මට තිබුණෙ අහිංසක ප්‍රේමයක් ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල

විමලනාත් වීරරත්න
ඡායා : රවීන්ද්‍ර පුෂ්පකුමාර

කොතලාවල යනු ලංකාවේ චිරප්‍රසිද්ධ නමක්. ඒ නමට ලියෝනි කොතලාවලගෙ සම්බන්ධයක් තියනවද?

මගේ නම ලියෝනි මෙන්ඩිස් වීරසිංහ. මගේ මහත්තයා තිස්ස කොතලාවල. එයා සර් ජෝන් කොතලාවලගෙ පරම්පරාවෙ කෙනෙක්. මගේ මහත්තයයි, එයාගෙ තාත්තයි දෙන්නම පරම්පරාව පැත්තකින් තියලා බිමින් ගිය අය. මහත්තයා ජර්නලිස්ට් කෙනෙක් වෙන්නෙත් බිමින් ගිය නිසානෙ. එයා දවස පත්තරේ ඡායාරූප ශිල්පියෙක්. අපි දෙන්නා බැන්දට පස්සෙ ඉතිං මම මිසිස් කොතලාවල වුණා. එච්චරයි.

ඔබ සීතා කුමාරි කියන ශිල්පිනියට සමාන්තරව මෑත අවධියේ මවගේ චරිතයට ලාංකීය ග්‍රාමීය පැහැය දුන් නිළිය ලෙස හැඳින්විය හැකියි. ඒ ගැන ඔබේ හැඟීම මොකක්ද?

ඇත්තටම මම ගැමි ගැහැනියගේ චරිතය කරන්නෙ නාගරිකව හැදුණු වැඩුණු කාන්තාවක් හැටියටයි. අම්මා යනු අම්මාම වුවත් කොළඹ හැදුණු කෙනකුට ග්‍රාමීය මවගේ චරිතය කිරීම පහසු නැහැ. මගේ ගුරුවරයා වූ ජී.ඩී.එල්. පෙරේරා මහත්මයා මට මේ චරිත නිරූපණය ගැන පෙර පාසලකදී වගේ දේවල් කියලා දීලා තියනවා. මුහුණේ හැඟීමෙන් චරිතයක අභ්‍යන්තරය මතුකර ගන්නේ කොහොමද, ඇඳුම ගමන කතා විලාසය චරිතයට අනුරූපව භාවිත කරන්නේ කොහොමද වැනි කාරණා ගැන නාට්‍යයට පෙර අපි කාටත් ඔහු අභ්‍යාස තුළින් පරිචයක් ලබා දුන්නා. පසුකාලයේදීත් මට ප්‍රයෝජනවත් වෙලා තිබෙන්නේ ඒ අවබෝධය කියලයි මම හිතන්නේ.

නගරයට බද්ධ වෙච්ච ඔබේ යටගියාව කොහොම එකක්ද?

මම ඉපදුණේ කොටහේනේ. ඒ 1945දී. සීනියර් විභාගය දක්වා යහපත් එfඬ්රාගේ කන්‍යාරාමයේ ඉගෙන ගත්තා. අපේ අම්මට ඕනෙ කරලා තිබුණෙ මාව නිළියක් කරන්න. ඇත්තටම නාට්‍යවලට සම්බන්ධ වෙලා පුහුණුවට ගිහින් ආවට පස්සෙ මට ඇඟට හරි මහන්සියි. පාඩම් කරන්න හිතෙන්නෙම නැහැ. දවසක් මම තාත්තට කිව්වා මට දෙකක් කරන්න බැහැ. නාට්‍ය රඟපාන එක දිගටම කරගෙන යනවා කියලා. මට අයියයි, අක්කලා දෙන්නයි හිටියේ. මම තමයි බඩ පිස්සි. ඉතිං මට ගෙදරින් අනික් අයට වඩා පොඩි නිදහසක් දීලා තිබුණා.

බඩ පිස්සි නිසා කිසිම බලපෑමක් නැතුව ඕනෙ දෙයක් කරන්න ඉඩ දුන්නද?

