ලංකාවට වැරදුණේ ඇයි?

වික්ටර් අයිවන්

ලංකාව ඇද වැටී තිබෙන කාලකණ්ණි තත්ත්වයෙන් ගොඩ ඒමට ලංකාවට අවශ්‍ය නම් ලංකාව හැම ආකාරයකින්ම (ආගමික, ලෞකික, දේශපාලන, ආර්ථික ඇතුළු හැම ආකාරයකින්ම) කල්පනා කරන විදියේ ගැඹුරු වෙනසක් ඇති කරගත යුතුය. එවැනි වෙනසක් සඳහා අවශ්‍ය පරිකල්පනයක් ඇතිකර ගැනීමට හැකිවනු ඇත්තේ ලංකාවට වැරදුණේ ඇයි කියන ප්‍රශ්නය සලකා බලමින් ඊට පිළිගත හැකි හරි පිළිතුරක් සොයා ගැනීමෙනි.

දියුණුවේ බිඳ වැටීම

නිදහස ලැබෙන අවස්ථාව වනවිට ලංකාව තිබුණේ ආසියාවේ රටවල් අතර බැබළෙන තත්ත්වයකය. ඒක පුද්ගල ආදායමේදී ලංකාව දෙවැනි වූයේ ජපානයට පමණය. එහිදීත් දෙරට අතර පැවතියේ ලොකු පරතරයක් නොව සුළු පරතරයකි. අධ්‍යාපනය හා සෞඛ්‍ය යන දර්ශකවලදී ලංකාව සිටියේ පළමු ස්ථානයේය. යටිතල පහසුකම්වලදීද ලංකාව කැපී පෙනෙන ස්ථානයක් හිමිකරගෙන තිබුණි. අද මෙන් කාර්පට් කරන ලද පාරවල් නොතිබුණද ආසියාවේ හොඳම මාර්ග පද්ධතිය හිමි රට ලෙස සැලකුණේද ලංකාවය. ආසියාවේ හොඳම දුම්රිය සේවය තිබුණේද ලංකාවටය. කොළඹ වරාය සැලකුණේද ආසියාවේ තිබෙන හොඳම වරාය ලෙසය. ලංකාවට දියුණු සිවිල් සේවයක් තිබුණු අතර ගෞරවයට හේතුවූ අධිකරණයක්ද තිබුණි. නිදහස ලැබෙන විට තිබූ විදේශ වත්කම්වල ප්‍රමාණය රුපියල් කෝටි 120ක් තරම් විශාල විය.
ඒ සියලු දේ තිබියදීත් ලංකාව හිමිකරගෙන තිබුණු දියුණුව අඛණ්ඩව ඉදිරියට ගෙන යන්නට ලංකාව සමත් වූයේ නැත. නිදහස ලැබීමෙන් පසු ලොකු දියුණුවක් ඇතිකර ගන්නා රටක් වෙනුවට පරිහානිය කරා යන රටක් බවට පත්විය. ඒ කාලය වනවිට ලංකාවට වඩා බොහෝ පසුපසින් සිටි ආසියාවේ සමහර ජාතීන් අතිවිශාල දියුණුවක් ලබාගන්නා විට නිදහස ලැබී අවුරුදු 71ක් ගතවූ පසුත් දැන් ලංකාව සිටින්නේ අවාසනාවන්ත හා උපරිම මට්ටමේ කාලකණ්ණි තත්ත්වයකය.

නිදහස ලැබෙන තෙක් ලංකාව අත්පත් කරගෙන තිබුණු දියුණුව අප විසින් අත්පත් කරගත් දියුණුවක් නොව, ලංකාව අල්ලාගෙන සිටි බි්‍රතාන්‍යයන් නිසා අත්පත් කරගත් දියුණුවකි. නිදහස ලැබෙන අවස්ථාව වනවිට හිමිකරගෙන තිබුණු දියුණුව එතැන් සිට අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමට අප අසමත් විය. ඊට අපේ දේශපාලන නායකයන් හා සමාජය වගකිව යුතුය. එයට හේතුවූයේ අත්පත් කරගෙන තිබුණු දියුණුවේ අඛණ්ඩ පැවැත්මක් හා වර්ධනයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය තරම් දියුණුවක් හා විචාර බුද්ධියක් අපේ දේශපාලන නායකයන්ට හා සමාජයට නොතිබීම නිසාය.

