සමෘද්ධි 4500 නීත්‍යනුකූල නෑ

වින්ද්‍යා ගමගේ

හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් පසුගිය නොවැම්බර් මාසයේදී සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 4500කට නෛතිකභාවයකින් තොරව පටු දේශපාලන වාසි තකා ස්ථිර පත්වීමේ ලිපි ලබාදීම සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් හෙළා දකින බව එහි ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

පසුගිය 13 වැනි දින ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හිටපු ලේකම් ගාමිණී සෙනෙවිරත්න සමග පැවැත්වූ සාකච්ඡාවකදී ඉහත ස්ථිර පත්වීම් ලිපි 4500 ප්‍රමාණය නෛතිකභාවයෙන් තොර යැයි ප්‍රකාශ කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය වකවානුවේදී අධිකාරීවල සේවය කරන සේවකයන්ට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය වීමට අවස්ථා 4ක් ලබා දුන්නත්, දෙපාර්තමේන්තුව ස්ථාපිත දින සිට එයට අන්තර්ග්‍රහණය වූ 14,159 වන පිරිස වෙත මෙතෙක් පත්වීම් ලිපි ලබාදී නොමැති අතර, මේ වනවිටත් ඒ අතුරින් සේවකයන් 178ක් මියගොස් 119කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම ගොස් ඇතත්, ඔවුන් කිසිවකුටත් විශ්‍රාම වැටුප් හිමි නොවීම නිසා ඔවුන්ගේ දරු පවුල් අසරණ වී ඇති බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ වැඩිදුරටත් පැවසීය. ■