් ආයතනයෙන් රුපියල් ලක්ෂයක්ද, කැන්ටි්‍රච් ෆිනෑන්ස් ආයතනයෙන් රුපියල් හැට දහසක් ද, LOLC ආයතනයෙන් රුපියල් හැත්තෑපන් දහසක් ද, බ්‍රැක් ලංකා ආයතනයෙන් රුපියල් හැත්තෑපන් දහසක් ද, විෂන් ෆන්ඞ් ලංකා ආයතනයෙන් රුපියල් අසූ දාහක් ද, ආර්පිකෝ ෆිනෑන්ස් ආයතන රුපියල් පනස් දහසක් ද ආදී වශයෙන් ණය ලබාගෙන ඇත. ඒ අනුව ඇයට දැනට එකී ආයතන වලට මසකට රුපියල් ලක්ෂයක පමණ මුදලක් ගෙවීමට සිදු වී ඇත. ස්වාමියා ද සොයා නොබලන බැවින් ඇය විසින් නිවසේ ඉදිරිපිට කරන කුඩා සිල්ලර බඩු කඬේ ආදායමින් එම ණය මුදල් ගෙවා දැමීමට සිදු වී ඇත. ලූනු ගෙඩි කිහිපයක් ද, අල ගෙඩි කිහිපයක් ද, හාල් මුලක්ද, ටොෆී ද බෝතල් කිහිපයක් ද තබා ගෙන සිටින ඒ කඩයෙන් මසකට ලක්ෂයක් නොව රුපියල් දහසක් ගෙවීම පවා අපහසු බව බැලූ බැල්මටම පෙනේ. “මම මේ කඩය දැම්මෙත් ණයවෙලා. මේ බඩු ටික ඉවර වුණහම කඩෙත් වහල දාන්න වෙනවා.” කුමාරි කියයි. කුමාරිගෙ කඩයට ගොඩවන්නේ පාරිභෝගිකයන්ට වඩා ණය එකතු කරන්නන්ය. එසේ එන ගමේ ණය දෙන පොලී මුදලාලිලා ණය ගෙවන්නට මුදල් නැති බව පැවසූ විට වචනයක් දෙකක් පවසා පිටව යති. මූල්‍ය ආයතන වලින් එන මුදල් එකතු කරන පුද්ගලයින් තමන්ගේ යතුරුපැදි වල වල සිටම තර්ජනය කර පිටව යති.
දිනක් දෙකක් නො ව, සෑම දිනකම නොකඩවා මෙසේ ඇය දොස් ඇසිය යුතුය. ඒ නිසාම ඇය සැලසුම් කර ඇත්තේ සිය දිවිය තොර කර ගැනීමට ය. එහෙත් ඇයගේ ඒ සැලැස්ම වාසනාවට අසාර්ථක වී ඇත. කුමාරි පමණක් නොව කුමාරිගේ දරුවන් ද මේ ණය උගුල නිසා සිටින්නේ පීඩාවට පත්වය.

“මගේ ලොකු දරුවා තුන වසරෙ. එයා බලාගත්ත අත බලාගෙන ඉන්නේ. එයා කියනවා අම්මේ මට මුකුත් මතක හිටින්නෙ නෑ කියලා. එයා හොඳට ඉගෙන ගන්ඩ පුළුවන් දරුවෙක්. හැබැයි මේ ප්‍රශ්නත් එක්ක එයාගේ ඉගෙන ගන්න එකත් අඩුවෙලා. මට ටික දවසක් ඉස්කෝලෙන් කතා කරලා කීවා කිව්වා මෙයා දැන් ඉස්සර වගේ නෙමේ බලාගත්ත අත බලාගෙන ඉන්නවා, ඉගෙන ගන්නවත් අඩුයි කියල. හැමදාම ගෙදරට ඇවිල්ල මිනිස්සු බැනල යද්දි මට වැඩිය ඒක දැනෙන්නෙ එයාට. ” කුමාරි එසේ කියන්නේ ඇසේ කඳුළු පුරෝගෙනය. “පොඩි පුතාටත් මේවා මේව හොඳට තේරෙනවා. දවසක් එයයි මායි කඬේ ඉද්දි ණය එකතු කරන කෙනෙක් ආවා. එතකොට මම කඬේ ඇතුලෙ හිටියෙ. පොඩි පුතා කීව අම්මා නෑ කියලා. ඊට පස්සෙ ඒ මනුස්සය පුතාටත් බැන්නා. මට එවෙලේ එළියට ගිහින් බනින්ඩ තරන් තරහක් ආවා. පුතා මම නෑ කියපු හින්ද මම එළියට ගියේ නෑ.” කුමාරි ගේ මුහුණෙ උපදින සිනහවේ වාර ගණනට වඩා, ඇසෙහි කඳුළු මතුවන වාර ගණන වැඩිය.

