ප්‍රබන්ධ ජීවිත පරාජය කළ යුතුය

විමලනාත් වීරරත්න

ජනතාවගේ කිසිදු සූදානමක් නැතත් ප්‍රමුඛ මට්ටමේ දේශපාලකයෝ ලහි ලහියේ ජනාධිපතිවරණයකට පිටපොට ගසති. එහෙත් මැතිවරණයකදී වැදගත්ම සාධකය වන ජනතාව ඒ පිළිබඳව මන්දෝත්සාහී නිසා එළැඹෙන ජනාධිපතිවරණයේදී කිසිම නායකයකුට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් සහ එක් ඡන්දයක් ලබාගැනීම දුෂ්කර බව පෙනේ. සැබැවින්ම රටේ ජනතාවට මෙම මැතිවරණවලින් පළක් වී නැත. ඔවුන්ට ඉන් ප්‍රතිඵලයක් ලැබෙනවා නම් ගෙවුණු කාලය ඊට ප්‍රමාණවත්ය. ජනතාව සෑම රජයක්ම පිහිටුවන්නේ හා සෑම ජනාධිපතිවරයෙක්ම පත් කළේ මහත් බලාපොරොත්තු සහිතවය. ඒවා පුද්ගලික නොවේ. පොදු අවකාශයක වූ අපේක්ෂාය. විශේෂයෙන්ම 1994දී චන්ද්‍රිකා මහත්මිය මෙන්ම 2015දී සිරිසේන මහතා ජනපති ධුරයට පත් කරන ලද්දේ ඒ ඒ වකවානුවල පාලන තන්ත්‍රය විසින් උද්ගත කර තිබුණු සමාජ, දේශපාලන අර්බුද රැසක් නිරාකරණය කරගැනීමටය. එහෙත් ඒ ප්‍රශ්න අදටත් නොවිසඳී තිබීමෙන් උක්ත නායකයන්ගේ වගකීම් විරහිත බවේ හා අකාර්යක්ෂමබවේ තරම පෙන්වයි. චන්ද්‍රිකා බලයට පත්වීමෙන් පසු බුර්ෂුවා පන්නයේ හා බොනපාට්වාදී පාලනයකට පාර කැපූ අතර මෛත්‍රී සකිසඳ එලියස් මෙන් හැසිරෙමින් තවදුරටත් කයිවාරු පාලනයක නිරත වන බව පෙනේ. ජනතාවට වැලේ වැල් නැතිවූයේ මෙම තත්ත්වය ඛේදවාචකයක් ලෙසත්, විගඩමක් ලෙසත් අනවරතව සිදුවන පසුබිම තුළය.

කුඩු

වැලේ වැල් නැතුව සිටින ජනතාව, ජනාධිපති කුඩු කිලෝ දෙතුන් සියය අල්ලනු බලා තුටු පහටු විය යුතුය. කුඩු ඇල්ලීමට නීතිය හා සාමය විෂය ජනපති යටතේ තිබිය යුතුම නැත. එය සාගල යටතේ තිබුණත්, මද්දුම බණ්ඩාර යටතේ තිබුණත් ජනපතිට කළ හැකිව තිබුණි. ජනපති ඉඳල ඉඳලා බැරිම තැන ක්‍රිකට් ක්‍රීඩක කුසල් පෙරේරා මෙන් ලකුණු රැස් කිරීමට පටන් ගෙන තිබේ. ජනපතිට 2015 ජන 08 බලය දුන්නේ හිතුණු දවසක කුඩු අල්ලන්නට නොවේ. ඔහු මැදිහත් වී විසඳනවා යැයි කියූ සහ විසඳන තෙක් ජනතාව බලාපොරොත්තුවෙන් සිටි ප්‍රශ්න කන්දක් රටෙහි තිබේ. ඒ එකක්වත් නොකර මහ මැතිවරණයෙන් පරාජය වූවන් කැබිනට් මණ්ඩලයට ගැනීම, දූෂිතයන් සහ ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම. ජනතාව පරාජය කළ විපක්ෂය සමග සන්ධාන ගතවීම, මහින්ද අගමැති කිරීම, ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවීමට තැත් කිරීම වැනි අවල කෙළිවල යෙදෙමින් සිටි ජනපති ඉතා වේගයෙන් කුඩු අල්ලාගෙන අල්ලාගෙන යන්නේ වෙන පොලිසියකින් පැන කුඩු අල්ලාගෙන ලකුණු දමා ගනී යැයි ඇතිවුණු අස්ථාන බියකින් මෙනි. කුඩු අල්ලන අතරම ඔහු දැන් රට පුරා සංවර්ධන වැඩ හරි හරියට කරනු පෙනේ. එය හරියට ඇඟ මහත දෙහෙත පුද්ගලයකු ශරීර බර අඩුකර ගැනීමට එක දවසෙන් ශරීර අභ්‍යාස සියල්ල කිරීමට තැත් කරනවා වැනි ක්‍රියාවකි. මේ දුවන දිවිල්ලෙන් ජනපති ඊළඟ ජනපති අපේක්ෂකයා වීමටත් සුදුසුකම් පෙන්වීමට බලාපොරොත්තු වනවා විය හැකිය. එහෙත් ඔහුට මහින්දගේ සහාය නොමැතිව බැරි නිසා දුවන තරමක් දුවන්නට ඉඩදී සරුංගලයක පරිදි මහින්ද නූල කඩා දැමුවහොත් මෛත්‍රී මුහුණපානු ඇත්තේ දුක්මුසු ඉරණමකටය.