නෑ, නෑ. මගපෙන්වීමක් කළා. උදාහරණයක් හැටියට ගත්තොත් තාත්තා අපිට ගෙදරදි ඉංග්‍රීසියෙන් කතා කරන්න උපදෙස් දීලා තිබුණා. සිංහලෙන් කතා කළොත් ශත 5ක් කැටේට දාන්න ඕනෙ. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව ගැන ගෙදරදිම සෑහෙන දැනුමක් ලැබුණා. රේඩියෝ සිලෝන් එකට ඒ කාලෙ මම යනකොට සමහරු කිව්වෙ ඔන්න කඩුව එනවා කියලයි. නැටුම් කරන්නත් මගේ කැමැත්තක් තිබුණාට අම්මට නම් ඕනෙ වුණේම මාව රඟපෑමට යොමු කරන්නයි. තාත්තත් ඒකට අනුකූලතාව දැක්වූවා.

නාට්‍යවලට සම්බන්ධ වුණේ කොහොමද?

මගේ බාප්පා තමයි ස්ටැන්ලි වීරසිංහ. ඔහු වැඩ කළේ ටයිම්ස් ඔෆ් සිලෝන් එකේ. එයාගෙ හොඳම යාළුවො දෙන්නෙක් තමයි සරත් විමලවීරයි, කරුණාරත්න අබේසේකරයි. මාව බාප්පා මුලින්ම කරු අයියා රේඩියෝ සිලෝන් එකේ කරපු ‘ළමා උයන’ වැඩසටහනට දැම්මා සිංදු කියන්න. මාත් එක්ක අක්කල දෙන්නත් ආවා. ඔය අතරෙ තමයි මගේ පියාගේ මිතුරකු වන ධර්මා හඳුන්ගේ මාර්ගයෙන් ජී.ඩී.එල්ගෙ කලා පෙළ නාට්‍ය කණ්ඩායමට මම සම්බන්ධ වෙන්නේ. ධර්මා කියන්නේ ජී.ඩී.එල්ගෙ අයියා. 62දී මාව ඔහු සාමා නාට්‍යයේ ප්‍රධාන චරිතයට තෝර ගන්නවා. 62දීම කලා මණ්ඩලයෙන් පවත්වපු නාට්‍ය උළෙලට ජී.ඩී.එල්. තවත් නාට්‍යයක් කළා. ‘මෙහෙව් ලෝකෙක’ කියලා. ඒක ඇත්තටම පළමු රාජ්‍ය නාට්‍ය උත්සවය කියලා කියන්න පුළුවන්. ඒකෙදි මම හොඳම නිළිය වෙනවා. සුගතපාල ද සිල්වා නිෂ්පාදනය කරපු බෝඩිංකාරයෝ නාට්‍යයේ රඟපෑ ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර හොඳම නළුවා වුණා. බෙස්ට් ප්‍රඩක්ෂන් එක සුගත්ගෙ බෝඩිංකාරයෝ.

හොඳම නිළිය වුණාම ලැබුණු ප්‍රතිචාර මොනවද?

ගෙදර ගියා විතරයි අපේ අම්මා මාව ඉඹගෙන ඉඹගෙන ගියා. මං බොරුවට කේන්තියක් මවාගෙන කිව්වා ඇති ඇති ඔයා මාව මේකට ඇදලා දාපු නිසා මට ඉගෙන ගන්නත් නැතිවුණානෙ කියලා. කොහොමහරි මේකෙන් පස්සේ ජී.ඩී.එල්. මහත්තයා එයාගෙ සාමා නාට්‍යයෙන්ම චිත්‍රපටියක් කළා. ඒකෙත් ප්‍රධාන චරිතය කළේ මම.

මේවා කරද්දි සල්ලි හොඳට හම්බ වුණාද?

මොන සල්ලිද? නාට්‍යයෙ සල්ලි තමයි චිත්‍රපටියට දැම්මෙ. ජී.ඩී.එල්. හොඳ රස්සාවක් කළා. ඒකෙ සල්ලිත් චිත්‍රපටියට දැම්මා. ශිල්පීන්ගෙ මව්පියො උදව් කළා. ත්‍රී සිස්ටර්ස්ලගෙ තාත්තා ජී.ඩී.එල්. ගෙ හිතවතෙක්. එයත් අපිට තව සල්ලි ටිකක් දුන්නා. ඒ කාලෙ අපිට නිෂ්පාදකයො නැහැ. අපේ සල්ලි වලින්මයි චිත්‍රපටිය කළේ.