සකුණි සහ තුෂාරි

කුමාරි මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන එකම කාන්තාව නොව. එහිදී අපට හමුවූ තුෂාරි සහ සකුණි ද කුමාරි සේම, ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත්වූවෝ වෙති. ඔවුන්ගේ ද පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම වැදගත් නිසා සහ අනන්‍යතාව හෙළිවීම හරහා ඔවුන්ට ගමේම සිටින ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියෝජිතයන්ගෙන් වෙනත් බලපෑම් එල්ලවීමට ඉඩ ඇති නිසා තුෂාරි සහ සකුණි යන නම් අප ඔවුන් හැඳින්වීමට භාවිත කළ අනවර්ථ නාමයන්ය.

“මම ණය ගත්තෙ ගේ හදාගන්ඩ. ඒ ගත්ත ණය ටික තමා දැන් ගෙවාගන්ඩ බැරුව ඉන්නෙ.” සකුණි කියයි. සකුණි තවම අවුරුදු විසි එකක තරුණියකි. සකුණි ද දැනට ආයතන හතකින් ණය ලබාගෙන ඇත. ඒ අනුව ඇය කැන්ඩි්‍රච් ෆයිනෑන්ස් සමාගමෙන් රුපියල් හැට දහසක්ද, ආර්පිකෝ ෆයිනෑන්ස් සමාගමෙන් රුපියල් පනස් දහසක්ද, HNB ග්‍රාමීන් සමාගමෙන් රුපියල් පනස් දහසක්ද, කමර්ෂල් ක්‍රෙඩිට් සමාගමෙන් රුපියල් හැත්තෑ පන්දහසක් ද, විෂන් ෆන්ඞ් ආයතනයෙන් රුපියල් හතළිස් දහසක්ද, බ්‍රැක් ලංකා ආයතනයෙන් රුපියල් හැටදහසක්ද, LOLC ආයතනයෙන් රුපියල් හැත්තෑ පන්දහසක්ද, ලබාගෙන ඇත. ඇය පවසන ආකාරයට ඇය ඒ ණය මුදල් සඳහා මසකට රුපියල් පනස්දහසක් පමණ ගෙවනු ලබයි.

ඇය එතරම් මුදලක් ණය ලබාගත්තද, ණය ලබාගැනීමේ ඇගේ මූලික අරමුණ වූ නිවස සාදාගැනීමේ කටයුත්තද ඇයට හරියාකාරව සිදුකර ගැනීමට හැකියාවක් ලැබී නැත. මක්නිසාදයත් ඇයද කුමාරි සේ ම එක් ණය මුදලකින් පසු අනෙක් ණය මුදල් ලබාගෙන ඇත්තේ ගත් ණය ගෙවීමට බැවිනි. සකුණිගේ නිවස අඩි හයේ හයේ කාමරයක් වැනිය. එහි විදුලි බලයද, ජලයද නැත. එසේම ඇයට තවමත් වැසිකිළියක් සාදාගැනීමට හැකියාවක් ලැබී නැත.

