මානුෂික ආරක්ෂාව සඳහා සුළු අවි කොමිසම ඉල්ලයි

වින්ද්‍යා ගමගේ

ශ්‍රී ලංකාව තුළ නීති විරෝධි අවි ආයුධ භාවිතය වැලැක්වීමට නම් 2005 වර්ෂයදී ඇති කළ නීති විරෝධී සුළු අවි පිළිබඳ කොමිසම නැවත බලාත්මක කළ යුතු බව නිරවිකරණය හා සංවර්ධනය පිළිබඳ සංසදයේ සම්බන්ධීකාරක විද්‍යා අබේගුණවර්ධන රාවයට පැවසීය.

මේ අතර 2019 වසරේ ජනවාරි 01 වන දින සිට පොලිස්පතිවරයාගේ නියෝගය අනුව නීති විරෝධී අවි අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රෛමාසික වැඩසටහනක් දැනට දිවයින පුරා පොලිසිවල ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය.

2009 න් පසු පත් වූ කිසිදු රජයක් ජාතික ආරක්ෂාව හැර ශ්‍රී ලාංකිකයන්ගේ මානුෂික ආරක්ෂාව (Humam Security) සම්බන්ධව අවධානය යොමු කර නැති බවත් ඒ සඳහා මධ්‍යම රජය, පළාත් සභා, ප්‍රාදේශීය සභා ඇතුළු සමස්ත රාජ්‍ය පද්ධතියම එක් වී කටයුතු කළ යුතු බවත් ඔහු පැවසීය.

2014 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බලාත්මක කළ යුධ අවි වෙළඳාම පිළිබඳ සම්මුතියට තවමත් ශ්‍රී ලංකාව සම්බන්ධ වී නැති අතර එසේ වූවා නම් නීත්‍යානුකූල නොවන අවි භාවිතය අවම කිරීමට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍යම ශක්තිය ලබාගත හැකිව තිබුණත් විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සම්බන්ධව උනන්දුවක් නොදක්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
එසේම දැනට ශ්‍රී ලංකාව තුළ බලපවත්වන අවුරුදු 22ක් තිස්සේ යාවත්කාලීන නොකළ ගිනි අවි ආඥා පනතේ දඩ මුදල් අය කරන ප්‍රමාණය හා සිරගත කරන කාල සීමාවන් ආදිය වර්තමාන කාලයට අනුව වෙනස් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව විද්‍යා අබේගුණවර්ධන තවදුරටත් පැවසීය. ■