ස්ත්‍රීන්ගේ නොසිඳෙන කැපවීමෙන් මුවහත්වන කේප්පාපිලව් ඉඩම් අරගලය

සම්පත් සමරකෝන්

“අපි අද යන්නේ අපේ ඉඩම්, මේ පාරෙන්ම නිදහස් කර ගන්න. කරුණාකරලා අපේ ඉඩම් ටික නිදහස් කරලා දෙන්න. පොඩි ළමයාට කිරි දීලා රවට්ටන විදිහට අපිව රවට්ටන්නේ නැතුව, අපේ ඉඩම් අපට අරන් දෙන්න. ඒ බලාපොරොත්තුවෙන් තමයි අපි අද යන්නේ. දෙසැම්බර් 31 දෙනවා කිව්වා, ඊට පස්සේ ජනවාරි 25 දෙනවා කිව්වා, අද වෙනතුරු කවුරුත් කිසිම තොරතුරක් අපිට කිව්වේ නෑ. ඒ නිසා තමයි අද යන්නේ. ජනාධිපතිතුමා මොකද්ද කියන්නේ කියලා අපිට දැනගන්න ඕන. අද පිළිතුරක් දුන්නේ නැතිනම් අපි මැරුණත් ඔතනම ඉන්නවා. හාල් මිටක් හොයාගෙන කැඳක් හරි බීගෙන අපි ඉන්නවා. අපිව හැමදාම රවට්ටන්න බෑ.”

දින 700කට ආසන්න කාලයක් අව් වැසි නොතකා සාමාකාමී විරෝධයක නිරතව සිටි කේප්පාපිලව් ස්ත්‍රීහු පසුගිය ජනවාරි 26 වැනිදා සිය විරෝධතා ස්ථානය වෙනස් කරමින් සිය ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින හමුදා කඳවුර ඉදිරිපිට සිය විරෝධතාව ඇරඹීමට තවත් කිලෝමීටර 2කක් හමුදා කඳවුර ගේට්ටුව අභියසට ගමන් කරන අතර තුර පැවසූහ.

ලේ වැකි යුද්ධයේ 2008 වසරේදී කේප්පාපිලව් මිනිසුන් සිය ඉඩම්වලින් පලා ගියේ යුද්ධයේ පීඩනය දරාගත නොහැකිව සිය ඇඳිවත පමණක් සමගය. ඉන් පසුව හෙක්ටායර 202කකට ආසන්න ඉඩම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා හමුදාවෝ ‘යුද්ධය’ මුවාවෙන් අත්පත් කර ගත්තේ කේප්පාපිලව් මිනිසුන් සරණාගත කඳවුරු තුළට ගාල් කරන අතර තුරය. විශේෂයෙන් 2009 දී යුද්ධය මිලිටරි ලෙස අවසන් කිරීමෙන් පසු කේප්පාපිලව් මිනිසුන් මැණික් ෆාම් නමින් ප්‍රසිද්ධ අනාථ කඳවුර වෙත ගෙන යන ලද අතර ඔවුන් එහි වසර ගණනාවක් රඳවා තැබිණි. 2012 වසරේදී මැණික් ෆාම් වසා සරණාගත කඳවුර වසා දැමුණු අතර, එම කඳවුරේ ඉතිරිව සිටි 560 ක් වූ කේප්පාපිලව් ඉඩම් හිමි මිනිසුන් සෝරිපුරම් හි පිහිටි කැලෑබද ප්‍රදේශයක නැවත පදිංචි කරන ලද්දේ අවම පහසුකම්වත් නොමැතිවය.

“කේප්පාපිලව් අපේ පාරම්පරික ඉඩම් අපිට ලබා දෙන්නයි කියලා අවුරුදු 08 ක් තිස්සේ අපි අරගල කරනවා. 2012 වර්ෂයේ 09 මාසේ කේප්පාපිලව් පාරම්පරික ඉඩම් ලබා දෙනවා යැයි කියලා, කේප්පාපිලව් මිනිසුන්ව වට්‍රාපලෛ පාසලකට කතා කරලා කැලෑවක් හෙළි කරා. ඒ එළිකරපු ස්ථානය දැන් තාවකාලික තැනක් විදිහට තියෙනවා. ළඟදීම ඔයාලගේ ඉඩම් ලබා දෙනවා තාවකාලිකව ඉන්න කියලා තමයි ගෙනත් දැම්මේ. ඒත් කිසිදු පහසුකමක් සලසා දුන්නේ නැහැ. සෑම එක පවුලකටම පර්චස් 20 ක් දෙනවා කියලා තමයි කිව්වේ. මේ වනතුරුත් ඒ ජනතාවට වතුර ප්‍රශ්නයවත් විසඳලා දුන්නේ නැහැ. පොදු ළිඳක් තමයි ඒ මිනිස්සු සියල්ලෝම භාවිත කරන්නේ. මේ අවුරුද්දේ නියං කාලේ අහු වුණු නිසා ඒ ජනතාවට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපේ ජීවන රටාව බිංදුවටයි තියෙන්නේ. මෙච්චර කාලයක් අපි ඉවසීමෙන් හිටියේ” යැයි 2017 පෙබරවාරියේ දී කේප්පාපිලව් හී ඉඩම් අල්ලා අරගලයේ යෙදෙන, එස්. චන්ද්‍රලීලා මහත්මිය පැවසුවාය.

