අපරාධකරුවන් නිදහස් වීම

විපුල අබේසිංහ

අතුරුදහන් වූ තම ස්වාමි පුරුෂයින් සොයා ගිය බිරින්දෑවරුන් දෙදෙනකුට අවසානයේ හමුවූයේ දැවී ගිය අස්ථි කැබලි කිහිපයක් පමණි. එය සිතේ මවා ගැනීමට පවා අපහසු බියකරු චිත්‍රයකි. මැරෙන තුරු පහර දීම යනු ම්ලේච්චත්වයේ උපරිමයයි. යුද්ධ කාලයේදී පවා අප අතින් කුරා කුහුඹුවකුට හෝ අනතුරක් නොවී යැයි ජාත්‍යන්තරය ඉදිරියේ කෑ මොර දුන්නද දිනපතා ලංකාවේ පොලිසිය තුළින් ඇසෙන්නේ මෙවැනි ඛේදජනක ප්‍රවෘත්තිය. මීට මාස කිහිපයකට පෙර මෙවැනි සිදු වීමක් ජාඇල ප්‍රදේශයෙන්ද ඇසුනි. සුපුරුදු පිටපත එවර තරමක් වෙනස් කර තිබුණි. වෙනදා එය සිදු වන්නේ සඟවා තැබූ ආයුධ පෙන්වීමට ගොසිනි. මෙවර එය වැසිකිලි යාමට යැයි පවසා ගඟට පැනීමෙනි. මෙවැනි කතා සත්‍යයක් ලෙස මොහොතකට අප සිතුවද පොලිසියට වගකීමෙන් ගැලවිය හැකිද? අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු සිටින්නේ සම්පූර්ණයෙන්ම පොලිසිය භාරයේයි. සැකකරු සම්බන්ධයෙන් වූ සියලුම වගකීම පොලිසිය භාරගත යුතුය. ගඟට පැන්නා යැයි කියා පොලිසියට අත සෝදා ගත හැකිද? එය එසේ වී නම් පොලිසිය සිය රැකවරණය සැකකරුට ලබා දී නැත. පොලිසිය සිය වගකීම හරිහැටි ඉටුකර නැත.

කුමන තරාතිරමක පුද්ගලයකු වුවද කුමන චර්යා රටා ඇති පුද්ගලයකු වුවද ඔහුගේ හෝ ඇයගේ ජීවිතය පැහැර ගැනීමට තවකෙකුට කිසිම අයිතියක් ඇත්තේ නැත. අඩුම තරමින් මේ සම්බන්ධයෙන් හෝ අදාළ පොලිස් නිලධාරීන්ට දඬුවම් ලැබිය යුතුය. එහෙත් මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක අදාළ පොලිස් නිලධාරීන්ට මොනම හෝ දඬුවමක් ලැබෙන්නේ නැත. අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ වගවීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ගත් ක්‍රියාමාර්ගය කුමක්ද? මෙය නම් මහත්ම අභාග්‍යයකි. නීතිය ඉදිරියේ සැවොම සමානය යන්න හාස්‍යයට ලක් කරයි. අධිකරණය යනු සියලුම පුරවැසියන්ගේ ආරක්ෂකයායි. එහිදී ඇය පුද්ගල තරාතිරම, ජාතිය, කුලය කිසිවක් සලකා බලන්නේ නැත. අප සියලුදෙනාටම දිවයාමට ඇති දෙවොල එයයි. එහෙත් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ කිසිවෙක් වෙනුවෙන් ඇය යුක්තිය ඉටු කළේ නැත. යුදමය පරිසරයක් තුළ සිදු වූ සිදුවීම් මොහොතකට අමතක කළහොත් වැලිකඩ සමූල ඝාතනය සැලකිය හැක්කේ ලංකාවේ සිදු වූ දැවැන්තම ඛේදවාචකයක් ලෙසයි. බටහිර රටක මෙය සිදුවූයේ නම් එය මුලු රටම කළඹන සුළිසුලඟක් වනු නොඅනුමානයි. එහෙත් එය ලාංකිකයාට සුවය ගෙනදෙන මද පවනක්ම විය. ඒ මූසල නිහැඬියාවෙන් පෙන්වනු ලබන්නේ ශිෂ්ඨාචාරයේ අපි ස්ථානගත වන ඉමයි.

