20වන සංශෝධනය නැවත කරලියට

කාලිංගගේ දේශපාලන විග්‍රහය

ලංකාවේ දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් තිබෙන්නේ දිගින් දිගට කරන ලද කෙලෙසීම් නිසා ව්‍යවස්ථාවක තිබිය යුතු මනා පිළිවෙළ හා ඒකාග්‍රතාව අහිමි කරගත්, රාජ්‍යයට මග පෙන්වීමේ කවර හැකියාවක්වත් නැති, ව්‍යවස්ථාවක තිබිය යුතු ජීව ගුණය අහිමි කරගත් ව්‍යවස්ථා කඩමාල්ලක තත්ත්වයකය. නැතහොත් ලංකාව දැන් තිබෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් හදාගැනීමෙන් තොරව එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි හිර වූ තත්ත්වයකය.

අලුත් ව්‍යවස්ථාවක් හදා ගැනීමට විවර වී තිබෙන මෙම අවකාශය මහජන සහභාගි ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීම මගින් රටේ ආණ්ඩුක්‍රමය පමණක් නොව සමස්ත සමාජ දේශපාලන ක්‍රමය පූර්ණ විපර්යාසයකට යොමු කිරීමේ ඇත්ත හැකියාවක් පවති. ව්‍යවස්ථා සම්පාදනයේදී මහජනයාට වැඩි බලයක් ලබාදෙන මහජන ව්‍යවස්ථා සම්පාදනයක් පිළිබඳ අදහස දැනටමත් රටේ සියලු දේශපාලන නායකයින් අන්දමන්ද කිරීමට හේතු වී තිබෙන අතර එවැනි තත්ත්වයක් ඇති වීම වැළකීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වන සංශෝධයේ එල්ලීමට ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා විරුද්ධ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර පොදු එකඟතාවක් ඇති කර ගැනීමේ නැඹුරුවක් ගොඩ නැගෙමින් තිබෙන බවද පෙනෙන්නට තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වන සංශෝධනය ජනාධිපති ක්‍රමය අහෝසි කොට අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට බලතල ලබාදෙන පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ඇතිකර ගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. එය කරලියට ගෙන ආවේ අගමැතිවරයාගේ 19 වන සංශෝධන වැඩ පිළිවෙළ අවුලට ගොස් තිබුණු අවස්ථාවකදී එම අවුලෙන් ආණ්ඩුව ගොඩ ගැනීමේ සැඟවුණු අරමුණ ඇතිවය. කෙටුම්පතේ සම්පාදකයා ලෙස සැලකිය හැක්කේද 19 වන සංශෝධනයේ සම්පාදකයා ලෙස සැලකිය හැකි ආචාර්ය ජයම්පති වික්‍රමරත්නය. සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සංශෝධනයකින් සිදු කරන්නේ තිබෙන ආණ්ඩුක්‍රමයක් සංශෝධනය කිරීමය. තිබෙන ආණ්ඩුක්‍රමයක් අහෝසි කොට ඊට අලුත් ආණ්ඩුක්‍රමයක් ඇති කර ගැනීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් මිස ව්‍යවස්ථා සංශෝධනයකින් සිදු කරන්නේ නැත. එය ව්‍යවස්ථා සම්පාදන විෂයෙහි පිළිගත් ධර්මතාවක් ලෙස සැලකිය හැකිය. ජවිපෙ 20 වන සංශෝධනය එම මූලික ධර්මතාව අමු අමුවේ උල්ලංඝනය කරන්නක් වන අතර එම සංශෝධනය නීතිගත වුවහොත් ව්‍යවස්ථාව ආශ්‍රයෙන් ඇති වී තිබෙන අර්බුදය වඩා විශාල හා වඩා සංකීර්ණ අර්බුදයක් බවට පත් කිරීමට හේත විය හැකිය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විරුද්ධ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන නායකයින් තිදෙනාම මේ මොහොතේ සිටින්නේ ලොකු අර්බුදයකට ගිය තත්ත්වයකය. ජනාධිපති සිරිසේන සිය ජනාධිපති අපේක්ෂකයා බවට පත් කර ගැනීමට රාජපක්ෂ පිළ සූදානම් නැත. ඒ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද මේ මොහොතේදී සිටින්නේ ජනාධිපති ක්‍රමයට වඩා පාර්ලිමේන්තු ක්‍රමයට කැමති විය යුතු තත්ත්වයකය. එවැනි පරිවර්තනයක් තුළ තුන්වන පක්ෂයක නායකයා ලෙස ජනාධිපති සිරිසේනද පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කළ හැකිය. මහින්ද රාජපක්ෂටද ජනාධිපතිවරණයකට තරඟ කිරීමේ හැකියාව නැති අතර වෙනත් කෙනකු ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරනවාට වඩා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුළ අගමැති අපේක්ෂකයා ලෙස තරඟ කරන්නට වැඩි කැමැත්තක් දැක්වීම ස්වභාවිකය. ජනාධිපතිවරණයක්, අගමැති රනිල් වික්‍රමසිංහටද ලොකු ප්‍රශ්න ඇති කිරීමට හේතු විය හැකිය. පාර්ලිමේන්තු ක්‍රමයට මාරුවිය හැකිනම් පක්ෂ අභ්‍යන්තරයෙන් එන අභියෝගයන්ගෙන් තොරව අගමැති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමේ හැකියාවද රනිල් වික්‍රමසිංහට ලැබෙන්නේය. ඒ අර්ථයෙන් ජනතා විමුක්ති පෙරමුණේ 20 වන සංශෝධනය ලොකු දේශපාලන අර්බුදයක කරවටක් ගිලී සිටින මෙම දේශපාලන නායකයින් තිදෙනාට ගැලවීමට මාර්ගයක් ලබාදෙන එම නායකයින් තිදෙනාටම සතුටු විය හැකි ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය.

