වතු කම්කරුවනි, රු. 50/- ලොකු ජයග්‍රහණයක්ද?

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

වතු කම්කරුවන්ට යුක්තිය සාධාරණය රැගෙන ආ නායකයන් තමන් බව වතු කම්කරුවන්ගේම කර මතින් බලයට ආ නායකයන් පිරිසක් මේ වන විට හඬ නගා පවසමින් සිටිති. ඒ වතු කම්කරුවන්ට රු. 50ක වැටුප් වැඩිවීමක් ඉදිරි අයවැයෙන් ලබා දීමට තීරණය වීමත් සමගය. වතු කම්කරු වැටුපට ඒ ආකාරයෙන් හෝ රජය මැදිහත්වීම තමන් ලබා ගත් මහා ජයග්‍රහණයක් ලෙස ඔවුහු උදම් අනමින් සිටිති. එහෙත් අපට නම් එය පෙනෙනුයේ ලංකාව වැනි සදාකාලිකවම සංවර්ධනය වෙමින් පවතින බව පැවසෙන රටක පාලකයින්ගෙන් බලාපොරොත්තු විය හැකි ආකාරයේ සාමාන්‍ය දේශපාලන ක්‍රීඩාවක තවත් එක් අදියරක් ලෙස පමණි. කනගාටුව නම් ඔවුන්ගේ එම දේශපාලන ක්‍රීඩාවේ ඉත්තන් බවට සෑම කල්හිම යොදා ගැනෙනුයේ වතු කම්කරුවන් වැනි පීඩිත ජන කොට්ඨාසයන් වීමය.

අරගල අවසන්ද?

දෙවසරකට වරක් සාමූහික ගිවිසුම අත්සන් තැබීමෙන් වතු කම්කරු වැටුප වර්ධනය වීමට නියමිත වුවත් එය නිසි කලට නිසි ලෙස සිදු නොවන බැවින් වතු කම්කරුවන්ට මහමගට බැස අරගල කිරීමට ඒ ඒ කාලවකවානුවල සිදුවූයේය. බොහෝ දෙනාට එම අරගල සමග වතු කම්කරුවන් මතකයට නැගුණත් මෙවර අරගලය වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් ඉසිලූ බැවින් ඒ අවධානය වෙනදාට වඩා වැඩි විය. ඊට එක් සමාරම්භක හේතුවක් ලෙස වතු කම්කරුවන්ගේ පවුල්වලට අයත් තරුණ තරුණියන් සමාජ මාධ්‍ය ජාලා හරහා සංවිධානය වී ගාලුමුවදොරට එක්රැස්ව සිදුකළ දැවැන්ත උද්ඝෝෂණය ද නම් කළ හැකිය. ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා හරහා එය ප්‍රචාරය වීමත් සමග වෙනදා වතු කම්කරුවන් පිළිබඳ අදහසක් නොතිබූ බොහෝ දෙනා මෙන්ම විවිධ සංවිධාන ද වතු කම්කරුවන් වෙනුවෙන් හඬ නැගීමට එක්වීම එහි යහපත් ප්‍රතිඵලයකි.

වතු කම්කරු පවුල්වලට අයත් තරුණයන් කීප දෙනෙකු කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරියේ උපවාසයක් ආරම්භ කිරීම ද මෙම අරගලයට තවත් පිරිසකගේ අවධානය හා දායකත්වය ලබා ගැනීමට සමත් විය. ඒ සමග මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන හා විවිධ වෘත්තීය සමිති මෙම අරගලය වෙනුවෙන් විවිධ මුහුණුවරයන්ගෙන් පෙනී සිටියේය. ඒ ඇතැම් අරගලවලට වතු කම්කරුවන් කිසි ලෙසකින්වත් සහභාගි නොවූවද එම පෙනී සිටීම එක් අතකට වැදගත් වූයේ එය ඇතැම් දේශපාලනඥයන්ට මෙන්ම වතු හාම්පුතුන්ට ද වතු කම්කරු සංගම්වලට ද ඒවා හිසරදයක් බවට පත්වූ බැවිනි, ඔවුන්ට ඉතා පහසුවෙන් ගැටලුවෙන් කර ඇරීමට ඒ මගින් ද අපහසුවූ බැවිනි. එමෙන්ම සාමූහික ගිවිසුම අත්සන් කළ පසු ඊට එකඟ නොවෙමින් රු. 1000ක වැටුපක් ලබා නොදුනහොත් තම ධුර අත්හරින බව පැවසූ මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් වැනි අමාත්‍යවරු මෙන්ම දිගින් දිගටම රු.1000 ලබා දෙන්නැයි එම සංවිධාන හා කණ්ඩායම් ද ඉල්ලා සිටි බැවිනි. කෙසේ වෙතත් එලෙස හඬ නැගූ බොහෝ අය මේ වන විට නිහඬ වී තිබෙන්නේ කුමන හේතුවක් මත ද යන්න ද වෙනමම සොයා බැලිය යුතුව තිබේ.

