අවකාශය තුළ අඛණ්ඩතාවේ සුවිශේෂ රූප – Unique Forms of Continuity in Space

එරික් ඉලයප්ආරච්චි

අස්ථි පංජරය සහිත මිනිස් මාංශය සිය තුනී චර්මය තුළ රැදෙනු වෙනුවට කිසියම් බලවේගයකින් සන්නද්ධව එළියට පැන අවකාශය තුළ විහිදෙමින් සුවිශේෂ රූපාකාරයක් මැවීම මෙහි මූර්තිමත් වේ. කිඹුල් සමක් වෙනුවට සියුමැලි තුනී සමක් ජන්මයෙන් හිමි කර ගත් මනුෂ්‍යයා එහි වාසිය ලබමින්, සිය අලුත් බලයක් ප්‍රදර්ශනය කරමින්, ස්වකීය ජෛව සීමාව හා හැඩය වෙනස් කර ගන්නේ තමා තුළ ඇති කර ගත් නව බලයේ අරුමය විදහා පෙන්වමිනි. එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ මිනිස් සිරුර තුළ බලය පරමොත්කෘෂ්ට වී මිනිස් රූපය අහෝසි වීමයි. එනයින් ඔහු විසින් දිනා ගනු ලැබූ දේ මගින් ඔහු විනාශ වී ඇත. ‘සොබාදහමට වෙනස් ලෙස මනුෂ්‍යා විසින් දිනා ගනු ලැබූ සියල්ල සංස්කෘතිය’ නම්, මෙහි සිදු වී තිබෙන්නේ ඔහු විසින් දිනා ගන්නා ලද සංස්කෘතිය මගින් ඔහු අහෝසි වීමයි. අවකාශය තුළ ඔහුගේ නව අඛණ්ඩතාව, එම නව බලයේ අවකාශය වන අතර ඒ බල ව්‍යාප්තියේ දී හෙතෙම මානවීය නොවන සුවිශේෂ රූපාකාරයක් ලබා ගනියි. මූර්ති ශිල්පියා විසින් ඒකවචනය භාවිත නොකර සුවිශේෂ රූප යන බහුවචනය පාවිච්චි කරයි. ඉන් ඔහු අපට දැනුම් දෙන්නේ එය තව තවත් රූපාකාරයන් ලබා ගත හැකි බව ය.

අප මේ මූර්තියේ අසාමාන්‍ය රූපාකාරයට හා මිනිස් දේහය පිළිබඳ නව දැක්මට එය දුටු සැණින් වශී නොවිය යුතුය. එහි ඇතුළාන්තය අවබෝධ කර ගන්නේ නැතිව මේ මූර්තියේ ඓතිහාසික ද්‍රව්‍යවාදය හෝ මිනිස් රූපයේ ආශ්චර්යයෙහි ගැබ්වුණු විසකුරුභාවය හෝ අපට තේරුම් ගත නොහැකිය. කලාත්මක වූ සියල්ල යුක්තිගරුක වන්නේය යන පැරණි මිථ්‍යාව පිළිගැනීම වෙනුවට ‘කලාත්මකය’ තුළ අන්තර්ගත අයුක්තිජනක නිරූපණය වටහා ගැනීම පමණක් නොව ‘කලාත්මකය’ විසින් ඇනවුම් කරන මානව විකෘතිය පිළිබඳ දැක්මක් ද ඉල්ලා සිටින ප්‍රබල මූර්තියකි මේ! සැබැවින්ම මෙහි කලාත්මක වටිනාකමක් තිබේ නම් එය රැඳී තිබෙන්නේ පළමුවැනි නැරඹුම් සැසියේදී එහි අපූර්වත්වය නැරඹීමෙන් හා දෙවැනි නැරඹුම් සැසියේදී කලාකරුවාගේ විපරීතභාවය හා මානසික විකෘතිය තේරුම් ගැනීමෙනි. එනයින් දෙවෙනි සැසියකට අවස්ථාවක් ලබා දීම ගැන ඊනියා ‘කලාත්මකය’ වෙත නරඹන්නා තුති පිදිය යුතුය. මන්ද, එය ඔහු වැනි ප්‍රතිභාපූර්ණ ඌරෙකුට හෝ සුනඛයකුට හෝ විනා අනෙකකුට කළ නොහැකි කාර්යයකි. සිංහල කලා විචාරයේ දී තුන්වැනි සැසියක වුවමනාවක්ද මතු වේ. එනම්, මෙවැනි විදෙස් කලාකෘති පිළිබඳ සිංහල විචාරය හුදෙක් ඉංග්‍රීසි විචාරයන්ගේ පුනරුච්චාරණයක් බව කල්පනා කිරීමේ අමන භාවිතය පිටුදකින ආකාරයේ නැරඹුමක හා අදහස් දැක්වීමක නිරත වීමයි. එලෙස චිත්‍ර, මූර්ති, සංගීතය ආදිය පිළිබඳ සිංහල විචාරය පිටුදැකීම, ලලිත කලා ක්ෂේත්‍රය තුළදී කලාහීන හා වැන්ඩල්වාදී අදහසක් වන අතර කලාවේ සර්වභෞමික ගුණය මෙන්ම හෙළ හවුලේ සහ මාර්ටින් වික්‍රමසිංහ යුගයේ සිට දේශීය කතිකාව තුළ ඒ පිළිබඳව සංවාද කිරීමේ ඉතිහාසය, ඊට ඇති හැකියාව හා සූදානම නොතකා හැරීමක් වන බැවින් තුන්වන සැසියේ දී එවැනි අමනකම් පිටුදකිමින් හැකි තරම් කලා කෘති විචාරයට ලක් කිරීම මැනවි.

