අතුරුදන් වීම් සිදු වූ බව පිළිගැනීම වැදගත් ජනාධිපති නිතීඥ සාලිය පීරිස් -අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ ආරම්භක අරමුණු මොනවාද? මෙම වසරේ මාර්තු පළමුවැනිදාට කාර්යාලය අරඹා වසරක කාලයක් ගත වෙනවා. එම කාලය තුළ එහි අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබ ආයතනය කොතෙක් දුරට කටයුතු කර තිබෙනවාද?

මෙම කාර්යාලය පිහිටුවීමේ ප්‍රධාන පරමාර්ථය අතුරුදන් වූ පුද්ගලයන්ට යුක්තිය ඉටු කර දීමයි. එහිදී ඔවුන් අතුරුදන් වූ පසුබිමත් ඔවුන්ට අත්වූ ඉරණම කුමක්ද යන්න පිළිබඳවත් ඔවුන්ගේ පවුලවල අය දැනුවත් කිරීම සිදු කෙරෙනවා.
අප ආයතනයට සම්බන්ධ පනත තුළින් නිශ්චිත කාර්යන් කිහිපයක් දක්වා තිබෙනවා. විමර්ශනය, සාක්ෂිකරණය හා වින්දිතයන් සුරැකීම, අතුරුදන් වූ අයගේ පවුල්වල සුබසාධනය, අතුරුදන් වූවන් අනුස්මරණය කිරීම, අතුරුදන් කිරීම නැවත සිදු නොවීමට වගබලා ගැනීම යනාදී කාරනා එම නිශ්චිත කාර්යයන් අතරට ගැනෙනවා.

පසුගිය අවුරුද්දක කාලය තුළ ආයතනික ව්‍යුහය පිළිබඳ යම් යම් තීරණ ගැනීමේදී සිවිල් සංවිධාන, අතුරුදන් වූවන් ගැන උනන්දුවක් දක්වන පුද්ගලයන් සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල අය සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සිදු වුණා. එහිදී ලබාගන්නා ලද යෝජනා ගැන සැලකිලිමත් වෙමින් අප ආයතනයේ යාන්ත්‍රණය තීරණය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමත් සිදු කෙරුණා. ඒ වගේම අප ආයතනයට අවශ්‍ය කාර්ය මණ්ඩලය පත් කර ගැනීමේදී රජයේ රෙගුලාසි වලට අනුව සිදු කිරීමටත් කටයුතු කළා.

දිවයින පුරා ප්‍රාදේශීය කාර්යාල 12ක් ස්ථාපිත කරමින් සේවකයන් 250ක් පමණ බඳවා ගනිමින් අතුරුදන් වූ පුද්ගලයන්ට යුක්තිය ඉටු කර දීමටත් නැවතත් එවැනි සිද්ධි දිවයින තුළ ඇති වීම වළක්වා ගැනීමටත් අවශ්‍ය කෙරෙන යාන්ත්‍රණය සකස් කිරීමට අප ආයතනය කටයුතු කර තිබෙනවා.

අතුරුදන්වූවන්ගේ ගැටලුව පොදු සමාජ ප්‍රශ්නයක් බව ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා විවිධ පියවර අරගෙන තිබෙනවා. ඒ අතර එම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රධාන සහ සාමාජ මාධ්‍ය යොදා ගනිමින් මාධ්‍ය මගින් අතුරුදන් වූ පුද්ගලයන් ගැනත් එවැනි සිදුවීම් නැවත සිදු නොවීමට වගබලා ගැනීම ගැනත් දැනුවත් කෙරෙන ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන යමින් පවතිනවා. ඒ තුළින් අතුරුදන්වූවන්ගේ ගැටලුව පිළිබඳ ජනතාවට පුළුල් අවබෝධයක් ලබා දීමට අපේක්ෂා කරනවා.

