පුරවැසියා ගොඩනැගීමට අධ්‍යාපනය

– කමල් සිරිවර්ධන –
අධ්‍යාපනය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

අධ්‍යාපනික නව ප්‍රවේශයකට ගුරු සාධකය යොදා ගැනීමට කදිම මගපෙන්වීමක් ගත හැකි ආදර්ශයක් ෆින්ලන්තයෙන් ඉගෙන ගත හැකිව ඇත. ෆින්ලන්තයේ ප්‍රාථමික පාසලේ ඉගැන්වීම් කරන ගුරු භවතුන්, එරට පර්යේෂණ විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපන උපාධියක් ලබා ගැනීම අනිවාර්ය වන අතර පශ්චාත් උපාධියක් හෙවත් ශාස්ත්‍රපති උපාධියක් හැදෑරීම අනිවාර්යයෙන්ම කළ යුතුව ඇත. අපගේ ප්‍රාථමික අධ්‍යාපනයට ගුරු ප්‍රවේශය පුහුණුවකට පමණක් සීමා කොට ඇත. නව ඉගෙනුම් අවස්ථා මගින්, විභාග පීඩනයෙන් තොරව එය කරගෙන යාම මගින් පින්ලන්තය නව ප්‍රවේශයකට පිවිස සිටිති. ආදර්ශමත් ගුරු ශිෂ්ටාචාරයක් ලොවට ලබාදී ඇත. මැද පෙරදිග සේවය කොට ෆින්ලන්තයේ කලෙවන්කන්කාන් කවු`ඵ පාසලේ ඉගැන්වීමේ නිරතව සිටි භෞතික විද්‍යා උපාධිධාරි ගුරු මහතකු වන නුවන් දිසානායක මහතා අප වෙත පවසා සිටියේ, පින්ලන්තයේ ගුරු භවතුන්ට ඉතා ඉහළ අභියෝගාත්මක වැටුප් ලබාදෙන බවයි.

තමන්ට මුණ ගැසුණු පින්ලන්ත ගුරුවරු ඉතා සතුටින් ස්වකීය කාර්ය භාරය ඉටුකරන බවද අප සමඟ පැවසීය. හාර්වඞ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය හොවාඞ් ගාඞ්නර් ලොව වඩාත්ම ඵලදායී පාසල්, තිබෙනුයේ පින්ලන්තයේ බව පවසයි.

ඉහළ සමාජ විනයක් සහිතව, ඇති නැති පරතරය බෙහෙවින් අඩුකොට තිබෙන, ඉන්දියන් සාගරයේ කුඩා දූපත් රාජ්‍යයක් වන සීෂෙල්ස් ජනරජයේද ගුරු භවතුනට ඉතා ඉහළ වැටුප් ගෙවීම එරට අධ්‍යානයේ මෙන්ම ආර්ථිකයේ කැපී පෙනෙන සංවර්ධනයක් ඇති කිරීමට විශාල වශයෙන් හේතු වී ඇත. සීෂෙල්ස් ජනරජය තුළ දරුවන්ට කිසිදු විභාග පීඩනයක් නැත.

ශ්‍රී ලංකාවේ පහේ ශිෂ්‍යත්වය බරපතළ තරගයකි. තරගය අහෝසි කොට දරුවන්ට ළමා ලෝකයේ කාලය ගත කරමින් නිවැරදි අධ්‍යාපන ප්‍රවේශයක් වෙත යොමුවීමට පියවර ගැනීම රටේ අධ්‍යාපන පෙරළියකට මඟපාදනවා ඇත. පහේ ශිෂ්‍යත්වය විභාගය නිසා ඉතා ප්‍රවේගකාරී තරගයකට මානුෂික වශයෙන් මෙරට මාපියන් මුහුණදීම ඔවුන්ගේ යහපත් රුධිර සංසරණයට ඉතා නරක ලෙස බලපාමින් තිබේ. පහේ ශිෂ්‍යත්ව තරගය යම් ප්‍රමාණයකට අධ්‍යාපන මංකොල්ලයක් බවට පත්ව ඇත. සෑම පාසලකම භෞතික හා මානව සම්පත් සංවර්ධනය ඉහළ තලයකට ගෙන ඒමෙන් සැමට යහපතක් ඉටුවෙයි. මෙරට විශ්ව විද්‍යාලවලට ඇතුළත්වන සිසුන්ගෙන් වැඩි පිරිස පහේ ශිෂ්‍යත්ව සමතුන් නොවේ. පහේ ශිෂ්‍යත්ව විභාගය වහා අහෝසි කිරීම අධ්‍යාපන නව ප්‍රවේශයක අනිවාර්ය අංගයක් වේ.

