කැමරාව ඉදිරියේ ඕනම කෙනකුට රඟපාන්න පුළුවන්

දිනී ජයසේකර

ඔබ රංගන ශිල්පිනියක් වෙන්නෙ අහම්බෙන්ද?

ඇත්තටම ඔව්. මම උසස් පෙළ ඉවර වෙනවත් එක්කම ඩයලොග් ආයතනේ වැඩට ගියා. ඒකෙ අවුරුදු හතරක් විතර ඉද්දි මට වැඩ එපාවේගෙන වගේ ආවා. ඉතින් මම ඩයලොග් ආයතනේ වැඩ කරන ගමන්ම ගුවන් සේවිකාවක් වෙන්න ඇප්ලයි කළා. කොහොම හරි ඒකට මම සිලෙක්ට් වුණා. සිලෙක්ට් වුනාට පස්සේ මට අබුඩාබි වලට යන්න මාස තුනක වගේ කාලයක් තිබුණා. මම මාර සතුටකින් තමා මේ ඔක්කොම අතඇරලා යන්න හිටියේ. ඒත් එහෙම ඉන්නකොට මට “රොසෑන් ඩයස්ව” හම්බවුණා. රොසෑන් කීවා “යුරේනි මෙහෙම ෆැෂන් ෂෝ එකක් තියෙනවා මට ඒකට ඔයාගේ උදවු ඕනේ” කියලා. ඇත්තටම මට කෙල්ලෙක් වගේ ඇදලවත් ඇවිදලවත් පුරුදු නැහැ. මම ඉස්කෝලේ යන කාලේ ඉදන්ම පිරිමි ළමයෙක් වගේ තමා ඇවිද්දේ ඇන්දේ කරේ. කොහොම හරි රොසෑන්ට බෑ කියන්න බැරි නිසා මම මොඞ්ල් කරා. ඊටපස්සේ එතනින් රොසෑන් කීවා “මොඞ්ල් ඔෆ් ද නිව් ජනරේෂන්” කියලා මොඞ්ල් කම්පිටිෂන් එකක් තියෙනවා කියලා. යුරේනි ඔයා ලස්සන මූනකුත් තියන් නිකන් බෝඩිමට වෙලා ඉන්න එකේ ඕකටත් ගිහින් බලන්න කියලා ඒකටත් තල්ලු කළා. කොහොම හරි මම ඒකෙනුත් දින්නා. ඒ අවුරුද්දේ ඒක දිනන කෙනාට “ටුවරිසම් වර්ල්ඞ්” යන්න පුළුවන් වුණා. ඒත් අවාසනාවකට මොකක් හරි ප්‍රශ්නයක් නිසා මට යන්න පුළුවන් වුණේ නැහැ. ඔය අතරතුර මම මගේ යාළුවෙක් හම්බෙන්න මහරාජා එකට යනවා. ගිහිල්ලා ලිෆ්ට් එකට නැග්ගාම ඒක ඇතුළේ කට්ටියක් හිටියා. මම ඉතින් ඒක වැඩිය නොහිතා මගේ ෆ්ලෝ එකට ගිහින් යාළුවාව හම්බෙලා යන්න හදනකොට මට රිසෙප්ෂන් එකෙන් කීවා පළවෙනි ෆලෝ එකේ ටෙලිඩ්‍රාමා එකක ඔඩිෂන් වගයක් තියෙනවා. ඒකෙ ඩිරෙක්ටර් ඔයාව ලිෆ්ට් එකේදි දැකලා ඔයාට එන්න පුළුවන්ද කියලා ඇහුවා කියලා රිසෙප්ෂන් මට කීවා. එතකොට මම ලිෆ්ට් එකේ උඩට යනකොට ඩිරෙක්ටර් තමයි අර කීප දෙනා එක්ක ඉදලා තියෙන්නේ.

එතකොට ඔබේ ජීවිතේ ටර්නින්පොයිට් එක ලිෆ්ට් එකද?