64දි ජී.ඩී.එල්. තොටුපල කියන ජාතික ප්‍රශ්නය තේමා කරගත් නාට්‍යය කළා. ඒ ගැන ඔබේ අත්දැකීම කොහොමද?

මමනෙ ඒ නාට්‍යයෙ ළමයෙක් හම්බවෙන්න ඉන්න අම්මගෙ චරිතෙ කළේ. ඒ වෙනකොට ජාතික ප්‍රශ්නය කියලා එකක් රටේ නැහැ. ඒත් ජී.ඩී.එල්. හුඟාක් දුර දැකලා තියන බව 64 වගේ කාලෙකදි මේ නාට්‍යය කිරීමෙන් පෙනී යනවා. මාසෙකට වඩා පිටපත කියෙව්වා. ඊට පස්සේ දවස ගාණේ පුහුණුවීම්. පණ යන වැඩක්. ඒ කැපවීමෙන් තමයි අපි ගුණාත්මක දේ උපයා ගත්තෙ. බුද්ධි වික්‍රම, දෙනවක හාමිනේ, ෆීලික්ස් ප්‍රේමවර්ධන, ධම්ම ජාගොඩ, ෂෙල්ටන් සිල්වා, සුගතපාල සෙනරත් යාපා වගේ විශිෂ්ටයන් පිරිසක් මේ දවස්වල කලා පෙළේ වැඩ කළානෙ. නාට්‍යවලට අපේ සංගමෙන් පිට අය ගත්තෙත් නැහැ.

කලා පෙළ, අපේ කට්ටිය. සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කණ්ඩායම ආදී වශයෙන් ඒ කාලෙ පැවති කොටුකර ගැනීම නිසා ශිල්පීන්ටයි, ඒ ඒ නාට්‍යකරුවන්ටයි යන දෙපිරිසටම ලොකු පාඩුවක් වුණා නේද?

ඔව්. ඒත් ඒ කාලෙ අපිට ඒක හරියටම තේරුණේ නැහැ. අපි ජී.ඩී.එල්. පෙරේරගෙ කලා පෙළේ නාට්‍යවල රඟපෑවා. සුගතපාල ද සිල්වා අපේ කට්ටිය නාට්‍ය කණ්ඩායමේ වැඩ කරගෙන ගියා. සරච්චන්ද්‍ර මහත්තයත් එහෙමනෙ. ඒක වෙනස් වෙන්න ඕනෙ කියලා ඒ දවස්වල අපිට වඩා දැනමුතු අයවත් කිව්වෙ නැහැ.
ඔබට සුගත් හා සරච්චන්ද්‍ර මුණ ගැසුණා නම් කරන්න තිබුණු වැඩ පරාසය තව විශාල වෙන්න තිබුණනෙ.
අද එහෙම හිතෙනවා. ඔවුන් සමග පමණක් වැඩ කළ ශිල්පීන්ටත් ඒ ප්‍රශ්නයම බලපාන්න ඇති.

ලියෝනිට ඒ කාලෙ සයිමන් නවගත්තේගම හම්බවෙලා තියෙනවද?

අනේ හම්බවෙලා නැහැනෙ. හරිම දක්ෂ කෙනෙක් නේද? මම ඉතිං එදත් අදත් වැඩි ගමන් බිමන් නැහැ. වැඬේ ඉවර වුණු ගමන් ගෙදර එනවා. මම හුඟක්ම සමාගමය සොයාගෙන ගියෙත් නෑ.

තිස්ස කොතලාවල මුණගැහෙන්නෙ කොහොමද?

