19 යළි අසමත් වීම, ව්‍යවස්ථා සභාව

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ මතුව තිබෙන සාකච්ඡාව සැලකිය හැක්කේ ඉතා බරපතළ ලෙස ගත යුතු සංවාදයක් ලෙසය. එහෙත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් හෝ අමාත්‍යවරුන් පවා එහි බරපතලකම වටහාගෙන සංවාදයට එක් වන්නේ යැයි සිතිය නොහැක. අනෙක් පැත්තෙන් මහජනයාට මේ පිළිබඳ ඇත්තේ අල්ප අවබෝධයක් බව සිතිය හැක. ව්‍යවස්ථාදායක සභාව ලෙස බොහෝ දෙනකු හැඳින්වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, මෙම සභාව නම් කර ඇත්තේ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව’ ලෙසය.

දීපාලි විජේසුන්දර

මැතිවරණ, රාජ්‍ය සේවා, පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස් හෝ දුෂණ, මුදල්, සීමා නිර්ණය සහ ප්‍රසම්පාදන යන සියලු කොමිෂන් සභාවලට සමාජිකයන් සහ සභාපතිවරුන්, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුත්තේ මෙම ‘ව්‍යවස්ථා සභාවේ’ නිර්දේශ මතය. එහෙත් අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ සෙසු විනිසුරුවන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සමාජිකයන්, නීතිපති, විගණකාධිපති, පොලිස්පති, පාර්ලිමේන්තුවේ ඔම්බුඞ්ස්මන්, පාර්ලිමේන්තුවේ මහ ලේකම් යන තනතරුවලදී සිදු වන්නේ ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ‘ව්‍යවස්ථා සභාවේ’ අනුමැතිය ලබා දීමය.

‘ව්‍යවස්ථා සභාව’ පිළිබඳ කතාබහ සමාජයට විවර වූයේද ජනාධිපතිවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුරයකට සහ අභියාචනාධිකරණයේ සභාපති ධුරයට නිර්දේශ කර එවූ දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ නම, වාර කිහිපයකදී ප්‍රතික්ෂේප වීමත් සමගිනි. දීපාලි විජේසුන්දර, අභියාචනාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය බවට පත් වූයේ එහි හිටපු සභාපති ප්‍රීති පද්මන් සුරසේන විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු බවට උසස් වීමෙන් අනතුරුවය. ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් කළ යුතු අභියාචනාධිකරණ විනිසුරුවරුන් සෙ ජනාධිපතිවරයා නිරදේශ කළ නම් අතර දීපාලිගේ නම තිබුණද ව්‍යවස්ථා සභාව පළමුව එය ප්‍රතික්ෂේප කළේය. අනතරුව ජනාධිපතිවරයා කළේ ඇගේ නම අභියාචනාධිකරණයේ සභාපති තනතුරට නිර්දේශ කිරීමය. එහිදීද එම නම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කළේය. මෙසේ ප්‍රතික්ෂේප කිරීමේදී බහුතරයේ කැමැත්ත අනුව එම තීන්දු ගන්නේ යැයි අනුමාන කළ හැකිය.

