සනා අනා ගනී

රජිඳු කාශ්‍යප

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා තිබේ. හිටපු ක්‍රිකට් නායකයා යනුවෙන් පවසා ඔහුගේ එකී කීර්තිනාමයට හානි කරනවාට වඩා මෙකී සිදුවීමේ දී ඔහුගේ තනතුර වූ ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා යන තනතුර හෑල්ලු කිරීම වඩාත් වැදගත් වනු ඇත.
එබැවින් අප සනත් ජයසූරිය යන ලෝක පූජිත ක්‍රීඩකයා එලෙස ම තබා ගනිමින් ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති පිළිබඳ කතා කරමු.
2017 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙසින් සනත් ජයසූරිය කටයුතු කරන ලද කාලයේ දී එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය විසින් සිදු කෙරුණ පරීක්ෂණයට සහාය නොදීම මෙකී දඬුවමට මුල් වී තිබේ. අදාළ චෝදනාවට සනත් ජයසූරිය වරද පිළිගෙන ඇතැයි ද ඒ අනුව මෙම දඬුවම පමුණුවනු ලැබූ බැව් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.
එකී දඬුවම අනුව සනත් ජයසූරියට මීට පසුව එකී කාලය ගතවෙන තුරු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හා සම්බන්ධ කිසිදු දෙයකට සහභාගි විය නොහැකි ය. අඩු ම තරමින් ඔහුට ක්‍රිකට් නිල උත්සවයකට හෝ සහභාගි විය නොහැකි ය.
මීට පෙර මෙම හා හූව පවතිද්දී ජයසූරිය තමන්ගේ නිර්දෝෂීභාවය තම නීතිඥයන් මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දන්වා යැවූ බැව් වාර්තා වුණි. එම අවස්ථාවේ සනත් ජයසූරිය පවසා සිටියේ, තමාට එල්ල වී ඇති චෝදනා තරග පාවාදීම්, තණතිලි වෙනස් කිරීම් හෝ වෙනත් දූෂණ ක්‍රියාවක් සම්බන්ධ ඒවා නොවන බවය. එමෙන් ම තමන් ක්‍රීඩාව සම්බන්ධයෙන් හැමවිට ම අවංකව සහ විනිවිද භාවයෙන් යුතුව කටයුතු කළ බැව් ද කී ය.
එහෙත් ඔහුගේ විනිවිදභාවය මේ දඬුවමත් සමගින් ප්‍රශ්න කෙරෙන තැනකට යෑම වැළැක්විය නොහැකි ය. නව ක්‍රීඩා ඇමති තමන් තනතුරට පත් ව ආ විගස ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කරගැනීමට තමන්ට අල්ලස් දෙන්නට උත්සාහ කළේ යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ විරෝධී අංශයට දැනුම් දුන් අයුරු ද මතක ය. ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ ඇත්තේ එවන් තත්ත්වයක නම් සනත් ජයසූරියගේ සිදුවීම සුළුවෙන් තැකිය හැකි ද?
ජයසූරිය වෙත මේ චෝදනා කෙරෙන්නේ වසරකට වැඩි කාලයක් කරන ලද පරීක්ෂණයකින් පසුවය. ඔවුන් පවසන පරිදි ජයසූරිය දූෂණ චෝදනාවන් වසන් කර තිබේ. ඒ තරග පාවාදීම් සහ තණතිලි සැකසීම් සම්බන්ධව ය. මේ නිකංම නිකමෙක්ට එල්ල කරන ලද චෝදනාවක් ද නොවූවේ ය. එම චෝදනාව එල්ල කෙරුණේ සනත් ජයසූරිය නමැති තේරීම් කමිටු සභාපතිවරයාට ය.