අතීත ශ්‍රී විභූතිය පලිහක් කරගැනීම

ලංකාව තමන්ට ඈත ඉතිහාසයේ තිබුණු ශ්‍රී විභූතියට මුවාවී වර්තමානයේ කරන වැරදි වසන් කිරීමට හුරු පුරුදු වී සිටින ජාතියක් ලෙස සැලකිය හැකිය. බි්‍රතාන්‍යයන් සිය ඉතිහාසයේ ඈත යුගයක ශිෂ්ටාචාරමය අර්ථයෙන් නොදියුණු තත්ත්වයක සිටින අවස්ථාවකදී ලංකාව ඔවුන්ට වඩා දියුණු තත්ත්වයක සිටියේය. ඒ පාඩම අපට කියා දී තිබුණේද ලංකාවේ සේවය කළ බි්‍රතාන්‍ය සිවිල් නිලධාරීන්ය. ඔවුන් අපට කියාදෙන ලද එම පාඩමද අපි තේරුම් ගත්තේ වැරදි ආකාරයකටය.

ඉතිහාසයේ එක යුගයකදී ලොකු දියුණුවක් පෙන්නුම් කළ ජාතියක් තවත් යුගයකදී ලොකු නොදියුණුවක් පෙන්නුම් කරන ජාතියක් බවට පත්විය හැකිය. බැබිලෝනියාව, ඊජිප්තුව හා පේරු ඒ සඳහා දැක්විය හැකි නිදර්ශනයන්ය. එසේම ඉතිහාසයේ එක යුගයකදී ඉතාමත් නොදියුණු තත්ත්වයක සිටි ජාතියක් තවත් යුගයකදී ලොකු දියුණුවක් පෙන්නුම් කරන ජාතියක් බවට පත්විය හැකිය. බි්‍රතාන්‍ය ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනයයි. එහිදී අතීතයේ ලොකු දියුණුවක් පෙන්නුම් කළ එහෙත් වර්තමානයේ ලොකු නොදියුණුවක් පෙන්නුම් කර තිබෙන ජාතියක් අතීතයේ එක් යුගයකදී ලොකු නොදියුණුවක් පෙන්නුම් කොට පසු ලොකු දියුණුවක් පෙන්නුම් කළ ජාතියක් අමතා තමුසෙලා කොළ ඇතු අඳිමින් සිටි කාලයේදී අපි ඇඳුම් අඳින ලද ශ්‍රේෂ්ඨ ජාතියක් බව කිවහොත් එය සැලකිය හැක්කේ එම ජාතිය තමන්ගේ පසුකාලීන අසාර්ථකභාවය වසන්කර ගැනීමට දරන මෝඩ හා උද්ධච්ච උත්සාහයක් ලෙසය. එය ලංකාවේ අධිරාජ්‍ය විරෝධය තුළ දක්නට තිබෙන අවලස්සන ලක්ෂණයක් ලෙසද සැලකිය හැකිය.
ඉතිහාසයේ ඈත එක යුගයකදී අප සිටියේ බි්‍රතාන්‍යයන්ට වඩා දියුණු තත්ත්වයකය. එහෙත් ඔවුන් ලංකාව අල්ලා ගන්නා අවස්ථාව වන විට ඔවුන් සිටියේ අපට වඩා සිය ගුණයක් තරම් විශාල දියුණුවක් හිමිකරගත් තත්ත්වයකය. කුඩා රටක්ව තිබියදී ඔවුන්ට ලංකාව අල්ලා ගැනීමට පමණක් නොව ලොකු අධිරාජ්‍යයක් ඇතිකර ගැනීමට හැකිව තිබුණේද ඒ නිසාය. ලංකාවට බලපෑ යටත්විජිතවාදය ගැන ලංකාවේ උගතුන් ලියා තිබෙන පොත්වලින් වැඩි හරියක් මා කියවා ඇත්තෙමි. ඔවුන්ගෙන් ජී.සී. මෙන්ඩිස්, මයිකල් රොබට්ස් වැනි කිහිපදෙනකු හැරුණුවිට වැඩි දෙනකු අතීත ශ්‍රී විභූතියට මුවාවී බි්‍රතා්‍යයන් ලංකාව අල්ලා ගන්නා අවස්ථාව වන විට ලංකාවේ පැවති නොදියුණුභාවයේ තරම ඕනෑකමින් වසන් කර තිබෙන්නේ යැයි කිව හැකිය.