ව්‍යවස්ථාමය අර්ථයෙන් ගත් විට 20 වන සංශෝධනය පසුගාමි ව්‍යවස්ථා සංශෝධනයක් වශයෙන් මිස ඉදිරිගාමි ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය නොහැකිය. ලංකාව සැලකිය හැක්කේ මහජනයාට තිබෙන පරමාධිපත්‍ය බලය මැතිවරණ වලදී ඡන්දය පාවිච්චි කිරීමේ අයිතියට පමණක් සීමා කළ ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ඉතාමත් පසුගාමි රටක් ලෙසය.

ලෝකයේ සමහර රටවල් මහජනයාට මැතිවරණ වලදී ඡන්දය පාවිච්චි කිරීමේ අයිතියට අතිරේකව තමන් තෝරාපත්කොට පාර්ලිමේන්තුවට යවන මන්ත්‍රීවරුන් අතර සිය යුතුකම් හා වගකීම් හරියාකාරව ඉටු නොකරන මන්ත්‍රීන් ආපසු කැඳවීමේ අයිතියද ඇතුලු රාජ්‍ය පාලනයට ක්‍රියාකාරී ලෙස මැදිහත් වීමේ අයිතිය මහජනයාට ලබා දී තිබේ. ස්විට්සර්ලන්තය, ඉතාලිය, ජර්මනිය, හා එක්සත් රාජධානිය ඒ සඳහා දැක්විය හැකි නිදර්ශනයන්ය. එම විෂයේදී ජනතා විමුක්ති පෙරමුණේ දැක්ම ඉතාමත් පසුගාමි වන අතර ජවිපෙහි සහෝදර සංවිධානයක් ලෙස සැලකිය හැකි ජාතික විද්වත් සභාව ප්‍රකාශයට පත්කර තිබෙන එකට එකතු වී ගොඩ නගමු ශ්‍රී ලංකාව නමැති ප්‍රකාශයට ඇතුළත් ආණ්ඩුක්‍රමයට අදාළ අදහස් ද ඉතාමත් පසුගාමි වන බව කිව යුතුය. එම ප්‍රකාශනයට අත්සන් තබා ඇති එම ජවිපෙ පමණක් නොව එම නාමධාරී උගතුන්ද ජීවත් වනබව පෙනෙන්නේ 21 වන සියවසේ නොව 20 වන සියවසේය.

20 වන සංශෝධනයට ශ්‍රී ලංකාවේ රාජ්‍යයේ ඇති වී තිබෙන කුණුවීම වළකා දූෂණයෙන් තොර රාජ්‍යයක් ඇතිකර ගැනීමට අවශ්‍ය විධි විධාන ඇතුළත් වන්නේ නැත. ලංකාවේ ක්‍රියාත්මක වන ජනාධිපති ක්‍රමය පමණක් නොව පාර්ලිමේන්තු ක්‍රමයද අන්ත දූෂිතය. දූෂිත ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ක්‍රමය තිබෙන දූෂිත තත්ත්වයෙන් මුදා ගැනීමකින් තොරව ඊට පූර්ණ බලතල ලබාදෙන ක්‍රමයක් යහපත් විය නොහැකිය. අඩුම වශයෙන් ලෝකයේ කවර ප්‍රජාතන්ත්‍රවාදී රටක්වත් ඉඩ නොදෙන, 1977 තෙක් ලංකාවේද ක්‍රියාත්මක වූ මන්ත්‍රීවරුන්ට රජය සමඟ ව්‍යාපාර කිරීමට ලැබී තිබෙන අයිතිය අහෝසි කිරීමට හේතුවන විධිවිධානවත් ඊට ඇතුළත් වන්නේ නැත. කොටින්ම ශ්‍රී ලංකා රජයේ කොල්ලකාරී ස්වභාවය අහෝසි කිරීමට හේතුවන විධි විධාන ඊට ඇතුළත් වන්නේ නැත.

ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ 20 වන සංශෝධනයට සියලු සාම්ප්‍රදායික දේශපාලන නායකයින්ට එකහෙළා එකඟ විය හැකිය. එය ලොකු අර්බුදයක හිර වී සිටින එම නායකයින්ට ගැලවීමට අවස්ථාවක් ලබා දෙනවා විනා ඔවුන්ට හා ඔවුන්ගේ දේශපාලන සහචරයින්ට පොදු දේපළ කොල්ල කෑමට ලැබී තිබෙන ඉඩ ප්‍රස්ථාව අහෝසි කැරෙන්නේ නැත. එය සැලකිය හැක්කේ රටේ පවතින දූෂිත ක්‍රමය වෙනස් කිරීමට හේතු වන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස නොව තිබෙන දූෂිත ක්‍රමයට ආරක්ෂාව ලබාදෙන ව්‍යවස්ථා සංශෝධනයක් වශයෙනි. එය රටේ පවතින දූෂිත ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට අවකාශය ලබා දෙන මහජන ව්‍යවස්ථා සම්පාදනයකට විවර වෙමින් තිබෙන ඉඩ අසුරන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙසද සැලකිය හැකිය.

ජවිපෙ වැනි සංවිධානයක් පෙනී සිටිය යුත්තේ පරම දූෂිත ක්‍රමය ආරක්ෂා කිරීමට හේතුවන ව්‍යවස්ථා සම්පාදන මාදිලියකට නොව එම දූෂිත ක්‍රමය අහෝසි කිරීමට පුළුවන්කම ලබාදෙන මහජන ආණ්ඩුකරණ ක්‍රියාවලියට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වීමට ඉඩ ලබාදෙන මහජන සහභාගී ව්‍යවස්ථා සම්පාදන මාදිලියකට නොවේද?