ශ්‍රීලනිපය

බාහිරට පෙනෙන පරිදි නම් මේ වනවිට ශ්‍රීලනිපය යනු සුන්වූ පක්ෂයකි. පොදුජන පෙරමුණට ආරම්භයේදී යම් බලයක් තිබුණුමුත් ඔක්. 26 සිද්ධියෙන් පසු පොහොට්ටුවේ බලයද හීන වූයේය. සැබැවින්ම ජනාධිපතිට සිදුවූයේ පොහොට්ටුව ප්‍රදර්ශනය කළ බලයට යටත්වීමට නොහැකි නිසා ඊට එකඟවීමටය. එම අනුගතවීම ඔස්සේ ඔහු සිය දේශපාලන ස්ථාවරය අංශක 180කින් අනික් පැත්තට හැරෙව්වේය.
ඒ සියල්ලෙන් පසු මෛත්‍රීගේ වර්තමාන පැතුම පැහැදිලිය. මීළඟ ජනාධිපතිවරණයේදී යළි ජනපති ධුරයට පත්ව මහින්ද අගමැති ලෙස පත්කර ගැනීම ඔහුගේ අභිප්‍රායයි. එම සැලසුම ජයගතහොත් ජනාධිපතිගේ ජාම බේරෙයි. මහින්ද අගමැති ධුරයට පත්වුවහොත් පාලනය විෂයෙහි සාපේක්ෂව අදක්ෂයකු හමුවේ ඔහුට එය ජනපති ධුරය ලැබීම හා සමානය. 19 වැනි සංශෝධනය ප්‍රකාරවත් මින් ඉදිරියට ජනාධිපති ධුරය බලවත් නැති තත්ත්වය මහින්දට ලැබෙන වාසියකි. මේ කවුරුත් අද වනවිට යළි 20 වැනි සංශෝධනය ගැන බලවත් උනන්දුවක් ප්‍රකට කරන්නේ සැබැවින්ම විධායකය අහෝසි කිරීමේ චේතනාවෙන් නොවේ. තම තමාට ඉන් සැලසෙන වාසිය තකාගෙනය. ජනපතිගේ උක්ත ජාම බේරා ගැනීමේ අපේක්ෂාවට බාධා කිහිපයක් වෙයි. ප්‍රධානම බාධාව වන්නේ විපක්ෂයේ අපේක්ෂකයා ලෙස මෛත්‍රී භාර ගැනීමට විපක්ෂයේ බහුතරයක් දක්වන නොකැමැත්තය. මැදහත් ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ අදහස වන්නේ මෛත්‍රී තරගයෙන් ජයගත නොහැකි අශ්වයෙක් බවය. පොහොට්ටු සාමාජිකයන් අතරින් යම් පිරිසක් මහින්ද අනුගමනය කළ හැකිය. එහෙත් මහින්දට මෛත්‍රී වෙනුවෙන් ඔහු සතු සියලු බලවේග මුදාහළ නොහැකි වනු ඇත. මහින්දට සිදුවනුයේ ඔහුගේම පිලේ බලවත් විරෝධයන් මැද මෛත්‍රී ඔසවා තබන වෑයමෙහි යෙදෙන්නටය.

ලංකාවේ මෙතෙක් එක් වාරයක් ජනපතිකම් කළ නායකයකු දෙවැනි වර තරග කළේ අතිශයින් ජනප්‍රිය නායකයකු ලෙස නොවේ. මහින්දට පමණක් අදාළව තත්ත්වය එසේ නොවූයේ ඔහු සිය පළමු ධුර කාලය තුළ යුද්ධය ජයගත් නිසාය. තෙවැනි වර ඔහු පරාජය විය. මෛත්‍රී පළමු ධුර කාලය තුළ අන් අයට කොළේ ඉරාගෙන ඇඟේ හලා ගන්නට එපා කියන අනතුරු හඟවන ගමන් තමන් ඒ වරද කර ගත්තේය. මේ කාලය ඔහු ගත කරන්නේ අවපැහැගැන්වුණු එම ඇඳුම් සෝදා වේලා යළි සුදුපැහැ ගැන්වීමටය.