බි්‍රතාන්‍යයන් ලංකාව අල්ලා ගැනීමෙන් පසු ලංකාවෙන් ආර්ථික වශයෙන් ඵල ප්‍රයෝජන ලැබුවේය. එහෙත් ඉන්දියාව වැනි වෙනත් රටවල් සමග සසඳන විට ලංකාව සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කළ ප්‍රතිපත්තිය දැඩි කොල්ලකාරී ප්‍රතිපත්තියක් ලෙසද සැලකිය නොහැකිය. ඔවුන් ලංකාව වස්තු කොල්ලයකට සුදුසු රටක් ලෙස සලකා ක්‍රියාකරනවාට වඩා හොඳ නිවාඩු නිකේතනයක් ලෙස සලකා ක්‍රියාකර තිබෙන්නේ යැයි කිව හැකිය. විශේෂයෙන් 1818 කැරැල්ල මර්දනය කිරීම වැනි සමහර අවස්ථාවලදී සිත්පිත් නැති බිහිසුණු ආකාරයකින් ක්‍රියාකර ඇතත්, ඔවුන් අල්ලා ගන්නා අවස්ථාව වන විට ඉතාමත් නොදියුණු තත්ත්වයක පැවති ලංකාව ඔවුන් ආපසු අතහැර යන අවස්ථාව වන විට තිබුණු තත්ත්වයට සාපේක්ෂව ගත්විට අහසට පොළොව තරම් ලොකු දියුණුවක් ඇති කර තිබුණි. එම සත්‍යය මුළුමනින් අමතක කොට ලංකාවේ බි්‍රතාන්‍ය යටත්විජිතවාදය ගැන කරන විග්‍රහයක් සාධාරණ විය නොහැකිය.

යටත්විජිතවාදයේ ඉදිරිගාමී කාර්යභාරය

ඔවුන් කන්ද උඩරට රාජ්‍ය අල්ලා ගන්නා අවස්ථාව වන විට එම රාජ්‍යයේ බල ප්‍රදේශයට අයත් සමාජය තිබුණේ ඉතා දුප්පත්, නූගත් හා නොදියුණු තත්ත්වයකය. දරු උපත්වලදී ස්වභාවිකව මැරෙන දරුවන්ගේ අනුපාතිකය පමණක් නොව, විවිධ හේතු නිසා උපතේදී මරා දමන දරුවන්ගේ අනුපාතිකයද ඉහළ මට්ටමක පැවතුණි. ආර්ථික අගහිඟකම් නිසා දරුවන් මරා දමන ප්‍රවණතාවක් තිබුණා සේ ම කේන්දරය අනුව දරුවන් මරා දමන ක්‍රමයක්ද ක්‍රියාත්මක විය. අකුරු උගත්කම තිබුණේද පහළම මට්ටමකය. රොබට් නොක්ස්ට අනුව එක කාමරයකින් පමණක් යුතු කටුමැටි ගසා අතු සෙවිළි කළ නිවසත්, වගාවට වුවමනා කරන උපකරණ කිහිපයක්, යන්තම් විලි වසා ගැනීමට තරම් ප්‍රමාණවත් වස්ත්‍ර කිහිපයක් හා හැළි වළං කිහිපයකුත් හැර උඩරට ජනයාට වෙනත් කිසිදු සම්පතක් තිබී නැත. ලුණුත්, සහලුත් ඇතොත් තමන් ස්වයංපෝෂිත වේ යැයි ඔවුන් සිතූ බව නොක්ස් කියයි.

