මරලා පුච්චන පොලිසිය

ටිරන් කුමාර බංගගමආරච්චි
ඡායා – ජගත් ප්‍රේමචන්ද්‍ර

දින තව දිනවලට එකතුවෙමින් තිබේ. සති මාස වෙමින් තිබේ. එහෙත් මේ කතාවට තවමත් නිමක් නැතිය. එහි ඉමක් සොයා ගැනීම ලේසි පහසු නැත. දවසින් දවස කතා ගොඩගැසෙමින් තිබේ. මොහොතින් මොහොත කතාව ගිනියම් වන විට රත්ගම අතුරුදන් වූ තරුණ දෙපළගේ පවුල්වල අයගේ සිරුරු පිච්චී අළු වී යන බව නම් දැනට ඇති එකම සත්‍යය. එය අත්වින්දෙමු. අපි ආ ගිය කතාව පිළුණුය. එබැවින් එය මුලට කියා පළක් නැත.

මේ රත්ගම රත් කළ රත්කරන කතාවය. හිරු රශ්මියට වඩා රත්ගම ශරීර මේ දිනවල ගිනියම් කරනුයේ මේ සිද්ධියය. ඒ රස්නය එහි යන අපගේ ශරීර වුවද පුළුස්සා දමන්නේය. ඒ වචන, අඳෝනා ළය පසාරු කරන්නේය. ගමම පාරට බහින්නේ මේ තල්ලුවටමය. මේ සාපයටමය. මේ කන්නලව්වටමය. මේ යාදින්නටමය.

ආසන්නය

අතුරුදන් වූවා යැයි කියන තරුණයන් දෙදෙනාගේ තවත් ශරීර කොටස් හමුවූ බව අවසානයට ලද ප්‍රවෘත්තියය. මේ හමුවන ශරීර කොටස් එම තරුණ අයගේමද? ඒ සඳහා ඩීඑන්ඒ වාර්තා ගන්නා බවද ප්‍රවෘත්තිය කියාපානමුත් මේ හැම සිදුවන්නේ පවුල්වලින් දුරස්ථව වීම සැකසහිතය. සිරුරු කොටස් හඳුනා ගැනීමට අදාළ පිරිස් යා යුතු නැද්ද? ඒ අයගෙන් විමසිය යුතු නොවේද? මේ දෙපළගේ නිවැසියන් පවා සිද්ධිය ගැන තොරතුරු දැනගනුයේ මාධ්‍යයෙනි. මෙය අමුතු පරීක්ෂණයක් නොවේද? අද සිරුරු කොටස් හොයා ගත්තා මාධ්‍ය හරහා කී කල ඔවුහු ඒ බව දනිති. එසේ නම් මේ ඒ සිරුරු කොටස්මද? එසේ නොවූවද බරපතළය. එසේ මේ මිනිස් සිරුරු කාගේද? පොලිසිය හෙළි නොවන්නට මේ වික්‍රමය මීට පෙර නිතර අත්හදා බලා ඇත්ද? පොලිසියේ පිරිස් මේ පිරිස රැගෙන යන සීසීටීවී දර්ශන නොවන්නට මෙය තවත් එක් බිල්ලක් පමණක්ද? මේ පාතාලයට ගැඹුරක් කිව නොහැකි බව පැහැදිලිය. එබැවින් බැලු බැල්මට මේ තරුණයන් දෙදෙනාම යැයි කවුරු කීවද? එහි කුකුසක් නොපවතීද? ඇතැම්විට ලද තොරතුරු අනුව මේ ඔවුන්ම විය හැකිය. එහෙත් ඒ බව අප කවුරු විශ්වාස කළද මේ නිවැසියන් පිළිගනු ඇත්ද? ඔවුහු කිසිසේත් මේ ඒ අයමයි කියා හිත් හදා ගනු ඇත්ද? අතුරුදන් කළාට වඩා අසීරුම දේ නම් ජීවත් වන වුන්ට මොවුන් ඇද්ද නැද්ද යන්න තහවුරු කිරීමය.