ඔව්. ටර්නින්පොයින්ට් එක සහ දෛවය කිව්වත් හරි ඇති. මොකද මගේ අතීතයේ ඒ තරම් ලස්සන ජීවිත කතාවක් නැහැ. හේතුව මම පුංචි කාලෙම මගේ අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් එකකින් නැති වෙනවා. අම්මගේ අම්මා තමයි මාව බලාගත්තේ. ඇත්තටම ආච්චිට මාව බලාගන්න තරම් වත්පොහොසත්කම් තිබුනේ නැහැ.
මගේ පාසල කොල්ලුපිටියේ මෙතඩිස් කොලේජ්. අම්මයි තාත්තයි දාපු ඉස්කෝලේ. මම හොස්ටල් ජීවිතයකට උරුමකම් කීවා. අවුරුද්දට දෙපාරයි ගෙදර ආවේ. ඒ නත්තලටයි අවුරුදු නිවාඩුවටයි. අපේ පාසල ගොඩක් පොහොසත් පාසලක්. ආච්චිට වියදම් කරන්න මුදල් නැති නිසාත් මගේ වාසනාවකට හෝ උසස් පෙළ දක්වා මට ඉගෙන ගන්න පාසලෙන් ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ නිසා මම අධ්‍යාපනය වගේම හැම ක්‍රීඩාවකටම සහභාගී වුණා. මොකද මට ශිෂ්‍යත්වයක් හම්බෙනවා කියන්නේ ඒ කාගේහරි මුදල්. මම ඒ මුදල් වලට වටිනාකමක් දෙන්න ඕනේ කියලා හිතුවා. ඒ නිසාම මම හොඳට ඉගෙන ගත්තා.

අතේ ඇඟිලි ගාණටත් වඩා අඩු සීමිත නාට්‍ය සහ ෆිල්ම් ප්‍රමාණයකට ඔබේ රංගන දායකත්වය ලබා දී ඇත්තේ ඇයි?

ගොඩක් දුරට මම කොළඹින් පිට ෂූටින් තෝරගන්නේ නැහැ. අනිත් කාරණාව බොහොමයක් ලෝ බජට්. අපි අපේ කාලය වැය කරනවනම්, කාලය කියන්නේ මුදල්. ඒ නිසා එතනදි ඒක කරනවද නැද්ද කියන එක ගැන මම ගොඩක් දුරට හිතනවා. අනිත් එක පහසුකම් මදිවෙන හේතුත් තියෙනවා. කිඳුරංගනා නාට්‍යයෙන් පස්සේ මට එහෙම හිත ගිය නාට්‍යය වැඩිය හම්බවුණෙත් නැහැ. ඒ අතරින් සිහින සින්ඩරෙල්ලා කියලා නාට්‍යයක මුඩුක්කුවක චන්ඩි චරිතයක් මට හම්බවුණා. ඒකනම් මම ආසාවෙන් කළා. මොකද චන්ඩි චරිතයක් නිසා. ඊට පස්සේ මට හම්බවුණ ලොකුම බ්රේක් එක කූඹියෝ.
ෆිල්ම් එකක් තෝරගද්දි මගේ වයස ගැන මම සැලකිලිමත් වෙනවා. මොකද මට දැන් අවුරුදු 23 චරිත කරන්න බැහැ. මගේ වයසත් එක්ක මම දැන් පරිනත කෙනෙක්. ඒ නිසා මල් චරිත කරන්න මම කැමති නැහැ. මම ආසයි පරිණත චරිත කරන්න. මොකද අපි ජීවිතේ ගොඩක් අත්දැකීම් විදලා තියෙන නිසා පහසුවෙන් ඒ චරිත වලට අනුගත වීමේ හැකියාව ඇති කියලා මම හිතනවා. අනික සමාජෙට යමක් දෙන්න පුළුවන් චරිතයක් මගේ අතට ආවොත් මම ඒක කරනවා. ඉතින් හා හා පුරා කියලා මේ අවුරුද්දේ මම ෆිල්ම් එකකට අත තියලා තියෙන්නේ. ඒක වානිජමය චිත්‍රපටයක් නොවේ. ආර්ට් පැත්තෙන් යන ලස්සන පිටපතකට අනුව යන ෆිල්ම් එකක්. බොහෝ විට මම ඒක කරාවි. ඇත්තටම මම මහ ලොකු දේවල් කරපු කෙනෙක් නෙවේ. ඒත් යුරේනි නොෂිකා කීවාම ගොඩක් මිනිස්සු මාව දන්නවා. ඒක මගේ වාසනාව කියලා මම හිතනවා.