තිස්ස දවස පත්තරේ ඡායාරූප ශිල්පියෙක්. කොටහේනෙ අපි දන්න රිපෝටර් කෙනෙක් හිටියා දවසේ වැඩ කරන. එයත් එක්ක තමයි තිස්ස මගේ පින්තූර ගන්න අපේ ගෙදර ආවෙ. ඒ සාමා චිත්‍රපටය කළාට පස්සෙ. ඇත්තටම ඒ දවස්වල අපේ පින්තූර කවුරුවත් පත්තවල දාන්නෙ නැහැ. මොකද අපි කළුයිනෙ. එවකටත් කළු සුදු භේද තිබුණා. පාට තියන අයගෙ තමයි පින්තූර නිතර පත්තරේ ගියේ. මම ඉතිං එච්චර ලස්සනත් නැහැනෙ. ඒත් තිස්ස ගත්තු හොඳ පින්තූරයක් විසිතුර පත්තරේ අග පිටුවෙ පළවුණා. ඒකෙන් තමයි මං ගැන හුඟක් අය දැන ගත්තේ. ඒ ගැන මගේ මහත්තයට මම ණයගැතියි. ඊට පස්සෙ දිගටම එයා මම ඉන්න නාට්‍යවල පින්තූර ගන්න ආවා. දවසක් එයා මගෙන් යාළුවෙන්න ඇහුවා. මම එයාගෙන් අවුරුද්දක් කල් ඉල්ලුවා. මොකද එයා ෆොටෝ ග්‍රැෆර් කෙනෙක්. මම නිළියක්. අපි දෙන්නා එකිනෙකා තව ටිකක් අවබෝධ කරගෙන ඉඳිමු කියලයි මං කිව්වෙ. ඇත්තටම අපි දෙන්නට තිබුණෙ අහිංසක ප්‍රේමයක්.

අවුරුද්දකට පස්සෙ වචනෙ දුන්නද?

වචනෙ දුන්නා. ඒත් ගෙවල් දෙකේම අය විරුද්ධයි. අපි අපේ කැමැත්තට බැන්දා. මේ දවස්වල මම චණ්ඩාලි චිත්‍රපටයේ රඟපාලා, රුබීද මෙල්ගෙ පිපෙන කුමුදු චිත්‍රපටයෙන් දඟකාර චරිතයක් කරමින් හිටියෙ. මම නිළියක් නිසා තිස්සගෙ ගෙදරින් කැමති නැහැ. තිස්ස බුද්ධාගමේ නිසා අපේ ගෙදර අය කැමති නැහැ. 66 අවුරුද්දෙ අපි වගේම බැන්ද තවත් අපේ යාළුවො කීපදෙනෙක්ම හිටියා. ඇල්ෆ්‍රඞ් එදිරිමාන්න සුමනාව බැන්දා. පියදාස විජේකෝන්ගෙ දුවත් බැන්දා. සන්ධ්‍යා කුමාරි උපාලි පෙරේරාව බැන්දා. මේ සේරම හදිසි විවාහ. අපි දෙන්නා ඉතිං ලොකු පුතා හම්බවෙන්න ඉන්න කොට ආපහු ගෙවල්වලට ගියා. ප්‍රශ්නෙ ඉවරයි.

රුක්මණී දේවි වැනි නිළියක් සමග ‘පිපෙන කුමුදු’ රඟපාන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඇය ගැන තිබෙන මතකය කොහොමද?

රුක්මණී දේවි කියන්නෙ නිළියක් නෙවෙයි. දේවතාවියක්. ඇය ඒතරම් ශ්‍රේෂ්ඨයි. මම ඒ චිත්‍රපටියෙ කළේ දඟකාර කෙල්ලකගේ චරිතයක්. රුක්මණී දේවි පාසලේ වෝර්ඩන්. මම ඇයව බිම වට්ටවලා පහර දෙන දර්ශනයක් ඒකෙ තිබුණා. මට ඒක කරන්න බැහැ කියලා කෑගහලා ඇඬුවා. තිමති වීරරත්න කැමරා අධ්‍යක්ෂ. එයා කිව්වා චූටි කෙල්ල මෙහෙ එන්න මට ඔයාව තේරෙනවා. ඔයා ඇක්ෂන් එක විතරක් දෙන්න, මම ඉතුරු ටික කරන්නම් කියලා. ඒ අනුව මම කකුල් මාට්ටුව දැම්මෙ වෙන කෙනෙකුට. බිම වැටුණෙ රුක්මණී. මම ඊළඟට එයාගෙ ඇඟ උඩ නැගලා පහර දෙන්න ඕනෙ. ඒක කරන්න බැහැයි කියලා අඬන කොට රුක්මණී ඉතාම ළයාන්විත විදියට කතා කරලා ඒ සීන් එක ගන්න මාව යොමුකර ගත්තා. ඒත් ඒ දේවතාවිය මිය ගියාට පස්සෙ එයාගෙ මූණ බලා ගන්නවත් අපිට බැරිවුණා.

ටෙලි නාට්‍ය මාධ්‍යයට ආවේ කොහොමද?

