සැවොම වගකිව යුතුය

ඒ. වික්‍රමසූරිය

මෙරට ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇතිවී ඇති අර්බුද සුළු පටු නොවේ. ඒවා උඩින් පල්ලෙන් පිළිසකර කර සකස් කළ හැකි ඒවාද නොවේ. මේ නිසාම මේවාට අත පොවන විට පරිස්සමින් අත දමන්නැයි අපි ක්‍රීඩා ඇමතිවරුට නිතර මතක් කර දෙමු. එහෙත් බීරි අලීන්ට වීනා වාදනය කරන්නාක් මෙන් ඇමතිවරු බිහිරිව සිටිති.

ලංකාවේ ක්‍රීඩාවේ විනාශය ක්‍රීඩා ඇමතිවරු නිසාම වූවක් නොවේ. දේශපාලකයන්ට වඩා නිලධාරීහු අන්ත දූෂිතය. සංගම් නිලධාරීහු හොර තක්කඩිය. මේ නිසා ක්‍රීඩාව විනාශයටම ගියේය. එහිදී එතරම් පිරිසක් ක්‍රීඩාව හප කළේ ක්‍රීඩා ඇමති ප්‍රමුඛ අමාත්‍යාංශ නිලධාරීන් බව නොකියාම බැරිය. එහෙත් මේ දේශපාලකයෝ ටික කාලයකට පැමිණ යන්නෝය. එහෙත් ක්‍රීඩා සංගම්වලට රිංගා ගෙන සිටින නිලධාරීහු කවුරු බලයට ආවද කවුරු ඇමතිවරු වුවද තම ස්ථානවලින් නොසෙල්වෙති. නියමිත කාලය අහවර වනවිට හිටි තනතුරින් වෙනත් තනතුරකට මාරුවෙති. මෙලෙස බලන කල වසර විස්ස තිහ සිටිනුයේම එකම පිරිසකි. මේ අයට හරි හමන් රස්සාවක් නැත. ඒ නිසා ඔවුන් රස්සාව කරගෙන ඇත්තේද ක්‍රීඩා සංගම්ය. ඊට ලැබෙන මුදල්ය. ඒ නිසා අප කෙළින්ම කියනුයේ දේශපාලකයන්ට වඩා විනාශයක් ක්‍රීඩාවලට අරක් ගෙන සිටින බහිරවයන් කරන බවය. දේශපාලකයෝ උපරිම අවුරුදු පහක්, හතක් කල් මරති. එහෙත් සංගම් නිලධාරීහු මේවා මියෙන තෙක්ම නොයති. සංගම් නිලධාරිහු මෙලෙස සංගම් තනතුරු අත්නොහැරීමම ක්‍රීඩාවේ විනාශයට ප්‍රමුඛ හේතුව විය. අද ක්‍රීඩා සංගම් බොහොමයක් ඇතැමුන්ගේ පවුලේ ක්‍රීඩාය. ඒවායේ ලිපිනයන් පවා ඇත්තේ තම නිවසටය. ජාත්‍යන්තර සංගමයේ ඊමේල් පණිවුඩය එන්නේ නිවසටමය. තම පෞද්ගලික දුරකතනයටය. තත්ත්වය ඒ තරමට තම තම ගොඩව බෙදාගෙනය. පසුගිය කාලයේ පිහිනුම් සංගමයට එරෙහිව නැගුණ ප්‍රබල චෝදනාවක් නම් තම ඊමේල් එකේ මුරපදය ලබා නොදීමය. පිහිනුම් සංගමය විසුරුවා හැර අතුරු කමිටුවක් පත් කළේය. අතුරු කමිටුවලට එකඟවීම නොවීම වෙනම කරුණකි.

එහෙත් මුරපද ලබා නොදීම අවැසි පහසුකම් ලබා නොදීම අනුමත කළ නොහැකිය. එලෙස ක්‍රීඩා කිරීම හරහා ඔවුන් බිල්ලට දෙනුයේ පිහිනුම් ක්‍රීඩකයන් බැවිනි. මේ නිසා මේ ක්‍රීඩා සංගම් මාෆියාව සුළුපටු නැත. එය දේශපාලකයන් කරන විනාශයට වඩා දරුණුය. එකම පිරිසක් බලයේ රැඳී සිටිමින් ජයගැනීම මුදල් සහ විවිධ වරප්‍රසාද හරහා සිදුවන්නකි. ක්‍රිකට් සංගමය වුවද තිලංගගෙන් පිට නොයනුයේ ඔහු ඒ සඳහා එලා ඇති දැලේ මුදල් ඇමති ඇති නිසාමය. මේ තත්ත්වය සෙසු සංගම්ද හැකි අයුරින් කරති. එසේ නම් ඒ අයට වුවමනා කීයක් හරි වියදම් කොට සංගමයේ බලය ඇල්ලීමය. එලෙස ඇල්ලූ පසු ඒ අය රට සවාරි යයි. ක්‍රීඩාවේ නාමයෙන් උපරිම භුක්ති විඳිති. එහෙත් මෙයින් අසරණ වනුයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. ඔවුහු දෙපැත්තෙන්ම තැලෙති. මෙරට ක්‍රීඩා හැට ගණනකට වැඩිය. එයින් ක්‍රීඩා ලෙස පැවතිය යුත්තේ කුමක්ද යන්න වර්ග කිරීමක් වුවමනාය. ඉන්ද නොනැවතී වඩා ඉදිරියට යා හැකි ක්‍රීඩා තෝරා ගත යුතුය. එලෙස තෝරා ගත්තද එයට පූර්ණ දායකත්වය, අනුග්‍රහය මගපෙන්වීම කළ යුතුය. එයට ක්‍රීඩා අමාත්‍යාංශයක් අවැසිය.