අධ්‍යාපනයේ නව ප්‍රවේශයකට විශාල බාධාවක් වන්නේ අධ්‍යාපන කළමනාකරණයේ පවත්නා හුදු නිලධාරි මනෝ විද්‍යාවෙන් සැදුම්ලත් අසතුටුදායක තත්ත්වයක් මෙන්ම එය සමාජ පංති ස්වරූපයකට අනුගතව හැසිරෙන අධ්‍යාපන ව්‍යාපාරයක් වීමද වෙසෙසින් සිහිපත් කළ යුතුව ඇත. 1977 දී පටන්ගත් විවෘත ආර්ථික ක්‍රමය සමග පියවරෙන් පියවර පාසල අයථා ලෙස මුදල් උපයා ගන්නා මහා ජාවාරමක් බවට බොහෝ පාසල් ප්‍රධානීන් පත්කර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ පවුලක දරුවෙක් පිළිසිඳ ගත් දිනයේම ජාවාරමක ගොදුරක් බවට එම ක්‍රියාදාමය හැඩ ගැසෙන බව ඉතා මැනවින් ‘මට පෙනෙන හැටි’ ග්‍රන්ථයෙන් වික්ටර් අයිවන් පෙන්වා දෙයි.

1977 දී පටන් ගත් විවෘත ආර්ථික ක්‍රමය සමග බොහෝ පාසල් කළමනාකරුවන්, විදුහල්පතිවරු වසරින් වසර මුදල් උපයා ගන්නා මහා ජාවාරමක් බවට අධ්‍යාපනය පත් කරගෙන ඇති බව අද සෑම දෙනා එළිපිට පිළිගනු ලබන රහසක් බවට පත්ව ඇත. ප්‍රතිපත්තිගරුක විදුහල්පතිවරු කීපදෙනෙක් සිටින බව සැබෑවක් මුත්, බහුතරය දූෂණයට ලක්ව තිබෙන බව පොදු ජනතා පිළිගැනීම වේ. මෙබඳු දුර්ජන බලවේග සමග පාසලට නව ප්‍රවේශයක් ලබාදීම විශාලතම අභියෝගයකි. පාසල් පද්ධතියේ සියලුම සාමාජිකයින් වසර පහක් අවසානයේ නව ස්ථානයකට අනුයුක්ත කිරීම දූෂණය පිටුදැකීමටත් අගතිගාමීත්වයෙන් තොර සමාජයක් ගොඩනගා ගැනීමටත් සෘජුව බලපානවා ඇත. අවුරුදු පහෙන් පහට ස්ථාන මාරු කිරීමෙන් වසර 60 සම්පූර්ණ වනවිට එම ගුරු භවතුන්ට පෘථුල ජීවන අත්දැකීම් සහිතව විශ්‍රාම ජීවිතය ආරම්භ කළ හැකිය. මෙම අත්දැකීම් ඔවුන්ට ජීවිත ගමනේ වාසියකි.