සියලු මිනිසුන් වගා කළේ රජුගේ ඉඩම්, බිසවගේ ඉඩම්, විහාර දේවාලගම්වල ඉඩම් හෝ රදළයන්ට අයත් ඉඩම්ය. එම ඉඩම් භුක්ති විඳි ජනයා සඳහා භුක්ති විඳින ඉඩම් වෙනුවෙන් ඉටු කළ යුතු කුලය මත පදනම් වූ සේවා ක්‍රමයක් තිබුණු අතර එම සේවාවන් අතර අධම ගණයෙහිලා සැලකිය හැකි සේවාවන්ද තිබුණි. කුලය මිනිසුන්ගේ සමස්ත ජීවන රටාවම තීරණය කළේය. එය ඔවුන්ගේ ආදායමද, බලයද, අධ්‍යාපනයද, ජීවත් වන ප්‍රදේශය හෝ ස්ථානයද, අඳින ඇඳුම් පැළඳුම්, මඟුල, අවමඟුල කන බොන විදිය, පරිහරණය කරන උපකරණ හා කතා කළ යුතු විදිය පවා තීරණය කළේය. උඩුකය වැසීම තහනම් හා දණහිසින් පහළ වැසෙන ලෙස ඇඳුම් ඇඳීම තහනම් කළ ජන කණ්ඩායම්ද තිබුණි. ඉඩම් භුක්තිය හා බැඳුණු වැඩවසම් සේවා ක්‍රමය ලංකාවේ වැඩවසම් ක්‍රමයේ ප්‍රවේණිදාස ආකෘතිය ලෙස සැලකිය හැකිය.
ලංකාවේ ක්‍රියාත්මක වූ එම ප්‍රවේණිදාස ක්‍රමය කිසියම් විශාල ප්‍රමාණයකට අහෝසි කෙරුණේ යුරෝපයේ මෙන් වැඩවසම් හා ප්‍රවේණිදාස ක්‍රමයට එරෙහිව ඇතිවූ මහජන කැරලි නිසා නොව බි්‍රතාන්‍ය පාලකයන් ඇති කළ අණපනත් නිසාය. සියලු මිනිසුන් නීතිය ඉදිරියේ එක සමාන ලෙස සලකන ප්‍රතිපත්තියක් ඇති කළේද අපේ රජවරුන් විසින් නොව බි්‍රතාන්‍ය පාලකයන් විසිනි. නවීන පාසල් ක්‍රමයක් ඇති කොට අධ්‍යාපනය මුළු මහත් සමාජයම වෙලාගත් දෙයක් බවට පත් කළේද ඔවුන්ය.