දේශපාලන සෙල්ලම්

මාස ගණනක සාකච්ඡා හා අරගල අවසානයේ වතු හාම්පුතුන්ගේ සංගමය සමග ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික සේවක සංගමය පමණක් සාමූහික ගිවිසුමට ජනවාරි 28 දින අත්සන් තබන්නේ වතු කම්කරු දෛනික මූලික වැටුප රු.750ක එකඟතාවකටය. අමාත්‍යවරු කීපදෙනෙකු ඊට විරෝධය පළ කරමින් එම වැටුප රු.1000 නොකළහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බව පවසන්නේ ඉන් පසුවය. ඒ අනුව ඔවුහු අග්‍රාමාත්‍යවරයා සමගත් වතු සමාගම් සමගත් නැවත සාකච්ඡා පැවැත්වුවත් ඒවා අසාර්ථක බවට පත්වන්නේ වතු සමාගම් ඊට වැඩි වැටුප් වර්ධකයකට කිසිසේත් එකඟ නොවන බැවින් හා ඒ වන විටත් ඔවුහු සාමූහික ගිවිසුම අත්සන් කර අවසන් බැවිනි.

වතු හාම්පුතුන්ගේ සංගමයේ රොෂාන් රාජදුරෙයි මහතා රාවය කළ විමසීමක දී පැවසුවේ ගිවිසුම අත්සන් කර අවසන් බැවින් ඇමතිවරු ඉවත් වෙනවා කීවත් තමන්ට කළ හැකි දෙයක් නොමැති බවය. අනෙකුත් වෙළෙඳ කර්මාන්ත සඳහා මේ ආකාරයට වෙනත් අය ඇඟිලි නොගසන නමුත් තේ කර්මාන්තයට මෙලෙස දේශපාලනඥයන් මෙන්ම කිසිසේත්ම ඊට සම්බන්ධ නැති බොහෝ දෙනා ඇඟිලි ගසන බව ද ඔහු චෝදනා කළේය. ප්‍රායෝගික ගැටලු තිබියදී ඒවා ගැන කිසිවකු සොයා නොබලමින් වැටුප් වැඩි කරන ලෙස පවසන බව ද ඔහු පැවසුවේය. “පසුගිය කාලයේ සාමූහික ගිවිසුම සම්බන්ධව පැවැත්වුණු සාකච්ඡාවලට ඒ අමාත්‍යවරු නොහිටියත් ඒ අයගේ නියෝජිතයෝ හිටියා. ඒ අය ඒ අවස්ථාවලදී කිවයුතු දේවල් කිවයුතුව තිබුණා. අත්සන් කළ පසු ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කීවාට අපට කරන්න දෙයක් නෑ. අපට ගෙවිය නොහැකි මුදලක් ගෙවනවා කියා අපට ගිවිසුම් අත්සන් කරන්න බෑ. අනෙක තේ කර්මාන්තය නිසා විතරක් ඇමතිවරු ඉවත් වෙනවා කියන්නේ ඇයි. ඇඟලුම් කර්මාන්තය, හෝටල් කර්මාන්තය වගේ ඒවාට දේශපාලන බලපෑම් නැහැ. අපට මේ කර්මාන්තය කරගෙන යන්න බැරි හේතුව මේක කර්මාන්තයක් නෙමෙයි, දේශපාලන ගේම් එකක් වගේ නිසායි. තත්ත්වය ඒකයි. අපට දැන් සාකච්ඡා කරන්න වෙලා තියෙන්නේ දේශපාලනඥයන් එක්කයි.” රොෂාන් රාජදුරෙයි ප්‍රකාශ කරයි. කුඩා තේ වතු අංශයේ මෙයටත් වඩා වැඩි ගැටලු තිබුණත් කිසිවකු ඒවා සම්බන්ධව කතා නොකරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය. “කුඩා තේ වතු අංශයේ සේවකයින් 425000ක් ඉන්නවා. කිලෝ එකට ලැබෙන්නේ රු. 30යි. වැටුප රු. 540යි. ඔවුන් ගැන හෝ වෙනත් කර්මාන්තයක් ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒ අය වැඩිපුර වැඩ කරලා වැඩිපුර හොයනවා. ඊපීඑෆ්, ඊටීඑෆ් නෑ, වෙනත් පහසුකම් නෑ. වතු අංශයේ ඉන්නේ කම්කරුවන් 150000යි.”