“මගේ මහත්තය මම තරම්වත් හයිය නෑ. එයා මේ සල්ලි ප්‍රශ්න ගැන කල්පනා කරල දිවි නසාගන්ඩ ගියා. එක පාරක් පෙට්‍රල් බීවා, තව පාරක් පෙනඩෝල් බීවා, අන්තිම පාර වස බොන්ඩ ගියා. එවලෙ මම දැකල නැවැත්තුවෙ නැත්තන් මමයි මේ දරුවයි තනි වෙනව.” සකුණි සංවේදී වේ. මේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය සමස්ත පවුල් සංස්ථාව කෙරෙහිම බලපා ඇත්තේ එසේය. එය පිළිලයක් සේ පවුල් විනාශ කිරීමට දතකයි.
සකුණි අප ඉදිරියේ ඇයගේ ස්වාමියාගේ ‘සති පඩි පැකට්’ ගෙනැවිත් තබයි. ඒවායේ ලැබෙන මුදල සටහන් කර ඇත. ඒ බොහෝ ඒවායේ සටහන්ව ඇත්තේ රුපියල් තුන්දහස් ගණන්ය. ඇතිනම් හාරදහස් ගණන්ය. “මගේ මහත්තය හැඩි දැඩි ඇඟපතක් තියන මනුස්සයෙක් නෙවේ. ඒ උනාට එයා මේ ණය ටික බේරන්ඩ උදේ හවස නැතුව මහන්සි වෙනව. නිවාඩුවක් ගන්නෙ නෑ.” සකුණි පවසයි.
මෙහි සකුණි පවසන කතාව හරහා මතුවන තවත් අවධානයක් යොමුකළ යුතු සහ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට මිනිසුන් හසුකිරීමට හේතුවන ඉතාම වැදගත් කාරණාවක් වෙයි. එනම් මසකට සතියකට රුපියල් තුන්දහසක් යනු මසකට රුපියල් දොළොස් දහසක් පමණි. එනම් එය නිවසක් සෑදීමට තබා ජීවත්වීමටද මදිය. එසේ නම් මෙවැනි පවුලකට නිවසක් තැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ණයක් ගැනීමට සිදුවීම අනිවාර්ය කාරණයකි. එහෙත් මොවුන්ට සාමාන්‍ය බැංකු ණයක් ලබා ගැනීම දුෂ්කරව ඇත. ඒ මොවුන්ගේ වෘත්තීන්වල ස්වභාවය මත බැංකුවක් ණයක් ලබාදීමේදී ඉල්ලන සුදුසුකම් සැපිරීම ඉතාම අපහසු බැවිනි. ඒ නිසා මේ පුද්ගලයන්ට ගමේ කිහිපදෙනෙකු එකතු කරගෙන ඉතාම පහසුවෙන් ලබාගත හැක්කේ ක්ෂුද්‍ර මූල්‍ය ණයකි.

තුෂාරි බොහෝ නිශ්ශබ්දය. ඈ කුමක් හෝ පවසන්නේ ඇගෙන් යමක් ඇසුවහොත් පමණි. ඇය අනෙක් කාන්තාවන් සේ කතා නොකෙරුවාට ඇය මුහුණ දී සිටින අර්බුදය ඇගේ යෙහෙළියන් අපට පවසන විට ඇය කඳුළු සලයි. “මෙයාගෙ ඉන්නෙ චූටි බබාල දෙන්නෙක්. ඒ දෙන්නටම දැන් අසනීපයි. ඒත් බෙහෙත් ගන්ඩ යන්ඩ සල්ලි නැතුව ඉන්නෙ.” කුමාරි තුෂාරි වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් වූවාය. “සල්ලි එකතු කරන්ඩ ගෙදරට එනකොට සල්ලි නැති උනොත් සර්ලගෙන් බැනුම් අහන්ඩ වෙනවා. අපි ඕනෙ තරන් කන්ඩ නැතුව ඉඳලා ණය වාරික ගෙවල තියනවා. දවසක් ණය එකතු කරන්ඩ එද්දි ගෙදර තිබ්බෙ හාල් ගේන්ඩ තිබ්බ රුපියල් තුන්සීයක්. බැරිම තැන ඒක දීල බඩගින්නෙ හිටියා.” විටින් විට හඬමින් නැවතුම් ගනිමින් තුෂාරි පවසයි.
“ණය විතරක් නෙවෙයි, මෙහෙ වකුගඩු ප්‍රශ්නෙත් එක්කත් අපි දුක් විඳිනවා. අපට ළිං වල වතුර බොන්ඩ බෑ. ඒක හින්ද වතුර සල්ලි දීල ගන්ඩ ඕනෙ. දවසක් අපට රුපියල් පහක් නැතුව වතුර ගන්ඩ බැරුව හිටිය.” තුෂාරි කියයි. තුෂාරි ණය ලබාගෙන ඇත්තේ ආයතන දෙකකිනි. ඒ බ්‍රැක් ලංකා ආයතනයෙන් රුපියල් හැටදහසකුත්, බෙරෙන්ඩි ආයතනයෙන් රුපියල් හැට දහසකුත් ලෙසය. ඒ අනුව ඇය මසකට රුපියල් අටදහසක් පමණ ගෙවීමට සිදුවේ.

