සිරිසේනට අඩු සාටකය විතරයි

ටිරන් කුමාර බංගගමආරච්චි

ඕනෑම භයානක සෙල්ලමක් ආශාවෙන් කිරීම උමතුවකි. මේ උමතු සෙල්ලම මේ දිනවල අපූරුවටම කරන අයකු වේ නම් ඒ ජනපති සිරිසේනය. ජනපති සිරිසේනගේ නීත්‍යනුකූල විවාහය අගමැති රනිල් සමග වුවත් ඔහු එළිපිට පවුල් කන්නේ මහින්ද රාජපක්ෂ සමගය. ජනතාව විදිහට අපි දැන් පිළිගත යුත්තේ සිරිසේනගේ කුමන පවුලද? ඔහුගේ තේරීම මහින්ද වුවත් ජනතාව ඔහුව පූට්ටු කළේ රනිල්ටය. ඒ නිසා කැමැත්ත අකමැත්ත කුමක් වුවත් 2020 දික්කසාද වනතුරු හෝ ඔහු රනිල් සමග දීග කෑ යුතුමය. එසේ නොවී ගෙදර ගෑනි අමතක කොට පිට ගෑනි සමග නටන මේ නාඩගමෙන් හෙම්බත් වන්නේ ජනතාව බැවිනි.

මේ ආණ්ඩුව යනු අගමැති රනිල් පමණක් නොව, ජනපති සිරිසේන සහ අගමැති ප්‍රමුඛ එකමුතුවටය. මූණ කැතයි කියා නහය කපා ගන්නා සේ ඔක්තෝබර් 26 කළ පිස්සුවෙන් පසු රනිල්ට නොදෙන්නෙමැයි කී සිරිසේන අද කරනුයේ රනිල්ට අකමැත්තෙන් වුව දී කිසිවක් කරන්නට ඉඩ නොදීමය. ඔහු අධිකරණ තීන්දුව තුට්ටුවකට නොසලකා නැවතත් පුරුදු පරිදි මහින්ද සමග පෙම් කෙළියි.
2015 කුමන හේතු මත යහපාලන නඩය සිරිසේන තෝරා ගත්තද සිරිසේන ගැළපෙනුයේ මහින්දටමය. මෝඩිගේ ඇඳුම සිරිසේනගේ ඇඟට දැම්මට ඔහු ආශා කළේ සාටකයටය. මහින්ද එදා ජනපති ලෙස සිරිසේනව අගමැති කළේ නම් සිරිසේන ජනාධිපති කෙනකු වන්නේ නැත. අගමැති නොකිරීමේ වේදනාව ඔහුව වෙන පැත්තකට තල්ලු කළා මිසක රට ගැන ජනතාව ගැන අබමල් රේණුවක හැඟීමක් ඔහුට එදත් නැත. අදත් නැත්තේමය.

ගෙවුණු සතියේ මාධ්‍ය තුළ ජනපති සහ මහින්ද අතර සන්ධානයක් ගැන තොරතුරු පළවිය. එහි සම සභාපතිවරු ලෙස දෙදෙනාගේ නම්ද සඳහන් විය. මේ සියලු සබඳතා අනාගත ජනාධිපතිවරණය ඉලක්ක කොටය. මහින්දට පවා තම සහෝදරයන්ට වඩා සිරිසේන විශ්වාසය. විශ්වාසයට වඩා මේ දෙකම එකට මිස වෙන වෙන ගමනක් නැත. ඇත්ත එයය. එසේ නොවී මහින්දට පැවැත්මක්ද නැත. සිරිසේනටද පැවැත්මක් නැත. පවතින්නට ඇති ආශාවට සැවොම මිතුරු වී ඇත. දේශපාලනයේ හතුරු මිතුරෝ ඇත. එහෙත් බලය සඳහා ඒ සියල්ල අමතක කරති. සිදුවන්නේ එයය.
අපිට කතා කරන්නට සිදුව ඇත්තේ මේ නාඩගම්ය. අද මාධ්‍ය තරුව සිරිසේනය. ඔහු පොළොන්නරු සංවර්ධනයේ නියමුවා වී ඇත. සියල්ල පොළොන්නරුවටමය. තම ප්‍රදේශයේ ඡන්දයක් අහිමි කරගන්නට වුවහොත් එය ජාතික පජාතවීමකි. ඒ නිසා එය හෝ රැක ගැනීම වැඩි කතා කළ යුතු නැත. එහෙත් ඔහු ජනපති වූයේ රට ගොඩනගන්නට මිස පොළොන්නරුව හදන්නට නොවේය. ග්‍රාමසේවක චින්තනයෙන් පටුවූ අයකු තුළ රට පිළිබඳ චින්තනයක් ගොඩනැගිය හැකිද? ඒ ග්‍රාමය චින්තනයේ තරම දැන් ඕනෑවටත් වඩා පෙන්වමින් සිටී. ඔහු කතා කරන කියන සැමදේම මහින්දගේය. අද සිරිසේනගේ කතා හරහා මහින්දගේ චින්තනය තේරුම් ගත හැකිය. ඒ නිසාම ඒ වැඬේ සිරිසේනට භාරදී ඇති ඔහු චිත්‍රපට ගැන ලෙස්ටර්ගේ නිවස ගැන කතා කරමින් සිටී. සිරිසේන දැන් එහෙම පිටින්ම මහින්දය. ඔහුට අඩු සාටකය පමණය. ඉදිරි මැතිවරණවලදී ඔහු එයද පැළඳ බැසිය හැකිය. එයද කළ නොහැකි ජගතකු නොව සිරිසේන. ඊට අවැසි සියලු රූපාන්තරණයන් ඔහු තුළ සිදුවී හමාරය. ප්‍රශ්නය මෙයින් රටට වන හානිය නම් ජනතාවට පටි තද කරගෙන ඊළඟ මැතිවරණය තෙක් ඉවසන්නට සිදුවීමය.