වාහන හමුවීම

රත්ගම ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන යෑමට හා ඔවුන් ඝාතනය කර මළ සිරුරු රැගෙන යෑමට භාවිත කළ කැබ් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රසිද්ධියේම කීවේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතාව මෙසේය. වෑන් රථයෙන් පැහැරගෙන ගොස් පසුව මෙම පුද්ගලයන් දෙදෙනා මියගිය පසු කැබ් රථයෙන් දමා ගෙන ගොස් ඇතැයි හෙතෙම කියන කතාවය. අදාළ කැබ් රථය අක්මීමන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් බවත්, ඔහු භාරයේ තිබී කැබ් රථය සොයා ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන කතාවය.

මෙම කැබ් රථය පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට නියමිතය. මේ රථය පිළිබඳ තොරතුරු ලැබෙනුයේ මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් පරීක්ෂකවරයා දුන් කටඋත්තරයක් මතය. මෙහි ඇති සිතා බැලිය යුතු කරුණ නම් මෙම හිතවත් ව්‍යාපාරිකයාගේ රථයම ලබා ගත්තේ ඇයිද යන්නය. ඔහුට මෙහි කිසියම් කොණක් තිබිය නොහැකිද? ඔහු පොලිස් මිතුරෙකි. විශේෂයෙන්ම මෙම අතුරුදන් කරවීමේ පොලිස් මහ මොළකරුවාගේ මිතුරෙකි. අප අමතක නොකළ යුත්තේ මියගියා හෝ අතුරුදන් කළා යැයි කියන මංජු ද මේ පොලිස්කාරයාගේ මිත්‍රයකු බවය. ඔහුගේ බිරිඳ කියන ආකාරයට මංජු විශ්වාසයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේද? ඔහු පැමිණි නිසාය. පොලිසිය මේ අය සමග පවත්වා ඇත්තේ ව්‍යාපාරික සබඳතාය. පොලිසිය මෙහිදී කර ඇත්තේද කොන්ත්‍රාත්තුවක් බව පැහැදිලිය. එසේ නම් මේ දෙපළ මේ පොළොවෙන් ඉවත් කිරීමට වුවමනාව තිබුණේ කාටද? එහි කොන්ත්‍රාත්තුව පොලිසියට දුන්නේ කවුද යන ප්‍රශ්න ලිහාගත යුතුම දෑය. අපගේ නිගමනය නම් පොලිසිය කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් ඇදි බවය. සිරුරු අතුරුදන් කිරීම දක්වා දුර යෑමෙන් එය පැහැදිලිය. මෙරට පොලිසියක් තුළ මිය නොගිය එකකු සොයා ගැනීම නොමළ ගෙයකින් අබැටකුදු සොයා ගන්නවාට වඩා අපහසුය. සමහර සැකකරුවෝ පොලිස් කූඩුවේ එල්ලී හෝ මිය යන්නේය. ඒ තරමට පොලිසිය මරුට ආසන්නය. ඒ නිසා මෙය ඊට වඩා වෙනස්ය. මෙයට පෙර මෙවැනි ගේම් වාස් ගුණවර්ධනද දුන්නේය. ඒවාද කොන්ත්‍රාත් බව අද නොරහසකි. දේශපාලකයා මෙන්ම පොලිසියද ළඟින්ම තබා ගැනීමට ඇසුරු කිරීමට වුවමනා වන්නේ ඔවුන්ගේ උදව් අවැසි අයටය. එසේ නම් මේ ව්‍යාපාරිකයා සහ පොලිසිය අතර කිට්ටුකම කුමක් හේතුවෙන්ද? මේ ව්‍යාපාරිකයා නියැලෙන ව්‍යාපාර මොනවාද? මීට පෙරත් ඔහුගේ රථය හර්ස් එකක් ලෙස යොදාගෙන ඇත්ද? මේවාද ප්‍රශ්න කළ යුතු තැන් නොවේද?
මංජුගේ බිරිඳගෙන් අප විමසුවේ මංජු මේ පොලිස් නිලධාරියා ආශ්‍රය කළේ ඇයිද? ඔහු සමග මිතුරුකමක් තිබුණේ මන්ද යන පැනයට ඇය පිළිතුරු බැන්දේ බොහෝ පමාවය. සැබැවින්ම ඒ තුළ තිබුණේ ජුගුප්සාජනක පිළිතුරකි.