කේප්පාපිලවු ග්‍රාම නිලධාරි කොට්ඨාසය පිහිටා ඇත්තේ මුලතිවු දිස්ත්‍රික්කයේ මාර්ටිනේපත්තු ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය තුළය. එය සූරියපුරම්, සීනියමොට්ටයි, කේප්පාපිලවු හා පලකුඩියුරුප්පු යන ගම්මාන හතරෙන් සමන්විත වන අතර, ප්‍රධාන වශයෙන් ගොවීන් හා ධීවරයින් ලෙස ඔවුහු සිය ජීවනෝපාය සරිකරගෙන සිටිති. කේප්පාපිලව් හී මහපොළව සාරවත් රතු පසකට හිමිකම් කියන අතර, පිරිසිදු පානීය ජලය සහ කළපු සම්පත්වලින් පොහොසත් සශ්‍රීක ප්‍රදේශයකි. එහි ජීවත් වූ ඇතැම් මිනිසුන් ගේ ඉතිහාසය අවුරුදු 60-70ක් දක්වා වඩා ඈතට දිවෙන බවත් පැවසෙයි.

2009 වසරේ යුද්ධයේ අවසාන කාලයේ මැණික් ෆාම් කඳවුරේ රඳවා සිටි පිරිසට මේ පිරිස ද අයත් වූ අතර, තමන්ගේ නිවෙස්වලට ආපසු යන්නට පුන පුනා ඉල්ලීම් සිදුකළත්, ඔවුන් අවතැන් වීමට පෙර ඔවුන්ට කෙතරම් ඉඩම් ප්‍රමාණයක් අයිතිව තිබුණේ ද යන්න පිළිබඳ කිසිවක් නොසලකා පවුල් 150 කට පමණ එක් පවුලකට අක්කර කාල බැගින් අලුත් ඉඩම් වෙන්කර දෙනු ලැබුණේ ඊනියා නැවත පදිචි කිරීම් නාමයෙනි. එම මිනිසුන්, ඔවුන් ඔවුන්ගේ මුල් ඉඩම්වලට යාබදව පිහිටි මුලින් සූරියපුරම් යනුවෙන් ප්‍රකට ප්‍රදේශයකට නැවත අවතැන් කෙරිණ. මෙය දැන් හඳුන්වන්නේ කේප්පාපිලවු ආදර්ශ ගම්මානය යනුවෙනි.

කේප්පාපිලවු මිනිසුන් 2012 සිට ඔවුන්ගේ ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා සාමකාමී විරෝධය පෑම් ගණනාවක් පවත්වා තිබිණි. ඔවුන්ගේ මුල් පදිංචි ස්ථාන ආපසු ලබාදෙන ලෙස කරන ඔවුන්ගේ ඉල්ලීම පිළිබඳව නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් හා කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුයුද්දීන් මුණ ගැසී තිබුණි. එපමණක් ද නොවේ ඔවුන් ඉඩම් ඔප්පු 60ක පිටපත් සහිතව ජනාධිපති ලේකම් කාර්යාලයට ලිඛිත අභියාචනයක් ද අනතුරුව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට ලිපියක් ද ඉදිරිපත් කර තිබුණි.

