ජවිපෙ දීප්තිය සහ මහජන විසඳුම්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ගොඩනැගූ ජාතික විද්වත් සංවිධානය විසින් ජාතික ප්‍රතිපත්ති මාලාවක් රටට ඉදිරිපත් කර තිබේ. එය දෙයාකාරයකින් වැදගත් යැයි සිතමි. එක් පැත්තකින් මීළඟ ප්‍රධාන මැතිවරණය පිළිබඳ වෙන කවර කලකටත් වඩා කල්වේලා ඇතිව සාකච්ඡා ආරම්භ කර ඇති අවස්ථාවක ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ පළමු ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස මෙය සැලකිය හැකිය. අනෙක් පැත්තෙන් මීළඟ ජනාධිපතිවරණයේදී ජවිපෙ භූමිකාව පිළිබඳ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය හා එහි පසුබිම හරහා අවබෝධයක් ලැබිය හැකිවීමය.

ජවිපෙ ප්‍රතිපත්ති හා ජනතාව

කෙසේ වෙතත් බලයට එන පුද්ගලයන් සහ පක්ෂ වෙනස් කිරීමෙන් පමණක් රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීම හෝ රට ගොඩ නැගීම කළ නොහැකි බව නැවත නැවතත් සනාථ වෙමින් පැවති අවධියක පක්ෂ භේදයකින් තොරව ‘යහපාලනය’ කෙරෙහි විශ්වාස කළ බහුතරයටද මෙය වැදගත් ලියවිල්ලක් ලෙස සැලකිය හැකිය. ජවිපෙ පැත්තෙන්ද මෙය වැදගත් ලියවිල්ලක් වනවා පමණක් නොව එය, ජාතික විද්වත් සංවිධානය නමින් ඉදිරිපත් කිරීමට බල කෙරී තිබීම මෙන්ම ඉදිරිපත් කළ අවස්ථාවද නොසලකා හැරිය නොහැකිය.

2015 ජනාධිපතිවරණයේදීද ජවිපෙ, අපේක්ෂකයකු ඉදිරිපත් කළේ නැත. ඔවුන් අනියමින් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයග්‍රහණය කිරීමේ මාවත විවර කර දීමය. දැනට පවත්නා දේශපාලන තත්ත්වය සමග මැනීමේදී 2019දීද ඔවුන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරනු ඇතැයි අනුමාන කළ නොහැකිය. ඒ වෙනුවට තමන්ගේ මූලිකත්වයෙන් සැකසෙන ජාතික විද්වත් සංවිධානයේ ප්‍රතිපත්ති මාලාව ඉදිරියෙහි තබාගෙන දේශපාලන ක්‍රියාමාර්ග තෝරනු ඇතැයි සිතිය හැක.

ජනතා විමුක්ති පෙරමුණ සිය මැතිවරණ දේශපාලනයේදී සෑම ඡන්දයකදීම පාහේ අනෙකුත් ප්‍රධාන පක්ෂ මෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශන සහ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ. ඒවා ඉතා හොඳ ප්‍රතිපත්ති මාලාවක් වූවා සේ ම ඉතා හොඳ වැඩපිළිවෙළද වූවේය. එහෙත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම උදෙසා පාලන බලය ලබාගැනීමට ඔවුන්ට හැකිවූයේ නැත. රටේ බොහෝ පිරිසක් ඔවුන් කෙරෙහි ප්‍රසාදයෙන් කතා කළද ඔවුන්ට පාලන බලය ලබාදීමට උනන්දු නොවන අතර ප්‍රධාන කඳවුරු දෙකට බලපෑම් කරන කණ්ඩායමක් සේ තබා ගැනීමට වැඩි කැමැත්තක් දක්වති.

ජවිපෙ වෙනස්වීම

2015 ජනාධිපතිවරණයේදී ජවිපෙ, මහින්ද රාජපක්ෂ බලයට ඒම වැළැක්වීම උදෙසා දැඩි ප්‍රතිපත්තියක සිට කටයුතු කළා සේ ම ඉන් අනතුරුවද ඔවුන් එම කඳවුරට කිසිදු අවස්ථාවක් ලබාදීමට උත්සුක වූයේ නැත.