පොලිය සහ දඩ

ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය ඇතිවන්නේම අධික පොලිය හේතුවෙනි. එනම් ලබාදෙන ඉතා කුඩා මුදල නැවත අයකිරීමේදී ඉතාම විශාල පොලී මුදලක් ඊට අයකරගන්නා බැවිනි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා නියම කර ඇති උපරිම පොලී මුදලද ඉතාම ඉහළ පොලී ප්‍රතිශතයකි. එය සියයට තිස් පහකි (35%).

ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පයේ මූලික අරමුණ දුප්පත්කම තුරන් කිරීම උදෙසා මිනිසුන්ට යම් ව්‍යාපාරයක් සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා ආයෝජනය කිරීමට ඉතාම අවම පොලියකට මුදල් ලබාදීමයි. එම සංකල්පය මේ අධික පොලිය හේතුවෙන් සම්පූර්ණයෙන්ම දූෂණය වී ඇත. මේ ක්‍රියාත්මක වන පොලී මුදල් නිසාම මිනිසුන් නගා සිටුවීමට බිහි කරගත් සංකල්පය අධික ලාභය උදෙසා සිදු කරන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී ඇත. ඇතැමෙකුගේ පොලිය සියයට විසි එකක් පමණය. ඇතැමෙකුගේ පොලිය සියයට දෙසිය පනහක් පමණ ඉහළය. එසේම ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා රජය විසින් නියමිත පොලී අනුපාතයක් හඳුන්වා දී ඇති වුවද. එය පරයා යමින් පොලියක් ලබා ගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ඇතත් ඒවා පරීක්ෂා කිරීමට හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමක් සිදුවන්නේ නැත.
ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයේ ඇති අනෙක් ගැටලුව නම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන අය කරන දඩ පොලීන්ය. එහිදී ඔවුන් යම් ණය ලබා ගත් අයකු ඔහුට අදාළ ණය වාරිකය ගෙවීම ප්‍රමාද වුවහොත් ඒ ප්‍රමාදය සඳහා දඩයක් ලෙස යම් මුදලක් අයකරනු ලබයි. රජය විසින් ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා නියමිත පොලී අනුපාතයක් හඳුන්වා දුන්නද දඩ මුදල් සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් දක්වා නැත. ඒ නිසා ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් තම හිතුමතේට දඩ මුදල් අයකරනු ලබයි. ඒ හේතුවෙන් ඇතැම්විට ණය වාරිකයට ආසන්න මුදලක් දඩ මුදල් ලෙස ගෙවීමට සිදුවූ අවස්ථාද වාර්තා වේ.

එසේ ම මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය තුළ දැකගත හැකි තවත් කාරණයක් නම්, එක් සමාගමකින් ණයක් ලබා ගෙන තිබෙන අයෙකුට එම සමාගමෙන්ම හෝ වෙනත් සමාගමකින් නැවත වරක් මුදල් ලබාදීමයි. එනම් එහි දී සිදුවන්නේ එක් ණය මුදලක් ගෙවා ගැනීමට නොහැකිව සිටින විට ඒ ණය මුදල ගෙවා දැමීම සඳහා යම් මුදලක් තවත් සමාගමකින් හෝ එම සමාගම විසින්ම ලබා දීමයි. උදාහරණයක් ලෙස යම් අයකු රුපියල් 50,000 ක ණය මුදලක් ලබාගෙන ඔහුට එය ගෙවා දැමීමට නොහැකි ව සිටින විට ඔහුව සොයා එන වෙනත් මූල්‍ය සමාගමක් හෝ එම සමාගමේ වෙනත් නියෝජිතවරයකු සඳහන් කරන්නේ ඔහුට රුපියල් ලක්ෂ ලක්ෂයක මුදලක් ලබාගත හැකි බවත් එසේ ලබා ගැනීමෙන් අනතුරුව පෙර ණය මුදල ද ගෙවා දැමීමට හැකියාවක් ඇති බව ය. හුදු පළමු ණය ගෙවා දැමීමේ අපේක්ෂාවෙන් සිටින බොහෝ දෙනෙක් නැවත ඊට වඩා වැඩි ණය මුදලක් ලබා ගැනීමට පෙළඹෙති. එවිට ඔවුන් සිතන්නේ රුපියල් පනස් දහසක් ගෙවා ඉතුරුවෙන රුපියල් 50,000 තමන්ගේ කාර්යයන් ඉතා පහසුවෙන් කර ගත හැකි බවයි. එහෙත් එය එසේ වන්නේ නැත. ණය ලබා දෙන සමාගම් විසින් ණය ලබාදීමේ දී පළමු වාරික මුදල අඩු කරනු ලබයි එහිදී බොහෝ විට රුපියල් පන්දහසක් හයදහසක් පමණ මුදලක් රක්ෂණයක් ලෙස ආයතනය විසින් තබා ගනු ලබයි. ඊට අමතරව තවත් මුදල් ප්‍රමාණයක් ලියකියවිලි සහ අනෙකුත් කටයුතු සඳහා ද වැය වේ. එසේ ම පෙර ණය ගෙවා නොදැමීම හේතුවෙන් මගහැරුණු වාරික සඳහාද විශාල දඩ පොලියක් ගෙවීමට සිදු වේ. ඉන්පසු ණය ලබාගන්නාට අත ඉතිරි වන්නේ ඉතාම සුළු මුදලකි.