“නෑ ඉතින් අපෙන් කොච්චර කුකුල් මස් නිකං අරගෙන යනවද? මස් ගන්න ඇවිත් තමයි ඔය යාළු වුණේ.”
මංජු වෘත්තියෙන් කුකුල් මස් ව්‍යාපාරිකයෙකි. මේ පොලිස් නිලධාරියා මංජුගේ කුකුල් මස් සිය පවුල සමග ඇති පදම් බුදින්නට ඇත. මංජු වුව නිකං මස් ටිකක් දී පොලිසිය යාළු කර ගැනීම මහා මෙරක් සේ සිතා සිටි බව ඔහුගේ බිරිඳ කියන කතාවලින් පැහැදිලිය.

“මංජු මේ මහත්තයව හොඳට අඳුරනවා. කොටින්ම සැකයක් නැතිව ගියෙත් ඒකයි.”
මෙය ලොකු පටලැවිල්ලකි. මංජුට වුව පොලිසිය මෙතරම් වුවමනා වූයේ ඇයි? කුකුල් මස් විකුණන්න පොලිසිය අවැසිද? කෙසේවෙතත් ඔහුගෙන් පිනට මස් කෑ එවුන්ම ඔහුවද මස් කළේය. එය අකමැත්තෙන් වුව පිළිගන්නට සිදුවේ.

පොලිසියේ අතුරුදන්වීම

මේ පරීක්ෂණ අස්සේ අසන්නට ලැබෙන විචිකිච්ඡා පුවත නම් මෙම සිද්ධියට අදාළ නියෝජ්‍ය පොලිස්පති විමර්ශන ඒකකයේ කොස්තාපල්වරු සිව්දෙනෙක් අතුරුදන්වීමය. අතුරුදන් කරන වූවන්ට අතුරුදන් වීම මහ කජ්ජක්ද?

අදාළ නිලධාරීන් හතරදෙනා මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ වී ඇත්දැයි පරීක්ෂණ පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබෙන තොරතුරුය.
විශේෂ විමර්ශන ඒකකයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරුන් පස්දෙනකු පසුගියදා (22දා) උදෑසන රාජකාරි ස්ථානයට නොදන්වා අනවසරයෙන් පිටව ගොස් ඇත. පසුව එක් කොස්තාපල්වරයකු පමණක් නැවත සේවයට වාර්තා කර ඇත.

එලෙස පැමිණි කොස්තාපල්වරයා නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කර තිබුණේ තමන්ට ඇතිවූ මානසික පීඩනය නිසා නිවසට ගොස් නැවත පැමිණි බවය.” ඔහුව පෙළෙන මානසික පීඩනය කුමක්ද? මේ ඝාතනයද? එසේ නම් එලෙස නොපැමිණි සිව්දෙනා ඊට වඩා මානසික පීඩනයක සිටිනවා විය නොහැකිද? ඔවුහු මෙයට ඍජුවම සම්බන්ධ නිසා මානසික පීඩාව දෙගුණ තෙගුණ වී ඉබාගාතේ ගොස්ද? සාක්ෂි වසන් කිරීමට පොලිස් කොස්තාපල්ලා වුව අතුරුදන් කළ නොහැකිද? පොලිසියට පොලිසියේ අයවත් සොයා ගැනීමට නොහැකිද? මිනිසුන් අතුරුදන් කිරීමේ ශූරයන් වන මොවුන්ද ඉබේම අතුරුදන් වන්නේද?
මෙම සිද්ධියට අදාළව එනම් මෙම තරුණයන් දෙදෙනා රැගෙන යෑමට දහතුන් දෙනකුගෙන් යුත් පිරිසක් පැමිණ ඇත. එසේ නම් මේ දෙපළට වූයේ කුමක්ද යන්න මේ දහතුනේ කල්ලිය නියතවම දන්නේය. මෙම පොලිස් කොස්තාපල්වරු පස්දෙනාද ඇතුළුව මේ සිද්ධියට අදාළව එම ඒකකයේ 15 දෙනකුට මාරුවීම් ලබා දුන්හ. එම මාරුවීමේ පණිවුඩ ලබාදීමට මොවුන් සොයන අවස්ථාවේ මොවුන් මෙම මාරුවීම කර ඇත. ඒ ඇයි?

