විදුලි අර්බුදය මාෆියාවක්ද?

නිමල් අබේසිංහ

රටේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය කිලෝ වොට් පැය 9.5ක් බව ගණනය කර තිබෙන අතර වසරක් පාසා විදුලි ඉල්ලුම 5% සිට 10% දක්වා පරාශයක පවතී. විදුලිබල අමාත්‍යාංශය මේ වන විටත් හදිසි විදුලි මිලදී ගැනීමේ අවශ්‍යතාවක සිටින අතර ඒ වෙනුවෙන් කැබිනට් පත්‍රිකාද ඉදිරිපත් කර ඇත. එම මිලදී ගැනීම් පිළිබඳවත් ආන්දෝලනාත්මක කතා පැතිරෙමින් පවතී.

දැන් රට පවතින්නේ විදුලි අර්බුදයක මුව විටේය. එවකට සිටි විෂය භාර ඇමති රංජිත් සියඹලාපිටිය 2018 ජුනි 11 දින ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශය අනුවද මෙම විදුලි අර්බුදය කලින් හඳුනාගෙන සිටි බව සනාථ වේ. එහි සඳහන් ආකාරයට ‘ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලීන ජනන සැලැස්මට අනුව කෙරවලපිටිය ප්‍රදේශයේ මෙගා වොට් 300ක ධාරිතාවයෙන් යුක්ත ද්විත්ව චක්‍රීය වායුබලාගාරයක් පෞද්ගලික අංශයේ ආයෝජන යොදාගෙන ඉදිකිරීමට සැලසුම් කොට ඇත්තේ 2019 රට තුළ ඇති විදුලි හිඟයට මුහුණ දීම සඳහායි.’ යනුවෙනි. මෙම සටහනට අනුව විදුලිබල අමාත්‍යාංශය මෙකී අනතුර හඳුනාගෙන තිබූ බැවින් 2015 -2037 විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලීන ජනන සැලැස්මට කෙරවලපිටිය විදුලිබලාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙයට අමතරව දකුණු පළාතේ මෙගා වොට් 100ක විදුලිබලාගාරයක් ඉදිකිරීමද එම සැලසුමෙහි අන්තර්ගතය. එහෙත් වගකිව යුත්තන් උක්ත සැලැස්ම අපේක්ෂිත ඉලක්කයන් කරා ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය නොකිරීමෙන් මෙකී අවධානම තවත් තීව්ර වී ඇත.

ඒ අතරේ පවතින කාලගුණික තත්ත්වයන්ද නොරොච්චෝලේ ගල් අඟුරු විදුලිබලාගාරයේ පවතින දෝශයන් හේතුවෙන් නිෂ්පාදන ධාරිතාව අඩු වීමද අර්බුදයේ ඉරණම නරක අතට යනු ඇත. නොරොච්චෝලේ විදුලිබලාගාරයෙන් ටර්බයින් 3කින් එකක් මෙගාවොට් 270 බැගින් විදුලිය නිපද වේ. එහෙත් මේ වන විට එක් නිෂ්පාදන යන්ත්‍රයකින් නිපදවනු ලබන්නේ මෙගාවොට් 200ක් පමණි. පවතින තත්ත්වයන් මත එම යන්ත්‍රය අලුත්වැඩියාවකටද යා නොහැකි වන්නේ ඒ සඳහා විදුලි උත්පාදන යන්ත්‍රය අක්‍රීය කළ යුතු බැවිනි. එසේ වුවහොත් තවත් මෙගාවොට් 200ක නිෂ්පාදනය ඇනහිටිනු ඇත.
මෙවැනි පසුබිමක කෙරවලපිටියේ ඉදි කිරීමට යෝජිත මෙගාවොට් 300 විදුලිබලාගාරයේ ඉදිකිරීම සම්බන්ධයෙන්ද අර්බුදයක් හටගෙන තිබීම පවතින විදුලි අර්බුදයට තවත් අර්බුදයක් එකතු කිරීමක් බවට පත්ව තිබීම කනගාටුදායකය.