නූතනවාදී කලාත්මක ප්‍රගමනයේ නව ප්‍රවණතාවන්, ඉතාලියේ ෆැසිස්ට්වාදය සමඟ හරි කෙළින් තබා ඊට අනුකූල කරන්නට තරම් බුද්ධි විපරීතයක් පළ කළ කලා හවුලක ප්‍රකට නිර්මාණයක් වූ මේ මූර්තිය, කලාවේ පමණක් නොව බුද්ධියේ හා ප්‍රබුද්ධතාවේ දේශපාලනික පිරිහීමේ සංකේතයකි. උම්බෙර්තෝ බොච්චියෝනි නම් මූර්ති ශිල්පියා මෙහි නිර්මාතෘ වන අතර ඔහු ඉතාලි චිත්‍ර ශිල්පියෙක්, මූර්ති ශිල්පියෙක් හා කලා න්‍යායධරයෙක් විය. ජර්මානු හා ඉතාලි ‘ජාතික සමාජවාදයේ’ සුපිරි ගතිකත්වය, අධිවේගය, තාක්ෂණික උද්දාමය, ගැටළු සියල්ල නිරාකරණය වුණු සමාජ තත්ත්වයක් පිළිබඳ ෆැන්ටසිය හා අවසන් විසඳුමක් ඇත යන යුටෝපියානු චින්තනය, ජර්මන් හා ඉතාලි ෆැසිස්ට්වාදයේ ජාතික ඇදැහිල්ල වුණු අතර, උම්බෙර්තෝ බොච්චියෝනි ඇතුළු ඉතාලි අනාගතවාදී කලාකරුවන් (Futurists) කළේ මිනිස් රූපය, භුමිදර්ශනය හා නිසල රූප කලාව තුළ ඇති වෙමින් තිබුණු අසම්ප්‍රදායික පෙරටුගාමී විප්ලවීයභාවය ෆැසිස්ට්වාදය වෙත කැදවා ගැනීමයි. මෙය කලා ඉතිහාසය තුළ ලියවුණු දරුණුතම සමීකරණය විය. එය මනෝවිශ්ලේෂණය තුළ සටහන් වුණේ පෙරටුගාමී කලාවේ අවිඥානය මත ෆැසිස්ට්වාදයේ සුපිරි අහම රදවමින් ඉතාලි අනාගතවාදී කලාවේ න්‍යාය පත්‍රය සකස් කිරීමක් ලෙසටය.