මේ සිව්දෙනා පොලිසිය හැර ගියා සේ සලකා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව දැනට ඇති පුවතය. මෙම සිද්ධියට නොවුණත් පොලිසිය ඇතුළේ කල්ලි දෙකක් තිබූ බව පැහැදිලිය. මේ දහතුනේ කල්ලියට විරුද්ධ පිරිස් පොලිසියේම සිට ඇති බව නිර්ණාමිකව ආ ලියුමෙන්ම පැහැදිලිය. මොවුන් ඝාතනය කළ පුවත, පිළිස්සූ පුවත, වළදැමූ පුවත තැන ආගිය වාහන එම නිර්ණාමික ලියුමේ ඇතුළත්ය. අද කෙරෙන පරීක්ෂණ ඒ ලියුමේ කරුණුමය. එම ලියුම එවා ඇත්තේ ඊට සහභාගි වූවකු බව පැහැදිලිය. ඒ රජයේ සාක්ෂිකරුවකු විය හැකි පුද්ගලයෙකි. එහෙත් ඔහු සිටිත්ද යන්න වෙනම සොයා බැලිය යුතු තරම් මේ සිද්ධිය විවිධ පැතිවලට යන භයංකාර අත්දැකීමක් බව පැහැදිලිය. මේ අතුරුදන්වීම් වුව සුළු කොට තැකිය හැකි දෑ නොවේ. එයට මාන දෙකක් ඇත. එනම් ඔවුන්ම අතුරුදන්වූවාද ඔවුන්වත් අතුරුදන් කළාද යන්න සොයා බැලිය යුතුය. මේ සැක දෙකටම ඉඩදී ඔවුන් සැඟවී සිටිනවාද යන්න උභතෝකෝටිකය. නැතහොත් මෙය පොලිසියේම තවත් වික්‍රමාන්විතයක් විය නොහැකිද? එය කවුරු දනිත්ද?

මෙතෙක් පරීක්ෂණ ප්‍රතිඵල

පොලිසියම කියන දේ ලියන මාධ්‍යයට අනුව මේ පරීක්ෂණවල බොහෝ වැඩ අවසන්ය. මාසයකට වඩා වැඩි කාලයක් අතුරුදන් කර සිටින රත්ගම තරුණයන් දෙදෙනාට ඇත්තටම අත්වූ ඉරණම කුමක්ද? පොලිසිය ඇතුළින්ම දුන් මෙම මාස්ටර් ප්ලෑන් එක පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගැනීමට සමත් වී ඇතැයි පුවතක් විය. එහෙත් එය ඇත්තමද? ඔවුන්ට අනුව මෙම තරුණයන් දෙදෙනා අක්මීමන ගෝණමුල්ල ප්‍රදේශයේ පාළු නිවසකදී ඝාතනය කර මළ සිරුරු වලස්මුල්ලේ පල්ලෙකන්ද ප්‍රදේශයට රැගෙන ගොස් එහි වන රක්ෂිතයකදී සිරුරුවලට ඩීසල් වත් කොට ගිනි තබා ඇති අතර ඒ ඉතිරි කොටස් එහිම වළ දමා ඇත. මෙම අපරාධය සඳහා පොලිස් පරීක්ෂකවරයකු උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු කොස්තාපල්වරු අටදෙනකු සම්බන්ධ බව පැවසේ. මෙම ස්ථාන දෙකම එනම් ඝාතනය කළ සහ මළ සිරුරු පිළිස්සූ ස්ථාන පසුගියදා (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගන්නා ලදි.