කේප්පාපිලව් හී තමන්ට අයිති ඉඩම් ඉඩම් ආපසු ලබා ගැනීමේ සියලු උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු 2016 මාර්තු 24 වැනි දින ඒ ඉඩම් අහිමි මිනිස්සු මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ. එම මාරාන්තික උපවාසයෙන් දින 3කට පසු උතුරේ දේශපාලන පක්ෂවල නියෝජිතයන් පැමිණ තමන් සමග සාකච්ඡා කළ බවත්, උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලිපියක් මගින් කාරණය පිළිබඳව කටයුතු කිරීමට ද ඉදිරි මාස තුන ඇතුළත ඊට විසඳුමක් ලබා දීමට ද පොරොන්දු වී තිබෙන බවත්, අප හා පැවසුවේ ඉඩම් නිදහස් කර ගැනීමේ අරගලයේ ප්‍රබල ක්‍රියාකාරීකාවක් වන චන්ද්‍රලීලාය. ඒ මීට වසර 2කකට පෙර 2016 වසරේදීය. ඒ පොරොන්දුව මත නැවත වරක් උපවාසය අවසන් කෙරිණ. ඉන් දින 5කට පසු උතුරු පළාත් මහ ඇමතිවරයා මුණ ගැසීමට අවස්ථාව ලැබුණ ද ඉඩම් නිදහස් කර ගැනීම පිළිබද කිසිදු පොරොන්දුවක් දීමට මහ ඇමතිවරයා උනන්දු වූයේ නැත.

එබැවින් පොලීසියට සහ හමුදාවට සිදුවූයේ බලා සිටීමට පමණි. කෙසේ නමුත් ඒ අඛණ්ඩ සාමකාමී ක්‍රියාකාරීත්වයන්ගේ ප්‍රතිඵලයක් ලෙස, පිවිසුම් දොරටුවේ සිට වම්පස ප්‍රදේශයේ පිහිටි ඉඩම් හෙක්ටයාර 53ක් නිදහස් කිරීමට ‘යහපාලන’ ආණ්ඩුවට සිදුවිය. කෙසේ නමුත්, ශ්‍රී ලංකා හමුදාවේ 59වන සේනාංකය කේප්පාපිලව් හී පවුල් 104කට අයත් ඉඩම් හෙක්ටායර 141ක පමණ තවමත් රැඳී සිටියි.
කෙසේ නමුත් උතුරේ ජනතාවගේ ඉඩම්වලින් සියයට අනූවක් නිදහස් කළා යැයි ආරක්ෂක අංශ ප්‍රකාශ කළත්, හියුමන් රසිට්ස් වොච් නිකුත් කළ වාර්තාවකින් කියැවුණේ ‘no publicly available accurate and comprehensive mapping of land occupation’ යනුවෙනි. (https($$www.hrw.org/report/2018/10/09/why-cant-we-go-home/military-occupation-land-sri-lanka#)

තත්ත්වය මෙසේ තිබියදී, 2018 ඔක්තෝබර් 4 වැනි දින ජනාධිපති මාධ්‍ය අංශය විසින්, නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් ‘ඉඩම් අයිතිය පිළිබඳ ජනතා සන්ධානය’ ප්‍රකාශයක් නිකුත් කළේය.
“උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමකදී, “උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් සම්බන්ධයෙන් ඇති සියලුම ගැටලු විසඳීමෙන් අනතුරුව, දෙසැම්බර් 31 වැනි දිනට පෙර, ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත නිදහස් කිරීමේ ක්‍රියාවලිය සම්පුර්ණ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය”, යනුවෙන් 2018 ඔක්තෝබර් 4 වැනි දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් වාර්තා කරන ලදි. යනුවෙන් එම නිවේදනයේ දැක්වුණි.

එහි තවදුරටත් සඳහන් වූයේ,
“අපගේ ඉඩම් බලහත්කාරයෙන් ලබාගෙන ඇති අතර, යුද්ධය අවසන් වීමෙන් වසර 10කට ආසන්න කාලයක් තිස්සේ තවමත් බොහෝ සෙයින් දුක් පීඩා විඳින අප, ඔබ විසින් මෙම පොරොන්දුව ඉටු කරන ලෙසත්, මාස කිහිපයකට පෙර ඔබ විසින් ලබාදුන් උපදෙස් අනුව බලධාරීන් කටයුතු කරන බවට වගබලා ගන්නා ලෙසත්, ඉල්ලා සිටින්නෙමු. අගමැතිතුමා සහ සියලුම දේශපාලන පක්ෂ හා සන්ධාන නායකයින් මෙයට සම්පූර්ණයෙන් සහාය දක්වන ලෙසටත්, මෙම තීරණය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලෙසටත්, අපි ඉල්ලා සිටින්නෙමු.”
යනුවෙන් ‘ඉඩම් අයිතිය පිළිබඳ ජනතා සන්ධානය’ අදාළ බලධාරීන්ගේ ඔවුන්ගේ පොරොන්දුව යළි සිහිපත් කළේ, පසුගිය ජනවාරි 2වනදාය.

