ලංකාවට වැරදුණේ ඇයි (II)

වික්ටර් අයිවන්

ලංකාවේ නිදහස් ව්‍යාපාරය බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් ලංකාව නිදහස් කරගැනීම සඳහා ක්‍රියා කළ සැබෑ නිදහස් ව්‍යාපාරයක් ලෙස සැලකිය නොහැකිය. එය ලංකාවට හිමිකර දුන් නිදහසද, සැබෑ නිදහසක් ලෙස සැලකිය නොහැකිය.
බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් ඉන්දියාව නිදහස් කරගන්නවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව දියුණු පරිකල්පනයක් ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට තිබුණි. නිදහස දිනාගත යුතු ආකාරය පිළිබඳවද දියුණු පරිකල්පනයක් ලංකාවේ නිදහස් ව්‍යාපාරයට තිබුණේ නැත.

නිදහස – ඉන්දියාව හා ලංකාව

බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් ඉන්දියාව නිදහස් කරගැනීම සඳහා ඉන්දියාවේ සමස්ත ජනතාව සමගි කොට අහිංසාවාදී අරගල ක්‍රියාමාර්ගයකට ඔවුන් යොමු කළ යුතුව තිබෙන බව ඉන්දියාව නිවැරදි ලෙස තේරුම් ගෙන තිබුණි. ඉන්දියාවේ නිදහස සඳහා ඉන්දියාව බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස් කරගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවද ඔවුහු දැන සිටියෝය. ඒ සඳහා ඉන්දියානු ජාතිය ගොඩනගා ගන්නවාට අතිරේකව බි්‍රතාන්‍යයන්ගෙන් ලබාගන්නා රාජ්‍යය නිදහසේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ප්‍රතිනිර්මාණය කරගත යුතු බවද ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ නායකයෝ නිවැරදි ලෙස තේරුම් ගෙන සිටියහ. ඉන්දියානු ජාතිය ඉබේ ගොඩනැගෙන දෙයක් නොව, ගොඩනගා ගත යුතු දෙයක් බවද ඔවුන් දැන සිටියේය. ඒ සඳහා වර්ග, කුල, ආගම් භේදයන්ට තිබෙන නිල පිළිගැනීම අහෝසි කොට සියලුදෙනා සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදිය යුතු බවද ඔවුහු දැන සිටියෝය.

ලංකාවේ නිදහස් ව්‍යාපාරයට නිදහස දිනා ගැනීම සඳහා වන එවැනි පරිකල්පනයක් නොතිබුණි. නිදහස දිනාගත යුතු ක්‍රමය ලෙස ඔවුන් දැක්කේ බහුජනයා සම්බන්ධ කර ගැනීමකින් තොරව බි්‍රතාන්‍ය පාලකයන්ගේ හොඳ හිත හා විශ්වාසය දිනාගන්නා හා එයට සටකපටකමද එකතු කරන ක්‍රියාමාර්ගයක් මගින් දිනාගත යුතු දෙයක් ලෙසය. ඔවුන්ට මහජනයා ගැන කිසිදු විශ්වාසයක් නොතිබුණි. සර්වජන ඡන්ද බලයට පවා ඔවුන් සියලුදෙනා විරුද්ධ විය. නූතන ජාතිය ගොඩනැගීම පිළිබඳ හා නිදහස දිනා ගැනීමෙන් පසු ප්‍රතිසංවිධානය කරගත යුතුව තිබුණු රාජ්‍ය පිළිබඳ ප්‍රශ්නය ගැනද හරි අවබෝධයක් ලංකාවේ නිදහස් ව්‍යාපාරයට තිබුණේ නැත. නිදහස් ව්‍යාපාරයේ සියලු නායකයන් කෙරෙහිද වර්ගය, කුලය හෝ ආගම බලපෑවේය. ඔවුහු සමානතාවාදී හා බහුත්වවාදී අදහස් තිබූ ප්‍රබුද්ධ අය නොවූහ.

ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරයට එකතු වී සිටි අය අතර හෝ එකතු වන අය අතර බි්‍රතාන්‍ය නම්බුනාම ලබාගත් අය වී නම් ඔවුන් සියලුදෙනාටම එම නම්බුනාම ආපසු බි්‍රතාන්‍ය ආණ්ඩුවට භාරදීමට සිදුවිය. අපේ නිදහස් ව්‍යාපාරයේ සියලු ප්‍රධාන නායකයෝ බි්‍රතාන්‍ය නම්බුනාමවලට ලොකු කෑදරකමක් දැක්වූවා පමණක් නොව, ඒවා ප්‍රදර්ශනය කරන්නටද ලොකු උනන්දුවක් දැක්වූ අය වූහ. ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ සියලු නායකයෝ යුරෝපා ඇඳුම් ඇඳීම අත්හළ කදාර් ඇඳුම් ඇඳි, යුරෝපා ජීවන ක්‍රමය අත්හළ අය වූහ. එහෙත් ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ දෙමළ නායකයන් හැර අන් සියලු ප්‍රධාන නායකයන් යුරෝපීය ඇඳුම් ඇඳි යුරෝපා ජීවන ක්‍රමයක් පවත්වාගෙන ගිය නායකයෝ වූහ. ගැමි හදවතක් තිබූ ඩී.ඇස්. සේනානායක පවා උස් තොප්පිය සහිත වල්ග කබා ඇඳුම අඳින්නට ප්‍රිය කළේය. ජාතික ඇඳුමට මාරුවූ නායකයන් ලෙස සැලකිය හැකි එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක හා ජේ.ආර්. ජයවර්ධන පවා ගෙදරට අඳින ඇඳුම බවට පත්කරගෙන තිබුණේ පිජාමා ඇඳුමය.

සමාජය ප්‍රතිසංස්කරණය නොකිරීම

ඉන්දියාවේ නායකයන් නිදහස දිනාගැනීමේ අරගලය ඉන්දියාව බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස් කරගැනීමේ අරමුණට සීමා කළේ නැත. නිදහස දිනාගැනීම සඳහා කරන අරගලය පරණ වැඩවසම් සමාජය ප්‍රතිසංස්කරණය කොට නවීන සමාජයක් ඇතිකර ගන්නා වැඩසටහනක් බවට පත්කර ගත්තේය. ඒ සඳහා සමාජයේ පැවති කුලභේදයට, වර්ග භේදයට හා ආගම් භේදයට තිබෙන පිළිගැනීම අහිමි කොට ජාතිය ගොඩනගා ගැනීම සඳහා බලවත් උත්සාහයක යෙදුණේය. පැවති කුලභේදයට හා අස්පර්ශනීයත්වයට එරෙහිව බලවත් මතවාදී අරගලයක යෙදුණේය. පහත් කොට සැලකෙන කුලවල ජනයාට කෝවිල්වලට ඇතුළුවීම වළකන නීති අහෝසි කරගැනීම සඳහා කෝවිල් වටලා කෙරෙන දැවැන්ත සත්‍යග්‍රහ ව්‍යාපාර පවත්වාගෙන යන ලදි. මහත්මා ගාන්ධිට හින්දු අන්තවාදී තරුණයකු අතින් මැරුම් කන්නට සිදුවූයේ වර්ගවාදයට එරෙහිව පවත්වාගෙන ගිය මතවාදී අරගලයේ ප්‍රතිඵලයක් වශයෙනි.