ලොව ප්‍රධාන කලාගාරවල ප්‍රදර්ශනය වන උපස්තිථිවාදය (Impressionism), පශ්චාත්-උපස්තිථිවාදය (Post-Impressionism)  හා ඝනිකවාදී චිත්‍ර රැසක නිර්මාතෘ මෙන්ම වියත් න්‍යායාචාර්යවරයකුද වූ උම්බෙර්තෝ බොච්චියෝනි විසින් පැසිස්ට්වාදය හා අනාගතවාදී කලාව එකිනෙකට හිතමිතුරු හා අඹුසැමි කරන, සාධක සොයා ගන්නා ලද්දේ දෙකටම පොදු බව කල්පනා කළ අසීමිත නිර්මාණ හැකියාව, යන්ත්‍රය කෙරෙහි ප්‍රමුඛත්වය, වේගය, බලය, නව ලෝකයක් පිළිබඳ බලාපොරොත්තුව, අතීතය පිළිබඳ නිර්දය අවඥාව සහ නව මිනිසෙක් පිළිබඳ විශ්වාසය පෙරටු කර ගනිමිනි. මේ මූර්තියේ නිරූපණය වන්නේ කායික හා මානසික සීමාව ඉක්මවා ගතිකත්වය පළ කරන අධිවේගී මිනිස් රූපයකි. චලනය හා වේගය නිසා කරකැවෙන දැති රෝද වැනි මාංශ පේශී සහිත මිනිස් කාය ව්‍යුහය හෙවත් ඇනටොමිය බලගතු යන්ත්‍රයක් වී ඇත. මූර්ති ශිල්පියා දේශපාලනිකව හැගවුම් කරන්නේ කලාවේ අනාගතවාදයද, මුසෝලිනීගේ ජාතික සමාජවාදයද නැතිව මෙවැනි මිනිසකු මහ පොළොව මත ඇවිද වන්නට නොහැකි බවය. මූර්තියේ ආකෘතිය කොයි තරම් විශිෂ්ට වූවද මේ කලාවේ පරම අරමුණ ඒ දුර්දාන්ත ෆැසිස්ට්වාදය වෙනුවෙන් කලාව හා බුද්ධිය කැඳවීමයි.

“මේ දවස්වල මම මූර්ති කලාවෙන් පිස්සු වැටී සිටිමි. මූර්ති කලාවයි කියන ඊජීප්තු මමි කලාවේ (බලි කලාවේ) පරිපූර්ණ පිබිදීමක් ඇති කරන්නට මම කල්පනා කරමි” යි ඔහු මුල දී අවංක හැඟීමකින් ලිවීය. එනමුත් මේ මූර්තිය නිර්මාණය කළ 1913 වන විට ඔහු ඉතාලි කවියකු වූ මාරිනෙත්ති විසින් පළ කරන ලද ‘අනාගතවාදී ප්‍රකාශනයේ’ (Futurist Manifesto) සෞන්දර්යවේදය තුළ කරවටක් ගිලී සිටියේය. ඒ කවියා මෙසේ ලිවීය. “ ලෝකයේ ශ්‍රීවිභූතිය දැන් අලුත් සෞන්දර්යකින් පෝෂණය වෙයි. එනම්, ප්‍රවේගය (speed) නිසාවෙනි. රේසිං කාර් එක දෙස බලන්න. කටින් ගිනි පිට කරන නාගරාජයන් වැනි ලෝහ පයිප්පවලින් එය අලංකාර වී ඇත. කන් බිහිරි කරමින් දුවන රේසිං කාරය, පිපිරෙන බෝම්බයකින් නිකුත්වන ලෝහ කැබැල්ලක් උඩ දුවනවා වගේය. ශ්‍රමයෙන්, විනෝදයෙන් හා කැරලිකාරිත්වයෙන් ඔද වැඩුණු මහා ජනකායන් ගැන, නූතන අගනගරවල සිදු වන විප්ලවයන්ගේ වෛවර්ණ හා බහුනාද චණ්ඩ රළ පතර ගැන, විදුලිබලයෙන් උද්දීප්ත ප්‍රචණ්ඩ චන්ද්‍රයන් යට ඇති වැඩපට්ටල හා අවිගබඩාවල නිශා කම්පන ගැන, දුම් කඹවලින් අහසේ වලාකුළුවලින් එල්ලෙන ෆැක්ටරි ගැන, ක්ෂිතිජය සුළුකොට සලකමින් වීර චාරිකා යන නෞකා ගැන, පීලි උඩ අහංකාරයෙන් දුවන විසල් පපුව සහිත දුම්රිය ගැන, අහසේ පාවෙන ගුවන්යානා ගැන, උද්දාමයෙන් හඬ දෙන ජනකාය ගැන-අපි හෙට ගී කියමු. ප්‍රචණ්ඩත්වය, කෲරත්වය හා අයුක්තිය හැර අන් යමක් වෙන්නට කලාවට නොහැකි ය. සදාචාරවාදය, ස්ත්‍රීවාදය සහ අවස්ථාවාදී වූත් උපයෝගිතාවාදී වූ අධමභාවය පිටුදකිනු සඳහා අපි කෞතුකාගාර, පුස්තකාල විනාශ කිරීමට අදහස් කරමු.”