පොලිසියේ රාජකාරිය වන්නේ පරීක්ෂණ සිදු කර පිළිගත හැකි ප්‍රමාණවත් සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමයි. එය විමසා බැලීමෙන් අනතුරුව දඬුවම් නියම කිරීම අධිකරණයේ රාජකාරියයි. එහෙත් අධිකරණය සිදුකළ යුතු රාජකාරිය පොලිසිය විසින් පවරාගෙන ඇත. මරණ දඬුවමට අත්සන නොයෙදුවද මෙවැනි මිනීමැරුම් වලට විරුද්ධව වචනයක් හෝ ලංකාවේ ජනාධිපතිවරුන් විසින් පවසා නැත. එයින් පැහැදිලි වන්නේ මරණ දඬුවමට සිය අත්සන නොයොදන්නේ දියුණු ශිෂ්ඨාචාරමය ගතිලක්ෂණ නිසා නොව හුදු පෞද්ගලික පාපකාරී මිථ්‍යා විශ්වාස නිසා බවයි.

අවාසනාවන්ත නිහැඬියාව

මෙය පළමු සිදුවීම නොවේ. අවසානයද නොවනු ඇත. බරපතලම කාරණය වන්නේ මේ සම්බන්ධයෙන් සමාජයේ ඇති අවාසනාවන්ත නිහැඬියාවයි. නිහැඬියාවට යටින් ඇත්තේ අපරාධකරුවන් මෙසේ මරා දැමීමෙන් සමාජය ලබන අවාසනාවන්ත සතුටයි. අත්අඩංගුවේ දී මිනිසුන් මිය යෑමේ බරපතලකම සමාජයට තාමත් තේරෙන්නේ නැත. නිහඬතාවයෙන් හෝ අත්පොලසන් දීමෙන් අප විසින් සිදුකරනු ලබන්නේ පොලිසියට ඕනෑම පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන අපරාධකරුවකු ලෙස නම් කර මරා දැමීමේ අයිතිය ලබා දීමයි. හෙට දිනයේදී එම පුද්ගලයා ඔබ හෝ මා විය හැකිය. කිසිම ආගමික නායකයෙක්, කිසිම දේශපාලන පක්ෂයක්, මේ ගැන කිසිවක්ම කියන්නේ නැත. ජනමාධ්‍යයද ප්‍රවෘත්ති පළ කිරීමෙන් එහා දෙයක් කරන්නේ නැත. මෙවැනි තත්ත්වයක් යටතේ ජනමාධ්‍යයට කළ හැකි කාර්යභාරය අති විශාලය. එහෙත් ඔවුන් කරන්නේ පොලිසිය පවසන දෑ පමණක් ප්‍රවෘත්තියෙහි පළකිරීමයි. ගැටලුව ඇති තැන ජනමාධ්‍යයවේදියා හඳුනාගන්නේ නැත. ලාංකිකයා දියුණු මිනිසෙකු බවට පත් කිරීමට සිය පෑන හසුරවන්නේ නැත.

පොලිසියේ උභතෝකොටිකය

පසුගිය කාලයේ පුවත්පත් වාර්තා කීපයකින්ම කියවුනේ ලංකාවේ අධිකරණයට ඉදිරිපත් වන අපරාධ නඩු වලින් සියයට අනූ හයක අපරාධකරුවන් නිදහස් වන බවයි. එය බරපතල තත්ත්වයකි. එම තත්ත්වය ඇති වීමට බොහෝ හේතු තිබීමට පුළුවන. අපගේ අපරාධ පරීක්ෂණයන් සිදු කරන ක්‍රමවේදයන්ගේ බරපතල අඩුපාඩුකම් මෙන්ම අධිකරණ පද්ධතිය තුළ ඇති අඩුපාඩුකම්ද බලපානවා විය හැකිය. එහෙත් මෙවැනි තත්ත්වයන් රට තුළ ඇතිකරන්නේ කනගාටුදායක වටපිටාවකි. අපරාධ පරීක්ෂණ යනු සරල ක්‍රියාවක් නොවේ. අති වෙහෙසකාරී, දුෂ්කර ක්‍රියාදාමයකි. එවන් වෙහෙසකාරී ක්‍රියාවලියක අවසානයේ ලැබෙන ප්‍රතිඵලය මෙය නම් පොලිස් නිලධාරියා පත් වන්නේ කලකිරීමට හා දැඩි අපේක්ෂා භංගත්වයකටය. මීට ප්‍රතිපක්ෂව අපරාධකරු මෙවැනි වාතාවරණයක් තුළ අමන්දානන්දයට පත්වනවා නිසැකය. සියයට හතරක් යනු ලොතරැයි දිනුමක් ඇදෙනවාටත් වඩා ප්‍රතිශතයක් විය හැකිය. අපරාධයක් කිරීමට කිසිම බියක් අපරාධකරුට දැනෙන්නේ නැත. අපරාධකාරී ජීවිතයෙන් මිදීමට උත්සාහ ගන්නේද නැත. මෙවැනි නඩුවක තීන්දුව ලැබීමට අවුරුදු විස්සක් වැනි දීර්ඝ කාලයක් ගත වේ. එහෙත් ටික කාලයකින් ඇප ලබා පැමිණෙන අපරාධකරුට තීන්දුව ලැබෙන තෙක් සමාජයේ සාමාන්‍ය පරිදි ජීවත් විය හැක. අපරාධකරුවන් සමහර දෙනකුට දේශපාලන අනුග්‍රහයද ලැබේ. ඒ වෙනුවෙන් අපරාධකරුගෙන් දේශපාලකයාට ප්‍රතිඋපකාර ලැබේ. මේ නිසා බොහෝ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන අතර ඔවුන් නිදැල්ලේ හැසිරෙති. මෙවැනි පරිසරයක් තුළ අපරාධකරු නැවත නැවතත් අපරාධ කිරීමට පෙළඹෙන අතර අපරාධයක් සිදු වූ සැනින් සමාජයෙන් පොලීසිය වෙත එල්ල වන්නේ දැඩි පීඩනයකි. එහෙත් මෙවැනි වටපිටාවක් තුළ පොලීසියට කළ හැකි දේ ඉතා අල්පය. අවසානයේ පොලීසියට සිදු වන්නේ අපරාධකරු වැසිකිළියට යාමට සැලැස්වීම හෝ ආයුධ පෙන්වීමට රැගෙන යාමටයි.