අතුරුදන් වු පුද්ගලයන්ගේ පවුල් වලට අතුරු සහන මුදලක් ලබා දීමට අතුරු වාර්තාව තුළින් අපි යෝජනා කර තිබෙනවා. අතුරුදන් වූ පුද්ලයන්ගේ පවුල්වල අය ඉතාමත් දුක්ඛිත ජිවිත ගත කරනවා. ඔවුන් දැඩි ආර්ථික ප්‍රශ්නවලින් පීඩා විඳිනවා. අතුරුදන් වූ පුද්ගලයන් වෙනුවෙන් වන්දියක් ලැබෙන තුරු අතුරු සහන මුදලක් මාසිකව ලබා දීමට අප ආයතනය විසින් කරන ලද යෝජනාව එම පවුල් වලට යම් කිසි සහනයක් වෙනවා.

රටක් හැටියට මෙවැනි පවුල් වලට විශේෂත්වයක් දක්වන ලෙසට අපි රජයට යෝජනා කර තිබෙනවා. ඒ අතර රජයේ රැකියාවක් ලබා දීමේදි මෙවැනි පවුල්වල අයට 1%කින් හෝ රැකියා ලබාදීම, විශේෂයෙන් ණය සහන ලබා දීම යනාදි කාරණා ප්‍රමුඛ වෙනවා.

එත්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරයේදී මානව හිමිකම් කොමසාරිස්වරිය සිය දේශනයේදී ඔබ අයතනයේ ක්‍රියාකාරකම් ගැන ප්‍රසංශාවෙන් යුතුව සඳහන් කර තිබුණා. යහපාලන රජය විසින් ඔබ ආයතනය පිහිටුවනු ලැබුවේ ජාත්‍යන්තර බලපෑම් වලට අවනත වීමටද? එසේ නොමැති නම් මෙරට අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් අවංක මැදිහත් වීමක් කිරීමටද?

අප ආයතනය පිහිටුවීමේ අරමුණ විය යුත්තේ ජාත්‍යන්තරය සතුටු කරවීමට නොවේ. අප රට තුළ අතුරුදන් වූවන් සිටින බවට සත්‍ය ප්‍රශ්නයක් තිබෙනවා. එය අප රට පිළිගත යුතු වෙනවා. රටක් හැටියට මේ රටේ දශක තුනක් හෝ හතරක් තුළ අතුරුදන් වීම්, අතුරුදන් කරවීම් හා සම්බන්ධ සිද්ධීන් වාර්තා වී තිබෙනවා. ඒවා එසේ සිදුවී තිබෙන බව පිළිගැනීම ඉතාමත් වැදගත්. පුද්ගලයන් අතුරුදන් කිරීම තුළ කම්පාවට පත්ව සිටින දස දහස් ගණන් පවුල් අප රට තුළ සිටින බව අප පිළිගත යුතුයි. ඒ අයට යුක්තිය ඉටු කර දීමට රටත් වශයෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා.
අප ආයතනය වැනි කාර්යාලයක් පිහිටුවීම අවශ්‍ය වෙනවා. ඒ තුළ අතුරුදන් වූ පුද්ගලයන්ට යුක්තිය ඉටු කිරීමට රටක් වශයෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව සියලු දෙනා දකිනවා. එහි අතුරු ඵලයක් වශයෙන් ජාත්‍යන්තරය විසින් අප ආයනයේ ක්‍රියාකාරකම් අගය කරනවා විය හැකියි. රජයක් ලෙස අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම, බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදන් කිරීමට එරෙහි ජාත්‍යන්තර ගිවිසුම් වලට අත්සන් කිරීමට රජය ඉදිරිපත් වීම තුළින් මේ රටේ අතුරුදන් වූවන් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බවත් ඒවා මතුවට ඇති නොවන අයුරින් ක්‍රියා කළ යුතු බවත් රජය පිළිගෙන තිබෙනවා.
අතරුදන් වූවන් පිළිබඳ ප්‍රශ්නයට විසඳුම කුමක්ද කියා විවිධ මතවාද තිබිය හැකියි. ඒත් අප කාර්යාලය පිහිටු වීමට රජය ගන්නා ලද උත්සාහය ආරම්භක පියවරක්. මේ රටේ පාලකයන්ට මෙම ප්‍රශ්නය විසඳීම සඳහා දේශපාලන අභිප්‍රායක් තිබීම වැදගත් වෙනවා. මෙම ගැටලුව විසඳීම සඳහා දේශපාලන චේතනාවක් තිබෙනවාද නැද්ද යන කාරණාව ඉදිරියේදි බැලිය යුත්තක් ලෙස සලකනවා.