මේ මූර්තිය තුළ විද්‍යාමාන වන්නේ මාරිනෙත්තිගේ ඒ විෂම සෞන්දර්යවේදයයි. පිටට නෙරා ඇති එකද හැඩතලයකවත් මූර්තිධර මානුෂිකත්වයක් ඇත්තේ නැත. ප්‍රවේගයේ පිස්සුව හා බලයේ හිස්ටීරියාව විනා මානව දයාවක් ගෑවිලාවත් නැත. පිකාසෝගේ විශ්ලේෂණාත්මක මූර්තිධරභාවය හෝ රොඩෑන්ගේ මාංශමය මූර්තිධරභාවය හෝ ඇලෙක්සැන්ඩර් කෝල්ඩර්ගේ වෑල්ඩිං-වානේ මූර්තිවල කාර්මික මූර්තිධරභාවය හෝ ඊට සපුරාම වෙනස්ය. කවියකු ලෙස මාරිනෙත්තිගේ භාෂාව කාව්‍යමය වූ අතර ෆැසිස්ට්වාදයේ සම්ප්‍රාප්තිය නිවේදනය කළ දුෂ්ට ස්වරයකින් හෙබියේ යයි ශේෂ්ඨ කලා ඉතිහාසඥ හර්බට් රීඞ් ශ්‍රීමතාණෝ පවසති. ඒ අධම ස්වර වැකිය මෙසේය. “රණපරමවාදය, දේශප්‍රේමය, රජයත් නීතියත් දෙකම අවලංගු කරන අරාජකවාදියාගේ විනාශකාරී හස්තය, මරණය නිපැයෙන සුන්දර අදහස්, ස්ත්‍රිය කෙරෙහි අවඥාව ආදිය වෙනුවෙන් සෞඛ්‍යය ලොවට ලබා දෙන යුද්ධය උත්කර්ෂයට නැංවීමට අපි බලාපොරොත්තු වෙමු.” ශ්‍රීමත් හර්බඞ් රීඞ් මෙසේ පිළිතුරු දෙයි. “ඉන් වසරකට පසු (1910 අප්‍රියෙල් 11) මුසොලිනී වටා එකතු වුණු අනාගතවාදී කලා කවය ‘තාක්ෂණ ප්‍රකාශනය’ නමින් හඳුන්වා දෙන ලද ඊනියා දෙවැන්න නිකුත් කළ අතර එහි තිබුණේ පළමුවැන්නේ ඝෝෂා රෝෂය (sound and fury) නොව සෞන්දර්යවේදය පිළිබඳ වීමංසාවයි.”
මේ මූර්තිය බිහි වන්නේ ඉන් තෙවසරක් ඇවෑමෙනි.