ජනවහරේ වුව කියනුයේ බූරු ගැසුවාත් එකයි, බූරු ගසනවා බලා සිටියත් එකයි කියා ය. ඒ අනුව යමින් දැන් සනත් ජයසූරියට වැඩ වැරදී ඇත. මේ වැඩ වැරදෙන්නේ ඔහුගේ නාමයත් විනාශ කර ගනිමින් රටත්, තනතුරත් යන දෙක ද විනාශ කරමින් වීම වඩාත් ශෝචනීය ය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මීට පෙර අපේ රටට දී ඇති ලෝකයේ වැඩිම ක්‍රිකට් දූෂණයන් පවතින රට ලෙසින් වන වර්ගීකරණය ලබා දෙන්නට සනත් ජයසූරියලාගේ මේ ක්‍රියාවන් ද ඉවහල් වන්නට ඇත. අද ඔවුන් කුමක් කීව ද මේ නා ගැනීමේ කළු පැල්ලම කාලෙකට ඉවත් කළ හැකිවෙතැයි සිතිය හැකි ද? සනත් ජයසූරිය පිතිකරුවෙක් සහ ක්‍රීඩකයෙක් ලෙසින් ශ්‍රී ලංකාවට ගෙනා කීර්තිය හිලව්වට තබමින් මේ කළ දේ වැටෙනුයේ කුමන තැනකට ද? එහි බරපතළකමට මෙරට ක්‍රිකට් පාලකයන් දෙන දඬුවම කුමක් ද? එවැන්නක් දුන්න ද නොදුන්නද සිදුවුණා යැයි පැවැසෙන කිසිවකින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවූ සෙත කුමක් ද? ජයසූරිය යමක් වසන් කළා යැයි ම පවසමු, ඒ කුමක් නිසා ද? කවුරුන් නිසා ද?
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයේ දී ක්‍රීඩකයන් සහ ක්‍රීඩා සමාජ අයිතිකරුවෝ ද ඇති බවකි පැවසෙන්නේ. ඒ චෝදනාලාභීන් අතුරින් කිහිප දෙනෙක් ම මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ විමර්ශන අංශයට ස්ව කැමැත්තෙන් සාක්ෂි දී ඇතැයි ද පැවසෙති. එය යම් තරමක ප්‍රගතියකි. අඩු ම තරමින් අනාගතයේ දී හෝ මේ නාමයෙන් ගැලවීමට එය හේතුවක් වනු ඇත.
මීට පෙර ජයනන්ද වර්ණවීරට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවුරුදු 3ක ක්‍රිකට් තහනමක් පැන වූවේ ය. අද වර්ණවීර ආගිය අතක් නැත. එකී දඬුවමෙන් වර්ණවීරට පාඩුවක් වෙන්නට නැත. නැතිවුණේ ඉදිරියේදී ඔහුට ලැබෙන්නට තිබූ දේවල් ය. එය ඔහුට පෞද්ගලිකව අහිමි වන දේ ය. එහෙත් රටක් ලෙසින් අපට එදා අපේ කීර්තිනාමය අහිමි විණි. ඊට වර්ණවීර වගකීවේ නැත. වර්ණවීර ඒ තැන්වලට දැමූ ක්‍රිකට් පාලකයෝ ද වගකීවේ නැත.
සනත් ජයසූරියගේ සිදුවීමෙන් ද අන්තිමට වෙන්නේ ඒ සන්තෑසියම මිස වෙනකක් නොවේ. මේ පිටුපසින් නුවන් සොයිසාට මෙන් ම දිල්හාර ලොකුහෙට්ටිගේට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කර තිබෙන දූෂණ චෝදනාවල ප්‍රතිඵල කළඑළි බසිනු ඇත. ඒ තැන්වල දී ද ක්‍රිකට් පාලකයෝ නිදි සුවයෙන් සිටිනු ඇත.
යම්කිසි සිදුවීමක් ගැන කෙරෙන මේ චෝදනා නිකම්ම නිකං නොවන බැව් අප දැනගත යුත්තේ මේ පරීක්ෂණ සිදු කරනුයේ අපේ අය නොව සුද්දන් බැවිනි. සනත් ජයසූරිය වුව මේ ප්‍රශ්නයේ ආරම්භක අවධියේ දී සිටියේ තමන් නිර්දෝෂී කියන තැන ය. එහෙත් ඇත්ත ඇති සැටියෙන් එළිවෙන්නේ ඇඳිවතත් උනා දමමින් බැව් කවුරු කවුරුත් දැන සිටීම වටී.