ක්‍රීඩා ඇමති ප්‍රමුඛ නඩයට දැන්වත් අවධාරණය කරගත යුත්තේ ක්‍රීඩකයාගේ හෘදය ස්ඵන්දනය හඳුනා නොගෙන කරන ව්‍යාපෘති අසාර්ථක වන බවය.
අද ක්‍රීඩා සංගම් බොහොමයකට හරින්ව හමුවිය නොහැකිය. ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් හමුවිය නොහැකිය. ඒවා පූජනීය චරිත වී ඇත. ඕනෑවටත් වඩා කෙරුමන් වී ඇත.
එහෙත් ප්‍රශ්නය ඒ කෙරුම් කෲරකම් අද සංගම් නියෝජිතයන්ද මායිම් නොකරන තැනට තල්ලුවීමය. අද බොහෝ සංගම් ක්‍රියාකරනුයේ තනි කැමැත්තටය. ක්‍රීඩා පනත, ක්‍රීඩා බලධාරිහු මේ කිසිවෙක් ඔවුන් මායිම් නොකරති. මේ තත්ත්වයන් වර්ධනය වූයේ ඉබේටම නොවේ. මේවාට හේතු වූයේ ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රිඩා අමාත්‍යාංශ නිලධාරීන්ය. ක්‍රීඩා සහකාර තනතුරු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැනි කප්පරක් තනතුරු තිබුණද ඔවුන් කරන කාර්ය ඔවුන්ම නොදනිති.

මහින්දානන්ද අලුත්ගමගේ දයාසිරි දක්වාත්, දයාසිරිගේ සිට හරින් දක්වාත් පිට්ටනි හදන කතා ඇහේ. පිට්ටනි යනු ඇමතිවරුන්ගේ ඉල්ලමය. නාවලපිටිය ක්‍රීඩාංගණය අලුත්ගමගේට ඉල්ලමක් විය. දයාසිරි කුරුණෑගල ක්‍රීඩාංගණ හැදුවේය. දැන් හරින් බදුල්ලට හදන්නට යයි. මේවා අනවශ්‍ය යැයි අපි නොකියමු. එහෙත් ඊට පෙර මෙරට ඇති ප්‍රධානතම සහ එකම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණය නඩත්තු කරමින් රැක ගත යුතුය. සියලුම ක්‍රීඩාංගණය සුදු අලියෙක්ම විය. අද එහි ලගිනුයේ බල්ලෝය. මේ තැනට ක්‍රීඩාව පත්වූයේ කෙසේද? ක්‍රීඩාව බල්ලාටම ගියේ ඇයි?
පිහිනුම් සංගමය පුහුණුකරුවන්ගෙන් නඩත්තු විය. එය වැරදි බව කුඩා දරුවකු වුවද දනියි. එහෙත් පිහිනුම් බලධාරීහු තනතුරු අත්නොහැරියෝය. එයට දයාසිරි මෙන්ම ෆයිසර් වගකිව යුතුය. දැන් සංගමයක නිලවරණයක් හරියාකාරව කළ නොහැකිය. ක්‍රීඩා අමාත්‍යාංශය ඒවා ගණන් නොගනී. මේ වනවිට සංගම් ගණනාවක් නිලවරණවලට සූදානම් විය යුතුය. ඒවා නිසි ලෙස වනවාද යන්න අමාත්‍යාංශය අධ්‍යයනය කළ යුතුය.

හරීන් ප්‍රනාන්දු ක්‍රීඩාව ගැන අවංක වුවමනාවෙන් වැඩ කරනවා යැයි අපිට නොහැඟේ. ඔහු සිටිනුයේ වෙනම ලෝකයකය. ක්‍රීඩා ප්‍රශ්න කතා කරන අතරතුරද ‘ෆේස්බුක්’ යෑම හරින්ගේ සිරිතය. එවැනි ළාමක සිරිත් ඇති අය සමග මේ සෙල්ලම ගාම්භීරව කළ හැකිද?
ක්‍රීඩා ඇමතිවරයාට අවංක වුවමනාවක් නැතිව මේ ක්‍රීඩාව අඟලක්වත් ඉදිරියට ගෙනයා නොහැකිය. ඊට ඔහුගේ අවංක වුවමනාවක් නැති බව පැහැදිලිය. ක්‍රීඩාව විනාශ වූයේ ඇමතිවරයා සේ ම නිලධාරිනුත්, සංගම් බහිරවයනුත් නිසාය. මේ සියලු හොර තක්කඩින් මට්ටු නොකොට ක්‍රීඩාව හැදිය නොහැකිය.