ඔබ ආයතනය මේ වන විට අතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් නිර්දේශ කිහිපයක් රජයට ඉදිරිපත් කර තිබුණා. ඒ නිර්දේශ ක්‍රිියාත්මක කිරීමට රජය කොතෙක් දුරට කටයුතු කර තිබෙනවාද? විශේෂයෙන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්වලට කිසියම් වන්දි මුදලක් ලබා දීමට ඔබ ආයතනය යෝජනා කර තිබුණා. එම මුදල් ලබා දීම මේ වන විට ක්‍රියාත්මක තත්ත්වයක පවතිනවාද? එසේ ලබා දෙන මුදල් ප්‍රමාණය ගැන ඔබගේ ආකල්ප කුමක්ද?

අපේ අතුරු වාර්තාව 2018 වසරේ සැප්තැම්බර් 05 වැනිදා ජනාධිපතිට භාරදීම සිදු කළා. ඉන් අනතුරුව ඔහු විසින් අතුරුදන් වූවන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ සහ වින්දිතයන්ට යුක්තිය ඉටු කරදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කළා. ඉන් අනතුරුව ඔක්තෝබර් – දෙසැම්බර් කාල පරිච්ඡේදය තුළදී රට තුළ ඇති වූ දේශපාලන අස්ථීරභාවය නිසා අපගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම කෙරෙහි අහිතකර අන්දමින් බලපෑවා. ඒත් අපගේ නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීම සම්බන්ධයෙන් අපි රජයන් සමඟ ඒ වන විටත් සාකච්ඡා කරමින් සිටියා.
මේ වන විට දේශපාලන ප්‍රශ්න සාමාන්‍ය වී තිබෙන නිසා අප යෝජනා කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා. වන්දි මුදලක් නොව අතුරු සහන වශයෙන් මාසිකව එක් දිලිඳු පවුලකට රුපියල් 6000ක් ලබා දීමට අප කරන ලද යෝජනාව තවම ක්‍රියාත්මක වන්නේ නැහැ. එම දීමනාව ලබා දීමට රජය මැදිහත් වෙයි කියා අපේක්ෂා කරනවා.

ඔබ ආයතනය විසින් ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාව විශ්ලේෂණය කිරීමේදී ඉන් උතුරු- නැගෙනහිර පළාත්වල අතුරුදහන් වූ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී තිබීම දැකිය හැකියි. දකුණු සමාජය තුළ සිදුවූ අතුරුදන් කිරීම් පිළිබඳ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ඔබ ආයතනය ගන්නා ක්‍රියා මාර්ග මොනවාද? ඒ සඳහා කොපමණ කාලයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවාද?

එම වාර්තාවේ උතුරු නැගෙනහිර අතුරුදන් වූ සිද්ධීන් පමණක් වාර්තා වන්නේ නැහැ. එය පොදුවේ ලංකාව තුළ සිදුවූ අතුරුදන් කිරීම් සම්බන්ධ වාර්තාවක්.උතුරේ අතුරුදන් වූවන්ගේ පවුල්වල ප්‍රශ්නය දකුණේ අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්වල ප්‍රශ්නය අතර යම් වෙනසක් තිබෙනවා. උතුරේ යුද්ධයෙන් පසු සිදු වූ අතුරුදන් කිරීම් වල වින්දිතයන් තවමත් ජීවතුන් අතර සිටින බවට ඔවුන්ගේ පවුල්වල අය විශ්වාස කරනවා. ඒ නිසා ඒ අයගේ අවශ්‍යතාවන් වල වෙනසක් තිබෙනවා.අපි කොළඹ, මාතර හා නුවර දිස්ත්‍රික්ක වල අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් සමග සාකච්ඡා කිරීමේදී ඒ අයගේ ප්‍රධාන ඉල්ලීම වුණේ සත්‍ය සෙවීමට අමතරව අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් වන්දියක් නොලැබුණු බවයි.