ව්‍යවස්ථා සභාවේ සංයුතිය

එවැනි තීන්දු ගන්නා ආකාරය පිළිබඳ ජනතාවට යම් අවබෝධයක් ලබා ගැනීම පිණිස ව්‍යවස්ථා සභාවේ සංයුතිය දැන ගැනීමද වැදගත්ය. ව්‍යවස්ථා සභාවේ සමාජිකයන් සංඛ්‍යාව 10කි. අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපතිගේ නියෝජිතයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් එහි සමාජිකයන් වන්නා සේම අගමැති සහ විපක්ෂ නායක යන දෙදෙනාගේම නාම යෝජනා කිරීම මත තවත් පස් දෙනකු ජනාධිපති විසින් පත් කරනු ලබයි. එම පස් දෙනාගෙන් දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු අතර මන්ත්‍රීවරුන් නොවන තුන්දෙනා පිළිබඳ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ, විශිෂ්ටත්වයෙන් හා අවංක භාවයෙන් යුත් පොදු වෘත්තීය ජීවිතයේදී කීර්තිය ලත් කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන තැනැත්තන් විය යුතු බවය. එමෙන්ම ඔවුන්ගේ නම් පාර්ලිමේන්තුව අනුමත කිරීමද අත්‍යාවශ්‍ය කොන්දේසියක් වන්නේය. මීට අමතරව අගමැති හෝ විපක්ෂ නායක අයත් දේශපාලන පක්ෂවල නොවන, පාර්ලිමේන්තුවේ අනෙක් පක්ෂයන්හි බහුතරයේ එකඟතාව මත ජනාධිපති පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ද මෙහි සාමාජිකත්වය හිමි වෙයි.

ඉහත දැක්වූ පිළිවෙළ අනුව වර්තමානයේ ව්‍යවස්ථා සභාවේ සමාජිකයන්, පුද්ගලයන් වශයෙන් මෙසේය.
රනිල් වික්‍රමසිංහ (අගමැති), කරු ජයසූරිය (කතානායක), මහින්ද රාජපක්ෂ (විපක්ෂ නායක), මහින්ද සමරසිංහ, තලතා අතුකෝරළ, චමල් රාජපක්ෂ, ජයන්ත ධනපාල, මහාචාර්ය එන්. සෙල්වකුමාරන්, නිතීඥ ජාවේඞ් යුෂුෆ් සහ බිමල් රත්නායකය. මහින්ද සමරසිංහ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මෙවර පත් කෙරුණු අතර තලතා අතුකෝරළ සැලකිය හැක්කේ අගමැතිගේ නියෝජිතයකු ලෙසය. චමල් රාජපක්ෂ මෙම සභාවට පත් වූයේ විපක්ෂ නායකවරයා ලෙස ආර්. සම්බන්ධන් කටයුතු කරද්දී ඔහු පත් කළ නියෝජිතයා ලෙසය. එමෙන්ම ආර්. සම්බන්ධන් විපක්ෂ නායකවරයා ලෙස සහ රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා ලෙස එකඟතාවයකට පැමිණ පත් කළ මන්ත්‍රීරුන් නොවන තුන්දෙනා වන්නේ ජයන්ත ධනපාල, සෙල්වකුමාරන් සහ ජාවේඞ් යුෂුෆ්ය. බිමල් රත්නායක ජවිපෙ මන්ත්‍රීවරයා පත් වී ඇත්තේ අනෙකුත් පක්ෂ නියෝජිතයා ලෙසය. ව්‍යවස්ථා සභාවේ සභාපති වන්නේ නිල බලයෙන්ම කතානායකවරයාය.

අලුත් දේශපාලනයේ පරණ සභාව

මට පෙනෙන ආකාරයට මෙහි ඉතා වැදගත්ම පත් කිරීම් වන්නේ අගමැති සහ විපක්ෂ නායක යන දෙදෙනාගේම නාම යෝජනා මත පත් කරනු ලබන පස් දෙනාය. මෙතෙක් සිදුව ඇත්තෙ ඒ පස්දෙනා අතර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා අගමැති සහ විපක්ෂ නායක විසින් බෙදාගැනීමය. වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් තම පක්ෂයේ මන්ත්‍රීවරියක වන අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ ඊට පත් කරනු ලැබුවේ ඒ අනුව බව සිතිය හැක. සම්බන්ධන් විපක්ෂ නායකවරයාටද තම පක්ෂයේ මන්ත්‍රීවරයකු පත් කළ හැකිව තිබියදී චමල් රාජපක්ෂ පත් කිරීම ඒ අවස්ථවේ දී ඔහුගේ පැවති යහපත් ස්ථාවරයක් ලෙස සැලකිය හැකිය. ඊළඟට වැදගත් වන්නේ මන්ත්‍රීවරුන් නොවන තුන්දෙනාය. ඔවුන් තුන්දෙනා පත්කර ඇත්තේද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ එකල විපක්ෂ නායකවරයා වූ ආර්. සම්බන්ධන් යන දෙදෙනාගේම නාම යෝජනා මතය. එවිට වත්මන් ව්‍යවස්ථා සභාවේ සිටින තලතා අතුකෝරළ සහ චමල් රාජපක්ෂගේ පත් කිරීම් පිළිබඳ හෝ මන්ත්‍රීවරුන් නොවන තුන්දෙනාගේ පත් කිරීම් පිළිබඳව හෝ වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ අනුමැතියක් නොමැති බව අපැහැදිලි නැත. ඒ අනුව ඔවුන්ගේ පත් වීම් සැලකිය හැක්කේ අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා යන දෙදෙනාගේම නාම යෝජනා මත නොව අග්‍රාමාත්‍යවරයා සහ හිටපු විපක්ෂ නායකවරයා යන දෙදෙනාගේම නාම යෝජනා මත කළ ඒවා ලෙසය.

