නිල අල්ලා හදන ඩඩ්ලිගේ හෝටලය

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

සාමාන්‍ය ජනයාට හිමි නොවන වරප්‍රසාද, අවස්ථා සහිතව ද ප්‍රදේශයේ පාරිසරික තත්ත්වයන්ට සහ සමාජ ජීවිතයට මෙන්ම පවතින සංචාරක ව්‍යාපාරයට බාධා ගෙනෙමින් ද ගාල්ල උණවටුන යද්දෙහිමුල්ල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොයුරකු වන ඩඞ්ලි සිරිසේනට අයත් අරලිය උණවටුන බීච් හෝටල් ව්‍යාපෘතිය පිළිබඳව මීට පෙර ද අපි රාවයෙන් හෙළිදරව් කළෙමු. එහි මුලින් යෝජිත තට්ටු ප්‍රමාණය වූයේ තට්ටු දහහතරක් වුවත් මේ වන විට එය තට්ටු දහසයක ගොඩනැගිල්ලක් ලෙස ඉදිවෙමින් පවතින්නේ ප්‍රදේශයේ බොහෝ පිරිසකගේ ජීවන මාර්ග සහ ව්‍යාපාර අර්බුදයකට ඇද දමමිනි. වසරකට වැඩි කාලයක සිට ප්‍රදේශවාසීන්ට සිදුවූයේ එම පීඩාවන්ට මුහුණදෙමින් ද ඒවාට එරෙහි වූ විට කිසිදු පිළිසරණක් නොමැතිව ද නිහඬව බලා සිටීමටය.

“ඉදිකිරීම් කරන්න ඕනෑ පිළිවෙළක් තියනවා. මේ ඉදිවන අරලිය හෝටලයට එහෙම එකක් නෑ. දැන් අවුරුද්දක විතර ඉඳලා අපි මේවායින් පීඩා විඳිනවා. රෑ දොළහෙන් පස්සෙත් මෙහේ මහා ශබ්ද. ඉදිකිරීමට බඩු ගේන වාහනවල හෝන් ශබ්ද. විශාල බර වාහනවලින් ගල් වගේ දේවල් ගෙනල්ලා බානවා. අපේ ගොඩනැගිලි දෙදරලා ඉරි තලලා. මගේ දරුවාට මාස දහයයි. කම්පනයට මොනවාහරි වෙයි කියලා අපි බයෙන් ඉන්නේ. ඒ වාහනවල යාන්තම් ත්‍රීවීල් එකක් ගෑවුණත් රණ්ඩුවෙනවා, ඕනෑ තැනකට පැමිණිලි කරලා බලන්න කියලා මිනිස්සුන්ට කෑගහනවා. බලය තියන තැන නීති නැවෙනවා. අයියා රටේ ජනාධිපති, පරිසර ඇමති. ඉතින් මේවාට අවසර නොලැබී තියේවිද” ඒ උණවටුන යද්දෙහිමුල්ල ප්‍රදේශවාසියකු අපට පැවසූවකි.

වසරකට වැඩි කාලයක සිට එම ප්‍රදේශයේ ජනයාට මුහුණදීමට සිදුව තිබෙන ගැටලු පිළිබද කිසිවෙක් සොයා නොබලති. බලධාරීන් ද සහභාගි වන ඇතැම් සාකච්ඡාවල දී ප්‍රදේශවාසීන් මෙවැනි ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණ ද ඒවාට කිසිවකු අවධානය යොමුකර නොතිබුණි. එමෙන්ම ඉදිවන අරලිය බීච් හෝටලය ජනාධිපතිවරයාගේ සොයුරාට අයත් වූවක් බැවින් ඊට එරෙහිවීමෙන් පළක් නැතැයි පවසමින් මේ වන විට ඇතැම් ගම්වාසීහු හෙම්බත්ව සිටිති. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ප්‍රදේශවාසීන්ගේ විරෝධතා විමසීමක් කර තිබූ අතර එහිදී ප්‍රදේශවාසීන්ගේ අත්සන් සහිත විරෝධතා ලේඛනයක් ද ඉදිරිපත් කර තිබුණත් ඒ සම්බන්ධයෙන් කිසිදු බලධරයකු සාකච්ඡාවක් හෝ කැඳවූයේ නැති බවට ද ප්‍රදේශවාසීහු චෝදනා කරති.