චින්තනයේ දූගීභාවය

බි්‍රතාන්‍යයන් විසින් විශාල ප්‍රමාණයකට විනාශ කරන ලද හෝ බෙලහීන කරන ලද වැඩවසම් නිෂ්පාදන ක්‍රමය හා එම ක්‍රමයේ වැදගත් අංග ලෙස ක්‍රියා කළ වැඩවසම් නිෂ්පාදන බලවේගයන්, නිෂ්පාදන සම්බන්ධතා හා ශිල්පීය ක්‍රමද, වැඩවසම් ආයතන ක්‍රමද රටේ ප්‍රගතිය හා ජනතාවගේ පොදු යහපත සඳහා විනාශ කළ යුතුව තිබුණු දේවල් වශයෙන් මිස ආරක්ෂා කරගත යුතු දේවල් ලෙස සැලකිය නොහැකිය. බි්‍රතාන්‍යයන් වැඩවසම් ක්‍රමය වෙනුවට ඇති කළ යටත්විජිතවාදී ධනපති නිෂ්පාදන ක්‍රමය හා ඊට ගැළපෙන ලෙස ගොඩනගන ලද ආයතන ක්‍රමද ඇතුළත් දේවල් පැරණි වැඩවසම් ක්‍රමයට වඩා ඉදිරිගාමී දේවල් ලෙස සැලකිය හැකි වුවද නිදහසත් සමග ලංකාව ඒවා ප්‍රයෝජනයට ගත යුතුව තිබුණේ නිදහස් ජාතියේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ප්‍රතිසංස්කරණය කරගැනීමෙනි. එහෙත් ඒ සඳහා අවශ්‍ය කරන ඉදිරිගාමී දැක්මක් ඉන්දියාවට තිබුණද ලංකාවට තිබුණේ නැත. ඉන්දියාව බි්‍රතාන්‍යයන්ගෙන් ලැබුණු දේවල් නිදහස් ඉන්දියාවේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනයට ගන්නා විට ලංකාව ඊට වෙනස්ව බි්‍රතාන්‍යයන්ගෙන් ලැබුණු හැම දෙයක්මත් ප්‍රතිසංස්කරණයට ලක්කිරීමෙන් තොරව තිබුණු ආකාරයෙන්ම ප්‍රයෝජනයට ගැනීම ලංකාව අනුගමනය කළ පිළිවෙත වී යැයි කිව හැකිය.
ඉන්දියාව හා ලංකාව චින්තනමය වශයෙන් සිතන මතන විදියේ ලොකු වෙනසක් තිබුණු බව ඉන් පෙනීයයි. යටත්විජිත තත්ත්වයක තිබූ හැම රටකම පාහේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සඳහා කෙරෙන උද්ඝෝෂණවලට පෙර සිරිතක් ලෙස කරළියට ආවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයන්ය. ඉන්දියාවේ හින්දු හා මුස්ලිම් ආගමික පුනර්ජීවන ව්‍යාපාරය සමග සසඳන විට ලංකාවේ බෞද්ධ හා හින්දු ආගමික පුනර්ජීවන ව්‍යාපාරය ඉතාමත් පසුගාමී ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකිය. ඉන්දියාවේ හින්දු හා මුස්ලිම් ආගමික පුනරුද ව්‍යාපාරය තමන් අදහන ආගමේ පිළිවෙත් තුළ පැවති නූතනයට නොගැළපෙන හා ජනතාව පීඩාවට පත් කිරීමට හේතුවී තිබුණු පසුගාමී අංග ප්‍රතිසංස්කරණය කරගැනීම මගින් ආගමික මතවාදී තලය ප්‍රගතිශීලී රාමුවකට ගැනීමට උත්සාහ කළ ආගම් අතර සහජීවනයක් වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකිය. එහි ප්‍රධාන නායකයන් (හින්දු පුනර්ජීවන ව්‍යාපාරයේ නායක රාජ් රාම් මෝහන් රෝයි හා මුස්ලිම් පුනර්ජීවන ව්‍යාපාරයේ නායක සයිබ් අහමඞ් ඛාන් ඉතා උගත් යුරෝපීය පුනරුදයේ බුද්ධිමය සාරය හොඳින් උකහා ගත් යටත්විජිතවාදය, ධනවාදය හා වැඩවසම් වාදය ගැන මනා අවබෝධයක් තිබූ විද්‍යාව හා කලාව ගැනද මනා අවබෝධයක් තිබු ලෝකායන දෘෂ්ටියකින් ආගම් දෙස බැලූ බහුශ්‍රැතයෝ වූහ.