මට දැනගන්නට ලැබුණේ විපක්ෂ නායක ධුරයද වෙනස් වූ, දේශපාලන පරිවර්තනයක් සමඟ, ව්‍යවස්ථා සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස් වීම සඳහා චමල් රාජපක්ෂ මහතා, එහි සභාපති වන කතානායකවරයාට ලිපියක් භාර දී ඇති බවය. එම නිසා පසුගිය 07 වැනිදා රැස්වීමට හෝ ඊට සති දෙකකට පෙර පැවති රැස්වීමටද ඔහු සහභාගී වී නැත. එහෙත් එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගත යුතු අතර එවැන්නක් සිදු වී ඇතැයි දැනගත්නට නැත. ඔහු එසේ ඉල්ලා අස් වීමට ලිපියක් භාර දුන්නද පැරණි විපක්ෂ නායක සම්බන්ධන් මහතාගේ ද කැමැත්ත මත පත් වූ මන්ත්‍රීවරුන් නොවන තුන්දෙනා එසේ ඉල්ලා අස් වීමට තීරණ්‍ය කර නැත. එම තත්ත්වය මහින්ද රාජපක්ෂ වර්තමාන විපක්ෂ නායකවරයාගේ සතුටට හේතුවනු ඇතැයි සිතිය නොහැක. චමල් රාජපක්ෂ තවදුරටත් සිටීම ඔහුට ප්‍රශ්නයක් නොවිය හැකි වුවද අනෙක් තුන්දෙනා පිළිබඳ එවැනි නිගමනයකට පැමිණීම සාධාරණ වන්නේ නැත.

ව්‍යවස්ථා සභාවේ සමාජිකයන්ගේ ධුර කාලය අවුරුදු 03කට වලංගු වන්නේය. දැනට සිටින සාමාජිකයන් පත් කරනු ලැබුවේ 2018 වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඒ අනුව එම පත් කිරීම් 2021 ඔක්තෝබර් මාසය දක්වාම වලංගු වන්නේය. මේ නිසා ව්‍යවස්ථා සභාවට නිල බලයෙන් පත් වන අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා හැරුණු විට අනෙක් සියලු සමාජිකයන්ම පාහේ, පාර්ලිමේන්තුව තුළ කෙරෙන බල පෙරළියකදී වුවද, ධුර කාලය අවසන් වන තුරු වෙනස් කිරීමේ හැකියාවක් ඇත්තේ නැත.

