මෛත්‍රී, රනිල්, මහින්ද, සම්බන්ධන් එක්වී ජාතික ප්‍රශ්නය විසඳන්න සූදානම්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

මීළඟ ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට පෙර ජාතික ප්‍රශ්නයට යම්කිසි සාධනීය විසඳුමක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා, ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය සමග ගැඹුරු සාකච්ඡාවක් ඇරඹීමට ටීඑන්ඒ නායක ආර්. සම්බන්ධන් තීරණය කර තිබේ.

ඊට අදාළව පළමු උත්සාහය ලෙස පසුගිය බ්‍රහස්පතින්දා (28) සවස එවැනි විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැඳවා තිබිණි.

මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිසාද් බදියුදීන් යන මැති ඇමතිවරුන් සහභාගිවීමට නියමිතව තිබිණි. මීට අමතරව මෙම සාකච්ඡාව සඳහා විවිධ දේශපාලන පක්ෂවල තවත් මැති ඇමතිවරුන් කිහිපදෙනකුටද ආරාධනා කර තිබූ බව වාර්තා වේ.

ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීමේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම මෙන්ම ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ විශේෂඥ මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳවද මෙම සාකච්ඡා මාලාවේදී අවධානය යොමුවනු ඇත. ■