මීට පෙර ජවිපෙ ක්‍රියාමාර්ගය වූයේ එක්සත් ජාතික පක්ෂයට කිසිදු අවස්ථාවක් නොදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. 1994 ජවිපෙ යළි මැතිවරණ දේශපාලනය ආගමනය වීමත් සමගම චන්ද්‍රිකා බණ්ඩාරනායකට ඉඩදී නිහාල් ගලප්පත්ති ජනාධිපති සටනින් ඉවත් කරගැනීම සැලකිය හැක්කේද එවැනි උපක්‍රමයක් ලෙසය. 2001 සැප්තැම්බර් මාසයේ ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ සමග පරිවාස ආණ්ඩුවක් පිහිටුවීම එහි වැදගත් අවස්ථාවක් වූ අතර පසුව ශ්‍රීලනිපය සමග ගිවිසුම්ගතව 2005 මහ මැතිවරණයට එජනිස ලෙස බුලත් කොළය ලකුණින් ඉදිරිපත්වීමද සැලකිය හැක්කේ එහි පියවරක් ලෙසය. ඉන් අනතුරුව ජවිපෙ හැලහැප්පීම් ගණනාවකට මුහුණ දුන් අතර ඒවායින් ඔවුන්ගේ දේශපාලන ගමන් මගට අවශ්‍යයෙන්ම දැනෙන බලපෑමක් එල්ල වූයේ යැයි සිතිය හැක. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 සිට ඔවුන්ගේ මැතිවරණ දේශපාලනයේ පවා සැලකිය යුතු වෙනසක් සිදුව ඇතිවා පමණක් නොව ඔවුන්ට එල්ල වන දේශපාලන විවේචනද වෙනස් මං ඔස්සේ පැමිණෙමින් තිබෙන බව විශ්වාස කළ හැකිය.
වැදගත් වන්නේ බුද්ධිමතුන් රැසක් එක්කර ගනිමින් ජාතික විද්වත් සංවිධානය බිහිකර මීළඟ ප්‍රධාන මැතිවරණ ඉලක්ක කර මෙම ජාතික ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කර ඇත්තේ එවන් පසුබිමකදී වීමය. අනෙක් පැත්තෙන් මෙය ජවිපෙ විසින් ඉදිරි මැතිවරණ උදෙසා ගොඩ නගනු ලබන පුළුල් සන්ධානය සේ සැලකිය හැකි අතර එහි ඉදිරි ආරක්ෂක වළල්ල සේ පෙනෙමින් තිබෙන්නේ ඍජු දේශපාලකයන් නොව, නමක් ඇති බුද්ධිමතුන් පිරිසකි. මේ නිසා ජවිපෙ සිය ජනාධිපති අපේක්ෂකයකු හරහා කරන දේශපාලනයකට වඩා මෙම ප්‍රතිපත්ති මාලාව හරහා සහ 20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව හරහා 2019ට සහ 2020ට මුහුණදීමට ඇති ඉඩකඩ වැඩිය.

