ශ්‍රී ලංකා ක්‍රිකට් පව්!

ටිරන් කුමාර බංගගමආරච්චි

එක් තරගයක් ජයග්‍රහණය කොට මෙතරම් නැටිය යුතු නැතැයි හිටපු ක්‍රිකට් නායකයකු වන අර්ජුන රණතුංග ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබුණි. නොබෝදා අවසන් වූ දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරගය ජය ගත් ශ්‍රී ලංකා පිලේ අසීමාන්තික සැමරීමේ රටාව මෙලෙස අර්ජුනගේ ගැරහුමට ලක්විය. මේ කරුණ අරබයා අප ගැළපෙන්නේද අර්ජුන සමගය. අපගේ විශ්වාසයද එතරම් නැටිය යුතු නැති බවය.

මෙම අවිනිශ්චිත ජයග්‍රහණයේ නියමුවා කුසල් පෙරේරාය. ඊට නවක ක්‍රීඩකයකු වූ විශ්ව ප්‍රනාන්දුද අගනා වටිනා සහයක් ලබා දුන්නේය. ඒ චරිත දෙක ඇරුණු කොට ශ්‍රී ලංකා පිලේ තත්ත්වය අසාධ්‍යය. කුසල් පෙරේරාට අනුව වුව මෙය ලක් එකටම දිනූ තරගයකි. ඇත්තද එයම යයි කියමු. එහෙත් මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ගෙන දුන් සතුට කියාපානුයේ ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වයේ තරමමය. දිගුකාලීන පරාජයෙන් හෙම්බත් වූ මානසිකත්වයේ දිග පළලය. පරාජයෙන් මුනිවත රකින මේ අය ජයග්‍රහණයෙන් උමතු වන්නේ සියල්ල අහවර ගාණටය. සියල්ල සපුරාගෙන අවසන් තැන සිටය. මේ එක් තරගයක් පමණි. තරගයක ජය පැරදුම අනිවාර්යය වුවද අවැසි ජයය. සැම ක්‍රීඩා කරනුයේ ජය ලැබුමටය. එහෙත් ජය වුව පරාජය මෙන්ම ඕනෑවට වඩා කර තබාගෙන යා යුතු දෙයක් නොවේ. ඊළඟ තරගයේදී තත්ත්වය වෙනස් විය හැකිය. තරග නරඹන්නෝ වුව තරග විඳිනුයේ තරගයෙන් තරගයටය. ක්‍රීඩකයන් පවා කළයුත්තේ තරගයෙන් තරගයට සූදානම් වීමය. ශ්‍රී ලංකා පිල දිගින් දිගටම පරාජය වූවැයි ශ්‍රී ලංකා රසිකයෝ මෙරට ක්‍රීඩකයන්ව දඬුකඳේ ගසන්නට ගියේ නැත. යන්නේද නැත. ඒ ක්‍රිකට් හෝ මොනම ක්‍රීඩාවක් ගැන වුව උමතුවක් මෙරට ක්‍රීඩා ලෝලීන්ට නැති බැවිනි. ඉන්දියාවේ තත්ත්වය වෙනස් වන්නේ මේ උමතුව නිසාය.

ක්‍රිකට් යනු ක්‍රීඩාව නරඹන අයට ක්‍රීඩාවක් වුවත් ක්‍රීඩා කරන වුන්ට එය වෘත්තියකි. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ක්‍රිකට් වෘත්තිකයෝය. ඔවුහු විශාල වැටුප් ලබති. එයට අවැසි සේවය වගකීමෙන් වෘත්තියෙහි යෙදීමය. වගකීම යනු ජයග්‍රහණයය. ඒ අනුව පරදින විට ඔවුහු වගකීමෙන් පලා යන අතර ජයග්‍රහණයේදී වගකීම මනාව ඉටුකර ඇත. ඒ නිසාම මෙය ඕනෑවට වඩා උඩ පනිමින් සමරන්නට දෙයක් නැත. ලෝක කුසලානයක් ජය ගැනීමේදී මේ තත්ත්වය වෙනස්ය. එහිදී එය රටක් ලෙස ලබන අසීමාන්තික ගෞරවයකි. ක්‍රීඩකයන්ගේ වෘත්තියෙහි උපරිම ඔවුන් ඉටුකර ඇත. ක්‍රීඩාවට නියම අරුත ඔවුන් එක් කොට ඇත. මේ නිසා ජයග්‍රහණයෙන් පසු සැමරීම වෙනම දෙයකි. එහෙත් ඒ බාල සැමරුම් මුදාහැරීම නොකළ යුතු දෙයකි.

කුසල්ගේ ඉනිමේ අසිරිය ඔහුම පාවා දුන්නේ තමා ‘කෝච්’ වෙනුවෙන් ක්‍රීඩා කළා කීමෙනි. සුරාව තදට දැනුණ සුරංග ලක්මාල් සුද්ධ සිංහලෙන්ම ‘කෝච්’ වෙනුවෙන්ම ක්‍රීඩා කරන බව කීවේය. මේ අය මෙතෙක් කල් ක්‍රීඩා කළේ කා වෙනුවෙන්ද? පිරිසක් කෝච්ට කැමතිය. තව පිරිසක් ‘කෝච්’ට අකමැතිය. අකමැති පිරිස ‘කෝච්’ගේ ද්‍රෝහීන් වූ විට කැමති පිරිස ගොට්ටෝ වූහ. මේ ද්‍රෝහීන් සහ ගොට්ටෝ යන දෙවර්ගයම සිතිය යුත්තේ හතුරුසිංහගේ වැටුප ආරක්ෂා කරන්නට නොව තම තමන්ගේ වැටුපට සරිලන ලෙස ක්‍රීඩා කරන්නටය. මෙය වෘත්තීය වුවද අවසානයේ එහි ප්‍රතිඵලය රටට ලැබෙන නිසා ඒ ජයග්‍රහණයට අවංක විය යුත්තේ තරග හරහා සතුටු වන්නේ ක්‍රිකට් සහෘදයන් නිසාය. ක්‍රිකට්ලෝලීහු ක්‍රිකට්වලට ආදරය කරති. මේ නිසාම ඔවුහු තවමත් ලංකාව දිනූ කල තුටු වෙති. එහෙත් හතුරුසිංහ නිසා ක්‍රිඩා කළා. තරග දිනුවා යන බාල කතා බාලයන්ගේ වැඩමය. කුසල් රැස්කරගෙන ඇති කුසලේ ප්‍රමාණයත් ඉන් මනාව ගම්‍ය විය. සුරංගගේ සුරංගනා කතා ඔහුගේ තරමටම පෑහේ. එකක් දිනලා ගොඩක් දඟලන කොට ඔහොම තමයි. කළු කිව්වා වගේ හැමදාම කියන්න තියෙන්නේ ඔහොම යං කියලම තමයි.