මේ අත්අඩංගුවට පත් අය ලබා දුන් තොරතුරු බව සහතිකය. සිද්ධියේ සත්‍යය දන්නේ ඔවුන්ය. ඔවුන් කියා ඇති ආකාරයට රක්ෂිතයේ ජලය ගලා බසින ඇළක දමා මළ සිරුරු පුළුස්සා ඇති බවත් මළ සිරුරු පිළිස්සෙන තෙක් පැය තුනක් පමණ කාලයක් එහිම ගත කළ බවත් අල්ලා ගත්තවුන් පාපෝච්චාරණය කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ ඝාතනය මෙහෙයවා ඇත්තේ දැනට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත නමැත්තාය. මංජු සමග වුව ළඟ මිතුරුකමක් ගොඩ නගාගෙන සිට ඇත්තේ මොහුය. මීට අමතරව උප පොලිස් පරීක්ෂකවරයෙක්ද මෙම ද්විත්ව ඝාතනයට හවුල්ය. සෙස්සෝ පොලිස් නිලධාරීන්, සැරයන් සහ කොස්තාපල්වරුය. උප පොලිස් පරීක්ෂක විරාජ් මධුසංඛ පොලිසියට බැඳී තවම සිව් වසරකි. ඔහුව මෙයට සැකපිට අත්අඩංගුවට ගත්තේ පෙබරවාරි 21 වැනිදාය. ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මේ බොහෝ දෑ වමාරා ඇත්තේ ඔහු බව දැනට ඇති විශ්වාසයයි.

අත්අඩංගුවට ගැනීමට හේතු

නිවැසියන්ට අනුව මොවුන් අත්අඩංගුවට ගන්නට කිසිම හේතුවක් නැත. ඔවුහු ඒ බව පුන පුනා කියති. එහෙත් පොලිස් කණ්ඩායම් දෙකක් (13 දෙනකුගෙන්) සමන්විතව මේ දෙපළ මාංචු දමා කුදලාගෙන යන්නේ නිකම්ම බව කීවද පොලිසිය කියනුයේ මෙම තරුණයන් දෙදෙනා අත ගිනි අවියක් ඇති බවට ලද තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගන්නට ගිය බවය. ඊට අමතරව මත්කුඩු කතාවද මීට පොලිසිය ඈඳයි. මේ හේතු මතම මොවුන් අත්අඩංගුවට ගත්තා නම් ආයුධ පෙන්වන්නට ගොස් මේ ප්‍රශ්නය පොලිසිය අහවර නොකර පාළු නිවසකට ගෙන ගොස් පහරදෙමින් කළ රංගනය කුමක්ද? ආයුධ පෙන්වන්නට රැගෙන ගියේ නම් පොලිසියේදීම පහරදිය හැකිය. අප පහරදීම අනුමත නොකරනමුත් පොලිසිය ක්‍රියාකරන ආකාරය සලකා මෙය ලියන බව සලකන්න.

අක්මීමන ගෝණමුල්ල ප්‍රදේශයේ කන්දක් මුදුනක පාළු මහ සුවිසල් නිවසක් මොවුන් මේ සඳහා භාවිත කරනුයේ ඇයි? එම නිවසද පොලිස් නිලධාරියාගේ මිතුරාගේය. එසේ නම් එකිනෙකට බැඳෙන මිතුරුකම් මොනවාද? මෙලෙස රැගෙන ගොස් පහර දී තුවක්කුව ගැන විමසද්දී රසින් චින්තන මියගිය බවත්, එය දුටු නිසා මංජුල අසේල නිදහස් කිරීම අවදානම් බැවින් දෙදෙනාම මෙලෙස අහවර කළ බව විරාජ් මධුශංඛගේ පාපෝච්චාරණය තුළ ඇතැයි කියැවේ. එසේ නම් දැන් මේ කතාවේ සියල්ල අහවරය. එහෙත් මේ සිද්ධියට අදාළ දෙපළගේ නිවැසියන්ට තවමත් කිසිදු විශ්වාසයක් නැත්තේ ඇයි?

