මාර්තු පෙරළියක්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

දැනට ජනපති සමග සිටින ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් ගැනීමට යන තීරණ කිහිපයක් නිසා එළැඹෙන මාර්තු මාසයේදී දේශපාලන පෙරළියක් සිදුවනු ඇතැයි රාවයට දැනගන්නට තිබේ.
නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න ඇතුළු මෙම පිරිස, ඒකාබද්ධ විපක්ෂයේ පොදු ජන පෙරමුණු කණ්ඩායමෙන් වෙන්ව ස්වාධීනව තීරණ ගැනීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ. විශේෂයෙන් මාර්තු 12 වැනිදා පාර්ලිමේන්තුවේ අය-වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී මෙම පිරිස අය-වැයට පක්ෂව ඡන්දය ලබාදෙනු ඇතැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් රාවයට හෙළි කළේය.

එජාපෙ හා ජාතික ආණ්ඩුවක් ගොඩ ගැනීම සඳහා ඍජුවම ආණ්ඩුවට එක් නොවී විපක්ෂයේ සිටිමින් ශ්‍රීලනිප අනන්‍යතාව ආරක්ෂා කරගෙන ආණ්ඩුවේ යහපත් කාර්යයක් සඳහා සහායදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මෙම කණ්ඩායමේ ස්ථාවරය වී තිබේ. මෙය අය-වැයට එරෙහිවීමේ ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරයට එරෙහි ස්ථාවරයක් නිසා ඉදිරි ප්‍රධාන මැතිවරණවලදීද මෙම ශ්‍රීලනිප කණ්ඩායම මේ අනුවම ක්‍රියා කළහොත් ශ්‍රීලනිප හා පොදු ජන පෙරමුණ අතර සන්ධානයට එමගින් සැලකිය යුතු බලපෑමක් එල්ල වනු ඇතැයි රාවය හා අදහස් පළ කළ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා කියා සිටියේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා එජනිස සියලු පක්ෂ නායකයන් සිකුරාදා (22) සිය නිල නිවසට කැඳවා තිබිණි. ■