ජනවාරි 26 තවත් වටයකින් ඉදිරියට

දෙසැම්බර් 31 වැනිදා ට පෙර ඉඩම් ලබා දෙනවා යැයි කියූ ජනාධිපතිවරයාගේ පොරොන්දුව ඉටු නොවුණු තත්ත්වය තුළ දී, කේප්පාපිලව් හී විරෝධතාවයේ නිරත ධෛර්යවන්ත ස්ත්‍රීන් 10කට ආසන්න පිරිසක් සිය විරෝධතා පුවරු ද සමග හමුදා කදවුරේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට ට සිය විරෝධය රැගෙන ගියේ පසුගිය ජනවාරි 26වනදා උදෑසනය. එයට ද පොලීසිය විසින් වාරණ නියෝගයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එහෙත් අධිකරණය විසින් උද්ඝෝෂණ කිරීමට ජනතාව සතු අයිතිය පිළිගෙන තිබූ අතර, එම සාමකාමී විරෝධතාවට බාධා නොකරන ලෙස පොලීසියට අවවාද කර තිබුණි. මාර්ග අවහිර නොකිරීමටත්, කඳවුරට ගල් නොගැසීමටත් සහ පොදු ජනතාවට බාධා වන අයුරින් කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු නොකරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා විරෝධතාව සංවිධානය කරන ස්ත්‍රීන්ට අවවාද කොට තිබුණි.

විරෝධතා අයිතියට බාධා කරන පොලීසිය

හමුදා කඳවුර ගේට්ටුව අසලට පැමිණෙන විට පොලිස් නිලධාරීන් 45කට ආසන්න ප්‍රමාණයක්, බස් රථයක්, ලොරියක්, ජීප් රථයක් සහ කාරයක් හමුදා ගේට්ටුව ඉදිරියේ නතර කර තිබුණේය. මද වේලාවකින් අනිකුත් ගම්වැසියන් පිරිසකුත් එම විරෝධාතාවට එක් වූ අතර, පොලිස් වාහන පාර අසල නතර කර තැබීම හේතුවෙන් විරෝධතාකරුවන්ට සිය විරෝධය දැක්වීමට ඇති සියලු අවස්ථා පොලීසිය හිතාමතාම අවහිර කර තිබුණේ අධිකරණය විසින් පිළිගත් ‘විරෝධය දැක්වීමේ අයිතියට’ ද හිතාමතාම උල්ලංඝනය කරමිනි.
“එයාලා හදන්නෙ පොටෝ අරගන අපිව බයකරන්න, අපිට ආයෙ මොනවද වෙන්න තියෙන්නේ. වුණු දේවල් හොඳටම ඇති. අපි ඔය පොටෝවලට බය නෑ. අනිත් එක අපි නීති විරෝධි වැඩක් කරන්නේ නෑ. පොටෝ අරගන්න එකත් නීති විරෝධියි.” ඒ ධෛර්යවන්ත ස්ත්‍රීන්ගේ මුවගින් පිට වූ වචනය.

යළි යළිත් උසාවි නියෝග

කේප්පාපිලව් ජනයා 26 වැනිදා සිට නොනවත්වා සිය විරෝධය දැක්වීම සිදුකරන බව ප්‍රකාශ කිරීම හේතුවෙන්, විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය සිය උපරිම වෑයමක් ගත් නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වූයේ, ඒ ධෛර්ය සම්පන්න ස්ත්‍රීන්ගේ ඉවසීමත්, සිය අරමුණ ඉෂ්ට කර ගැනිමට ඇති ප්‍රබල ඕනෑකමත් නිසාය.
නමුත්, පොලිසිය සිය අවසන් උත්සාහය ද ගත්තේය.