මෙය එක්තරා ආකාරයක උගුලකි. පුද්ගලයා ණය ගෙවා දැමීමට නොහැකි තත්ත්වයට පත්කර ඔහුගේ ඒ අසරණභාවය හමුවේ තවත් ණය මුදලක් ලබා දී ඔවුන් සිදුකරන්නේ එකී ණය මුදල ලබා ගන්නා වූ පුද්ගලයා තවදුරටත් හිටියාටත් වඩා දරුණු උගුලකට හසු කිරීමය.

අපයෝජන සහ හිංසා

ණය මුදල් එකතු කිරීම සඳහා පැමිණෙන ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් බොහෝ හිංසාවන් කාන්තාවන්ට සිදු වේ. අයුතු යෝජනා කිරීම, ස්පර්ශය, අපහසුතාවට පත්වන ආකාරයට වචන භාවිත කිරීම ආදිය පමණක් නොව ලිංගිකමය හිංසන ද සිදු වේ. ඒවා බොහෝ විට හෙළි නොවන්නේ එවැනි ගම්වල ඇති සංස්කෘතියත් එවැන්නක් හෙළි වුවහොත් තමන්ට තවදුරටත් ගමේ ජීවත් වීමට නොහැකි වනු ඇති බවත් පවුල බිඳී යනු ඇති බවටත් කාන්තාවන් බියට පත්ව සිටී.

මෙකී ණය මුදල් එකතු කිරීම සඳහා පැමිණෙන්නේ ඉතා ළාබාල තරුණයන් ය. ඔවුන් බොහෝ විට අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ නිමකර රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින පිරිස් ය. ඔවුන් නිවෙස් වලට පැමිණ හැසිරෙන්නේ ඉතා අශෝබන ආකාරයටය.

“මට දවසක් මැසේජ් කළා, මම එපා කිව්වට එයා නැවැත්තුවේ නෑ. එයා මට දවසක් කීවා ඔයාගෙ ඇඟ හරි ලස්සනයි ඔයා ඇයි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තෙ කියලා. අන්තිමට මම එයාගේ නම්බර් එක බ්ලොක් කරල දැම්මා. අපේ ගමට ඒ කම්පැනියෙන් හිටියෙ එයා විතරයි. එයාගේ නම අරලිය එකේ නුවන්. අන්තිමට උනේ මට සෑහෙන දඩ මුදලක් එකතු උන එක විතරයි.” සකුණි පවසයි.
“ජඔම්මර්ශල් ක්‍රෙඩිට් එකේ හෂාන් එන්නෙ යකෙක් වගේ. එයාට ඕනේ සල්ලි විතරයි. අපි ඉමිටේෂන් හරි මාලයක් දාගෙන හිටියොත් ඉවරයි. ඒක උකස් කරලා හරි සල්ලි ගෙනත් දෙනකම් එයා ගෙදරට වෙලා ඉන්නවා. ගෙවල්වලට හවස පහට හයට විතර එනවා. ගෙවල් වල පිරිමි අය නෑ. ඒක හින්දා ඉන්න එපා කිව්වට අහන්නෙත් නෑ. සල්ලි දෙනකම් ගෙදරට වෙලා ඉන්නවා.” කුමාරි කියයි.
“සල්ලි එකතු කරන්ඩ එන වෙලාවට සල්ලි නැති උනොත් කුණුහරුපෙන් පවා බනිනවා. ළමයි, වටපිටාවෙ ගෙවල් වල මිනිස්සු ඉන්නව කියල එයාට ගාණක් නෑ.” තුෂාරි කියයි.
මෙකී අපයෝජන හෝ හිංසා වලට විරුද්ධව කිසිවකු නීතිය ඉදිරියට යාමට ඉදිරිපත් වන්නේද නැත. ඔවුන්ගේ චින්තනය ඒ තරමට පසුගාමී කිරීමට සමත්ව ඇත්තේද ‘ණය එකතු කරන්ඩ එන සර්ලා’ ය. ණය එකතු කරන්නට එන එම පිරිස් හැසිරෙන්නේ ඔවුන්ට ණය නොගෙවන ඕනෑම අයකුට ඕනෑම දෙයක් කරන්නට හැකියාවක් ඇත්තා සේය. ඒ නිසා ගම්වල මිනිස්සු ඔවුන්ට බිය වෙති.