එවැනි තත්ත්වයක් ව්‍යවස්ථා සභාවේ පැවැත්මට හිතකර වන්නේ යැයි සිතිය නොහැක. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී, මොනව තත්ත්වයක් උද්ගත වුවත් වසර හතරාහමාරක් යනතුරු පාර්ලිමේන්තු විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලබාදී නැතුවාක් මෙන්ම එම පාර්ලිමේන්තු කාලයේදී ඡන්දයකින් තොරව අගමැතිවරයා හෝ විපක්ෂ නායකවරයා හෝ ජනාධිපති වෙනස් වුවද, ධුරයකට අලුතින් පත් වූ ජනාධිපති හෝ අගමැති හෝ විපක්ෂ නායකට පත් කිරීම් කළ හැකි වන පරිදි ව්‍යවස්ථා සභාවේ සිටින සමාජිකයන් ඉවත් කිරීමේ බලයද (වසර තුනක ධුර කාලය අවසන් වන තුරු) ලබා දී නැත්තේය.

අභියාචනාධිකරණයේ අර්බුදය

දැන් ඇති වී තිබෙන්නේ ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථා සභාව අතර අර්බුදයක් නොවන්නා සේම එය අධිකරණයේද අර්බුදයක් බවට පත්ව තිබේ. එහෙත් මෙහි හරය විය යුත්තේ පවත්නා දේශපාලන අර්බුදයේම පිළිඹිබුවක් සේ දැකීමය. එහෙත් ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ඉතා වැදගත් කාරණයක් මෙයින් ඉස්මතු වන්නේය.

ව්‍යවස්ථා සභාවෙ හෝ එහි බහුතරයට අනුව දීපාලි විජේසුන්දර විනිසුරුවරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුරයකට සුදුසු නොවන්නාක් මෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයටද ඇය සුදුසු වන්නේ නැත. එසේ නම් ඇය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස සිටීමට සුදුසු වන්නේ කෙසේද? මීට ව්‍යවස්ථා සභාව පිළිතුරු දිය යුතුවාක් මෙන්ම යම් අයෙකු පත් නොකරන්නේ නම් ඊට පැහැදිලි හේතු ඉදිරිපත් කිරීමද ව්‍යවස්ථා සභාවේ වගකීමක් වන්නේය. එවැනි හේතු පොදුවේ සමාජයට මුදා හැරීම, දැනට නඩු අසමින් සිටින විනිසුරුවරියක් නම් ඇයට මෙන්ම ඇයගේ තීන්දු පිළිගන්නා ජනතාවටද සමස්ත අධිකරණ පද්ධතියටම බරපතළ ප්‍රශ්නයක් වීම නොවැළැක්විය හැකිය. එහෙත් එසේ හේතු ප්‍රසිද්ධ නොකළද එය ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධුරයට නුසුදුසු අයෙකු අභියාචනාධිකරණ විනිසුරුවරියක්ව සිටීම සාධාරණ වන්නේ කෙසේදැයි, යන ප්‍රශ්නය අවලංගු වීමට හේතුවක් විය නොහැකිය. ව්‍යවස්ථා සභාව මීට පිළිතුරු දීම, මහජනතාවට මෙන්ම දීපාලි විජේසුන්දර මහත්මියට කරන සාධාරණයක් පමණක් නොව එම සභාව තමන්ට කර ගන්නා සාධාරණයක් ලෙසද සැලකිය හැකිය.

සුහද ගම්ලත් මහතාව නීතිපති තනතුරට උසස් නොකීරීමට, එස්. එම්. වික්‍රමසිංහ මහතා පොලිස්පති ධුරයට උසස් නොකිරීම, ඊවා වනසුන්දර මහත්මිය අගවිනිසුරු ධුරයට උසස් නොකිරීම, කුසලා සරෝජනි වීරවර්ධන මහත්මිය අභියාචනාධිකරණ විනිසුරු ධුරයට උසස් නොකිරීම, ඒ. ඒ. හෙයියන්තුඩුව, මනිලාල් වෛiතිලක, අනුර රණසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් අභියාචනාධිකරණයට උසස් නොකිරීම පිළිබඳව, අගමැතිවරයාගේ නියෝජිතයා ලෙස සිටි ආචාර්ය විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා තමන්ද සිටි ව්‍යවස්ථා සභාවට කරන චෝදනා පිළිබඳව එම සභාව අකණ්ඩව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටීම උචිත වන්නක් යැයි සිතිය නොහැක.