එහෙත් ලංකාවේ බෞද්ධ හා හින්දු පුනර්ජීවන ව්‍යාපාරයේ තත්ත්වය ඊට මුළුමනින් වෙනස් විය. ලංකාවේ බෞද්ධ පුනරුද ව්‍යාපාරයට නායකත්වය දුන් අනගාරික ධර්මපාලතුමා සේ ම හින්දු ආගමික පුනර්ජීවන ව්‍යාපාරයට නායකත්වය දුන් ආරුමුග නාවලර් තුමාද සැලකිය හැක්කේ ක්‍රිස්තියානි ආධිපත්‍යයට එරෙහිව නිර්භීත ලෙස සටන් කළ එහෙත් තම ආගමේ වත් පිළිවෙත් තුළ මහජනයා පීඩා කිරීමට හේතුවී තිබුණ කුලභේදය වැනි පසුගාමී දේවලට එරෙහිව ක්‍රියා නොකළ හෝ ඒවා අනුමත කළ, ජාතිය එකතු කරනවා වෙනුවට වර්ග, ආගම්, හෝ කුලය අනුව ජාතිය බෙදා වෙන් කිරීමට හේතුවන ලෙස ක්‍රියා කළ නායකයන් ලෙසය. ලංකාවේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට හෙන්රි ස්ටීල් ඕල්කට් වැනි ඇමරිකන් විදේශ නායකයකු තමන්ගේ බෞද්ධ නායකයා වශයෙන් තෝරා ගැනීමට සිදුවූයේ පැවිදි බෞද්ධ නායකයන් අතර, ඉතා බලවත් ලෙස පැවති කුලභේදය නිසාය. ඕල්කට් ලංකාවේ ජාතික වීරයකු ලෙස සැලකෙන මුත් ඔහු ලංකාවට නැවත නොඑන ලෙස ලංකාව අතහැර ගියේ ඇයිද කියන ප්‍රශ්නය ඕල්කට් ගැන ලියැවී තිබෙන ලංකාවේ කිසිදු චරිත කතාවක සඳහන් නොවන බවද කිව යුතුය. කුලභේදයට අදාළව ලංකාවේ බුද්ධ ශාසන විෂයෙහි බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය ඇති කළ ලොකුම වෙනස ලෙස සැලකිය හැක්කේ උපසම්පදාවේදී ගොවිගම කුලය ඇති කරගෙන තිබූ ඒකාධිකාරයට එරෙහිව ගොවිගම නොවන භික්ෂූන් සඳහා නිකාය ක්‍රමයක් ඇති කරගැනීම මගින් ගොවිගම නොවන භික්ෂූන් සඳහාද උපසම්පදාව විවෘත කරගැනීමය. ඒ මගින් සිදුවූයේ බෞද්ධ ශාසනයේ පැවති කුලභේදය අහෝසි කරනවා වෙනුවට බෞද්ධ ශාසනය තුළ කුලභේදය ආයතනගත කිරීමය. කුලභේදයට එරෙහිව බලවත් ලෙස නැගී සිටි ශාස්තෘවරයකු විසින් බිහිකරන ලද ආගමක් ලංකාවේදී කුලභේදය තුළ රාමුගත කරන ලද ආගමක් බවට පත්කිරීම කෙතරම් ඛේදජනකද?

ලංකාවේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ බලවත්ම අංගයක් ලෙස සැලකිය හැකි අමද්‍යප ව්‍යාපාරයේ නායකයන්ගෙන් වැඩි පිරිසක්ද (අනගාරික ධර්මපාල හා ඩී.බී. ජයතිලක වැනි නායකයන් කිීපදෙනකු හැර) මහජනතාව අතර අරක්කු ප්‍රචලිත කළ, ඒ මගින් ලොකු ධනවතුන් බවට පත්වූ ප්‍රධාන පෙළේ අරක්කු ජාවාරම්කරුවන්ගේ දරුවන් ලෙස සැලකිය හැකිය. ඒ ගැන වැඩි විස්තර දැනගැනීමට උනන්දුවක් දක්වන අය මා විසින් ලියා පළ කොට තිබෙන ජාතියේ ඛේදවාචකය (The Tragic plight of a Nation) හා පන්සලේ විප්ලවය  (Revolt in the Temple)

යන පොත් දෙක කියවිය යුතුය. රටේ සිදුවූ ප්‍රධාන දේවල් පිළිබඳව නිසි විචාරාත්මක විග්‍රහයක් නැතිකම ලංකාව වර්තමානයේ සිතන පතන ආකාරයේ පටු බව කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධකයක් ලෙස සැලකිය හැකිය.