යද්දෙහිමුල්ල ග්‍රාමනිලධාරී කොට්ඨාසයේ ජීවත්වන හයසීයකට වැඩි ජනගහනයෙන් වැඩි කොටසක් ජීවත්වන්නේ ගෘහ ආශ්‍රිතව සිදුකරන කුඩා පරිමාණ සංචාරක කර්මාන්තවලිනි. ඉදිකිරීම සිදුවන ස්ථානයට සමීප අනෙකුත් කුඩා පරිමාණ හෝටල් පවත්වාගෙන යන ගම්වාසීන් මේ වන විට මුහුණ දී සිටින ඛේදවාචකය මෙවැන්නකි. “සාමාන්‍යයෙන් විදේශිකයෝ එන්න මාස කීපයකට කලින් අපේ හෝටල්වලට අත්තිකාරම් මුදල් බඳිනවා. ඒත් දැන් ඒ අය එන දවසට අපි ඉන්නේ සෑහෙන බයකින්. මොකද ඒ අය ආවාම දැන් ඉන්නේ එක රැයයි. මුළු රෑම සද්ද නිසා අපි එක්කත් රණ්ඩුකරලා පහුවදාම යනවා. අත්තිකාරම් මුදලත් ආපහු දෙන්න වෙනවා. මේ මහා ශබ්ද නිසා දවසක් නවාතැන්ගෙන හිටිය විදේශිකයෝ අපි එක්ක ලොකු රණ්ඩුවකට ආවා, මට 119ටත් කෝල් කරන්න සිද්ධවුණා. ඩඞ්ලි මහත්තයාගේ හෝටලයේ ඉදිකිරීමේ කිසිම පිළිවෙළක් නැති නිසා අපේ ජීවිත දැන් සම්පූර්ණයෙන්ම අවුල් වෙලා. මගේ ව්‍යාපාරයත් මේ නිසා සම්පූර්ණයෙන්ම විනාශ වුණා. වාහන පවා විකුණා දමන්න මට සිද්ධ වුණා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය වගේ ආයතනවල නිලධාරීන් සහභාගි වූ රැස්වීම්වලදී අපි මේවා ගැන පැමිණිලි කළා. ඒත් කිසිම විසඳුමක් ලැබුණේ නැහැ. ඒ නිසා නීති මාර්ගයෙන් හරි කටයුතු කරන්නයි දැන් හිතාගෙන ඉන්නේ.” උණවටුන යද්දෙහිමුල්ල ප්‍රදේශයේ හෝටල් කර්මාන්තයේ යෙදෙන්නෙක් අප සමග පැවසුවේ එවන් කතාවකි.

මීට වසර කීපයකට පෙර ද උණවටුන ප්‍රදේශයට විවේකයන් ගත කිරීමට පැමිණ තිබූ විදේශ සංචාරකයකු අප සමග පැවසුවේ ඔවුන් මීට පෙර පැමිණි අවස්ථාවේ එම පරිසරය විවේක සුවයෙන් ගත කිරීමට කදිම ස්ථානයක් වූ නමුත් මෙවර තත්ත්වය ඊට වෙනස් බවය. රාත්‍රී කාලයේ ඒ ආසන්නයේ ඉදිකිරීම් සිදුවන බැවින් ද මාර්ගය තදබද වන බැවින් ද පෙර තිබූ සන්සුන් බව දැන් එහි නොමැති බව ඔහු පැවසුවේය. එම ප්‍රදේශය දැවැන්ත ගොඩනැගිලි සහිත නගරයක් ලෙස නොව නිසංසල ගමක් ලෙස දැකීමට ඔවුහු ප්‍රිය බව එම විදේශිකයා අප සමග පැවසුවේය.