ලංකාවේ වැඩවසම් සමාජ ක්‍රමය එවැනි පරිවර්තනයකට යොමු කිරීම සඳහා ලංකාවේ නිදහස් ව්‍යාපාරය අතින් එවැනි කිසිවක් සිදුවූයේ නැත. මා මීට පෙරද බ්‍රයිස් රයන් උපුටා දක්වමින් පෙන්වා දී තිබෙන ආකාරයට ලංකාවේ 1925 වන තෙක්ම කටුක ගැටුම් පැවතියේ වර්ග අතර නොව. කුල අතරය. යාපනේ ඇමරිකානු මිෂනාරී පාසල් කුලවතුන්ගේ දරුවන් සමග හීන යයි සම්මත කුලවල දරුවන්ට එක වහලක් යට අධ්‍යාපනය ලබාදීම ආරුමුග නාවලර්තුමාගේ බලවත් විරෝධයට හේතුවිය. උතුරේ පැවති තරම්ම කටුක ආකාරයකට නොවූවත් ඒ දේ දකුණේද තිබුණේය. හීනයැයි සම්මත කුලවල දරුන්ට උඩුකය වැසෙන ලෙස බැනියන් අන්දවා පාසල්වලට යැවීම කුලවතුන්ගේ විරෝධයට හේතුවී නැකති කුලේ මාපියන් හා කුලවතුන් අතර තංගල්ලේ ඇතිවූ ගැටුමක් බයිස් රයන් සිය කෘතියේ හඳුන්වා දී තිබෙන්නේ තංගල්ලේදී ඇතිවූ බැනියන් යුද්ධයක් ලෙසය. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ නායකයන් කෙරෙහි කුලභේදය වැදගත් සාධකයක් ලෙස බලපෑවේය. පානදුරාවාදය පැවති කාලයේදීම ක්‍රිස්තියානි විරෝධී වාදයට නායකත්වය දුන් නායකයන් අතර කුලය මත පදනම් වී නිර්ණාමික පත්‍රිකා මගින් කෙරුණු රළු පරුෂ වාදයන් පිළිබඳ විස්තර මගේ පන්සලේ විප්ලවය නැමති පොතට ඇතුළත්ය. නිර්ණාමික පත්‍රිකා මගින් ඉතා රළු පරුෂ ආකාරයකින් පවත්වාගෙන ගිය එම වාදයේ ගොවිගම කුලය නියෝජනය කළ පාර්ශ්වයට හික්කඩුවේ සුමංගල හිමියන් නායකත්වය දෙන විට ගොවිගම නොවන පාර්ශ්වයට නායකත්වය දී තිබුණේ වැලිගම සුමංගල හිමියන්ය. මෙම හිමිවරුන් දෙදෙනාම ලංකාවේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ ප්‍රබල නායකයෝ වූහ.

කුලය හා දේශපාලනය

සීමිත ඡන්ද ක්‍රමයක් යටතේ පැවති පළමු මැතිවරණය ලෙස සැලකිය හැකි උගත් ලාංකික නියෝජිතයා තෝරා ගැනීම සඳහා 1911 දෙසැම්බර්වලදී පැවති මැතිවරණය ගොවිගම හා ගොවිගම නොවන කුල කණ්ඩායම් අතර පැවති රළු පරුෂ තරගයක් ලෙස සැලකිය හැකිය. එම තරගයට කරාව කුලයෙන් ඉදිරිපත් කළ තරගකරුවා වූයේ දොස්තර මාකස් ප්‍රනාන්දුය. ඔහු එකල ලංකාවේ ස්වදේශිකයන් අතර සිටි ලොකුම ධනවතා වූ චාල්ස් ද සොයිසාගේ බෑනනුවන්ය. මයිකල් රොබට්ස්ගේ අධ්‍යයනයන්ට අනුව බි්‍රතාන්‍ය පාලන යුගයේ විවර වී තිබූ ව්‍යාපාරික ඉඩ ප්‍රස්ථා ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගනිමින් කරාව කුලය සියලු කුල අතරින් වැඩිම දියුණුවක් හිමිකරගත් කුලය බවට පත්ව සිටියේය. කරාව කුලය ගොවිගම කුලයට තිබූ ප්‍රමුඛතාව අභියෝගයට ලක් කළ කුලය ලෙසද සැලකිය හැකිය.