ජනවාරි 26වනදා සෙනසුරාදා දිනයක් වුවත්, නැවත වරක් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් අධිකරණ නියෝගයක් ලබා ගත්තේය. මුලතිව් අධිකරණයේ හී වැඩබලන මහසේත්‍රාත්වරයා විසින් ඊ/109/2019 අංක දරණ අධිකරණ නියෝගයක් නිකුත් කළේය. අධිකරණ නියෝගය රැගෙන පොලීසිය පැමිණෙන විට රාත්‍රිය උදාවී තිබුණු අතර අධිකරණ නියෝගයෙන් කියැවුණේ හමුදා කඳවුරේ ගේට්ටුවේ සිට මාර්ගයේ දෙපසට මීටර 75ක් දක්වා දුර, විරෝධතාකරුවන්ට තහනම් සීමාවක් වන බවත්, මීටර් 75කට පසුව ස්ථානයක සිය විරෝධය දැක්විමට අවසර ඇති බවත්ය.
වළං, පිඟන් ප්‍රමාණයක්, කෑමට බත් සහ අල ගෙඩි ප්‍රමාණයක්, වතුර කෑන් කිහිපයක් සමග සිටි ස්ත්‍රීන් 10දෙනෙක් ගේ විරෝධතාවයකට පොලීසියේ 45 දෙනෙක්, තවත් අධිකරණ නියෝගයක් ගෙන ඔවුන්ගේ ධෛර්ය නැති කිරීමට ගත් උත්සාහය යුද්ධයෙන් වසර 10ක් ගෙවෙන මේ මොහොතේ සාමය, සංහිඳියාව සහ මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කරන සියලු දෙනා නැවත නැවතත් කියවා ගත යුතු තත්ත්වයකි.
මීටර් 75කින් එහා අගලක් සමග විරෝධයක්

“අපි අධිකරණ නියෝගයට ගරු කරනවා” ස්ත්‍රීන් හරියටම මීටර 75ක් සලකුණු කිරීමෙන් පසු හමුදා ගේට්ටුවෙන් එපිට සිය විරෝධය සඳහා රාත්‍රියේම සූදානම් වූයේ ගණ කළුවරේ, අගාධයක් සහිත ස්ථානයක කුප්පි ලාම්පු එළියෙනි. පොලීසිය ද ඉන් මීටර 50කට වන්නට හමුදා ගේට්ටුව අසල රැඳී සිටියේ හමුදාව ආරක්ෂා කිරීම, ජනතාව ආරක්ෂා කිරීමට වඩා වැදගත් බව සිතමින් බව පෙනෙන්නට විය. ශිෂ්ට මිනිසුන් තේරුම් ගත යුත්තේ එයයි.

පොලීසිය පරාජය වෙයි

සියලු අධිකරණ නියෝග පිළිපදිමින් සාමකාමි ලෙස සිය විරෝධය දක්වමින් කදවුර ගේට්ටුවෙන් මීටර 75ක් වන්නට වන ස්ථානයේ සිටින ස්ත්‍රීන් එතැනින් ඉවත් කිරීම සඳහා නැවත වරක් පොලීසිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත්තේ පසුගිය පෙබරවාරි 6වනදාය. පොලීසිය විසින් ඉල්ලා ඇත්තේ ‘හමුදා කඳවුරට නොපෙනෙන’ තැනකට මෙම විරෝධය ගෙන යන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසය. එහෙත් නැවත වරක් අධිකරණය විසින් ‘ජනතාවට සාමකාමී ලෙස විරෝධය දැක්වීමේ අයිතිය’ යළි තහවරු කරමින් පොලීසියේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
ධෛර්වන්ත ස්ත්‍රීන්ගේ ඉවසිලිවන්ත භාවයත්, වීර්යයත් හමුවේ පොලීසියේ අයුක්ති සහගත ඉල්ලීම් නැවත වරක් පරාජයට විය. කෙසේ නමුත් පොලීසියේ මෙම හැසිරීම හුදකලා සිදුවීමක් නොව එයට හමුදාව ද සම්බන්ධ බව ඕනෑම අයෙක්ට පෙනෙන සත්‍යයකි. ඒත් මහ පොළවේ සත්‍ය සහ කේප්පාපිලව් මිනිසුන්ගේ නොපසුබට ධෛර්යත් හමුවේ, ‘මිලිටරියේ’ මෙන්ම පොලීසියේ අධිපතිවාදී, අයුක්ති සහගත ක්‍රියාවලිය ජයග්‍රහණය කරන්නේ නැත. ඒ වෙනුවට, යුද්ධයෙන් වසර 10ක් ගතවෙමින් සිටිය දී ද පෙන්නුම් කරමින් ඇත්තේ, ඉඩම් අහිමි ජනයා තවදුරටත් සිය මිලිටරි සපත්තුවෙන් යටකරමින් සිය මිලිටරි ඕනෑ එපාකම් ඉෂ්ට කර ගැනීමට ගන්නා මුග්ධ උත්සහයකි. ඒ උත්සාහය පරාජය කිරීම මානව හිමිකම් සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන්ගේ යුතුකමක් වන්නේය.