‘කලම්බො’ හද කළඹන දේශපාලන ලියවිල්ලක්

ටිරන් කුමාර බංගගමආරච්චි

පොතක ඇලෙමින්, ගැලෙමින්, සරමින් ඒ කාලය තුළ ‘රහට වහල්’ වන්නට හැකිනම් මට හිතෙන්නේ ඒක මරු පොතක්. ඒ කියවපු පොතත් එක්ක ටික කාලයක් එයින්ම හිරිවැටිලා හිතින් ඒ ගැනම හිත හිතා කාලයක් ගෙවලා දාන්න පුළුවන් නම් එහෙනම් ඒක අපූරු පොතක්. තව කාත් එක්ක හරි කියන්න පුළුවන් නම් අපූරු පොතක් කියෙව්වා කියලා ඒ කියන්නේ ඒක පොතක්.

පොතක් කියන්නෙ මධු සාදයක් නොවෙයි වුණත් මධු සාදයක් වන් පොත් තියෙනවා. පරිවර්තන අස්සේ එහෙම ඒවා අට්ටි ගණන් හම්බ වෙනවා. ඒත් අපේ ඒවා අහුවෙන්නේ හරි අඩුවෙන්. ඒ අඩුව අස්සේ මා ලද එවැනි පොතක් තමයි මොහාන් රාජ් මඩවලගේ ‘කලම්බො.’

මම ඒකට කැමති ඇයි කියලා කෙටියෙන් කිව්වොත් මම කියන්නේ ඉහත වනපු සියලු වැනිලි මට ඒකේ අහුවෙනවා. කෙටියෙන් එපමණයි.
මොහාන් කියන්නේ මෙරට සාහිත්‍ය කතිකාව තුළ ඉන්න මැජික්කරුවා කිව්වොත් හරි. ඔහු අපූරු කතාකාරයෙක්. ඒක කතා පෙට්ටියක් නෙමෙයි. කතා කාමරයක්.
බෝදිලිමා කෙටි කතා සංග්‍රහයෙන් ලිවීමට දොරගුළු ඇර ගත්ත මොහාන් ‘මාගම් සෝලිය’ නවකතාවත් සමග මෙරට කතාබහට අහුවෙන චරිතයක් බවට පත්වෙනවා. ඒක එක හුස්මට කියවන අය හතිලන්න පටන් ගත්තේ පොතේ නොනැවතී ගලා යන ලිංගිකාස්වාදයෙන් මත්වෙලා. ඒ හතිලන ගමන් හැමෝම කළේ මොහාන් පතුරු ගහන එක. ලිංගික ආස්වාදය බලා රසවිඳින අය ඒකෙන් මිදුණහම අතෘප්තිකර හැඟීම්වලින් පෙළෙනවා. එහි ප්‍රතිඵලය දැඩි විවේචනය. ‘මාගම් සෝලිය’ හරහා පටන් ගත්ත මොහාන්ගේ නවකතා රැල්ල ලොවිනා, ආදරණීය වික්ටෝරියා සහ රැජින දක්වා වර්ධනය වන්නේ බලා ඉද්දි. මේ කතා සියල්ල කියවූ මට ‘මාගම් සෝලිය’ හරහා ලද මොහාන්කරණයෙන් මිදෙන්නට නොහැකි විය. කොටින්ම එක පොතක් කියෙව්ව කල සියල්ල කියෙව්වා සේ හැඟෙන, දැනෙන මට්ටමට මොහාන් එකතැන පල්වෙන ගල්වන මට්ටමක් පෙනුණි. එහෙත් ඒ මගේ දැක්ම විනා එය එසේ නොවිය හැකි බව අද මගේ හැඟීමය. ඒවාද නැවත කියවීමට වෙර දරමි.