අනෙක් පැත්තෙන් යම් ධුරයකට ජනපති විසින් නිර්දේශ කරනු ලබන්නේ එකම නමක් පමණක් නම් ව්‍යවස්ථා සභාවට පැවරි ඇති කාර්යභාරය කුමක්ද? සුදුස්සා A නම් A,B,C යන නම් තුනක් ජනපති නිර්දේශ කර යැව්වද සභාව A තෝරාගත යුතුය. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හා අභියාචනාධිකරණයේ සභාපති හා විනිසුරුවරුන්, පත් කිරීමේදී ව්‍යවස්ථා සභාව අගවිනිසුරුගේ අදහස ලබා ගැනීම අත්‍යවශ්‍ය වන්නේය. දැනගන්නට ලැබෙන පරිදී දීපාලි විජේසුන්දරගේ ප්‍රශ්නයේදී ව්‍යවස්ථා සභාව නව අග විනිසුරු නලීන් පෙරේරාගේ නිරීක්ෂණ ලබාගෙන තිබේ. ජනාධිපතිවරයා නමක් නිර්දේශ කිරීමේදී අගවිනිසුරුගේ නිරීක්ෂණය ලබා ගැනීම අනිවාර්ය නොවුනත් ඔහුද දීපාලි පත් කිරීම පිළිබඳ නව අග විනිසුරු පත් වීමට පෙර හිටපු අග විනිසුරුගේ නිරීක්ෂණ ලබාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ නිතීඥයෙක් මා සමඟ කීවේය. එය සත්‍යයක් නම් එතැනද උද්ගත වී ඇත්තේ ගැටුම්කාරී තත්ත්වයකි.

දැන් සිදු වෙමින් පවතින්නේ ජනාධිපතිවරයා එකම නම නිර්දේශ කරමින් සිටින අතර ව්‍යවස්ථා සභාවේ බහුරතය එය අඛණ්ඩව ප්‍රතික්ෂේප කරමින් සිටීමය. එය සදාචාරාත්මක ප්‍රශ්නයක් වනවා පමණක් නොව මෙවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් විසඳා ගන්නා ආකාරය 19 වන සංශෝධනයේ අන්තර්ගතය වන්නේ ද නැත. අනෙක් කාරණය වන්නේ ජනාධිපතිවරයා, අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති ලෙස දීපාලි විජේසුන්දර මහත්මිය දෙවරක් පත් කර තිබීමය. පසුගිය ජනවාරි 9 වැනිදා දින 14 සඳහා පළමුව පත් කළ අතර, එම සති දෙක ගෙවී ගොස් දින දෙකක් ගත වන්නට දී තවත් දින 14 ක් සඳහා ජනවාරි 24 වැනිදා නැවතත් පත්කර තිබේ. මෙය එත්කරා ආකාරයකට ව්‍යවස්ථාවේ බලය ඉක්මවා යාමක් ලෙස සැලකිය හැකිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඇ(2) වගන්තිය අනුව වැඩ බැලීම සඳහා පත් කරන කාලය දින 14 ඉක්මවන්නේ නම් ඒ සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගත යුතුය. එහෙත් ජනාධිපතිවරයා දෙවන අවස්ථාවේදී එවැනි අනුමතැයක් ලබා ගත්තේ නැත. අනෙත් කාරණය වන්නේ 109 (1)වගන්තිය අනුව වැඩ බලන සභාපතිවරයකු පත් කිරීමට හැකි වන්නේ අභියාචනාධිකරණයේ ස්ථීර සභාපතිවරයකු සිටින අවස්ථාවකදීය. එහෙත් එවැනි ස්ථීර සභාපතිවරයකු මේ අවස්ථාවේදී (බදාදා වනතුරුත්) මෙරට අභියාචනාධිකරණයේ නැත. මෙවැනි තත්ත්වයකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන තවත් වැදගත් වගන්තියක් වන්නේ 137ය. එහි දැක්වෙන්නේ අභියාචනාධිකරණයට සභාපතිවරයකු සහ 6 දෙනකු හා 11 දෙනෙකු අතර වන ප්‍රමාණයකින් විනිසුරු මඩුල්ලක් සිටිය යුතුය යන්නයි. ඒ අනුව ස්ථීර සභාපතිවරයකු නොමැති අභියාචනාධිකරණයක් වලංගු වන්නේද නැත. එය නොසලකා හරිය නොහැකි බරපතල තත්ත්වයකි.