ඇත්තද කූඹියෝ පිටපත බැලුවට පස්සේ ඒ චරිතේ ප්‍රතික්ෂේප කලා කියන්නේ?

ඔව්. කූඹියෝ ස්ක්‍රිප්ට් එක මම මුලින්ම ප්‍රතික්ෂේප කළා. හේතුව ඒ ස්ක්‍රිප්ට් එක ඇත්තටම හොඳට තිබුණා. ඒත් ඒකේ හිරුනිගේ චරිතෙට මට කරන්න දෙයක් ඒකේ ලියවිලා තිබුනේ නැහැ. ස්ක්‍රිප්ට් එක හොඳ වුණාට මට ඒකේ ඇතුළේ ඉඳලා කරන්න දෙයක් නැත්නම් ඒ චරිතෙන් මට වැඩැක් නැහැ. ඉතින් මම ඒකේ අධ්‍යක්ෂක ලක්මාල්ට කීවා මේක ඉතාමත් හොඳ කතාවක්. ඒත් මේකේ මට කරන්න දෙයක් නැති නිසා හිරුනිට වෙන චරිතයක් තෝරගන්න කියලා. ඒ කාලේ ලක්මාල් අලුත්. ඔහුගේ පළමු නාට්‍යය. ඇත්තටම මම ලක්මාල්ගේ දැක්ක දෙයක් තමා තමන් කරන වැඬේ ගැන සීයට සීයක් විශ්වාසය තැබීම. ලක්මාල් මට කූඹියෝ ගැන කියද්දි මට හිතුන දෙයක් තමා මේ මනුස්සයා කරන වැඬේ ගැන හොඳට දන්නවා. වෙන පුද්ගලයෝ වගේ නෙවේ. හොඳ දැක්මක් තිබ්බා. තමන් කරන වැඬේ ගැන හොඳ අවබෝධයක් තිබුණා. විශේෂයෙන්ම කූඹියෝ ගැන හොඳ විශ්වාසයක් තිබුණා. එතනදි ඔහු මට කීව දෙයක් තමා “යුරේනි මේ චරිතෙට ඔයා නැත්නම් වෙන කෙනෙක් නැහැ”. එතනදි මට තේරුණා ඔහු කරන වැඬේ සම්බන්දව හොඳ අවබෝධයක් තියෙනවා සහ මට ඇගයීමක් ලබා දුන්නා. එවලේ කවුරු හරි කෙනෙක් මාව හොඳින් නෝටීස් කරලා තියෙනවා කියන දේ මට හිතුනා. ඊටපස්සේ තමයි මම කැමති වුණේ කූඹියෝ නාට්‍යයේ හිරුනි කියන චරිතයට රංගන දායකත්වය ලබා දිය යුතුයි කියලා. අදටත් මට හිතෙන දෙයක් තමා මම කූඹියෝ නාට්‍යයේ ඒතරම් දෙයක් කළේ නැහැ. පොඩි පොඩි සීන් ටිකක්ට ඇවිත් ගියා විතරයි. හැබැයි මිනිස්සු මාර විදියට ඒ හිරුනිගේ චරිතේ ගැන කතා වෙනවා. ඒ ගැන මට තවමත් හිතාගන්න බැහැ ඇයි එහෙම වුණේ කියලා. අදටත් මම ලක්මාල්ගෙන් අහන දෙයක් තමා ලකා හිරුනි ඇවිත් ඉදලා හිටලා ජෙහාන්ව කොනිත්තලා අවුස්සලා ගියපු එක ඇරෙන්න වෙන කිසි දෙයක් කලේත් නැහැ. ඒත් ඒක හැමෝම දන්න චරිතයක් බවට පත් වුණා. මේ ගැන මට තවම හිතගන්න බැහැ කියලා.

ඔබ දකින ආකාරයට කලාව කියන දේ මේ වන විට ගමන් කරමින් ඉන්නේ හරි පාරකද?