ඉන්පසු මොහාන්ගේ නව ලියවිල්ල ‘කලම්බො’ නම් විය. සකල විධ වට්ටෝරු කලාව එකට හිඳුවා ඉහත පොත් සියල්ලෙන් මොහාන් යන පාර කපා ගන්නට ‘කලම්බො’ හරහා මොහාන් සමත් බව පොත කියවූ සැණින් පසක් විය. මොහාන්ගේ ඉහත පොත් සියල්ල අතර මොහාන් සෙවූ ඒ රටාවේ අවසානය මොහාන් ‘කලම්බො’වලට ගෙනාවා. ඒ අය කිසිවක් නිසා නොව, ‘කලම්බො’ යනු මට අනුව තනිකරම දේශපාලන ශානරයක්. මොහාන් මේ මොහොතේ දේශපාලනය ගෙඩි පිටින් ලියන සියලු නවකතාතරුවන් අබිබවා ශූර දේශපාලන ලියවිල්ලක් ‘කලම්බො’ හරහා පෙන්නුම් කරනවා. එය මතුපිටින් නොපෙනුණාට උඩ වැස්ම අහක් කළ පසු ඉතිරිවන්නේ ඒ දේශපාලන කියවීමමයි. හැමෝම මොහාන්ගේ මැජික් එක දැක්ක මිසක ඉන් එහා හෙව්වෙ නෑ. මැජික් කියන්නේම ඇස්බැන්දුමක්. ඒ ඇස්බැන්දුම් ස්වරූපයෙන්ම තමයි මොහාන් දේශපාලනය එලන්නෙත්. ඒකයි අපූරුව. මොහාන්ගේ මීට පෙර පොත් තුළ එහෙම තියෙන්නෙ ඇති. ඒත් මට අහුනොවුණේ මගේ අඩුවකට වන්නට ඇති. ඒත් ‘කලම්බො’ තුළදී මොහාන්ට මේක වහන්න බැරිවෙනවා. මොහාන්ගේ මැජික් එක මාට්ටු වෙනවා. වෙනසකට වුණේ ඒකයි. ඒත් ඒක තව කෙනකුට අහුනොවෙන්නට පුළුවන්. මොකද මේ ශූර ලියන්නා ඔහුගේ ලියවිල්ල හරහා ඕනෑම දෙයක් අවශ්‍ය අනුපානයට පෙරන නිසා. ඒ පෙරාපුවා ගහපුවහම ඉතිරිවන්නෙ මත්විල්ල විතරයි. ඒ මත්විල්ල හරහා කියන ඒවා නන්දෙඩවිලි වෙන්න පුළුවන්. ඒත් අමතක කරන්න එපා මතට කියවෙන නන්දෙඩවිලි වලිනුත් කියවෙන්නෙ ආත්මයෙන් එළියට පනින දේවල්. ආත්මීය දේවල්.

මොහාන්ගේ ‘කලම්බො’ පොත පෙරළෙන්නෙම කොළඹ එක්ක. ඒක වෙනස් වන හැටි පිටුවෙන් පිටුව පෙරළගෙන යන කොට අහුවෙනවා. මේ වෙනස සම්පූර්ණ දේශපාලනිකයි. ඒ චරිත, පරිසරය මේ හැම වෙනසක්ම ඉබේ නොව ඉබාගාතේ සැලසුම් අනුව වුණා කියලයි මොහාන් කියන්න තතනන්නෙ. එහෙමයි මට හිතෙන්නෙ. කිසිවක් ඕපපාතික නෑ. හැමදේටම ටක්කෙට හේතු තියෙනවා. අද කොළඹ ධන කුවේර ප්‍රදේශය වූ කුරුඳුවත්ත එදා කුරුඳු කැලයක් කියලා ඕන කෙනෙක් දන්නවා. ඒත් ඒ කුරුඳු කැලෙන් මහා ධනපති පන්තියක් බිහිවුණේ කොහොමද කියන පැනය මොහාන් හීනියට ලිහනවා. කුරුඳු කාගෙන දිවි ගෙවන මොහාන්ගේ මුල්කතාකාරයෝ කුරුඳුවත්තේ නියම අයිතිකාරයෝ. ඒත් අපි අද දකින්නේ සුදු පැහැ කුරුඳු පොලු. කුරුඳු පොත්ත තලලා ඉවත් කරන ලේසියට කුරුඳු පොලු මට්ටු කරන්න ලේසි නෑ. ඒවා මාර ශක්තිමත්. මෙන්න මේ කුරුඳු කෑමෙන් ඉතිරි වුණු පොලු ටික තමයි අවසානයේ කොළඹ කුරුඳුවත්තේ සමාජය බිහිකරන්නේ. මොකද ඒ කුරුඳු පොලු බොහෝ අය ඉන්පසු ආරක්ෂාවට ගත්තා. මේ කුරුඳු කෑම නිසා බැබලුණේ ‘කලම්බො’හි අඞ්රේලියා විතරක් නෙමෙයි. ඒක දිගටම බෝවුණා. ඇය කුරුඳු කෑවේ රහස නොදැන. රස දැනගෙන. ඒකයි වෙනස.