විපක්ෂ නායක

යහපාලන ආණ්ඩුවේ ආරම්භයත් සමගම මෙරට විපක්ෂයක් නැතිවිය. එය බරපතළම අවුලකි. යහපාලනය විපක්ෂය ලෙස තෝර ගත්තේ දෙමළ ජාතික සන්ධානයය. එය යහපාලනයේ කීකරු සේවකයා විය. සම්බන්ධන් විපක්ෂ නායක ලෙස හිටියාට හිටියා විනා එහි කිසිදු වැඩක් නොවීය. ඒ තත්ත්වයම අදද නිර්මාණය වී ඇත. එදා විපක්ෂයේ කාර්යභාරය කළේ මහින්ද පාර්ශ්වය වුවද අද ඔවුන් විපක්ෂයේ නිත්‍ය හිමිකරුවෝ වුවද කරන කෙන්ගෙඩියක් නැත. එයට හේතුව සිරිසේනය. කුමන හේතු මත හෝ සිරිසේන මේ ආණ්ඩුවේ ප්‍රධානියාය. අද වන හැම අවැඩම රනිල් නිසා වන්නේ යැයි සිරිසේනට කිව හැකි වුව එය එසේ කියා ආණ්ඩුවට තලන්නට මහින්දට බැරිය. එවිට සිරිසේනටත් පහර වදී. මේ නිසා අද ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටද රන්ජන්ගේ කොකේන් මරුය. කලක් දුවන්නට රන්ජන්ලාත් කරනුයේ මෙවැනි ගොන් ආතල් දිදී රටේ ප්‍රශ්න අමතක කිරීමය. මාධ්‍යයට පවා රන්ජන්ලාගේ ගොන් පාට් මහා ලොකු කතාය. විපක්ෂයට යන එන මං නැති තැන මේ කතා ඉතාමත් උඩය. මේ කාලය මරමින් හැම තල්ලුවන්නේ ජනාධිපතිවරණයකටය. ඊට පෙර රටේ කරන්න කිසිම දෙයක් නැද්ද? නැවත රට කරනුයේ කුමන හෝ ආණ්ඩුවක් අලුතින් බලයට පත්වීද? මේ අරාජික තත්ත්වය කියාපාන්නේ එය නොවේද? සම්බන්ධන් සහ මහින්දගේ විපක්ෂ නායක ධුරවල වෙනස කුමක්ද? දෙකම සේවය කරනුයේ ආණ්ඩුවටය. යහපාලනය ඇන ගත් මුල්ම දේ නම් හොඳ විපක්ෂයක් අහිමිවීමය. රටකට විපක්ෂයක් ආණ්ඩුව තරමටම වුවමනාය. එහෙත් විපක්ෂයත් ආණ්ඩුවම වූ කල කවර කතාද?