“වෙරළේ ඉඳලා මීටර් තුන්සීයට ඈතින් හදන හෝටල්වලටත් තට්ටු තුනකට වඩා වැඩියෙන් උසට හදන්න අවසර ලැබුණේ නෑ, ඒත් මේක වෙරළ ආසන්නයේම වුණත් තට්ටු 16ක්. අනෙක ඉඩමට එන පාරත් පටු පාරක්. මෙතෙක් කිසිම කෙනෙක්ට තට්ටු තුනකට වැඩි ගොඩනැගිලි හදන්න අවසර ලැබුණේ නෑ, මේ ඉඩම පහුගිය ආණ්ඩුව කාලයේ ගෝඨාභය රාජපක්ෂ හෝටලයක් හදන්න ගන්න යනවා කියලා කතාවක් තිබුණා. දැන් ඩඞ්ලි සිරිසේන තමයි අරගෙන මේ විනාශය කරන්නේ. අනුන්ට හොරු කිය කියා බලය තියෙද්දී කවුරුත් කරන්නේ එකම දේ.” ඒ එම ප්‍රදේශයේ කුඩා පරිමාණ වෙළෙඳ ව්‍යාපාරිකයකු අපට කළ ප්‍රකාශයකි. නාගරික සංවර්ධන අධිකාරියේ අංක 392/9 දරන 1986.03.10 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව අධි උස ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වූ භූමි භාගයක සැලැස්මක් අනුමත කිරීමට නම් තිබිය යුතු අවශ්‍යතා ද නොසලකා හරිමින් මෙම අරලිය බීච් ව්‍යාපෘතියට අනුමැතිය ලබා දී තිබෙන අයුරු පෙර ලිපිවලින් ද අප සවිස්තරව හෙළි කළෙමු.

“දැන් තට්ටු දාසයම හදලා ඉවරයි. ඒත් මේකට කොහොම අවසර ලැබුණාද කියන එකයි ප්‍රශ්නය. වෙන මිනිස්සු මොකක් හරි හදනවා නම් පාරවල් ගැනයි අනෙක් නීතියි හැම එකක් ගැනම බලනවා. ඒත් ජනාධිපතිගේ මල්ලිගේ හෝටලය නිසා වෙන්න ඇති මේකට එහෙම ඒවා බලපැවැත්වුණේ නැහැ. ඒ වගේම රෑ එළි වෙනකම් බර වාහන එනවා, ගල් වගේ දේ මහා සද්දෙට බානවා, හෝන් ගහනවා, පාරවල් අවහිර වෙනවා, මේක යුද පිටිය වගේ. සංචාරකයෝ පැමිණිලි කරනවා, හෝටල්වලට පාඩුයි. මේ වගේ ප්‍රශ්න හුඟක් අයට තියනවා. පූජා භූමියක් විධියට නම් කරලා තියන වැල්ලේ දේවාලයට මීටර් දෙසීයක්වත් දුර නැහැ. ඒත් සමාජ ශාලාත් හැදෙනවා. වැල්ලේ දේවාලයේ හාමුදුරුවන්ටත් උදව් කරලා හාමුදුරුවෝත් දැන් ඒ පැත්තට හරවගෙනයි තියෙන්නේ. ගමේ සමහර අයටත් ඒ විධියටම උදව් කරලා ඒ පැත්තට හරවාගෙන තමයි මේ දේවල්වලට සහයෝගය ගන්නේ.” ප්‍රදේශවාසියකු පැවසූ වදනකි.

