පොලිසියෙන් මරා පුච්චලා රහස් ලිපියක් එවයි.

රසික ගුණවර්ධන

ගාල්ල බූස්ස රත්න උදාගම් ප්‍රදේශයේදී පැහැරගත් මංජුල අසංක සහ රසීන් චින්තක යන ව්‍යාපාරිකයන් දෙදෙනා පොලිස් නිලධාරීන් විසින් පහර දී මරා පුළුස්සා දමා ඇති බවත් ඊට දකුණු පළාත් පොලිස් නිලධාරීන් පිරිසක් සම්බන්ධ බවටත් සඳහන් කරමින් මාතර – නුපේ පොලිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් යැයි සඳහන් කරමින් පැහැර ගැනීමට ලක්වූ අයගේ පවුල් වල සමාජිකයන්ට ලිපියක් යොමු කර තිබේ.

එකී නිර්ණාමික ලිපියේ සඳහන් කර ඇත්තේ එම පැහැර ගැනීමට දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පිහිටුවා ඇති විශේෂ ඒකකයේ ස්ථානාධිපති රෝහණ සහ පොලිස් පරීක්ෂක නිශාන්ත ඇතුළු කණ්ඩායමක් සම්බන්ධ බවත් ඊට යොදවා ගත් වෑන් රථය අක්මීමන පොලිස් වසමේ පදිංචි ‘පස් අනුර’ නමැති පස් ජාවාරම්කරුවකුට අයත් එකක් බවත්ය.

එම ලිපියේ වැඩි දුරටත් දැක්වෙන්නේ මෙම පැහැරගැනීමේ සිදුවීම වසන් කිරීමට දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා උත්සාහ කරන බවයි. එසේම මෙම සිදුවීමට ගාල්ල පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර ද සම්බන්ධ බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ පිළිබඳ විමසීමට දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති රවී විජය ගුණවර්ධන සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීය. මේ පිළිබඳව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අදාළ පරීක්ෂණ රහස් පොලිසිය වෙත පසුගිය බදාදා දින බාරදුන් බවය.

මෙම ව්‍යාපාරිකයන් පැහැරගෙන ගොස් ඇත්තේ ජනවාරි 23 වනදාය. ■