82දී ලූෂන් බුලත්සිංහල තමයි මාව සෝමාගේ සිහිනය කියන ඒකාංගික නාට්‍යයට මුලින්ම ගත්තෙ. ඊට පස්සෙ මම ඔහුගේ තාරාදේවි එකෙත් කන්‍යා සොයුරියකගේ චරිතය කළා. 88දී තිලක් ගුණවර්ධන කරපු කුමාරිහාමි ටෙලිනාට්‍යයට මම ඕසීඅයිසී හොඳම නිළිය සම්මානය ලැබුවා. ඒක නම් පුදුම වැඩක්. මාව නොමිනේට් වෙලා කියලා ආරාධනා පත්‍ර ලැබුණට මම ඒකට නොයන්නයි හිටියෙ. අපි එතකොට හිටියෙ ඇල්විටිගල ප්ලැට්ස්වල. ගැමුණු විජේසූරිය තමයි ලියෝ යං කියලා මාව උනන්දු කරලා එල්ෆින්ස්ටන් එකට එක්කගෙන ආවා.

දැන් ඔබ නිළියක් ලෙස ඉලක්ක ජයගෙනද ඉන්නෙ?

මට ඉලක්ක තිබුණෙ නැහැ. අපේ තාත්තා මට නිතරම කියන එකක් තමයි “Live or die” ලියෝ කියන එක. මමත් ලිව් නැත්නම් ඩයි මතයේ ඉන්න කෙනෙක්. කරදර නැතුව ආත්මයට සැනසීමක් ලබාගන්න එකනෙ අපි කාටත් වැදගත්.

ඔබත් කාර්ය බහුල නිළියක්නෙ. අද කාලෙ ටෙලිනාට්‍ය ගහන විදියට එහෙම සැනසීමක් තියෙනවද?

මම නම කියන්නෙ කියන්නෙ නැහැ. අපි වැඩ කරපු එක ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා. එයා දවසට සීන් 13-14ක් ගහනවාම තමයි. උදේ 6.30ට පටන් ගත්තාම රෑ හත පහුවෙලත් වැඩ. මාවත් දවසක් මිනිහට අහුවුණා. මට හොඳටම වෙහෙසයි. ඒත් මං සීන් එකට යන්නෙ හරියටම අවශ්‍ය කාලය අරගෙන. මොකද එයාට හදිස්සි වුණාට මම කරන රංගනයනෙ ප්‍රේක්ෂකයො දකින්නෙ. හැබැයි හුඟක් මානුෂික හා දක්ෂ අධ්‍යක්ෂවරුත් මේ අතරෙ ඉන්නවා.

ගාමිණී සහ විජය කුමාරතුංග එක්ක ඒ දවස්වල වැඩ කරලා තියනවද?

නැහැ. ගාමිණී නම් ටිකක් ආඩම්බර මනුස්සයා. විජය එහෙම නැහැ. විජයලයි අපියි එක කාලෙක එකම ෆ්ලැට් එකේ හිටියා. මම බොරැල්ලට බස් එකේ යන්න ෆ්ලැට් එක ළඟ හෝල්ට් එකේ ඉන්න කොට විජය කාරෙකේ එනවා. විමුක්ති උකුළ උඩ තියාගෙන එයා ඩ්‍රයිව් කරනවා. යශෝධරා අනෙක් සීට් එකේ. මං ඉන්න තැන කාරෙක නවත්තලා ඒයි ලියෝ මං උඹව දාගෙන ගියොත් එහෙම හෙට උඹව ගෙදරින් එලවන්න පුළුවන්. ඒ නිසා මම යනවා කියලා අත වනලා විහිළුවකුත් කරගෙන විජය යනවා.

මේ දවස්වල රඟපාන සංගීතය කියන ටෙලිනාට්‍යය ගැන ප්‍රේක්ෂකයො මොකද කියන්නෙ?

ඒකෙ බිසෝ මැණිකා යක්ෂණියක් කියලා රසිකයො කමෙන්ට්ස් එවනවනෙ. රසිකයො අපි කරන විවිධචරිත ගැන හොඳ අවධානයකින් ඉන්නෙ. මම කරපු අම්මගෙ චරිත ගැන හුඟක් දුක්බර දේවලුත් ලියලා එවනවා. මම ඒ කවර ප්‍රතිචාරය දෙසත් උපේක්ෂාවෙන් බලනවා.