දැක්ම සහ වගකීම

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන ක්‍රියාකර ඇත්තේ කිසිදු අවස්ථාවක මිනිසුන්ගේ දෙස සානුකම්පිතව බලා නොවේ. ඔවුන් එක් ණයක් ඇති අයකුට තවත් ණයක් ලබා දෙන්නේ අනුකම්පාවට නොව තව තවත් ඔවුන්ව සූරා කෑමටය. එසේම ණයක් ලබාදීමට පෙර ඒ ලබාදෙන ණය නැවත ගෙවා බැලීමට හැකියාවක් ඇත්දැයි සොයා බැලීම මූල්‍ය ආයතනයක අවම සදාචාරයයි. එහෙත් මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ඒ අවම සදාචාරාත්මක කටයුත්ත හෝ නොකරන බව පෙනේ.

එසේම මූල්‍ය ආයතනයක් වගකීම් සහගත විය යුතුව ඇත. මුදල් එකතු කරවීමට යවන නියෝජිතයන්ට වෘත්තීය ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීම වැදගත්ය. රාත්‍රියේ නිවෙස් වලට නොගොස් කාර්යාල වේලාවන්හි ඒ සඳහා යොමු විය යුතුය. එම ආයතන කාන්තාවන් සඳහා පමණක් ණය ලබා දෙන්නේ නම්, විශේෂයෙන්ම ඔවුන්ගේ ගෞරවය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

මහ බංකුව

අර්බුදය කෙතරම් උඩු දුවා ඇතත් මහ බැංකුව තවමත් ඒ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නොමැත. ඔවුහු ඒ පිළිබඳව පියවරක් ගැනීම දිනෙන් දින කල් දමමින් සිටී. ලංකාවේ මූල්‍ය ක්‍රියාකාරකම් වල නියැලෙන ආයතන පිළිබඳව සොයා බැලීම මහ බැංකුවේ රාජකාරියකි. එහෙත් ඔවුන් මේ වන විට සිටින්නේ තමන්ගේ ඒ රාජකාරිය මඟහරිමිනි.

මේ පිළිබඳව මහ බැංකු පාර්ශ්වය විසින් දක්වන අදහස නම්, ඔවුන් බලපත්‍ර ගෙන ඇති සියලු ආයතන තමන්ගේ නිරන්තර නිරීක්ෂණයට ලක් කරන බවත්, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන බලපත්‍ර ගෙන නොමැති බැවින් තමන්ට ඒවා නීරීක්ෂණයට හැකියාවක් නොමැති බවත්ය. එනම් ඔවුන්ගේ ප්‍රකාශය අනුව ඕනෑම අයෙකුට මූල්‍ය සමාගමක් අරඹා ඕනෑම හොර වැඩක් කිරීමට හැකියාවක් ඇති බවයි. අසු නොවී සිටීමට නම් ඔවුන් කළ යුත්තේ බලපත්‍රයක් නොගෙන සිටීමයි. (අප පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ ලියාපදිංචි වී නොමති බව හෙළි කළෙමු.)
සිදුවිය යුත්තේ මිනිසුන් සූරාකන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වලට එරෙහිව පියවර ගැනීම සහ මහ බැංකුවේ ඝෘජු මැදිහත් වීම මත ඒවා නියාමනය කිරීමයි.
එවිට නිදි පෙති අතේ ගුලි කරගෙන මරණය දෙස දෑස් දල්වා සිටින මව්වරුන්ට ජීවිතය ගැන බලාපොරොත්තු දල්වා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.