අවසානය

නිවැරදි අවසානයක් නැතත් මේ සිද්ධියේ අවසානය ලියා අවසන් බව දැන් පැහැදිලිය. එනම් මොවුන් ඝාතනය කර පුළුස්සා වළ දමා ඇති බවය. ජනවාරි 23 වැනිදා උදේ නවයත් දහයත් අතර මොවුන්ව නිවසේදීම රැගෙන යන්නේ පොලිසියය. ඒ මාංචු දමාය. මෙලෙස අත්අඩංගුවට පත්වූයේ රසින් චින්තක සහ මංජුල අසේලය. මේ මිතුරන් දෙපළකි. පිළිවෙළට එක් අයෙක් මාළු ව්‍යාපාරිකයෙකි. අනෙකා කුකුල් මස් ව්‍යාපාරිකයෙකි. පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සමග ලොකු හිතවත්කමක් මංජුලට තිබී ඇත. එය කුකුල් මස් හරහාම ඇති වූවක් බව මංජුලගේ බිරිඳ කියන කතාව. මිතුදම වැඩුණේ එලෙසම යන්න විශ්වාස කළ හැකිය. පොලිසිය ඒ වැඩවලට රුසියෝය. ජනවාරි 23 එලෙස බූස්ස, රත්ගම, රත්නෝදාගම මංජුලගේ නිවසින් අත්අඩංගුවට ගෙන රැගෙන යන මොවුන් ගැන පැමිණිල්ලක් දමන්නට නිවැසියන් රත්ගම පොලිසියට ගොස් ඇතිමුත් පැමිණිල්ල ලියා ගැනීමක් සිදුව නැත. එදින හවස 7ට පැමිණිල්ල ලියා ගත් බව මේ අය පවසයි. පොලිසිය සාමාන්‍ය මිනිසුන් තඹේකට මායිම් නොකරන බව පොලිසියකටම ගොස් බැලිය යුතුය. 23 වැනිදා රැගෙන යන මොවුන් ගැන කිසිදු තොරතුරක් නැති තැන මේ පවුල් දෙකේ පිරිස් රත්ගමින් ගාල්ලට, ගාල්ලෙන් පොලිස්පතිට අවසානයේ ජනපතිට ලියන තැන දක්වා මේ ප්‍රශ්න දිග් ගැස්සේ. එවන් පසුබිමක නිර්ණාමික ලිපියක් මේ පිරිසට ලැබේ. ඒ පෙබරවාරි 06 වැනිදාය. එවිට සියල්ල සිදුවී හමාරය. එය මතකයක් ලෙස විඳවන්නට අපහසු අයෙක් මේ සියල්ල අහවර බව විස්තරාත්මකව ලියා ඇත. අද තහවුරු වන හැම දෙයක්ම ඒ ලියුමේ ඇත. එසේ නම් මේ ලියුම එවූ පුද්ගලයාද මීට අකමැත්තෙන් හෝ ඉහළ අණට යටත් වූවකු විය හැකිය. ඔහු ලියුමේ ලියූ වෑන් රථය හරිය. සිද්ධිය හරිය. ඔහුගේ ලියුම සහ අද කටඋත්තර දෙන උපපොලිස් පරීක්ෂකගේ කතාව හරියටම හරිය. ඒ තැන්වලින් යම් යම් මිනිස් සුන්බුන් හමුවන එකද හරිය. එසේ නම් මොවුන් මරා දමා නැතැයි විශ්වාස නොකර හිඳීම හරිද? එහෙත් ප්‍රශ්නය මේ සියල්ල මේ නිවැසියන්ගෙන් විතැන් කොට කරන්නේ මන්ද යන්නය. මොවුන්ට තම ස්වාමිවරු ඇඳ පැළඳ සිටි කිසිවක් අඳුරගන්න බැරිද? ගින්නට නොපිළිස්සෙන රිදී මාල හමුවී නැද්ද? මංජුල රිදී ආභරණ පළඳින්නෙකි. අනෙක් අතට දැනට හමුවූ දෑ ඩීඑන්ඒ වාර්තාවලට දෙනවා සේ ම ගෙදර අයගෙන් තහවුරු කරගත නොහැකිද? මොවුන්ව හුදකලා කොට මේ දෙපළට කාත් කවුරුත් නැතිවුන් සේ පරීක්ෂණ වන්නේ ඇයි? මේ හැමදේම මාධ්‍ය හරහා ඔවුන් දැනගන්නේ ඇයි? මේවා බරපතළ ප්‍රශ්නය.