මේ අතර මනෝ ගනේෂන් අමාත්‍යවරයා අප කළ විමසීමකදී පැවසුවේ රජය මෙලෙස වතු කම්කරු වැටුපට රු. 50ක් අයවැයෙන් ලබාදීම අතිවිශාල ජයග්‍රහණයක් බවය. එය වසරක් සඳහා පමණක් බලපැවැත්වෙන්නක් වුවත් ඉදිරියට පැමිණෙන ආණ්ඩුවලින් ද එය පවත්වාගෙන යනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඇමතිවරයා වෙනදා සම්බන්ධ කරගන්නා දුරකථන අංකය ද ඒ දිනවල ක්‍රියාත්මක නොවූ අතර ඇමති ආරක්ෂක අංශයේ විශේෂිත දුරකථනයක් හරහා අපහසුවෙන් ඔහු සම්බන්ධකර ගැනීමට හැකි වුවත් ඔහු පිළිතුරු දුන්නේ ද අප විමසූ දේට වඩා ඔහුට පැවසීමට අවශ්‍ය වූ දේ ගැන පමණි. එමෙන්ම එම විශේෂිත දුරකථනයෙන් ඔහු ලබාදෙන පිළිතුරුද අපට පටිගත කළ නොහැකි වූයේය.

“ගිවිසුම අත්සන් කළ පසු අධිකරණයටවත් මැදිහත් වෙන්න බෑ. ඒ නිසා එයින් එළියේ ඉඳගෙන තමයි අපි දේශපාලන බලය පාවිච්චි කරලා ආණ්ඩුවත් සමග සාකච්ඡා කර මේ මුදල අරන් දීලා තියෙන්නේ. ගිවිසුම අත්සන් කළේ හොරෙන්. පසුව අපි අගමැති සමග සාකච්ඡා කළ පසු මේ ජයග්‍රහණය ලබාගන්න පුළුවන් වුණා.” ඒ අමාත්‍ය පලිනි දිගම්බරන් ය.

හිඟ වැටුප් සිහිනය

වතු කම්කරුවන්ට වැටුප් වර්ධකය ලැබිය යුතුවූයේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේ සිටය. 2015 වසරේ වැඩිවිය යුතු වැටුප ද වැඩිවූයේ මාස 18ක් ප්‍රමාද කරමින් සිට 2016 වසරේදීය. ඒ වෙනුවෙන් හිඟ වැටුප් ලබාදීමේ පොරොන්දු එම කාලයේ ද තිබූ නමුත් ඒවා තවමත් කඩවූ පොරොන්දුය. මෙවර ද කම්කරුවන්ට හිඟ වැටුප් ලබා දීමට මුදල් වතු සමාගම්වලට ණයක් ලෙස ලබා දෙන බවට අමාත්‍ය නවීන් දිසානානයක ප්‍රකාශ කර තිබිණ. එහෙත් දැන් ඉදිරියට පැමිණ තිබෙන්නේ වතු කම්කරුවන්ට අයවැයෙන් ලබාදීමට යන රු. 50ක වැටුප් වර්ධකය පිළිබඳවය. “ගිවිසුම අත්සන් කරන දවස්වල කීවා මිලියන 1500ක් හිඟ වැටුප් ගෙවීම සදහා වතු සමාගම්වලට රජයෙන් දෙනවා කීවා. පස්සේ කියනවා ඉල්ලුවේත් නෑ, දෙන්නේත් නෑ කියලා. එදා කීව දේ නෙමෙයි පස්සේ කියන්නේ. හිඟ වැටුප් සඳහා ලබා දෙනවා කීව මුදල තමයි දැන් රු. 50ක වැටුප් වර්ධකයක් විධියට දෙන්න හදන්නේ කියලා අපි හිතනවා. මේ කළේ සම්පූර්ණ බොරුවක්. ඒ මුදල සමාගම්වලට දුන් පසු තමයි වතුකම්කරුවන්ට ලැබෙන්නේ. ඒවාට ඊපීෆ් ඊටීඑෆ් නැහැ, වතුකම්කරුවෝ වැඩට නොගිය දවසට ඒක ලැබෙන්නේ නැහැ. එවැනි ගැටලු ගොඩක් තියනවා. ඒ වුණාට මේක ලොකු ජයග්‍රහණයක් විධියට කතා කරනවා. රු. 140ක් නොදුන්නොත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කීව අය හිඟ වැටුප් ලබා දෙන්න පොරොන්දු වූ මුදල දැන් රු. 50 ගානේ දෙන්න වෙන් කරලා ඒක ලොකු ජයග්‍රහණයක් කියලා කියනවා.” ලංකා කම්කරු කොංග්‍රසයේ උපසභාපති කනපති කනකරාජා පැවසුවේ එලෙසයි.