සෑම පාසලකම අධ්‍යාපන පර්යේෂණ ඒකකයක් ගොඩනැංවීමට අධ්‍යාපන මාර්ගෝපදේශ මධ්‍යස්ථානයේ නායකත්වයෙන් තොරතුරු තාක්ෂණ ඒකකය හා ඒකාබද්ධ ක්‍රියාවලියක යෙදීම සමස්ත අධ්‍යාපන ක්‍රමයේ ප්‍රබල සාධනීය වෙනසකට ආරම්භයක් ඇති කෙරේ. එම උත්සාහය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට නව ජීවයක් හා නව ප්‍රවේශයක් ලබාදේ. සාර්ථක ඉගෙනුම් ක්‍රියාවලියට බලපාන අනෙකුත් අධ්‍යාපන සමාජ විද්‍යාත්මක සාධකවල හැසිරීම දරුවන්ට බලපා තිබෙන අන්දම විද්‍යාත්මකව සොයා බැලීමෙන් අධ්‍යාපනයේ සැබෑ වාසිය දරුවන්ට ලබාදිය හැකිවේ. මෙය ඵලදායි දිගු ගමනක සැබෑ අත්තිවාරමක් වේ. ප්‍රශ්නයේ විසඳුම සමස්ත සංජානනයේ ගැබ්ව ඇති බව හඳුන්වා දුන් ගෙස්ටාල්ට් මනෝවිද්‍යාව ගුරු කොට ගත යුතුවේ.

දරුවන්ට නව තාක්ෂණ දැනුම ලබාදීමට ගන්නා පියවරයන් අගය කළ යුතුය. එසේ වුවත් එදිනෙදා යහපත් සෞඛ්‍යය තත්ත්වයක් හා යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට අදාළ වන වැසිකිළි පහසුකම් හා පානීය ජලය නොමැති පාසල් දිවයිනේ බහුතරයක් ඇත. සමහර පාසල් වලට පිහිනුම් තටාක තිබෙන අතර ඇතැම් ගම්බද පාසල්වලට ළඟාවීමට සැතපුම් ගණන් මග ගෙවා දැමීමට දරුවන්ට සිදුව ඇත. අනුභූතිවාදය වෙනුවට යථාර්ථවාදයට පිවිසෙමු. කාලාම සූත්‍රය දරුවන්ට නිසි ලෙස අවබෝධයට ලක් කරමු.

නව ප්‍රවේශයක් සඳහා පාසල් පද්ධතියේ තිබෙන දුර්මත වහා ඉවත් කළ යුතුව ඇත. කැපී පෙනෙන තවත් එක් දුර්මතයක් වනුයේ පාසල් විනය රැකීමට නීති රීති සමුදායක් සහිතව ගුරු කළමනාකරණයක් ඇති කිරීමයි. දැන් බොහෝ වේලාවට මේ සඳහා යොදා ගන්නේ යුද හමුදාවේ ස්වේච්ඡා බල ඇණිවල සේවය කළ පිරිස් වේ. විදුහල්පතිවරුන්ට හා විදුහල්පතිනියන්ට හමුදා පුහුණුව ලබාදීම මෙහි දිගුවකි. දැනට එය නවතා තිබීම ප්‍රශංසනීය වේ. සාකල්‍යයෙන්ම පාසලක ඇත්තේ විනය පිළිබඳ ප්‍රශ්නයක් නොව නිවැරදි අධ්‍යාපන මාර්ගෝපදේශයක් නැතිකමේ අභියෝගයයි. සියලුම පාසල්වලට අවශ්‍ය වනුයේ අධ්‍යාපන සමාජ විද්‍යාත්මක හා අධ්‍යාපන මනෝ විද්‍යාත්මක, සමාජ මනෝ විද්‍යාත්මක හා ශිෂ්‍ය පෞරුෂ සංවර්ධනය හා නායකත්වය පිළිබඳව මනා අධ්‍යාපනයක් තිබෙන, මානුෂවාදී ආකල්ප වලින් යුක්ත, අන් අයගේ දරුවන්ද තමන්ගේ දරුවන්ද ලෙස දකින, සලකන නිර්ව්‍යාජ නිර්මාණශිලි අධ්‍යාපන මාර්ගෝපදේශක සේවාවකි. රටේ කුණුවීම අවසන් කළ යුතුව ඇත. ඇඩොලස් හක්ස්ලි ප්‍රකාශ කරන ආකාරයට ඉතිහාසය නොසලකා හැර ජීවත්වන අයට එම පාඩමම ඔවුන්ට ඉතිහාසය විසින් උගන්වන වනු ලැබේ. පාසල්වල විනය පාලක තනතුරු අහෝසි කොට, විධිමත් අධ්‍යාපන මාර්ගෝපදේශකයකු වෙත දරුවන් යොමු කළ යුතුව ඇත. සාම්ප්‍රදායික විනය පාලනය පය බරවායට පිටකර බෙහෙත් බඳනාසේය. සාම්ප්‍රදායික විනය පාලනයට හිමිතැන කෞතුකාගාරය වේ.