කප්පම්

එම තත්ත්වය එසේ වද්දී තවමත් කප්පම් ඉල්ලා ඒ නිවැසියන් පීඩාවට පත් කරන්නේ ඇයි? ඒද පොලිස් ගේමක්ම විය නොහැකිද? පරීක්ෂණ උඩු යටිකුරු කිරීමට කරන ප්‍රාථමික රංගන විය නොහැකිද? මංජුල කියා කතා කරන කප්පම් ඉල්ලන රැහේ එකා බිරිඳගේ, දරුවන්ගේ නම්වත් නොදනිති. මේ දෙනෝ දහක් ඉදිරියේ කප්පම් සෙල්ලමක් පැන්නේ පොලිසියම බව අපගේ හැඟීමය. පොලිසිය මේ සෙල්ලම තවම ඉවර කර නැත.

පොලිසිය පරීක්ෂණ කරනුයේ පොලිසියටම විරුද්ධවය. ඒ නිසා දැන් අපට සිදුව ඇත්තේ හොරාගේ අම්මාගෙන් පේන අහන්නටය. කෙසේ වෙතත් මේ සිද්ධියට අදාළව පොලිසියේ කිහිපදෙනකු හිරේ යනවා නියතය. එහෙත් එයින් මංජුල සහ රසින්ගේ පවුල්වලට වන සාධාරණය කුමක්ද? තිදරු පියෙක් වූ මංජුලගේ දරු පවුල අද අනාථය. නිවෙස ඉදිකිරීමට සහ ත්‍රීවීලරයට, බයික් එකට ඔහු ගත් වාරික ගොඩ ගැසී වන බව බිරිඳ දැන් සිටම හූල්ලති. ඉදිරිය ඔවුන්ගේ ජීවිත මොනතරම් අනාථ කර ඇත්ද? රසින් එක්දරු පියෙක් වන අතර, පියා නොදැක එළිය දකින්නට තවත් දරුවකු ගැබ තුළ සිටින බව හෙට ඒ දරුවාට පියා ගැන මතක කයා දෙන්නේ කෙසේද?

මේ නිවැසියන්ගේ නිවෙස් ඉලව්වක් නැති ඉළව් ගෙවල් මෙනි. සැවොම හැඬූ කඳුළෙන්ය. එකම කතාව දහස්වර කියා ඔවුහු හෙම්බත්ය. ටෙලිවිෂන් මාධ්‍යයට කතා කරනවා හැර නිකං මාධ්‍යවලට වචන කියන්නට දැන් ඔවුන්ගේ මුව විවර නොවන තරම්ය. දුක කියා මදි. දුක පෙන්වීමත් අවැසිය. දැන් මේ මිනී රැගෙන යන්නේ මාධ්‍ය විසිනි. විද්‍යුත් මාධ්‍ය මේ නිවෙස් බදු ගෙනය. එහෙත් මේ කොපමණ කාලයකටද? තව මස් වැදැල්ලක් ඩැහැ ගන්නා තුරු නොවේද? මේ සියලු යථාර්ථයන් අභිමුව මේ සිද්ධිය වුව තව රැඳෙනුයේ ටික දවසකි. දුක ඉතිරි වන්නේ ඒ සමීපයන් අතර පමණය. එහෙත් මොවුන්ගේ හමු නොවූ සිරුරු නොදැක මොවුන් මියගියා කියා පිළිගන්නට මොවුහු අකමැති වෙත්. යටි සිත මොවුන් නැති බව කීවද මේ අය නැති බව පිළිගන්නට මොවුන් අකමැතිය.
“මම නම් කියන්නෙම මේ අය ඉන්නවා. මගේ මංජු ආයේ එනවාමයි.”

ඒ මංජුගේ බිරිඳ කියන කතාවය. රසින්ගේ බිරිඳත් ඊට වැඩි යමක් නොකියයි. මාපියෝ දරනුයේද මේ මතයමය. අප කුමක් කියමුද? මේ දෙපළ සිටිත්ද? නැත්ද? අප කෙසේ තහවුරු කරමුද? එහෙත් ඇත්ත නම් මොවුන් දැන් නැති බව පිළිගැනීමය. අකමැත්තෙන් වුව පිළිගැනීමය. ඒ තැනට අප නොව ඔවුන් ද තල්ලු වී හමාරය.