මේ සම්බන්ධයෙන් කම්කරු හා වෘත්තීය සබඳතා කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර රාවයට ප්‍රකාශ කළේ රු. 50ක වැටුප් වර්ධකය වතු කම්කරුවන්ට හිමිවන්නේ ඔවුන්ගේ පැමිණීම අනුව බැවින් ඒ වෙනුවෙන් කොපමණ මුදලක් වෙන්කරනවා ද යන්න පිළිබඳව තවම තීරණයකට එළඹ නැති බවය. හිඟ වැටුප් සම්බන්ධව අප කළ විමසීමේ දී ඔහු ප්‍රකාශ කළේ, “හිඟ වැටුප් පිළිබද ඉල්ලීමක් තිබුණා. ඒ සඳහා යම්කිසි මුදලක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් යෙදවීමේ යෝජනාවක් තිබුණා. ඒ නමුත් දැන් රු. 50වැඩි කිරීම භාණ්ඩාගාරයෙන් ලබාදෙනවා කීවත් ඒ සදහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙනුත් මුදල් යෙදවීමට සිදුවෙනවා. ඒ නිසා හිඟ වැටුප් ගෙවීමත්, මේ වැටුප් වර්ධකය ගෙවීමත් දෙකක් කරන්න බැහැ.” යනුවෙනි.

ඒ අනුව ආණ්ඩුවෙන් ඉවත්වන බවට පැවසූ අමාත්‍යවරු බේරා ගැනීමටත් ආණ්ඩුවට ලකුණු දමා ගැනීමටත් කරළියට ගෙන එන්නේ රු. 50ක වැටුප් වර්ධකයයි. ඒ සමග හිඟ වැටුප් පිළිබඳ දැන් අමතකය. අවස්ථාවට අනුව ඔවුහු එකම කොළය දෙපැත්ත හරවා පෙන්වා ඇත. එයින් ආණ්ඩුවත් ඇමතිවරුත් රැකේ යැයි ද ජනතාව මුළාවේ යැයි ද ඔවුහු බලාපොරොත්තු වන බව පැහැදිලිය.

“මුලින් ගිවිසුමට අත්සන් කිරීමට ඉඩ ලබාදී පසුව මනෝ ගනේෂන්ගේ කණ්ඩායමට සාකච්ඡාවට අවස්ථාව දෙනවා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස රු. 50ක් අයවැයෙන් වැඩි කිරීමට තීරණය වෙනවා. එය සිදු කරන්නේ වතු සමාගම්වල ලාභයට කිසිදු හානියක් නොවන ආකාරයටයි. තොණ්ඩමන්ලා ගිවිසුම අත්සන් කරන්නේත් ඒ ආකාරයටයි. රජයට මුදල් ලැබෙන්නේ එක් අතකින් රජයට ලබාගන්නා බදු මුදල් මගින්. දැන් මේ වැටුප් වැඩි කිරීමේදී ගෙවීමට සිදුව තිබෙන්නේ මහජනතාවටයි. ඒ වගේම දැන් කියනවා වෘත්තීය සමිතිවලින් හිඟ වැටුප් ඉල්ලුවේ නැති නිසා දෙන්නේ නැහැ කියලා. එම මුදල් ලබාදීමට වෘත්තීය සමිතිවලට වගකීමක් තිබෙනවා. ඒ නිසා වෘත්තීය සමිති පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද කියන ගැටලුව තිබෙනවා. සියල්ල සිදුවන්නේ දේශපාලන වුවමනාවන් මතයි. “කඳුරට සමාජ පර්යේෂණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු එම්. සත්‍යවේල් පියනම ප්‍රකාශ කරයි. “කම්කරුවන්ගේ අවශ්‍යතාව සඳහා නොව දේශපාලන අවශ්‍යතා සඳහා මෙය භාවිත කරන බව පෙනෙනවා. එක් පැත්තකින් තමන්ගේ වෘත්තීය සමිති නායකයන් වගේම දේශපාලන නායකයන් කවුද කියලා මේ අවස්ථාවේ දී කම්කරුවන් දැනගත යුතුයි. “ගිවිසුමට අත්සන් නොකළ ඒකාබද්ධ වෘත්තීය සමිතිය සමග සාකච්ඡා කිරීමටත් ඒ මගින් වතු කම්කරුවන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වතු කම්කරු වැටුප වැඩි නොකළහොත් තම ධුර අත්හරින බව පැවසූ අමාත්‍යවරු දැන් පවසන්නේ වතු සමාගම් දුන්නේ රු. 20යි, අපි රු. 50ක් දුන්නා යනුවෙනි. එය මෙරට දේශපාලඥයන්ට බල අරගලය වෙනුවෙන් භාවිත කළ හැකි කදිම වැකියකි.