එකල ඡන්ද බලය කෙරෙහි ඉංග්‍රීසි උගත්කම හා දේපළ අයිතිය බලපෑවේය. ඒ නිසා ඡන්ද බලය හිමිව තිබුණේ පුද්ගලයන් 2938ක් තරම් සීමිත පිරිසකටය. ඉන් 1659ක් සිංහල වන විට 1072ක් දමිළ වූහ. මෙම උසස් තනතුර කරාව කුලයේ කෙනකු අතට පත්වනවා දකින්නට සමහර ගොවිගම ධනවත්හු කැමති නොවූහ. ඡන්ද බලයක් හිමිව තිබූ සිංහලයන්ගෙන් වැඩි පිරිසක් කරාව, සලාගම, දුරාව යන මුහුදුබඩ කුල තුනට අයත් වීම නිසා ගොවිගම ධනවත්හු ගොවිගම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට බියවූහ. කරාව කුලයේ අපේක්ෂකයා පරාජය කිරීම සඳහා වන උපාය මාර්ගයක් ඉදිරියට ගෙනාවේ ජේ.ආර්. ජයවර්ධනගේ පියාගේ සහෝදරයකු වන වෝල්ටර් ජයවර්ධන විසින්ය. දකුණු ඉන්දියාවේ විශ්‍රාම සුවයෙන් කල්ගෙවමින් සිටි පොන්නම්බලම් රාමනාදන් මේ තරගයේ අනෙක් අපේක්ෂකයා ලෙස කරළියට ගෙනාවේ ඔහුය. සිංහල ගොවි හා දෙමළ වෙල්ලාල කුල දෙකේ ඡන්ද මගින් මාකස් ප්‍රනාන්දු පරාජය කිරීම ඔහුගේ අභිලාෂය විය.

ඔහු සිංහල ප්‍රදේශවල පොන්නම්බලම්ගේ ඡන්ද ව්‍යාපාරයේ බරපැන දරන්නා ලෙස ක්‍රියාකරනවාට අතිරේකව පොන්නම්බලම් වෙනුවෙන් සිංහල ප්‍රදේශවල පවත්වන ප්‍රසිද්ධ රැස්වීම්වල ප්‍රධාන කථිකයා ලෙසද ක්‍රියා කළේය. ඔහු එසේ කරන වේදිකා කතාවලදී කරාව කුලය අවඥාවට ලක් කළ බවත් උපතින් ඔවුන්ට උරුම වූ අන්ධකාරයේම ඔවුන් කොටුකර තැබිය යුතු බව ජේ.ආර්. ජයවර්ධනගේ චරිතාපදානය ලියූ කේ.එම්. ද සිල්වා එම චරිතාපදානයේ සඳහන් කර තිබේ.

එම ඡන්දයේදී සිංහල ගොවිගම ඡන්දදායකයන්ට අතිරේකව දෙමළ වෙල්ලාල ඡන්දදායකයන්ද එක පොදියට පොන්නම්බලම් රාමනාදන්ව පාවිච්චි කිරීම නිසා පහසු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට රාමනාදන් සමත් විය. එහෙත් එම සිද්ධිය කරාව ධනවතුන් දෙමළ විරෝධී ආස්ථානයකට තල්ලු කිරීමට හේතුවිය.