මොහාන් මේ ඉතිහාසය කියන්න බල්ලක් සහ බැළලියක් පාවිච්චි කරනවා. උන්ට දෙන නම් බැල්ල ඇලෙක්සැන්ඩ්‍රා සහ බළලා එඩින්බරෝ ලෙසයි. ඒ මොහාන් කියන්න හදන දේශපාලනය ඉක්මනින් තේරුම් ගත් සත්ව උත්සාහයක්. ඒක මට ඒ තරම් ගැඹුරක් නැහැ. ඒත් ඒ චරිත යොදාගෙන කියාගන්න බැරි තැන් කියනවාට මම කැමතියි. මොහාන්ගේ කතා කලාවේ ඒක විශේෂ අංගයක්. ජීව අජීවි සියල්ලට පණ දෙනවා. බෙහෙත තිත්ත නම් සීනි තවරලා හරි දෙනවා.

මොහාන්ගේ පොතේ චරිතෙන් චරිතය කතා කරන්න පුළුවන්. ඒත් ඒක එතකොට තව පොතක්. ඒ නිසා මම එයින් මිදී පොලා පනිනවා. මොහාන්ගේ එක චරිතයක් ට්‍රෑම් කාර් සමග සම්බන්ධයි. මේක කොළඹ වෙනස් හැරවුමක්. ඒ නිසා මොහාන් මේ චරිතය ගළපන්නෙම මේ කතාවේ ඔහුගේ රථය පදවන්නයි. මොහාන්ගේ මේ පැදවිල්ලත් ඒ වගේ සමාන්තරයි. කාටවත් අඩු වැඩියාවක් නෑ. කේබල් දිගේ යනවා.
ඒත් එහෙම වුණාට ඔහු ඒ අතර සුවිශේෂී ලෙස චරිත වෙනස් කරනවා. අනුන්ගේ ළමයින්ට මොහාන් එයාගේ කතාකාරයන් ලවා උප්පැන්න දෙනවා. ඒ ළමයා ලෙනින්. හදා වඩා ගත්තට ලෙනින් අපේ පොළොවට හරි නොයන්නෙම ඒකේ ජාතකය අපිට හරියන්නේ නෑ. එතනදි මොහාන් පුතාට ලෙනින් දාන ගමන් දුවට දාන්නේ එළිසබෙත්. මේ නම් තබන්නේ මොහාන් හරියටම නැකත් බලලා. ඒක ස්ථිරයි. මෙන්න මේ ගලායාම හමුවේ මොහාන් මේ චරිත උස් මහත් කරගෙන යන තැන් නවත්වන තැන් ස්ථාන ගතකරන තැන් තනිකරම කොළඹ මේ මොහොතේ දේශපාලන යථාර්ථයේ මුල් ලියලන හැටි මනාව පෙන්වනවා.