සියලුම අයගේ ප්‍රශ්න එක පාරටම යෝජනා කිරීම ප්‍රායෝගිකව අසීරුයි. අතුරුදන් වූ පුද්ගලයන් සියලුදෙනා සම්බන්ධයෙන් පවතින ප්‍රශ්න ඉදිරියේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. එහි එක් පියවරක් වශයෙන් උතුර සඳහා මන්නාරමේද දකුණ සඳහා මාතරද ප්‍රාදේශීය කාර්යාල පිහියුවීමට කටයුතු කර තිබෙනවා. අතුරුදන් වූවන්ගේ ප්‍රශ්න එක් ජාතියකට සීමාවී නැහැ. එය සැම ජනවර්ගයකම පොදු ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.

උතුරු පළාතේ අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන් කිලිනොච්චි සහ වව්නියා යන දිස්ත්‍රික්වල උපවාස කරමින් අතුරුදන් වූවන්ට සිදු වූයේ කුමක්ධ කියා රජයෙන් ප්‍රශ්න කර සිටිනවා. කිලිනොච්චි උපවාසයට දින 720ක් ඉක්මවා ගොස් තිබෙනවා. ඔවුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට ඔබ ආයතනය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? යුක්තිය ඉටු කිරීම ප්‍රමාද කිරීම තුළින් යුක්තිය නොතකා හැරිමක් සිදුවන බව පැවසෙනවා. උපවාසය සඳහා සහභාගී වී සිටින අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට යුක්තිය ඉටු කර දීම ගැන රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ඔබ ආයතනය අනුමත කරනවාද?

වින්දිත පවුල් වලට අයිතියක් තිබෙනවා සත්‍ය දැන ගැනීමට. අපේ අතුරු වාර්තාව මගින්ද යුක්තිය ඉෂ්ට කර ගැනීමට අතුරුදන් වූ පුද්ලයන්ගේ ඥාතීන්ට අයිතියක් තිබෙන බව පැහැදිලිව දක්වා තිබෙනවා.
අප ආයතනයේ ස්ථාවරය වන්නේ සියලු බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ යුක්තිය පසිඳලීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක විය යුතු බවයි. ඒ නිසා අපි අතුරුදන් වූවන් හා සම්බන්ධ විමර්ශන සහ නඩු පැවරිමේ කාර්ය, කාර්්‍යක්ෂම විය යුතුයි කියා අප ආයතනය විසින් රජයට නිර්දේශ කර තිබෙනවා. ඒ විතරක් නොවේ. අපේ ස්ථාවරය වන්නේ අපරාධ චෝදනා වලට ලක්ව තිබෙන රජයේ නිලධාරීන්ගේ සේවය නඩු කටයුතු අවශ්‍ය වන තුරු අත්හිටුවීම අවශ්‍ය බවයි. ඒ වගේම අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධ ගැටලුවේදී ඒ පිළිබඳ ඉදිරිපත් වී සිටින ක්‍රියාකාරින්, සාක්ෂිකරුවන් හා වින්දිත පවුල් ආරක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. ඒ කාර්ය අප ආයතනය තුළින් සිදු කෙරෙනවා. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වලට සහ ආරක්ෂක අමාත්‍යංශයට ආයතනය විසින් කරුණු දක්වා තිබෙනවා.

පසුගියදා රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබෙන බව වාර්තා වෙනවා. මාධ්‍ය වාර්තා වලට අනුව එම පුද්ගලයන් දෙදෙනා මරා පුළුස්සා දමා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසියට චෝදනා එල්ල වී තිබෙනවා. එම චෝදනා සැලකිල්ලට ගෙන පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දීම ප්‍රමාණවත් කියා ඔබ සලකනවාද?

එම සීමිත සිද්ධිය ගැන කරුණු කියන්න බැහැ. එනමුත් පොදුවේ ඒ සම්බන්ධයෙන් අපේ ස්ථාවරය ව්‍යාජ පැහැර ගැනීම් පිළිබඳ නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි. මේ සම්බන්ධයෙන් අප ආයතනයට පැමිණිල්ලක් ලැබී නැහැ.