ඒ කාලයේදී දේශපාලනය කෙරෙහි සේ ම මැතිවරණ කෙරෙහිද කුලය වැදගත් සාධකයක් ලෙස බලපෑවේය. මැතිවරණවලදී සමහර පුද්ගලයන්ගේ ජයග්‍රහණයන් කෙරෙහි සේ ම පරාජයන් කෙරෙහිද කුලය බලපෑවේය. ජාතික දේශපාලනයට එකතු වී සිටි ඉතා වැදගත් පුද්ගලයන් ජාතික දේශපාලනයෙන් පලවා හැරීමටද කුලය බලපෑවේය. ලක්ෂපාන ව්‍යාපෘතියේ නිර්මාතෘ ඩී.ජේ. විමලසුරේන්ද්‍ර ඒ සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයකි. ඔහු 1931 පැවති මැතිවරණයට රත්නපුරේ ආසනයට තරග කොට එය ජයගෙන රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්විය. එම මැතිවරණයේදී රත්නපුරේ ජනතාව සැලකිල්ලට ගත්තේ විමලසුරේන්ද්‍රගේ කුලය නොව විදුලි ඉංජිනේරුවකු වශයෙන් ඔහු ඉටු කර තිබුණු කාර්යභාරය හා ඔහුට තිබුණු පිළිගැනීමය. එහෙත් 1936 මැතිවරණයේදී රත්නපුරේ ජනතාව ඔහුට වඩා අඩු වැදගත්කමක් ඇති පුද්ගලයකු ලෙස සැලකිය හැකි ජයවීර කුරුප්පුව තෝරාගෙන විමලසුරේන්ද්‍රව ගෙදර යැව්වේය. එහිදී රත්නපුරේ ජනතාව වැදගත් කොට සැලකුවේ විමලසුරේන්ද්‍රගේ කුලයයි. ජයවීර කුරුප්පු ජයගත්තේ කුලභේදය අවියක් කොට ගැනීම නිසාය.

ඒ කාලයේදී පැවති මැතිවරණවලදී කුල සාධකය ක්‍රියාත්මක වූ රළු පරුෂ ස්වභාවය තේරුම් ගැනීම සඳහා ඉදිරිපත් කළ හැකි තවත් නිදර්ශනයක් මෙසේය. විදේශ අධ්‍යාපනයකින් පසු කෙළිලොල් ජීවිතයක් ගතකරමින් සිටි නාඹර වියේ තරුණයකු ලෙස සැලකිය හැකි ඩඞ්ලිව 1936 මැතිවරණයේදී ඩී.එස්.ගේ වුවමනාව මත දැදිගම ආසනයට ඉදිරිපත් කළේය. ඔහු නිතරගයෙන් තේරී පත්වනවා දැක්ම ඩී.එස්. සේනානායකගේ අභිලාෂය විය. එහෙත් ඒ සිහිනය බොඳ කරමින් බත්ගම කුලයේ ප්‍රමුඛ පුද්ගලයකු වූ එන්.එච්. කීර්තිරත්න දැදිගම ආසනයට නාමයෝජනා දුන්නේය. එය බත්ගම අපේක්ෂකයකු ව්‍යවස්ථාදායකයේ ආසනයක් සඳහා තරග කළ පළමු අවස්ථාව විය. එහෙත් කීර්ති රත්නගේ ඉදිරිපත්වීම සේනානායක පවුලට පෙනුණේ තමන්ට කරන ලද අපහාසයක් ලෙසය. ඡන්ද දිනයේදී සමහර බත්ගම කුලයේ ගම්වල ඡන්දදායකයන් ඡන්ද පොළට ඒම වැළකීම සඳහා මැරවරයන් යොදා ගන්නා ලද අතර ඩඞ්ලිගේ ජයග්‍රහණයෙන් පසු කීර්තිරත්නගේ නිවසට අසූචිවලින් පහර දෙන ලදි.

වර්ගය හා දේශපාලනය

බ්‍රයිස් රයන් පෙන්වා දී තිබෙන ආකාරයට දහනව වැනි සියවස අවසානයේ සිට 1925 පමණ දක්වාම ලංකාවේ පහළ වූ කටුක ගැටුම් පැන නැගුණේ වර්ග අතර නොව කුල අතරය. ඉන්පසු වර්ග අතර භේද වර්ධනය වී කුලභේදය දෙවැනි වී වර්ගභේදය ප්‍රධාන විය. ඒ නිසා කුල භේදය මුළුමනින් නැතිවූයේ නැත. නිදහසින් පසු කුලය හා වර්ගය යන දෙකම කැරලි ගැසුවේය.