ලංකාවේ නිදහස් ව්‍යාපාරය

අනගාරික ධර්මපාලතුමා හා ආරුමුග නාවලර්තුමා ලංකාවේ සිංහල හා දෙමළ චින්තනය කෙරෙහි වැඩියෙන්ම බලපෑ ප්‍රධාන චින්තකයන් දෙදෙනා ලෙස සැලකිය හැකිය. ලංකාවේ නිදහස් ව්‍යාපාරය ලංකාවේ සිංහල දෙමළ චින්තනය කෙරෙහි බලපෑ ව්‍යාපාරයක් ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ නිදහස් ව්‍යාපාරයට චින්තකයන් ගණයෙහිලා සැලකියහැකි නායකයන් නොසිටියේය. ඔවුන් සමහරෙක් එංගලන්ත විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ අය වුවද ඔවුන් කෙරෙහි සම්භාව්‍ය ලිබරල් චින්තකයන් ලෙස සැලකිය හැකි ජෝන් ලොක්, චාල්ස් ලුවිස්, මොන්ටෙස්කියු, ජෝන් ස්ටුවර්ට් මිල් වැනි ලිබරල් චින්තකයන්ගේ චින්තනයෙන් පෝෂණය වූ අය ලෙසද සැලකිය නොහැකිය.

දේශපාලන ප්‍රතිසංස්කරණවලට පදනම් විය යුතු නියෝජිත මූලධර්මය පිළිබඳ ප්‍රශ්නයට ලංකා ජාතික සංගමයේ ආරම්භයේ සිට සිංහල හා දෙමළ නායකයන් අතර මතභේදයට හේතුවී තිබුණු ලොකුම ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය. සුළු වර්ගවලට බර තබන ප්‍රාදේශීය නියෝජන ක්‍රමයක් වෙනුවෙන් සිංහල නායකයන් පෙනී සිටින විට සිංහලයන් හා දමිළයන් අතර සමබර නියෝජන ක්‍රමයක් වෙනුවෙන් දමිළ නායකයෝ පෙනී සිටියෝය. සිංහල දෙමළ නායකයන්ට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය ධර්ම පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණේ නම් බිඳීමක් ඇති නොවන ලෙස මේ ප්‍රශ්නය දෙපක්ෂයේම විශ්වාසයට හා ගෞරවයට හේතුවන ලෙස විසඳා ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. දෙමළ නායකයන්ට තිබූ ලොකුම ප්‍රශ්නය ලෙස සැලකිය හැක්කේ සිංහලයන්ට බහුතර බලයක් ලැබී තමන් පීඩාවට පත්කිරීමට හේතුවේද යන ප්‍රශ්නයයි. සමබර නියෝජනයක් ඉල්ලා සිටීමට බලපෑ ප්‍රධාන ප්‍රශ්නය ලෙස සැලකිය හැක්කේ එයයි. ජී.ජී. පොන්නම්බලම්ටද ලිබරල්වාදය පිළිබඳ අවබෝධයක් තිබුණේ නම් මහා වර්ගය ලෙස සැලකිය හැකි සිංහලයන්ට 50%ක නියෝජනයකුත් අනෙකුත් සියලු සුළු වර්ගවලට ඉතිරි සියයට 50හේ නියෝජනයත් ලැබෙන ක්‍රමයක් ඇති කරන ලෙස ඉල්ලා සිටිනු වෙනුවට ඉල්ලා සිටිනු ඇත්තේ සුළු වාර්ගිකයන්ගේ අයිතිවාසිකම් සහතික කරන ප්‍රඥප්තියකි. පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට (සෝල්බරි ව්‍යවස්ථාවට) අයිතිවාසිකම් ප්‍රඥප්තියක් ඇතුළත් නොවීම කෙරෙහි බලපෑ ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේද සිංහල නායකයන්ට සේ ම සුළු වාර්ගික නායකයන්ට ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය ධර්ම පිළිබඳ හරි අවබෝධයක් නොතිබීමය.

එකල ලංකාවේ සියලු ජනවර්ගවල නායකයන්ට ආවේණිකව තිබූ චින්තනයේ දුගීභාවයේ තරම ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය.ලංකාවේ නිදහස් ව්‍යාපාරය හා ඉන්පසු ලංකාව ඇද වැටුණු අශීලාචාර තත්ත්වය කෙරෙහි බලපෑ හේතු ඊළඟ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.