වෙනස් විය යුතුව තිබුණු ‘දැකල පුරුදු කෙනෙක්…’

සම්පත් බණ්ඩාර

ශ්‍රී ලංකික මධ්‍යම පාන්තික පවුල් සංස්ථාවේ විවිධාකාර ගැටුම් හා අර්බුද පිළිබඳ කොතෙකුත් සිනමා නිර්මාණ බිහිවී තිබේ. ඉහළ මධ්‍යම පන්තිය, මධ්‍යම පන්තිය හා පහළ මධ්‍යම පන්තිය බෙදා වෙන් කිරීම සඳහා සීමා ඉරි හෝ නිර්නායකයක් නොමැත. එබැවින් එවැනි සිනමා ආඛ්‍යානයක් පතිත වන්නේ පොදුවේ ‘මධ්‍යම පන්තිය’ නම් පොදු කුලකය වෙතය.

මලිත් හෑගොඩ අධ්‍යක්‍ෂණය කළ ‘දැකල පුරුදු කෙනෙක්’ සිනමා කෘතිය සඳහා වස්තු වී ඇත්තේ ජංගම දුරකථනය හේතුවෙන් ඇතිවන අඹුසැමි ආරවුලකි. කෙටි පණිවුඩ, මුහුණු පොත, වට්ස් ඇප්, වයිබර් වැනි අති නවීන අසීමිත සන්නිවේදන අවකාශයක් ශ්‍රි ලංකාව වැනි අධ්‍යාත්මික හා සංස්කෘතිකමය වශයෙන් දියුණු නොවූ සමාජයක පවුලක් කෙරෙහි බලපාන අයුරු යම් පමණකින් මෙහිදී සංවාදයට බඳුන් කෙරේ.
‘දැකල පුරුදු කෙනෙක්’ මාධ්‍ය දර්ශනය නරඹා අවසන් වූ පසු මට හැඟුණේ එහි තිර රචනය වඩාත් සුදුසු ගුවන් විදුලි නාට්‍යකට බවය. අතරමැද දිගහැරෙන අනවශ්‍ය ලිංගික දර්ශන ඉවත් කළ විට එය කොටස් වශයෙන් පළ වන ටෙලිනාට්‍යකටද උචිතය. සුපිරි වෙළඳසැලක් තුළ රූගත කරන ලද දර්ශනය හා තවත් දර්ශන දෙක තුනක් හැරෙන්නට දර්ශනතල චිත්‍රපටය තුළ කේන්ද්‍රීය වන නිවසින් පිටතට විහිද ගොස් නැත.

මිනිත්තු 133ක් පුරා සචිත්‍ර (බිමල් ජයකොඩි) දිනිති (සමාධි ලක්සිරි) වෙත එල්ල කරන මානසික පීඩනය ප්‍රේක්‍ෂකයාට අපමණ වෙහෙසක් ගෙන දෙයි. චිත්‍රපටය අතරමග දිගහැරෙන කිසිදු සෞන්දර්යයකින් තොර අපුල දනවන ලිංගික දර්ශනය චිත්‍රපටය සඳහා අව්‍යශ වූ හේතුව හා අරමුණ අපැහැදිලිය. චිත්‍රපටයේ අවසන් ජවනිකාව ලෙස දිගහැරෙන මංගල පෝරුවේ චාරිත්‍ර සහ ජයමංගල ගාථා දුර්වල තිර පිටපතක අඩ අඳුරේ සැඟවුණ චිත්‍රපටයක් බව ප්‍රේක්ෂකයාට හඬගා කියමින් අවසන් වේ.

චිත්‍රපටය පුරා දීප්තිමත් රිදි රේඛාවක් සේ විහිදෙන්නේ ප්‍රධාන චරිතයට පන පොවන සමාධි ලක්සිරිගේ විශිෂ්ට රංගන ප්‍රතිභාවයි. මෙය ඇයගේ කුළුදුල් චිත්‍රපටය වීම විශේෂත්වයකි. කැලණිය විශ්වවිiාලයෙන් වේදිකා නාට්‍ය පිළිබඳ හැදෑරු සමාධි, ධනුෂිකා නයනකුමාරිගේ ‘ජනේලයෙන් පනින්නද’ප්‍රියන්ත සිරිකුමාරගේ ‘බර්නාඩාගේ සිපිරිගෙය’ රාජිත දිසානායකගේ ‘සිහින හොරු අරන්’, ‘බකමූණා විදී බසී’, ‘හිතලා ගත්ත තීරණයක්’වැනි ප්‍රකට වේදිකා නාට්‍යවල රඟපාමින් සිය රංගන කෞශල්‍ය වැඩි දියුණු කරගත් ශිල්පිනියකි. ඇයගේ සාර්ථකත්වයට හේතුව වේදිකාව තුළින් ගොඩනගාගත් පරිචයයි. සමාධි ලක්සිරිගේ සොයා ගැනීම අධ්‍යක්ෂකවරයාගේ ජයග්‍රහණයකි. ඇගේ සිනමා භූමිකාව පිළිබඳ හෙට දිනයේ වැඩිපුර යමක් කතාකළ හැකිවනු ඇත.
සමාධි ලක්සිරිට සමගාමීව බිමල් ජයකොඩි පරිසමාප්ත රංගලනයක නිරතවන අතර බිමල්ගේ රංගන දක්ෂතා පිළිබඳ මෙයට පෙර බොහෝ දේ කතාබහ කර ඇති නිසා මෙහිදී එයට අවකාශයක් නැත. ජගත් මනුවර්ණගෙන් මීට වඩා කාර්යයක් කරගත හැකිව තිබුණු බව පෙනේ.

කෙසේ වුවද, ගුවන් විදුලි හෝ ටෙලිනාට්‍ය පිටපත් රාමුවෙන් මිදී ‘දැකල පුරුදු කෙනෙක්’ වෙනස් විය යුතුව තිබුණු සිනමා පටයකි.