“අපි නම් කියන්නේ මේකට ගෑවිච්ච හැම එකාවමත් පුච්චලමයි මරන්න ඕන.”

ඒ රත්ගම කෝප වූ ලේ වදන්ය. මේ දෙදෙනාගේ නිවෙස්වලින් බිරිඳගෙන් මව්පියන්ගෙන් එන වදන්ය. එසේ නම් අකමැත්තෙන් වුව පිළිගැනීමට සිදුවන සත්‍ය ඇත. මේ විදිහටම නොවූවත් කොයි විදියට හෝ පොලිස් ගිජු ළිහිණියෝ මේ සිරුරු දෙක වැළඳූහ.

මෙය ඉතා බිහිසුණු සිද්ධියකි. හැම කල්හිම වන පොලිස් වික්‍රමාන්තයන්ය. සිද්ධි වන ආකාරය වෙනස්වීම හැර සිද්ධි සිදුවන විදිහ එකය. එනම් පොලිස් අත්අඩංගුවේ මියයෑම. මේ භයංකර තත්ත්වය අහවර වන්නේ කවදාද? සුදු වෑන්, කළු වෑන් වනවිට දේශපාලන වෙනස කුමක්ද? රාජපක්ෂ කාලයට බැණ වැදුණු අය යහපාලනයේ වන විට කියනුයේ කුමක්ද? අද මංජුලගේ නිවැසියන් ආණ්ඩුවට බනිමින් මහින්ද මහත්තයට දුක කියන්න යන බව කියති. එවිට දුක තුනීවේද? මේ හැම හැදූ නරක ක්‍රමය දිගටම යති. එහෙත් නැවැත්විය යුත්තේ ඒ ක්‍රමය මිසක ඒ අයටම දුක කීම නොවේ.

මේ මිනිසුන්ට කළ හැකි උපරිම සාධාරණය නම් මීට අදාළවුන්ට උපරිම දඬුවම් දීමය. එයවත් මොවුන්ට සැනසීමක් වනු ඇත. එහෙත් කාලයත් සමග මේ සියල්ලත් දැවී අළු වී යනු ඇත. ඉතිහාසය පුරා වූයේ එයය. අතුරුදන්වූවන් සමරණ ලැයිස්තුවට තව නම් දෙකක් එකතු වී ඇත. ඇත්ත එයය. ඊට අදාළ අයට නොව එයින් අතරමං වූවන්ට සදා දුක් විඳිය හැකිය. මෙවැනි අමනයන්ට දඬුවම් දෙන තෙක් බලා සිටිමු. ඒ හැර කළ කිසිවක් නැත. හැකි එකම දේ ඒ දඬුවම් දෙන යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට ජනතාව පෙළ ගැසීමය. සිද්ධියෙන් සිද්ධියට පාරට බහින අය සිද්ධියත් සමග සියල්ල අමතක කරති.

දින ගෙවී යනු ඇති. හැමදේම වැලළී යනු ඇති. අලුත් දෑ ගොඩ එනු ඇති. මෙවැනි පොලිස්කාරයන් මෙන්ම ඒවායේ ගොදුරු හෙටත් ඇතිවනු ඇති. ඒවා නොවන්නට කුමක් කරමුද? බරපතළම ප්‍රශ්නය එයය.
මංජුලගේ නිවස මුහුණත ඇත්තේ සුසාන භූමියයි. එහෙත් මංජුලගේ දෙණ ඊට අයත් නැත. කාගේ වුව වැළලුම කොහේ වැළලේදැයි කාට කිව හැකිද? එහෙත් එය පොලිසියට තීරණය කළ හැකිද? පොලිසියට ඒ බලය දුන්නේ කවුද? කවුරු හෝ කාලයක පටන් දී ඇත. අහවර කළයුත්තේ ඒ බලයය. ළමයාට පහරක් ගසන ගුරුවරයා හිරේ දැමිය හැකි නම් මිනීමරන පොලිසියට කුමක් කළ යුතුද? අධිකරණයම හිතන්න. ඒ බලය ඔවුන්ට ඇත. මොවුන්ට සාධාරණය ඇත්තේ එතැනය. ඒ දෙවොලට හෙන නොවදීවායි පතමු.