පහළ අධිකරණයට බලපෑම්

මෙම බලපතළ තත්ත්වය ව්‍යවස්ථා සභාව මෙන්ම අභියාචනාධිකරණයද අවුලකට ඇද දමා තිබේ. අභියාචනාධිකරණයේ සභාපති ධුරය පමණක් නොව තවත් විනිසුරු ධුර 3ක් ද හිස්ව පවතී. මහාධිකරණ විනිසුරුවරුන් වන බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චිගේ නම් ජනපති ඊට නිර්දේශ කර ඇත. ඒ සඳහාද ව්‍යවස්ථා සභවේ අනුමැතිය තවම හිමි වී නැත. ඒ සඳහා වන හේතු කුමක් වුවත් පුරප්පාඩු පිරවීම පමාවීමෙන් අභියාචනාධිකරණය අර්බුදයට යාමත් සමඟ මහාධිකරණය සහ ඊට පහළ අධිකරණ දක්වාද එහි බලපෑම දැනෙන්නට පටන් ගැනීම වැළැක්විය නොහැක. මක්නිසාද යත් මහාධිකරණයේ සුදුස්සන්ට අභායාචනාධිකරණය උසස් වීම් ලබා ගැනීම සඳහා ඇති අවස්ථාව අහිමි වීමෙන්, පහළ අධිකරණ විනිසුරුවරුන්ට මහාධිකරණය වෙත උසස් වීමේ අවස්ථාවද අහිමි වෙමින් තිබීමය.

අඳුරේ අතපත ගෑම

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පළමුවරට හඳුන්වා දෙන ලද්දේ 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙනි. ඊට පෙර ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත් කරනු ලැබුවේ විධායක ජනාධිපතිවරයාගේ අභිමතය පරිදිය. පසුව 18 වන සංශෝධනයේදී ව්‍යවස්ථා සභාව ඉවත් කෙරුණු අතර 19 වන සංශෝධනයේදී ඇතැම් වෙනස්කම් සහිතව එය යළි ස්ථාපිත කළේය. ජනාධිපතිවරයා සිය අභිමතය පරිදි ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත් කිරීමට වඩා ව්‍යවස්ථා සභාව වැනි සභාවකින් එම පත්කිරීම් සිදු කිරීම සාපෙක්ෂව සාධාරණ ක්‍රියාවලියක් ලෙස සැලකිය හැකිය.