ඓතිහාසික වැල්ලේ දේවාල විහාරයට පසුගිය දිනක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ලබාදෙන බව පවසමින් බෝ පැළයක් ලබාදීමට කටයුතු කර තිබිණ. ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේනගේ ධන පරිත්‍යාගයෙන් එහි බෝ මළුවක් ද ඉදිකර තිබේ. වැල්ලේ දේවාලයේ කපු මහතා අප හිතවතකු සමග පවසා තිබුණේ වැල්ලේ දේවාල විහාරයේ ස්වාමීන්වහන්සේ කොළඹදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ ස්වාමීන්වහන්සේට අවශ්‍ය මොනවාදැයි ජනාධිපතිවරයා විමසා තිබූ බවත් තමන්ට වාහන හෝ මුදල් නොව බෝධියක් ලබාදෙන ලෙස එම ස්වාමීන්වහන්සේ ඉල්ලා ඇති බවත්ය. එවිට ශ්‍රී මහා බෝධියෙන්ම අංකුරයක් ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව ඔහු පවසා තිබුණි. එය රෝපණය කිරීමට නැකැත් යොදා තිබූ දින ජනාධිපතිවරයා විදේශගතවූ බැවින් ඔහුගේ සොයුරා ඩඞ්ලි සිරිසේනත්, බිරිඳත් තවත් පිරිසකුත් පැමිණ උත්සවාකාරයෙන් එය රෝපණය කර තිබේ. “ඒ උත්සවයට ගමේ ගොඩක් අය ආවේ නෑ. මොකද හෝටලය හදනවාට ගමේ සමහර අය විරුද්ධයි. මේ හෝටලය හැදුණාම ඒ අයගේ ව්‍යාපාර විනාශවෙයි කියලා ඒ අය බයයි.” ඔහු පවසා තිබුණි. බුදු කුටිය සහිත බෝ මලුව සාදා දීම වෙනුවෙන් ඩඞ්ලි සිරිසේන ලක්ෂ හතළිහක පමණ මුදලක් වැය කර ඇති බව ද ඔහු පවසා තිබේ. තවත් උදව් අවශ්‍ය වේ නම් පවසන ලෙස ද ඩඞ්ලි සිරිසේන විසින් ස්වාමීන් වහන්සේට පවසා තිබූ බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

මෙරට බොහෝ මිනිසුන් නිහඬ කිරීමට ඇල්ලිය යුතු නිලය පිළිබඳ දේශපාලඥයන් ද බලවතුන් ද හොඳින් දනිති. ශ්‍රී මහා බෝධියෙන්ම අංකුරයක් තම විහාරස්ථානයට, ගමට ලබා දුන් විට බහුතරය නිහඬ කරගත හැකියැයි ඔවුන් සිතන්නේ එබැවිනි. බාධාවකින් තොරව සිතැඟි පරිදි තම කටයුතු නොකඩවා කරගෙන යා හැකි වන්නේ එවන් මාර්ග හරහා බව ඔවුහු ඉතා හොඳින් දනිති. පසුගිය පෝය දිනක ගමේ වැඩිහිටි පිරිසට අටමස්ථාන වන්දනා කිරීමට අවස්ථාව සකසා දීමට ද ඩඞ්ලි සිරිසේන කටයුතු කර තිබූ බව ද ගම්වාසියකු අප සමග පැවසුවේ උපහාසය රැඳුණු මුවිනි.