71 ජේවීපී කැරැල්ල පරාජය කිරීමෙන් පසු අත්අඩංගුවේ සිටි තරුණ තරුණියන්ගේ කුල පසුබිම සොයා බලන තැනකට යන්නට ආණ්ඩුවට සිදුවූයේ එම කැරැල්ල හා කුලය අතර අන්තර් සම්බන්ධයක් තිබුණු බව ආණ්ඩුවට පෙනුණ නිසාය. දෙවැනි ජේවීපී කැරැල්ල පරාජය කිරීමෙන් පසු තරුණ අසහනය කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බලන්නට ජනාධිපති කොමිසමක් පත්කිරීමට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට සිදුවිය. ජේවීපී සිංහල තරුණ කැරලි දෙක කෙරෙහි සේ ම එල්ටීටීඊ දෙමළ තරුණ කැරැල්ල කෙරෙහිද කුලය වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බව එම කොමිසමේ නිගමනයක් විය.
ඉන්දියාවට මෙන් ලංකාවටද සැබෑ නිදහස් ව්‍යාපාරයක් තිබී සැබෑ නිදහස් අරගලයක් මගින් නිදහස දිනාගැනීමට ලංකාව සමත් වී නම් ලංකාවේ කතාව මීට බොහෝ වෙනස් වන්නට ඉඩ තිබුණි. එසේ වී නම් බි්‍රතාන්‍ය ආධිපත්‍යය පරාජය කිරීම සඳහා භේදයකින් තොරව සමස්ත සමාජය නිදහස දිනාගැනීමේ අරමුණ වෙනුවෙන් යොදා ගන්නට සිදුවන තත්ත්වයක් තුළ සමාජයේ කුල, වර්ග, ආගම් භේදවලට තිබෙන පිළිගැනීම නැති කොට ඒ සියලුදෙනාට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන ප්‍රවේශයක් තුළ ජාතිය ඒකාග්‍ර කරන වැඩසටහනකට යොමුවන්නට නිදහස් අරගලය මෙහෙයවන නායකයන්ට සිදුවන්නට ඉඩ තිබුණි. එය එසේ වී නම් සමාජය පරිණත වන්නට ඉඩ තිබුණා සේ ම ලංකාවට පරිණත නායකයන් පිරිසක් බිහිවන්නටද ඉඩ තිබුණි.

ලංකාවේ අසාර්ථකභාවය කෙරෙහි ලංකාව හිමි කරගත් නිදහසට ආවේණික බරපතළ සීමාසහිතකම් වැදගත්ම සාධකයක් ලෙස බලපා තිබෙන්නේ යැයි කිව හැකිය. නිදහසින් පසු ලංකාවේ ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් හා ඒ නිසා ඇතිවූ විශාල ජීවිත හා දේපළ හානි කෙරෙහි වර්ගය, කුලය හා ආගම වැනි සාධක බලපෑවේය. රට නගා සිටුවීමට විභව ශක්තියක් තිබූ මිනිසුන් කැරලිකරුවන් හා ආරක්ෂක හමුදා විසින් ඝාතනය කිරීම නිසාද, ලංකාවේ පැවති අශීලාචාර තත්ත්වය ඉවසාගත නොහැකිව රට නගා සිටුවීමට විභව ශක්තියක් තිබූ පුද්ගලයන් රට අතහැර යෑම නිසාද රටට සිදුවී තිබෙන හානිය හා පාඩුව අතිවිශාලය.