20 වන සංශෝධනය

ජවිපෙ පක්ෂයක් ලෙස වර්තමානයේ ප්‍රසිද්ධියේ කරමින් සිටින ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරකමක් ලෙස සිතිය හැක්කේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කරගැනීමේ උත්සාහයයි. එහෙත් වර්තමාන පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය සහ සිදුවූ දේශපාලන වෙනස්කම් මෙන්ම ප්‍රධාන පක්ෂවල අනාගත අරමුණු දෙස බැලීමේදී නව ව්‍යවස්ථාවක් හෝ යළි කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් මේ පාර්ලිමේන්තුවෙන් අපේක්ෂා කළ නොහැක. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් නොමැතිව මූලිකවම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ නොහැකිවාක් මෙන්ම ජනමත විචාරණයකට යාමට වුවද එම කොන්දේසිය සැපිරිය යුතුය. ජවිපෙ 2018 මැයි මාසයේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම උදෙසා 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනවිත් ජූලි මාසයේදී ගැසට් පත්‍රයට පවා ඇතුළත් කළද එය සාම්ප්‍රදායානුකූලව ආණ්ඩුවේ යෝජනාවක් ලෙස (අමාත්‍යාංශයක් හෝ අගමැතිවරයා ලෙස) ගෙන එන ස්වභාවයක් පෙනෙන්නේ නැත. එජාපෙ ආණ්ඩුව ඊට එවැනි සැලකිල්ලක් හෝ නොදක්වන්නේ නම්, ඔවුන්ට විකල්පය වන්නේ එම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව, තමන් විසින්ම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමය. බොහෝවිට ඔවුන් එම පියවර අනුගමනය කරනු ඇතැයි සිතිය හැක.

විධිමත් කල්පවත්නා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් තොරව, විවිධාකාර සංශෝධනවලින් පමණක්, ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාවක් ඇතැයි සිතිය නොහැක. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ පළමුවැනි සංශෝධනයේ සිට දහනව වන සංශෝධනය දක්වාම සිදුකර ඇත්තේ, ඒ මොහොතේ පවතින කඩුල්ල පැනීම උදෙසා නැතහොත් පක්ෂවල හෝ ආණ්ඩුවල පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීම උදෙසා ක්‍රියා කිරීම මිස දීර්ඝකාලීනව රටේ දැවෙන ප්‍රශ්න විසඳීමේ මාවතක් විවර කරගැනීම නොවන්නේය. 20 වැනි සංශෝධනය සම්මත වීමේ පසුබිමක් වර්තමාන ශ්‍රී ලංකා දේශපාලනයේ දක්නට නොලැබෙන්නේද එවැනි පටු දේශපාලන සිතීම් නිසා වනවා මෙන්ම යම් හෙයකින් එය සම්මත කරගැනීමේ පසුබිමක් සැකසුනහොත් එවැන්නක් සිදුවන්නේද එවැනිම පටු දේශපාලන සිතීම් මුල් වූ පසුබිමක් සමගින් බව අනුමාන කළ හැකිය.

පක්ෂයේ දීප්තිය

මේ වසරේ අග කැඳවිය යුතු ජනාධිපතිවරණය මෙරට ඊළඟ තීරණාත්මක මැතිවරණය සේ මහජනතාව අපේක්ෂා ඇති කළද එය, ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකටම යහපත් දේශපාලන සෞඛ්‍යයක් ඇති කරන්නක් යැයි සිතිය නොහැක. දෙපක්ෂයේම ජනාධිපතිවරණ අපේක්ෂකයන් පිළිබඳ මත ගැටුම්, අර්බුදයක් බවට පත්වීමේ සම්භාවිතාව මෙන්ම ජයග්‍රහණය කරන අපේක්ෂකයා 50%ක ඡන්ද ප්‍රතිශතය නොඉක්මවීමට ඇති සම්භාවිතාවද නොසලකා හැරිය නොහැක. එවැනි තත්ත්වයකදී, ඔවුන් කියන තීරණාත්මක ඡන්ද විමසීම’ රට වියවුලක් බවට පත්කිරීම නොවැළැක්විය හැකිය. විධායක ජනාධිපති ධුරය අහෝසි කර, යළි ජනාධිපතිවරණයක් නොපැවැත්වීමේ ඉඩකඩ සකසා ගැනීම, එවැනි අවුලකින් නිදහස්වීමට ඇති හොඳම මාවතක් සේ සිරිසේන ජනාධිපතිවරයාට මෙන්ම රාජපක්ෂ විපක්ෂ නායකවරයාටද පෙනී ගියහොත් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාද ඊට පිටුපාවි යැයි විශ්වාස කළ නොහැකිය. එසේ වුවහොත් ජවිපෙ 20 වැනි සංශෝධනය, තවත් සංශෝධන සහිතව හෝ පාර්ලිමේන්තුවේ සම්මත වීමේ හැකියාවක් මෙන්ම, ජනමත විචාරණයකට ඉඩකඩද විවර වන්නේය. එය මේ මොහොතේ පෞද්ගලිකව ජවිපෙ දේශපාලනයේ දීප්තිමත්භාවයටද බලපාන්නේය. ජාතික විද්වත් සංවිධානය ඔස්සේ ජවිපෙ ඉදිරිපත් කර ඇති ‘ගොඩනගමු ශ්‍රී ලංකාව; ජාතික ප්‍රතිපත්ති මාලාව’ ද ඊට එක්වූ කල එහි දීප්තිය තවත් වැඩි වන්නේය. එහෙත් එය ඔවුන් කරගෙන යන දේශපාලනයට ප්‍රමාණවත් විය හැකි වුවත් රටට අත්‍යවශ්‍ය දේශපාලනයට, ප්‍රමාණවත් වන්නේද?