ගෝඨාභය

ගෝඨාභයට කැමති පිරිසක් රටෙහි සිටිති. විශේෂයෙන්ම එළිය හා වියත් මග සම්මන්ත්‍රණ මාලාව මගින් ඔහු සැලකිය යුතු කාලයක් තිස්සේ රටේ වෘත්තිකයන්ට ආමන්ත්‍රණය කළේය. ලංකාවේ වෘත්තිකයන් සතු හුදු විෂයගත දැනුම ගෝඨාභය තමාට වාසිසහගත ලෙස භාවිත කළේය. මේ උගතුන්ට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස හා සෙසු මිනිස් අයිතීන් ගැන බලවත් වුවමනාවක් තිබෙන බවක් නොපෙනේ. උතුරේ ප්‍රශ්නය ගැන ඒ අතිබහුතරයක් කෙතරම් සංවේදීද යන්න සැකසහිතය. එහෙත් ඔවුහු අවංකවම රටේ සංවර්ධනය ප්‍රාර්ථනා කරති. ඒ වෙනුවෙන් කැප කිරීම් සිදුකිරීමටද සූදානම්ව සිටිති. එම සංවර්ධනය කේන්ද්‍රීය චින්තනයට මේ සියලුදෙනා අතරින් සමාන්තර නායකයා ගෝඨාභය යැයි ඔවුහු හඟිති.

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පසුගිය දිනක ගෝඨාභයගේ සම්මන්ත්‍රණයක කතා කරමින් බුද්ධ පුත්‍රයකුට අනුචිත ආකාරයේ වැඩවසම් මානසිකත්වයක් ප්‍රදර්ශනය කරමින් ගෝඨාභයට ජනාධිපති සන්නාහය ඇන්ඳුවේය. උන්වහන්සේ ගෝඨාභයගේ හෝ වෙන කවර හෝ නායකයකුගේ රට ගොඩනැගීමේ සැලසුම් හා ව්‍යාපෘතිවලට ශාස්ත්‍රීය වශයෙන් මෙහෙවරක් කිරීමේ වරදක් නැත. එහෙත් කවර හෝ නායකයකුට වන්දිභට්ටකම් කිරීම උගත් හිමිනමකට නොතරම්ය. ගෝඨාභය සිය කතාවේදී කීවේ මිග් ගනුදෙනුවේදී කිසිම වංචාවක් සිදු නොවූ බවය. ගෝඨාභය එසේ කියන තැනට පත් කළේ යහපාලන ආණ්ඩුවේ මුග්ධ දූෂණ පරීක්ෂණ ක්‍රියාවලිය විසිනි. කුඩු අල්ලන ජනාධිපති තම මූලික වගකීම් පැහැර හැර වසර හතරක් කයිවාරුවෙන් දිව්වේය. අගමැති ඔහුගේම සිහින ලෝකයක කල් ගෙව්වේය.

ගෝඨාභයගේ පිබිදීම නීතිය ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵලය මිස අනෙකක් නොවේ. අඩුම තරමින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන එවකට ආරක්ෂක ලේකම් ධුරය දැරූ ගෝඨාභයගෙන් කෙළින් ප්‍රශ්න කිරීමක් කරන්නට යහපාලන රජයේ ඝාතන පරීක්ෂණ ක්‍රියාවලියට හැකිවුණිද? නැත. මිග් ගනුදෙනුවෙහි ප්‍රශ්නයක් නැතැයි කියන ගෝඨාභය මහජන මුදලින් මාපියන් වෙනුවෙන් ස්මාරක තැනීම ගැන වුවමනාවෙන්ම අමතක කරයි. ජාතිමාමකයන් ගෝඨාභය ජනපති කරන්නට යන්නේ ඔහුගේ හිතුවක්කාර දේශපාලන – පරිපාලන ජීවිතය අමතක කොට අතරමගින් ආරම්භයක් ගනිමිනි. විචාරාත්මකව දැකිය යුතු දේවල් අශාස්ත්‍රිය ලෙස දැකීම රට වෙලාගෙන තිබෙන රෝගයකි. ගෝඨාභය විෂයෙහි එම ආතුරවීම ඇතැම් උගතුන් තුළින්ද පිළිබිඹුවීම ඛේදවාචකයකි.

ජනතාව කළ යුතු දේ

ජනතාව කළයුත්තේ ජනපති සිහිනයෙහි සිටින සියල්ලන් සැබෑ කරගත නොහැකි සිහිනයක් දෙසටම තල්ලු කර දැමීමය. මේ කිසිවකුට ජයග්‍රහණය සඳහා අවශ්‍ය 50% ලබා නොදී සිටීමට ඔවුන්ට පුළුවන. එවිට මෙම ක්‍රමයේ නියත අර්බුදයටත් වඩා මෙම පුද්ගලයන්ගේ නියත අර්බුදය මතුවෙයි. මේ සෑම නායකයකුටම අද ප්‍රබන්ධ දේශපාලන දිවියක් තිබේ. මෛත්‍රී, රනිල්, මහින්ද හා ගෝඨාභය දිනපතා සිය ප්‍රබන්ධ දිවිය ජනතාවට ප්‍රදර්ශනය කරති. ඔවුන් ඡන්ද දිනන්නේ ප්‍රබන්ධයෙනි. ප්‍රබන්ධ දිවිය මහ පොළොවට ඇද දැමීම කළ හැක්කේද ජනතාවටය. ප්‍රබන්ධය කුඩු කොට කැමති නම් ඇත්ත ජීවිතයට ඒම සඳහා දේශපාලනඥයන්ට බලකිරීම සංවිධානගත ජනතාවගේ වගකීමකි.