එහෙත් වැදගත් වන්නේ එම පත් කිරීම්ද විනිවිද දැකිය නොහැකි තත්ත්වයක් උදා වී තිබීමය. විධායකයේ හා පාර්ලිමේන්තුවේ පවතින කඩාවැටීම හා සමානවම අධිකරණයේ පවතින කඩා වැටීම නිවැරදි කිරීමට එය අසමත් වී තිබීමය. ව්‍යවස්ථා සභාවට එල්ල වන චෝදනාවන්ට පිළිතුරු දිය නොහැක්කේද එම අසමත් වීම නිසාම යැයි සිතිය හැක. අඩු ගණනේ තම කාර්යයන් සඳහා නිර්ණායක සැකසීමේ බලයවත් ව්‍යවස්ථා සභාව භාවිත කර නැත්තේය. ව්‍යවස්ථාවේ 41 උ(3) වගන්තිය අනුව ස්වකීය කාර්යය ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීමට අදාළව රීති සෑදීමට බලය ඇතත් ව්‍යවස්ථා සභාව එම බලය පාවිච්චි කර නැත.
ලබාගන්නා වැටුපෙන් ඉපැයිය නොහැකි වත්කම් අත්පත් කරගත් විනිසුරුවරුන් පිළිබඳව හිටපු අගවිනිසුරුවරුන් මෙන්ම අධිකරණ සේවා කොමිසමටද පැමිණිලි ඕනෑතරම් ලැබී තිබේ. එහෙත් ඒවා පිළිබඳ නිසි විමර්ශනය සිදු නොවන්නේ ඇයිදැයි සොයා බැලීමකට නොයා, විනිසුරුවරුන්ගේ උසස්වීම් ප්‍රතික්ෂේප කිරීමෙන් පමණක් ජනතා විශ්වාසය ගොඩනැගිය හැකි යැයි විශ්වාස කළ නොහැක. උසස්වීම් ලබාදීම ප්‍රතික්ෂේප කරන විනිසුරුවරුන්ට, එසේ කරන්නේ ඇයිද යන්න ව්‍යවස්ථා සභාවට කිව නොහැක්කේ එක්කෝ එම විනිසුරුවරුන්ගේ දූෂිතභාවය හෙළි කළහොත් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට එල්ල වන බාධක සලකා බලා විය හැකිය. නැතහොත් ව්‍යවස්ථා සභාවේ තීරණ ගැනීමේ දූෂිතභාවය නිසා විය හැකිය, එහෙත් විනිසුරුවරුන්ගේ දූෂිත ක්‍රියා ඇත්නම් ඒවා හෙළි නොකරන්නේ නම් සහ එවැන්නන් අධිකරණ ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීමේ මාවත තෝරා නොගන්නේ නම් ව්‍යවස්ථා සභාවේ සුජාතභාවයද ප්‍රශ්න නොකර සිටිය නොහැකිය. අනෙක් පැත්තෙන් උසස්වීම් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ හේතු නොදැක්වීම නිසා යම් අසාධාරණයක් සිදුවුවහොත් ඒ පිළිබඳ විමසීමේ හැකියාවක් හෝ යාන්ත්‍රණයක් විනිසුරුවරයකුට නොමැති බවද අමතක නොකළ යුතුය. තනි පුද්ගලයකුට පැවති බලය මණ්ඩලයකට ලබාදීම සංකල්පයක් ලෙස යහපත් ඉදිරි පියවරක් වන්නා සේ ම එහි අඩුපාඩු පූර්ණ කළහැකි මාවතකටද අවතීර්ණ නොවන්නේ නම් චේතනාවේ ලස්සන පවා කෙළෙසීමට ලක්වීම නොවැළැක්විය හැකිය.

මේ නිසා ව්‍යවස්ථා සභාව පමණක් නොව 19 වන ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම සමස්ත ව්‍යවස්ථාවම ඇත්තේ ප්‍රතිසංස්කරණවලින් කෙළින් කර තබාගත නොහැකි අබලන් තත්ත්වයකය. ව්‍යවස්ථා සභාව පිළිබඳ සාකච්ඡාවද බරපතළ ලෙස ගත යුතුව තිබෙන්නේ ඒ හේතුවෙනි. ජනාධිපති, අගමැති හා තරහා වූ විට අකර්මණ්‍ය වන සහ මංමුලාවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් හෝ සංශෝධනයකින් රටකට ඉදිරියට යා හැකිද? ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රියාවලියම කෙළින් කරවිය හැකි වැඩපිළිවෙළක් උදෙසා වන ප්‍රතිපත්තියකට මාරුවීම හැර, මීළඟ ඡන්දයෙන් වෙනත් ජනාධිපතිවරයකු හෝ වෙනත් ආණ්ඩුවක් පත්කර ගැනීම පමණක් රට අගාධයෙන් ගොඩගැනීමේ නිවැරදි මාවත යැයි සිතිය නොහැක.