විසි එක්වන සියවසට අප වහා වෙනස් විය යුතුව ඇත. ජාත්‍යන්තර ප්‍රවේශයක් සහිතව ඉතා ඵලදායි හා සාධනීය ලෙස වෙනස්විය යුතුව ඇත. ගුරු දැනුම විප්ලවකාරී ලෙස වෙනස් කළ යුතුව තිබෙන අතර අසංවේදීව ජීවත්වන අති මහත් ගුරු බහුතරය ඔවුන් වඩා දැනුවත් කිරීම සඳහා බලපාන ලෙස ගුරු පිරිස දැනුම සොයා යන ශිෂ්‍ය පිරිසක් ලෙස අභිප්‍රේරණය කිරීම සඳහා සියලු ගුරු භවතුන්ට සිය වැටුපට අතිරේකව ග්‍රන්ථ පරිශීලන දීමනාව ලෙස ඉතා හොඳ මූල්‍ය දීමනාවක් වහා ලබාදීම අධ්‍යාපන නව ප්‍රවේශයක දොරටු විවෘත කිරීමක් බවට පත්වේ. සෑම වාරයක් අවසානයේම ගුරුවරුන් වෙනුවෙන්, කියවීමේ කඳවුරු, නමින් සතියක කියවීම් පුහුණු සැසි ප්‍රාදේශීය මට්ටමෙන් ආරම්භ කළ යුතුව ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානයේ වැඩ කරන ජනයාට එරට මගින් චිත්‍රපටි දීමනාවක් පිරිනමනු ලැබුවේ ඔවුන් අත්දුටු යුද ගැටුම් මානසිකත්වයෙන් මිදී කලා ලොවක එස වින්දනයට දොරටු විවෘත කිරීමක් ලෙසිනි. අපගේ අති බහුතර ගුරු පිරිස කියවීමේ සහ රස විඳීමේ සෝදා පාලුවකට ගොදුරු වී සිටීම සංවේගයට කරුණකි.

පාසල් සමාජයෙන් යහපත් සමාජයක් වෙනුවට ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ පාදඩකරණය විසින් අඩු වැඩි වශයෙන් ගිලගෙන තිබෙන අශීලාචාර සමාජ රටාවකි. පාසල් විෂය මාලාවේ පුරවැසි අධ්‍යාපනය ඇත. පුරවැසියකු සතු අයිතිවාසිකම් හා යුතුකම් පාසලේදී ඉගෙන ගත් නමුත් ප්‍රායෝගික ජීවිතයේදී වැඩිහිටියන් වශයෙන් බහුතරයක් එම දැනුවත්කම ක්‍රියාත්මක කරන්නේ නම් ඔවුන් කිසිවිටක, කිසියම් පුද්ගලයකු හා ආයතනයක් නීතියට ඉහළින් ඔසවා තැබීමට එකඟත්වය ප්‍රකාශ නොකරනවා ඇත. වර්ෂ 1215 දී මැග්න කාර්ටා ප්‍රඥාප්තියෙන් ලොවට දායාද කළ නීතිය ඉදිරිපිට සියලුදෙනා සමානය, යන සංකල්පය නොතකා හැරීම අනුගත වන්නේ දේශපාලනික ප්‍රවේණිදාසභාවයට බව සිහිපත් කළ යුතුව ඇත. දේශපාලන ප්‍රවේණිදාසයකු වෙනුවට ශ්‍රී ලංකා පුරවැසියා ගොඩනැගීමට අධ්‍යාපනය පෙළ ගස්වමු.