ලංකාව අතහැර යන්නන්ගේ ආරම්භකයන් ලෙස සැලකිය හැක්කේ බර්ගර් ජනයාය. ලංකාවේ දේවල් සිදුවෙමින් තිබුණු ආකාරය අනුව නිදහස් ලංකාවේ තමන්ට අනාගතයක් නැතැයි තේරුම් ගත් ඔවුහු නිදහස ලැබෙන්න ආසන්න කාලයේ සිටම බුරුතු පිටින් ලංකාව අතහැර යන්නට වූහ. නිදහසට පෙර ලංකාවේ රාජ්‍ය සේවයේ කොඳු නාරටිය ලෙස ක්‍රියා කළේ බර්ගර්වරුන්ය. හෙන්රි වෝඞ් ආණ්ඩුකාරවරයා (1855-1860) ලංකාවේ බර්ගර්වරුන් හඳුන්වා දී තිබෙන්නේ ‘නොපෙනෙන ලෙස සැඟවී සිටිමින් ආණ්ඩුවේ හස්තයෙහි පාලනය හැසිර වූ ලෝහමය රෝද වශයෙනි. ලංකාවේ ජනවර්ග අතර දාර්ශනික ගැඹුරත් හිමිකරගෙන සිටි එකම ජනවර්ගය ලෙස සැලකිය හැක්කේද ඔවුන්ය. රිචඞ්ර්ඞ් මෝගන් (1821-76) හා චාල්ස් ලොරෙන්ස් ලංකාවට ලිබරල් න්‍යාය වාදයන් කියාදෙන්නට උත්සාහ කළ දාර්ශනික න්‍යායවාදීහු වෙති. ලාංකේය ජාතිය ගොඩනැගීම පිළිබඳ සංකල්පය ලංකාවට හඳුන්වා දුන්නේද ඔවුන්ය. බර්ගර් ජනතාව ලංකාව අතහැර නොගියේ නම් ඔවුන් අතින් ලංකාවට සිදුවිය හැකිව තිබුණු යහපත් දේවල ප්‍රමාණය අතිවිශාලය. ඔවුන් අතින් ලංකාවේ චින්තනය පෝෂණය වන්නට ඉඩ තිබුණා සේ ම කලාව හා සාහිත්‍යයේද ලොකු පෝෂණයක් ඔවුන් අතින් සිදුවන්නට ඉඩ තිබුණි. සමාජයේ ඉංග්‍රීසි භාෂා භාවිතයේ ලොකු වර්ධනයක් ඇතිවන්නට ලොකු දියුණුවක්ද ඇතිවන්නට ඉඩ තිබුණි. අපට ඔවුන් ගැන තිබුණේ අවඥාවකි. අපි ඔවුන් හඳුන්වන ලද්දේ කැරපොතු ලන්සීන් වශයෙනි.

තවමත් හරි ගණන් බැලීමක් කර නැතත්, මහා පරිමාණයෙන් සිදුවී තිබෙන ක්‍රියාදාමයන් ලෙස සැලකිය හැකි දමිළයන්ගේ විගමනයෙන් රටට සිදුවී තිබෙන පාඩුව අතිවිශාලය. දෙමළ විගමනය ඇතිවූයේ 1913න් පසුව නොව 1956න් පසුවය. 1956දී දෙමළ ජනතාවට දෙමළ භාෂාව පාවිච්චි කිරීමට තිබෙන සාධාරණ අයිතිය අහිමි කිරීමෙන් පසුව සිංහල ප්‍රවීණතා විභාගයට පෙනී නොසිට සමහරෙක් රට අතහැර ගියහ. එවැනි අය ලංකාව සලකන ලද්දේ ලංකාව ජීවත්වීමට සුදුසු නැති රටක් ලෙසය. රට අතහැර යෑම මහා පරිමාණයෙන් සිදුවන ක්‍රියාවලියක් බවට පත්වූයේ 83 කළු ජූලියෙන් පසුවය. 83 කළු ජූලිය ඔවුන්ට යුරෝපයට යන දොරටු විවෘත කිරීමට හේතුවුණු අතර ලංකාව අතහැර යෑමට ශක්තියක් තිබුණු බොහෝ දමිළ අය එය අවස්ථාවක් කරගනිමින් රට අතහැර ගියෝය. එසේ යන අතර සුවිශේෂ දක්ෂතා ඇති අය සිටියේය. සමහර රටවල් එවැනි අය හඳුනාගෙන ඔවුන් තමන්ගේ රටවලට ගෙන්වා ගත්තේය. සිංගප්පූරුව දැන් පවත්නා දියුණුව ඇතිකර ගැනීමට ලංකාව එපාවූ දමිළයන් යොදා ගැනුණු ආකාරය පිළිබඳ කදිම විස්තරයක් අජිත් කනකසුන්ද්‍රම්ගේ ‘දෙරටක කතාන්දරය’