වැඩ නැත

රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන පාර්ලිමේන්තුව තුළ අද සිටිනුයේ භාගෙට භාගයක්ම හොරුය. වංචාකාරයන්ය. දූෂිතයින්ය. එයට පක්ෂ විපක්ෂ භේදයක් නැත. ඒ අතර කුඩුකාරයෝ ඉන්නවාද? ස්ත්‍රී දූෂකයෝ ඉන්නවාද සොයා පළක් නැත. ඒ අයත් සිටිනවා කියා අමුතු වෙනසක් නැත. වැදගත් වන්නේ මේ තක්කඩි රැළ මේ සියලු කෙළි කරනුයේ රටේ ජනතාව වහලුන් ලෙස සලකාවීමය.

ආණ්ඩුවේම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විසින් කිරිපිටිවල වස විස තිබෙන බව කියද්දී සෞඛ්‍ය ඇමති එසේ නැතැයි පරසක්වල ගසයි. ලෝකයේ හොඳම සෞඛ්‍ය ඇමති බෙහෙත් ගන්නේ සිංගප්පූරුවෙනි. මේ ඇමැත්තෝ කිරිපිටි බොන්නේ නැත. ඒ වෙනුවට දියර කිරි බොති. එහෙත් ජනතාව පැත්තෙන් ගැටලුවක් ආ කල ලේ කෝප කරගෙන මරාගෙන මැරෙන්නට ඉදිරියට එති. සෞඛ්‍ය ඇමති කිරිපිටිවල වසවිස නෑ කියද්දී හිටපු සෞඛ්‍ය ඇමති වත්මන් ජනපති සිරිසේන කියනුයේ වසවිස ඇති බවය. රාජිත කිරිපිටිවල වස විස නැත කිව්වද පෞද්ගලික රෝහල්වල පවා රාමු කොට එල්ලා ඇති දැන්වීම්වල කිරිපිටිවල විනාශය මනාව පෙන්වා ඇත. ඒ දැන්වීම සහතික කොට ඇත්තේද සෞඛ්‍ය අමාත්‍යාංශයමය. එසේ නම් අමාත්‍යාංශයත් සෞඛ්‍ය ඇමතිත් දෙකක් විය යුතුය. කිරිපිටි විරෝධය අද ඊයේ ඇති වූවක් නොවේ 2013දීත් අද වාගේම විරෝධයක් මතුවිය. විරෝධතා සියල්ල මාධ්‍ය හරහා විය යුතු නැත. දැන්වීම් හරහා විරෝධය මැඬීම කිරිපිටි සමාගම් මනාව කරති. මෙවරද ඔවුහු දැන්වීම් එක දිගට බෙදා හැරියේය.
විටෙක තිරිඟු පිටිවලින් වන හානියට පිළියම් ලෙස සහල් පිටි හඳුන්වා දෙන්නට ගියේය. ඒවා ලත් තැනම ලොප් විය. දේශපාලකයෝ මේ කිසිවක් වැඩ ලෙස සලකා නොකරති.

පසුගිය කාලයේ දුම්කොළ වගාවට තිත තබන බවට කතාබහ විය. එය මාරාන්තික නිසා ජනතාව පැත්තෙන් සිතා තීන්දු ගන්නවායැයි ජනපති රට වටේ කෑගැසුවේය. එහෙත් අද පිටරටින් ගෙනා දුම්කොළ ගැන විශාල කතාබහක් පවතී. දුම්කොළ නරක මෙරට වවන කල විතරද? පිටරටින් ගෙනෙන විට ඒවා හොඳද? මේ නම් අමුතුම පාලකයන් වෙසෙන රටකි. කන්න ඕනෑවිට කබරගොයා, තලගොයා කරගන්නා දේශපාලකයන් බහුල රටකි.

රස බීමවල ඇති සීනි අනිවාර්යයෙන් ලකුණු කළ යුතු යැයි නීති ගෙනාවේය. අද ඒ නීති කෝ? සීිනි රහිත කියා හඳුන්වා දුන් බීම ඉතාම අහිතකර විය. එහෙත් ජනතාව ඇති පදම් ඒවා බිව්වේය. සුව ඇමතිට සුව වුවද ජනතාවට කිසිවක් සුව නැතිය.