පුරවැසි වගකීම

ජාතික විද්වත් සංවිධානය ඉදිරිපත් කර ඇති රට ගොඩනැගීමේ ප්‍රතිපත්ති මාලාව, ප්‍රධාන මාතෘකා 7 කින් සමන්විතය. අධ්‍යාපනය, කලාව, සෞඛ්‍යය, ක්‍රීඩාව, නිවාස, පරිසරය, ප්‍රවාහනය, අධිකරණය, රාජ්‍ය පරිපාලනය, ආර්ථිකය, ජාතික ආරක්ෂාව, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අල්ලස – දූෂණ ආදී ක්ෂේත්‍ර 34ක් ඉන් ආවරණය කර තිබේ. ඒ අතර ඇති ඉතා වැදගත් මාතෘකාවක් ලෙස සැලකිය හැක්කේ පුරවැසි වගකීමය. ‘කාර්යක්ෂම ශ්‍රී ලංකාවක්’ යන ප්‍රධාන මාතෘකාව යටතේ උප මාතෘකාවක් සේ එය ඇතුළත් වී ඇතත්, මට සිතෙන්නේ සියලුම මාතෘකාවලට එය අදාළ විය යුතු බවය. පුරවැසි වගකීම යටතේ එන යෝජනාවල එක් තැනක මෙවැන්නක් සඳහන් වේ. “පුරවැසියා සහ දේශපාලන පද්ධතිය අතර පවතින්නේ අන්‍යොන්‍ය සම්බන්ධයක් බැවින් දේශපාලන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රකරණයෙහිලා පුරවැසි වගකීම සුවිශේෂී වේ.”

වැදගත් ප්‍රශ්නය වන්නේ පුරවැසියා සහ දේශපාලන පද්ධතිය, අන්‍යොන්‍යව සම්බන්ධ වී පැවතියද, මැතිවරණයකදී ඡන්දය දීම හැර දේශපාලන ක්‍රියාවලියේදී ඉන් එහා පුරවැසියාගේ භූමිකාව කුමක්ද යන්නයි. මේ නිසා වගකීම් සහගත පුරවැසියකු පිළිබඳ, විශේෂයෙන් දේශපාලකයාගේ සමස්ත ක්‍රියාදාමයේදී පුරවැසි භූමිකාව කුමක්ද යන්න පිළිබඳ සාකච්ඡාවක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වන්නේය. රටට බලපාන තීරණාත්මක කටයුතුවලදී දේශපාලකයා, තනි තීරණ ගන්නවා වෙනුවට ඒ සඳහා මහජන සහභාගිත්වය තිබිය යුතුය යන්න සහ එය ප්‍රායෝගික කරගන්නා මාවත කුමක්ද යන්න පිළිතුරු නොමැති ප්‍රශ්න නොවිය යුතුය.