කෙරවලපිටිය විදුලිබලාගාරය ඉදි කිරීම වෙනුවෙන් 2016.11.16 ටෙන්ඩර් කැඳවා ඇති අතර 2017.04.21 දින ටෙන්ඩර් විවෘත කරනු ලදුව ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලක්දනවි සමාගම සහ “Consortium of GCL windforce and Renewger” යන සමාගම් දෙකෙන් කුමන සමාගමකට මෙකී ටෙන්ඩරය ප්‍රදානය කරන්නේද යන්න බරපතළ සාකච්ඡාවක් පැවති තිබෙන බව රංජිත් සියඹලාපිටිය හිටපු ඇමතිවරයා සහ වත්මන් අමාත්‍ය රවී කරුණානායක විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් සන්දේශ වලින් අනාවරණය වේ.

රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා 2018 ජුනි 11 දින ඉදිරිපත් කළ කැබිනට් සන්දේශයේ මෙසේ සඳහන් වේ. ‘ව්‍යාපෘති ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් 175ක් වශයෙන් සඳහන් කොට තිබූ අතර දෙවන අවම ලංසුකරුගේ ලංසුව ඇමරිකානු ඩොලර් මිලියන 299කි. මෙහි ඉංජිනේරු ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 300ක් වු බැවින් ලක්දනවි ආයතනයේ ලංසුව ඉන්ජිනේරු ඇස්තමේන්තුවෙන් 58%කි.’
කැබිනට් සන්දේශයේ සඳහන් ආකාරයට ව්‍යාපෘතියේ කාරක ප්‍රාග්ධනය ලක්දනවි ආයතනය ඇතුළත් කර තිබී නැත. එලෙසම ලක්දනවි ආයතනය තම ලංසුවේ ඇස්තමේන්තුව ඇමරිකන් ඩොලර් 175 ලෙස සඳහන් කර තිබුණත් ඔවුන් සිය ණය ලබා ගන්නා ආයතනය වන  KFWIPEX BANK  වෙත ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුව ඇමරිකන් ඩොලර් 330ක් ලෙසද EFC කොන්ත්‍රාත් වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 265ක් ලෙසද ජර්මනියෙන් ලබාගන්නා උපකරණවල වටිනාකම ඇ.ඩො. මිලියන 190ක් ලෙසද තොරතුරු ඉදිරිපත් කර ඇත. එලෙසම ලක්දනවි ආයතනය VAT හා  NBT බදු සඳහා රජයේ සහන ලබා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කර තිබුණද පවතින නීති අනුව එසේ කිරීමට නොහැකි බැවින් එය ගැටලුවක් බවද ඇමති රංජිත් සියඹලාපිටිය ඉදිරිපත් කළ කැබිනට් සන්දේශයේ තවදුරටත් සඳහන් වේ.
ඒ අනුව ලක්දනවි තම බැංකුවට ව්‍යාපෘති වියදම ඇමරිකන් ඩොලර් මිලියන 330ක් ලෙස ඉදිරිපත් කර ව්‍යාපෘතිය සඳහා ලංසුව ඇමරිකන් ඩොලර් මිලියන 175ක් ලෙස සඳහන් කර ඇත්තේ කිසියම් යටි අරමුණක් ඇති බවද පැහැදිලිය. මෙහිදි ලක්දනවි විසින් මෙයට පෙර කෙරවලපිටියේ මේ හා සමානම විදුලිබලාගාරයක් ඉදි කිරීමේදී ඉදිරිපත් කළ ලංසුව මෙයට වඩා ඉහළ අගයක් ගෙන තිබීමද පුදුමය. ඒ මෙයින් වසර ගණනාවකට පෙරදීය. එසේ නම් ඩොලරයේ අගය ඉහළ ගොස් ඇති අවස්ථාවක ඩොලර් මිලියන 175 වැනි මුදලකට මෙය ඉදිකිරීම කළ හැකි යැයි පැවසීමම විහිළුවකි. අනෙක් අතින් මේ වන විටදී ලක්දනවි සමාගම VAT, PAL  හාNBT බදු මුදල් තමන් විසින්ම දරාගෙන ව්‍යාපෘතිය කිරීමට සූදානම් බවද දන්වා ඇත. එය බෙහෙවින් සැක සංකා මතුවෙන කාරණයකි. එසේ නම් ඔවුන් මෙය මුලින්ම දැනුම් නොදුන්නේ ඇයිද යන ප්‍රශ්නය ද පැන නගී.