“මිලියන පන්සියයක ව්‍යාපෘතියක් මේ යද්දෙහිමුල්ල පාරයි ඕලන්ද ඇළයි වෙනුවෙන් ගේන්න යනවා. මේ හැමදේම වෙන්නේ ඩඞ්ලි සිරිසේනගේ හෝටලයට පහසුකම් සලසන්නයි. දැනට ගාල්ලෙන් කිසිම කෙනෙක්ට අලුතෙන් ජල සැපයුම් විදුලි සැපයුම් දෙන්නේත් නෑ, ඒත් මේ හෝටලයට වෙනමම ජල සැපයුමක් දෙන්න යනවා කියලා දැනගන්න ලැබුණා.” ප්‍රදේශවාසියකු එලෙස පැවසූ බැවින් අපි ගාල්ල ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමනාකරුගෙන් ඒ පිළිබද විමසුවෙමු. ඔහු ප්‍රකාශ කළේ දැනට එම ප්‍රදේශයට අලුතෙන් ජල සැපයුම් ලබාදීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවයි. ගාල්ල මහනගර සීමාවේ සහ අම්බලන්ගොඩ නගර සීමාවේ හැර ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙක් ප්‍රදේශවල ජල සැපයුම වසර ගාණක සිට පැය දහයත් දොළහත් අතර කාලයකට සීමා කර තිබෙන බව ද ඔහු පැවසුවේය. “මොකද පැය විසිහතරේම ඒ හැම ප්‍රදේශයටම ජලය ලබාදෙන්න තරම් ධාරිතාවක් දැනට නැහැ. ඒ අනුව හබරාදුව, බෝපේ, පෝද්දල, අක්මීමන, කොග්ගල, හික්කඩුව, බලපිටිය, කොස්ගොඩ, බද්දේගම ප්‍රාදේශීය සභාවල ජල සැපයුම දවසකට පැය දහයත් දොළහත් අතර කාලයකට සීමා කරලායි තියෙන්නේ. ඒ වගේම දැනට 12000ක පමණ ජල සැපයුම් ඉල්ලුම්කරුවන් 2017 පමණ සිටම පොරොත්තු ලේඛනයේ ඉන්නවා. නව ජල ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට දැනට යෝජනා වී තිබුණත් ඒ ව්‍යාපෘති ඉදිවී නව ජල සැපයුම් ලබාදීමට නම් වසර තුනක් හෝ හතරක කාලයක් ගතවෙනවා. අහංගම සිට බෙන්තොට දක්වා වෙරළ තීරයේ හෝටල් සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා. ඒවාටත් අවශ්‍ය ජල සැපයුම ලබා දෙන්නත් පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඒ අය බවුසර් මගිනුත් ජලය සපයා ගන්නවා. ඩඞ්ලි සිරිසේන මහතාගේ හෝටලයට තවම ජල සැපයුමක් ඉල්ලුම් කර නැහැ. ඒ ඉල්ලුවත් දැනට දෙන්න පුළුවන්කමක් නැහැ. නව ව්‍යාපෘති ඇතිවුවත් ඒවායින් ජලය ලබා දෙන්න නම් වසර තුන හතරක් ගතවෙනවා.” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අරලිය උණවටුන බීච් හෝටල් ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවට අනුව ද එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අවධියේ දී දිනකට ජලය ඝනමීටර් 215ක් පමණ අවශ්‍ය වන බවත් එය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල සැපයුම ප්‍රධාන ප්‍රභවය වන බව ද එම මණ්ඩලයේ එකඟතා ලිපියේ පිටපතක් අමුණා ඇති බව ද සඳහන් වේ. එහෙත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ සම්බන්ධව ලබා දී ඇති ලිපියේ සඳහන් වන්නේ අමතර ජලධාරාවක් අදාළ ප්‍රදේශයට සැපයීමට කෙටිකාලීන හා දිගුකාලීන ව්‍යාපෘති ගෙන ඒමට සැලසුම් කර ඇති අතර එම ව්‍යාපෘති සම්පූර්ණ වූ කාලයක එම හෝටලයට ජලය සැපයිය හැකිවනු ඇති බවකි.

කෙසේ වෙතත් මෙවැනි මහා පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් උණවටුන වෙරළ ආසන්නයේ ඉදිකිරීමට අවසර ලබා දීමට වගකිවයුතු බොහෝ ආයතනවල නීතිරීති ඉතා නම්‍යශීලීව ඇති බව පැහැදිලිය. පරිසර අමාත්‍යවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේම පවතින ආයතන එහි පාරිසරික බලපෑම් ඇගයීම සිදුකර තිබේ. එය විනිවිදභාවය පිළිබදව ඕනෑම අයකුට වටහාගැනීම අපහසුද නොවේ. මීට පෙර සිටි ජනාධිපතිවරයා හා පවුලේ අය විසින් සිදුකළ විනාශයන් පිළිබඳ පසුගිය කාලයේ ජනාධිපතිවරණය වෙනුවෙනුත් ඉන් පසුත් මෛත්‍රීපාල සිරිසේන විසින් වේදිකාවල විලාප නැගුවේය. ඔහුට මේ වන විට ඒ කිසිවක් මතක නැති බව ඔහු මීට මාස කීපයකට ප්‍රථම ලෝකයටම අනාවරණය කළේය. එමෙන්ම එදා සිදුවූවා වැනි ඥාති සංග්‍රහ මෙදා ද එලෙසම සිදුවන බව ඔහු රටට ඔප්පුකර හමාරය.