අපරාධ පරීක්ෂණයන්හි නොදියුණු බව

අපරාධ පරීක්ෂණයන්හිලා ලංකාවේ පොලීසිය අනුගමනය කරනු ලබන්නේ ඉතා නොදියුණු අවිද්‍යාත්මක ක්‍රමවේදයකි. එනම් බැලූ බැල්මට සැක සිතෙන ඕනෑම කෙනෙක් අත්අඩංගුවට ගෙන දරුණු කෲර වද හිංසා පැමිණවීමෙන් තොරතුරු දැනගැනීමට උත්සාහ කිරීමයි. මේ හේතුව නිසාවෙන් ලංකාවේ පොලිස් ස්ථාන තුළ එක් දිනක් තුළ දරුණු වදහිංසාවට ගොඳුරු වන මිනිසුන්ගේ ප්‍රමාණය අති විශාලය. මෙය ලංකාවේ කිසිවෙක් නොදන්නා කරුණක් නොව හැම දෙනාම හොඳින් දන්නා කරුණකි. එහෙත් මෙම මාතෘකාව කිසිවෙක් සාකච්ඡාවට බඳුන් කරන්නේ නැත. වඩා කනගාටුවට කරුණ වන්නේ එයයි. මෙවැනි අවස්ථාවල වදහිංසාවට ගොදුරු වන බොහෝ දෙනෙක් අදාළ අපරාධය සඳහා කිසිදු සම්බන්ධයක් නැතිවුන්ය.
වැඩවසම් ක්‍රමය තුළදී වැරදිකරුවන්ට දඬුවම් කරනු ලැබුවේ හුදු සරල නිගමනයන් තුළිනි. එය රජු හා ඇමතිවරුන්ට බැලූ බැල්මට දැනෙන ආකාරයට විය. මේ නිසා අහිංසකයන් විශාල වශයෙන් වැරදිකරුවන් වී දඬුවම් ලැබුවා නිසැකය. එහෙත් එම අවධිය පසුකර අපි දැන් බොහෝ දුර පැමිණ ඇත. විද්‍යාවේ හා තාක්ෂණයේ සිදුවී ඇති දියුණුව හේතුවෙන් අපරාධ පරීක්ෂණ ක්ෂේත්‍රය බෙහෙවින් පුළුල් වී ඇත. මුල සිට අග දක්වාම විද්‍යානුකූල සාක්ෂි මත පදනම් වී ඇත. මේ නිසාම සැකකරුවන්ට දරුණු වද හිංසා පැමිණවීමෙන් සාක්ෂි සෙවීම වැනි දෑ දියුණු රටවල අත්හැර බොහෝ කල්ය. අවාසනාවට අප තවමත් පැරණි නොදියුණ ක්‍රම කර ගසා ගෙන සිටිමු. දියුණු රටවල් විසින් අත්පත් කරගත් ක්‍රමවේද අප හට ලබා ගැනීමට බාධාවක් ඇත්තේ නැත. ඔවුන්ගේ සහයෝගයෙන් අපහට එය ලබාගත හැකිය. එහෙත් අප පාලකයන් එවැනි දෑ ගැන උනන්දුවක් දක්වනවා පෙනෙන්නට නැත. ලංකාවේ පුරවැසියන් දිනපතා මුහුණදෙන මෙම බිහිසුණු ඉරණම ගැන ඔවුන් සංවේදී වන්නේ නැත.