2009 ජනවාරි 30 දින අමාත්‍ය රවී කරුණානායක විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් මණ්ඩල සන්දේශයේද මේ සම්බන්ධ විස්තරාත්මක කරුණු ඇතුළත් කර ඇති අතර ලක්දනවි සමාගම මෙම ව්‍යාපෘතිය ඉදි කිරීමට සුදුසුකම් නොලබන බවද සඳහන් වේ. එයට හේතුවන කරුණුද සවිස්තරාත්මකව දක්වා තිබේ.
ලක්දනවි ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම අනුබද්ධ සමාගමකි. ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ මුළු අයිතියෙන් 63%ක් අයත්ව ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයටය. එහෙත් මව් සමාගම ඇතුළු අනෙකුත් සමාගම්හි පරිපාලනය සිදු වන්නේ 63%ක් කොටස් හිමි විදුලබල මණ්ඩලය නියෝජනය කරන අධ්‍යක්ෂවරුන් යටතේ නොවේ. ඒ බැව් රාවය දිගින් දිගටම තොරතුරු හෙළිදරව් කර ඇති බැවින් මෙහිදී එම තොරතුරු ඇතුළත් නොකරමු. එහෙත් කෙරවලපිටිය යුගදනවි බලාගාරය ඉදිකිරීමේදී වෙස්ට්කොස්ට් සමාගම (ලක්දනවි සමාගමේ උප සමාගමකි) විසින් විදුලිබල මණ්ඩලය සමග ගිවිසගත් බරපතළ කොන්දේසියක් කඩකර ඇති බව දැනගන්නට ඇත. ඒ යුගදනවි බලාගාරය ක්‍රියාත්මක කර වසරකට පසුව ඒ සඳහා වන ඉන්ධන වියදම නිසිලෙස ගණනය කිරීමක් සිදුකර ඒ අනුව විදුලිබල මණ්ඩලය ඉන්ධන සඳහා වැඩිපුර යුගදනවි බලාගාරයට ගෙවා ඇති මුදල් වෙස්ට්කෝස්ට් සමාගමෙන් ආපසු ගෙවීමේ කොන්දේසියය. මේ වනතුරු මේ පිළිබඳ ගණනය කිරීම් සිදුකර නැති බව ලියුම්කරු අවධාරණය කරන අතර එය ගණනය කළහොත් රුපියල් බිලියන ගණනාවක්ද විය හැකිය. කාලය ලෙස බැලුවොත් එය 2008 සිට 2018 දක්වා වසර 10කි. වෙස්ට්කෝස්ට් ආයතනය එසේ නොකිරීමම මුදල් නොගෙවා පැහැර හරින්නට ගන්නා උත්සාහයකි.

මේ අතර විදුලිබල මණ්ඩලය මහජන බැංකුවට හා ඉතිරිකිරීමේ බැංකුවට ණය වශයෙන් ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 60කි. ඊටත් අමතරව ඛණිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 40කි. මෙවැනි තත්ත්වයක් පවතිද්දී 63%ක් තම අයිතිය තිබෙන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම ඇතුළු එහි අනුබද්ධ සමාගම් ලාබ ලබමින් සිටින මුත් ඒවායේ ප්‍රතිලාභ විදුලිබල මණ්ඩලයට අහිමි වෙමින් තිබේ. වෙනකක් තබා එම සමාගම් රජයේ විගණනයට බඳුන් වීමද සමාගමේ බලධාරීහු වලකති. එසේ කරමින් විටෙක මේ අය ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම ඇතුළු අනුබද්ධ සමාගම් රජයේ ඒවා බවට ප්‍රසිද්ධ ප්‍රකාශ කරන අතර තවත් විටෙක එසේ නොවේ යැයි කියති. මේ කබරගොයා තලගොයා හා තලගොයා කබරගොයා කෙරුවාවට තිත තැබිය යුතු කාලය එළඹ ඇත. එය පවතින්නේ වත්මන් විෂය භාර ඇමතිවරයා අතය. එළඹ තිබෙන්නේ ඒ සඳහා සුදුසුම කාලවකවානුවය.