ඡන්දයෙන් පසුව එන රට පාලනය කරන ප්‍රායෝගික දේශපාලන ක්‍රියාවලිය සහ පුරවැසියා අතර පවත්නා සබඳතාව, වර්තමානය වනවිට, එක් පැත්තකට පමණක් වාහන ගමන් ගන්නා වන් වේ (One Way) ක්‍රියාදාමයකට සමානය. දේශපාලකයාගේ ක්‍රියාවන්, පුරවැසියාට බලපෑම් කළද ඒ කාලසීමාව තුළ දේශපාලකයාට බලපෑම් කිරීමට පුරවැසියාට කිසිදු අවස්ථාවක් හෝ හැකියාවක් ඉතිරි කර ඇත්තේ නැත. තමා විසින් පත්කර ගනු ලැබූ නියෝජිතයා, තම අභිලාෂයන්ට එරෙහිව ක්‍රියා කරන බව ඔප්පු වී ඇති තත්ත්වයකදී පවා ඔවුන්ව ආපසු කැඳවීමට තබා එම ජනතා විරෝධී ක්‍රියාව නැවැත්වීමේ හැකියාවක්ද, ඉඩකඩක්ද නීතියේ පවා ඇත්තේ නැත.

මෙය බරපතළ තත්ත්වයක් වන්නේ සදාචාර සම්පන්නභාවය කෙසේ වෙතත්, දේශපාලකයා එළිපිටම නීතියට පවා ගරු නොකරන වාතාවරණයක් උදාවී තිබීම හේතුවෙනි. පරමාධිපත්‍යය රැඳී ඇත්තේ ජනතාව තුළ නම් එය ක්‍රියාත්මක කළ හැක්කේ ඡන්දයකදී පමණක් බවට පුරවැසියාගේ මනස තුළ කොටා ඇති අන්ධ විශ්වාසය කඩිනමින් අහෝසි නොකරන්නේ නම් සහ ඒ උදෙසා ප්‍රායෝගික ක්‍රියාවලියක් හඳුන්වා නොදෙන්නේ නම් අනාගතයේ උදාවිය හැක්කේ ඡන්ද පවා නොපවත්වන ඒකාධිපති දේශපාලනයක් මිස ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් නොවන්නේය. මෙම තත්ත්වය වෙනස් කිරීම, පුද්ගලයාගේ හෝ පාලනයේ වෙනසකින් පමණක් කළ හැකි යැයි සිතීම රට පියවරක් හෝ ඉදිරියට ගෙනයාමේ දර්ශනයක් යැයි සැලකිය නොහැකිවාක් මෙන්ම අවංක හෝ පරාර්රථකාමී ගැඹුරු සිතීමක් ලෙසද සැලකිය නොහැකිය.

බුද්ධිමතුන් සහ ජනතාව

ජවිපෙ, ජාතික විද්වත් සංවිධානය පෙරටු කරගෙන රටට ඉදිරිපත් කර ඇති ජාතික ප්‍රතිපත්ති මාලාව පිළිබඳ සැලකිය යුතු විශ්ලේෂණයක් කිරීම මෙම ලිපියේ අරමුණ නොවුණත් රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීම සහ රට ගොඩ නැගීම උදෙසා වන ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාව, දේශපාලකයාගෙන් ඔබ්බට ගෙන ගොස් බුද්ධිමතුන් කරා ව්‍යාප්ත කිරීම මෙහි ඇති වැදගත් ලක්ෂණයක් වන්නේය. මේ සඳහා ඇති මහජන සහභාගිත්වය කොතරම්ද යන්න මා නොදන්නේ වුවද එයද පුරවැසි වගකීමක් ලෙස නොසලකන්නේ නම් නැතහොත් පුරවැසියාටම සිය ප්‍රශ්නවලට පිළිතුරු යෝජනා කිරීමට අවස්ථාව නොලැබෙන්නේ නම් එවැනි ප්‍රතිපත්තීන් හෝ වැඩපිළිවෙළ හොඳ සංකල්පවලින් සමන්විත ලියවිල්ලකින් එහා ගිය, ප්‍රායෝගික විය හැකි විසඳුමක් ලෙස සැලකිය නොහැකිය. ■