විසඳුම කුමක්ද?

අපරාධකරු යනු නොදියුණු මිනිසෙකි. එහෙත් දඬුවම් පමුණුවන්නේ දියුණු මිනිසුන් විසිනි. ඒ නිසාම ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන්ද දියුණු ශිෂ්ට ක්‍රමවේදයන් විය යුතුය. අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට කෲර වදහිංසා පැමිණවීමෙන් හෝ මරා දැමීමෙන් අප හා අපරාධකරු අතර ඇති වෙනස හීන කරනු ලබයි. අප පෙන්වනු ලබන්නේ අපරාධකරු හා අප අතර කිසිම වෙනසක් නැති බවයි. අපද අපරාධකරු මෙන් නොදියුණු මිනිසෙකු බවයි. මෙම තත්ත්වය අප විසින් අවබෝධ කරගත යුතුය. පළමුව අපරාධ පරීක්ෂණ විෂයෙහිලා දියුණු රටවල භාවිත වන විද්‍යාත්මක ක්‍රමවේදයන් ඉතා ඉක්මනින් පොලිස් දෙපාර්තමේන්තුව වෙත හඳුන්වා දිය යුතුය. ඒ සඳහා දියුණු රටවල උදව් උපකාර ලබාගැනීමට හැකිය. ඉන් අනතුරුව පොලිසිය වෙතින් සිදු වන මානව හිමිකම් උල්ලංඝනය වීම් සඳහා දැඩි දඬුවම් දෙන සම්ප්‍රදායකට අපට යා හැකිය. එහෙත් එය සාර්ථක වන්නේ පළමු පියවර ක්‍රියාත්මක කළහොත් පමණි. එසේ නොමැතිව ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමෙන් පමණක් අප හට ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වන්නේ නැත. මක්නිසාද යත් දීර්ඝකාලයක් තිස්සේ ඔවුන් මෙම ක්‍රමයට හුරු වී ඇති බැවින් හා වෙනත් විකල්පයක් ඔවුන්ට නොමැති නිසාත්ය. නඩු තීන්දු ලැබීමට අවුරුදු ගණනාවක් ගතවීම අපරාධකරුවන්ට යම් වාසි සහගත තත්ත්වයක් ඇති කරනවාට අමතරව රටේ මහජනයා දැඩි පීඩාවට පත් කරනු ලබයි. මෙම තත්ත්වයද ඉක්මණින් නිරාකරණය කරගත යුතුයි.

වහ වහා ළඟා කරගත යුතු අනෙක් දෙය නම් මානව හිමිකම් විෂයෙහිලා බටහිර දියුණු සමාජයන් අත්පත් කරගත් ශිෂ්ටත්වයයි. මානව හිමිකම් විෂය පුළුල් විෂයක් බවට පත්වීමත් සමඟම ඔවුන් ඉන් ලබාගත් හික්මිම ලංකාවේ ඇති මොනම ආගමකින්වත් පුරවැසියන් තුළ වගාකර නොමැති බවද කනගාටුවෙන් වුවත් පැවසිය යුතුය. පටු දේශපාලනය විසින් මානව හිමිකම් යන වචනය ලංකාව තුළ භයානක බිල්ලකු බවට පත් කර ඇත. ඉතා ඉක්මනින් මෙම තත්ත්වයන් වෙනස් කරගත යුතුය. මානව හිමිකම්හි ගැඹුරු හරයන් පාසල තුළදීම අපගේ දරුවන්ට ඉගැන්විය යුතුය.

දිගින් දිගටම මෙවැනි තත්ත්වයන් රටක් තුළ පැවතීමට එක් හේතුවක් වන්නේ සමාජය වෙතින් එයට විරෝධයක් එල්ල නොවීමයි. සමාජයෙන් විරෝධයක් එල්ල නොවීමට හේතුව සමාජය තුළ ඇති නොදියුණු පටු මතවාදයන්ය. පළමුව අප ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුය. ඒ සඳහා දියුණු සමාජ ව්‍යපාරයක් ක්‍රියාත්මක විය යුතුය. ජනතාව තුළ අරටු බැසගත් මතවාදයන් වෙනස් කළ හැක්කේ එවැනි ප්‍රබල සමාජ ව්‍යපාරයකට පමණි. එවැනි සමාජ ව්‍යපාරයකින් ඇතිකරනු ලබන දැවැන්ත තෙරපුමකින් තොරව කුමන විසඳුම් අප මේ සඳහා ඉදිරිපත් කලද එය ඵළ නොදරණු ඇත.