මෙගාවොට් 300 කෙරවලපිටිය යුගදනවි බලාගාරය 100%ක්ම රජය සතු විදුලිබලාගාරයක් බව සඳහන්ය. එය සනාථ කරනුයේ එවකට හිටපු විදුලිබල ඇමති චම්පික රණවක විසින් 2011 ජුලි 06 දින ඉදිරිපත් කරන ලද කැබිනට් සන්දේශයක සඳහන්ය. ඒ අනුව එහි අයිතිව මහ භාණ්ඩාගාරය 5.7% LECO 16.1%  EPF  23.9%  ලක්දනවි ලිමිටඞ් 4.23% වේ. එහෙත් ලාභාංශය බෙදීමේදී වැඩිම ලාභාංශ බෙදා ගන්නේ ලක්දනවි වෙතය. මේ පිළිබඳවද රාවය දිගින් දිගටම කරුණු හෙළිදරව් කළත් බලධාරීන්ගේ පියවී තිබූ නෙත් හැරුණු බවත් නොපෙනේ. මෙම බලාගාරය ඉදිකිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 294.8ක් වැය වී තිබේ. කලින්ද සඳහන් කළ පරිදී මෙම ප්‍රමාණයේම විදුලිබලාගාරයක් ඩොලර් මිලියන 175කින් ඉදිකරන්නේ කෙසේද යන පැනය මතුවෙයි.

2016 අප්‍රේල් 04 දින පාර්ලිමේන්තුවේ පැවති විදුලි අර්බුදය සහ පසුගිය මිලදී ගැනීම් පිළිබඳව විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසා ඇත්තේ විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම පිළිබඳ අදහස් දක්වමින් විදුලිබල මණ්ඩලය 63% අයිතිය ඇති ලංකා ට්‍රාන්ෆෝමර්ස් ලිමිටඞ් සමාගම හා අනුබද්ධ සමාගම් ලබන අයුතු ලාභය ගැන සොයා බැලිය යුතු බවය. එයිනුත් එහි අනුබද්ධ සමාගම් වන Esot සමාගම සහ එල්.ටී.එල් ප්‍රොජෙක්ට් සමාගම්හි අධ්‍යක්ෂවරුන්ගේ අදායම් හා වත්කම් පිළිබඳව සොයා බැලිය යුතු බවය. එවන් දූෂිත වටපිටාවක් පවතින සමාගම් වලට කෙරවලපිටිය නව විදුලිබලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය ලබාදීමද විහිළුවකි.

විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය විසින් සකසන ලද අභ්‍යන්තර රහස්‍ය ලේඛණයට අනුව ලක්දනවි සහ වින්ඞ්ෆෝස් සමාගම් දෙක වසර විස්සක කාලය තුළ විදුලිබල මණ්ඩලයට විදුලිය අලෙවි කරන මිල ගණන් මෙසේය.

ලක්දනවි ඒකකයකමිල රු.                    වින්ඞ්පොර්ස් ඒකකයක මිල රු.

2 වසර                 24.28                                                               24.04
5 වසර                 24.09                                                               23.61
10 වසර              23.85                                                                23.08
15 වසර               22.76                                                               20.77
20 වසර              22.76                                                               20.77

මේ අනුව පෙනී යන්නේ ලක්දනවි සමාගමට වඩා අනෙක් සමාගමේ මිලගණන් අඩු බව පෙනේ. එමෙන්ම මෙම මිල ගණන් සම්පාදනය කර ඇත්තේ මේ ආයතන දෙක විසින් ඉදිරිපත් කර ඇති ටෙන්ඩර් සංඛ්‍යාලේඛන අනුවද වේ.