මේකේ එක ප්‍රධානතම චරිතයක් නම් සිරිවර්ධන ඇපොතිකාරි මහතාය. ඒ වූ කලී තනිකරම වමේ දේශපාලනය විනිවිද දැකීමකි. ස්ත්‍රී ලෝලීත්වයේ උපරිමය ගිහින් විඳින සිරිවර්ධන එය පහකර ගන්නේ මනෝ විකාරයෙන් මෙන් පෙළෙමින් මෙට්ටය බදාගෙන කොට්ටයේ කපු පුළුන් කමින්. ඒ ස්වයං තෘප්තිකරය පුරාවට ඇත්තේ මෙරට වමේ සන්තෑසියය. ඔවුන් කළේද මෙයමය. හැම ස්ත්‍රියකම සිතුවේ ඒ දේ දැන් වනු ඇතැයි කියාය. එහෙත් ඉතිරි වූයේ හීල්ලුමකි. කපු පුළුන් පමණි. එහෙත් මේ සැහැල්ලුව වම එළියට නොදී වැඩක් විදිහටම රැගෙන යෑම නිසා සමාජ පන්තියක් වෙනුවට ආතල් පරම්පරාවක කෙළවරක් පමණක් විය. ඒ පන්තියෙන්ම එය අහවර විය. එයට පහළ සමාජ පන්තිය ඈඳා ගැනීම වෙනුවට ඔවුන් කළේ ඒ පන්තිය ගැන හිතමින් බලාපොරොත්තු දල්වමින් කපු පුළුන් කෑමය. පහළ පන්තිය වුව ඉහළ වමට එකතු වී මිශ්‍ර පන්තියක් හදා ගන්නට උත්සාහ කළත් එය පැන්ටසියක්ම විය. මෙය මොහාන් මනාව ලිහන්නේය. මොහාන්ගේ ‘කලම්බෝ’ පොතේ මට අනුව සුවිශේෂීතම කොළඹ හැරවුම අදට උචිත ලෙස හදන චරිතය සිරිවර්ධනය.

එහි දිගුව විදියට එහි ආභාසය ලබා ඉදිරියට යන ධනපති පන්තිය නියෝජනය කරන කුරුඳු පොලු සමාජයේ කොරනෙල් උන්නාන්සේ හරහා එළිදකින්නේ මුල් වම අහිමි වත්මන් දේශපාලන ධනපති පරම්පරාවය. ඔහුගේ තෘප්තිය නම් නිරුවත් ස්ත්‍රී ශරීරය ඇස් මානයේ තබාගෙන ස්වයං වින්දනය ලැබීමය. ඒ ඔහුගේ දේශපාලන දැක්මය. මේ සමාජයම කොළඹ සමාජයම ස්ත්‍රී බියජනක සමාජයකි. විශේෂයෙන්ම ලිංගිකත්වය කෙරෙහි අප්‍රමාණ බිය ඇත්තවුන්ය. එය අද දවසේ දේශපාලන ප්‍රවාහය තුළ මනාව දැකිය හැකිය. මොහාන් මේ යථාර්ථය ‘කලම්බො’ හරහා මනාව ලිහයි. ලිහා පෙන්වයි.
මේ අතර ඇතැම් චරිත දියසේන කුමාරයා එනතුරු බලා සිටී. ඒ බලා සිටිනුයේ උමතු කාන්තාවකි. ඒ හරහාම එය උමතු බලාපොරොත්තුවක් බව මොහාන් අදටත් කියයි. මාද ඊට එකඟය. එය උමතුවකි. මොහාන් නොකියන එය මට වැටහෙන උමතුවද විය හැකිය.

මේ අතර කරක් ගැසිය හැකි හැම මානයකටම සෙසු චරිත සමග ලොකු වන්දනාවක් මොහාන් යයි. ඒ හැම එකක්ම එකින් එක ලිහන්නට ඇත්නම් අපූරු මුත් ඊට එතරම් විවේකයක් මට නැත. මන්ද මමද මේ කොළඹ නන්නත්තාර වූවෙක්ම බැවිනි. පොත පුරා අඛණ්ඩව ගලා යන මොහාන්ගේ සුන්දර ලිංගික ලියවිල්ල මන බඳිනසුලුය. ගැබ්බර වූ එච්ලින්ගේ ශරීරයම සිප ගැනීමෙන් උපරිම තෘප්තිය ලබන මිනිසා කියන වදන නම් ‘ඒ ආදරය’ යන්නය.
“මිනිහෙක්ට මූණු කීපයක් තියෙනවා වගේ ආදරේටත් මූණු ගොඩක් තියෙනවා.”