ජනපති මේ වසරේ සිට ඇස්බැස්ටෝස් තහනම ගැන කතා කළේය. එය කෙතරම් විහිළුවක් වීද? ඕනෑම දෙයක් අද නරකයි කියා හෙට හොඳයි කිව හැකිය. දේශපාලකයන් ඊට දක්ෂය. ඒ කතා පිළිගන්නට ජනතාවත් දක්ෂය.

මේ දේශපාලකයන් කරනවා කියා නොකෙරූ වැඩ නම් පත්තරයක් වුව ලියත හැකිය. එහෙත් පළක් නැත. කීමට වුවමනා නම් මොවුහු කිසිවක් නොකර හිරිකිතයකින් තොරව ඕනෑම මුඛරි කතාවක් කියා මග හරිති. එහිදී රාජිත උත්තර දෙන ආකාරය අන්තිම පහත්ය. ප්‍රශ්නය මේ තක්කඩිම ආයේ ආයේ පත්වීමය. ඔක්තෝබර් 26 ඇති කළ ආණ්ඩුවේ පවා සෞඛ්‍ය ඇමතිකම දෙන්නේ නම් ගන්න හිටපු අයකු ලෙස රාජිත ගැන කතාබහ විය. දොස්තරලා මෝඩ විදියට විරුද්ධ නොවී එය ගන්නට හැරියේ නම් මේ තක්කඩි වැඩි වැඩියෙන් රටට හෙළිවන්නට ඉඩ තිබුණි.

තම තමන්ට සුඛෝපභෝගී වාහන ගේන්නට මේ අයට එකාවන්ව එක්විය හැකිය. හයදෙනෙක් යා යුතු සෝපානයේ 12ක් පමණ ගොස් හිරවූ කල නැවත ලක්ෂ ගණන් වියදම් කොට සෝපාන ගෙන්වන්නට හදිසිය. මීතොටමුල්ල කුණු කන්දට යටව මියගිය, සාලාවේ විනාශයට ගොදුරු වූ, යුද්ධයෙන් බැට කෑ වුන්ට තබා සේනා දළඹුවාගෙන් වන්දි ගෙවිය යුතු වූවන්ට වන්දි දෙන්නට කල් මරති. තම සෝපානය ඊට වඩා වැදගත්ය.

රටේ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්නත් විදිහක් නැතැයි ලැජ්ජාවක් නැතිව ජනපති වේදිකාවල කෑ මොර දෙයි. ඊට ඔහු වගකිවයුතු නැද්ද? රටේ ප්‍රධානියා ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස එය ඔහුගේ වගකීමක් නොවේද? 2015දී රාජ්‍ය සේවකයාට 10,000කින් වැටුප් වැඩි කරනවායැයි කියා ආ යහපාලනය අවසන් වසර ගෙවනුයේ වැටුප් ගෙවාගත නොහැකි බව පවසමිනි. මහින්ද එක්ක ආණ්ඩු කළා නම් වැටුප් ගෙවිය හැකිද? සිරිසේන ඒ බවට සහතික දෙන්නේද?

රාජ්‍ය සේවකයාට වැටුප් ගෙවීම අමාරු ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාර්ෂිකව ලබාදෙන මුද්දර දීමනාව එක් ලක්ෂ හැත්තෑ පන්දහසේ සිට රුපියල් තුන් ලක්ෂ පනස් දහස දක්වා වැඩිකර ඇතැයිද, පළාත් සභා මන්ත්‍රීවරයකුට ඒ මුදල විසිහතර දහසේ සිට හතළිස් අට දහස දක්වා වැඩි කිරීමට නියමිත බව පැවසේ.

එසේ නම් ඒ ඒ අයට අවැසි සියල්ල සිදු කොට ජනතාවගේ යහපතට කිසිවක් නොකරති. එසේ නොකරන්නේ රනිල් යැයි සිරිසේන රටට කියයි. හැම නරක තීන්දුවකම හිමිකරුවා රනිල් වී ප්‍රමුඛ එජාපය වී ඇත. හොඳ සිරිසේනගේ නමටම ලියැවී ඇත. මේ ඒ අයම ලියාගන්නා දෑය. කවුරු හරිද කවුරු වැරදිද නොව ජනතාවට වැරදී ඇති බව දැන්වත් වටහා ගත යුතුය. එබැවින් එය වැටහීමෙන්ම ඊළඟ පාරත් වරද්දා ගත හැකිය. අද දවසේ දේශපාලනය ගැන කතා කිරීමත් එක්තරා ආකාරයක හිරිකිත පන්නයේ වැඩකි.