කලාවට ආදරේ කරන මිනිස්සු හරි අඩුයි. එහෙත් කලාවට මම ගොඩාක් ආදරේ කරනවා. කලාව නිසා මට ලැබිච්ච දේ බොහොයි. ඒත් කියන්න කණගාටුයි කලාවක් කියලා දෙයක් මේ වන විට තිබෙනවාද කියන ගැටලුව මතු වෙනවා. කලාව ගැන අනාගතේ දකිද්දි මටනම් ඇත්තටම කලකිරෙනවා. මම හිතන් නෑ තව අවුරුදු 10ක් යද්දි කලාවක් කියලා දෙයක් ඉතුරු වෙයි කියලා. මොකද කලාව කියන්නෙත් දේවත්වයෙන් සැළකිය යුතු දෙයක්. මේක හැමෝටම පිහිටන් නැහැ. සමාජෙ මිනිස්සුන්ගෙන් ආදරයක් ලබන්න, ගෞරවයක් ලබන්න, ඇගයීමක් ලබන්න හැමෝටම බැහැ. ඒත් අද මම දකින්නේ තරුණ ළමයි ක්ෂේත්‍රයට එන්නේ මොනයම් හෝ විදියකින් එක රැයෙන් ජනප්‍රිය වෙන්න බලාන. ඒත් කලා අතීතයේ අපෙි මතකයේ රැඳි මිනිස්සු සමාජෙ මිනිසුන්ගෙන් ඇගයීම් ලබන්න ගොඩක් කැපවීම් කළා. මහන්සි වුණා. ඒ නිසාම ඔවුන්ට පැවැත්මක් තිබුණා. අවසන් හුස්ම දක්වා ඔවුන් ඒ කැපවීමේන් ලබාගත්තු ඇගීම පළුදු නොවී ආරක්ෂා කරගත්තා. අන්න එතනයි මම දකින විදියට කලාවට ඉදිරියක් තියෙන්නේ. මේක ඇතුළේ ඉන්න මිනිස්සුන්ට කැපවීම සහ උත්සහය අවශ්‍යයි. සමහර විට තරුණ තරුණියෝ අපි දිහා බලලා හැදෙනවා වෙන්න ඇති. ඒත් අපි ඉන්න විදිය බලල හැදුනට අපි මෙතනට එන්න ගොඩක් මහන්සි වුණා. එයාලා ඒක දන්නේ නැහැ. එයාලා දකින්නේ අපි පිටින් ඉන්න විදිය විතරයි. අපි බින්දුවේ ඉදලා පටන් ගත්ත අය.

ඇත්තටම රඟපානවා කියන්නේ මොකද්ද?

අපි කොහොමත් අපේ ජීවිත වල එක එක චරිත විටින් විට රඟපානවා. එහෙත් කැමරාවක් ඉදිරියේ රඟපානවා කියන එක හදවතින්ම කළ යුතු දෙයක්. අපි අපිට ලැබෙන චරිත වලට එන්ටර් විය යුතුයි. උදාහරණයක් විදියට මම සංජුගේ චරිතෙට යුරේනි විදියට නෙවේ රගපෑම් කළේ. යුරේනි විදියට ඒක මම රගපෑවානම් මාත් ඒ චරිතෙදි ෆෙල්. යුරේනි ඒක රගපෑවේ සංජු විදියට. ඇගේ හැඟීම්, ඇගේ වචන ඒ සියල්ලටම රංගනයේ යෙදෙන කෙනා සාධාරණයක් ඉටු කළ යුතුයි. මේ ලගකදි මම මගේ ආච්චි අම්මාව බලන්න ගියපු අවස්ථාවක එයා ෆිල්ම් එකක් බලනවා. මම ෆිල්ම් එක දැක්කේ නැහැ. ඒත් කතාකරන ඩයලොග් ටික මම අහන් හිටියා. ඒවගේ කිසි කොලිටි එකක් නැහැ. හැඟීමක් ගෑවිලාවත් නැහැ. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියකට හැඟීම් කියන දේ දෙබසකින් හරි ලස්සනට දෙන්න පුළුවන්. එහෙත් ඒකේ දෙබස් හරියට පෙත්තා බත් කයි වගේ දෙබස්. කටපාඩම් කරපු ගිරවු වගේ කැමරාවක් ඉස්සරහා ඔහේ කියවගෙන යනවා. ඒකද රංගන කලාව කියන්නේ කියලා හිතුණා. එහෙම බලද්දි කැමරාවක් ඉදිරියේ ඕනම කෙනෙක්ට රඟපාන්න පුළුවන්.