ඇත්තටම මොහාන්ගේ ලිංගික ලියවිලි ආදරණීයයි. ඒ තුළ ආදරය තියෙනවා. මේ පවුල තුළ ගෙදර බෙදාගන්න බැරි ලිංගික ඇසුර බෙදාගන්නේ කුරුඳු කැලේ මේවා අපූරු රූපක. කුරුඳු කැලේ ඉබේ හැදුණක් නොවුණු බව කියන්නට තැනූ අපූරු සමරු. ලංකාවේ දේශපාලනය කොළඹටත්, කොළඹින් කුරුඳු වත්තටත් සින්නවීම ඓතිහාසික වැඩක්. ඒක කලම්බො හරහා මොහාන් අපූරුවට කියනවා. ඒ අස්සේ මොහාන් මවන හැම චරිතයකටම ඔහු විශාල ජීවයක් පිඹිමින් එය මේ කතාවට අත්‍යවශ්‍ය බව ඒත්තු ගන්වනවා. කිසිදු චරිතයක් නොපෑහෙන්නේ නැති තැනට මොහාන් වග බලා ගන්නවා. ඒ හැම චරිතයක් හිතලුවලට වඩා පැරණි සිද්ධි සමග පැහිච්ච අත්‍යවශ්‍ය පුරුක් බව කියන්නට ඔහු ලොකු හැදෑරීමක් කරලා තියෙනවා. මැජික් ලන්තෑරුමේ ඉඳලා අහස් නැව දක්වාත් ට්‍රෑම් කාර්වල සිට 1915 සිංහල මුස්ලිම් කෝලාහලය දක්වාත් හැම දෙයක්ම මනාව ගළපනවා. බොරැල්ල කනත්ත, කයිමන් දොරකකඩ, ගෑස් ලාම්පු, වික්ටෝරියා පාලමේ සිට මහාමාරියාව දක්වා මොහාන් ලියනවා.

මොහාන්ගේ පොත තුළ විටෙක ඉළ ඇදෙන හාස්‍ය මතුවෙනවා. ඒ චරිත මවන අපූරුවයි. සැබැවින්ම අද අවුරුදු තිහක තරුණයා අවුරුදු දොළහ දහතුනක දැරියන් කෙළසද්දී මොහාන්ගේ කතාවේ අවුරුදු තිහක මිනිසා අවුරුදු දොළහක් දහතුනක් වන දැරිය වැඩිවියට පත්වී තමාට ගැළපෙන තෙක් ඉවසමින් කල් මරනවා. මේ නම් මොහාන්ගේ අපූරුම දැක්මය.

තව තව ලිවීමෙන් මොහාන්ගේ පොතේ පිටුවෙන් පිටුව ගලවන්නට නොරිසි. එබැවින් කිවයුත්තේ මෑත කාලයේ මා උමතු කළ අපූරු ලියවිල්ලක් මොහාන් ලියා ඇති බවය. ‘කලම්බො’ කියවූ මේ කිසිත් නොදැනුනු අයට නැවත හිතන්නැයි ඉල්ලමු. නොකියවූ අයට කියවන්නැයි කියමු. මොහාන්ගේ ‘කලම්බො’ අපූරු ලියමනකි. එය එතරම් කියවීමට වටිනා වියමනකි. දේශපාලන අච්චුවකි.
මේ ලියවිල්ල කෙනකුට අතිශයෝක්ති ගණයේ අංක එක විය හැක. කම් නැත. වුවමනාවමද එයය. දැනෙන දැනුණ දේ දැනුණ බව උපරිමයෙන් කීමය. කිසිදු චූටි හෝ අභිමානයක් සඟවා ගැනීමක් නොතියා අමුවෙන් කීමය. මොහාන්ගේ ‘කලම්බො’ පොත සැබැවින්ම මාව කැළැඹුවේය. ඒ කැළඹිලි ස්වභාවය තවම මට ඇත. එහෙත් මම මෙට්ටය බදාගෙන කොට්ටය නොකමි.