අය-වැය සමග දේශපාලන හිරි – ඔතප්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

පවත්නා සහ පවත්වාගෙන යාමට උත්සාහ දරන දේශපාලන වාතාවරණය රටට සහ ජනතාවට කෙසේ වෙතත් තමන්ට අවාසිදායක නැතැයි ප්‍රධාන පක්ෂ සහ දේශපාලකයන් සිතා සිටිනවා යැයි අනුමාන කළ හැකිය. එහෙත් එය නිවැරදි අනුමානයක් යැයි සිතිය නොහැක. ශ්‍රී ලංකාවේ සියල්ලම පාහේ සරල සහ සැහැල්ලුවට ගෙන ඇතුවාක් මෙන්ම ලැජ්ජාව සහ භය නැතහොත් හිරි – ඔතප් පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වන බවක්ද පෙනෙන්නට නැත. එය, දැනට ක්‍රියාත්මක කරමින් සිටින දේශපාලනයේදීද වඩා හොඳින් පෙනෙමින් තිබෙන බවද අපැහැදිලි නැත. කියන දේ නොකිරීම හෝ කරන දේ පිළිබඳ බොරුකීම දේශපාලනයේදී වුවද ලැජ්ජාව සහ භයට කාරණයක් වූවා සේ ම තවදුරටත් තනතුරේ රැඳී නොසිටීමටද එය හේතුවක් වූ කාලයක් තිබිණි. එය සියයට සියයක්ම ක්‍රියාත්මක වූයේ නැතත්, පසුකලෙක පවා ඒ පිළිබඳ නොසලකා වැඩ නොකිරීමේ පිළිවෙතක් පවත්වාගෙන ගියේය. එහෙත් දැන් සිදුව ඇත්තේ සහ සිදුවෙමින් පවතින්නේ ඇඳුම් නැතිව සිටින බව පැහැදිලිව පෙනෙද්දී පවා ඇඳුම් ඇඳගෙන සිටින්නේ යැයි ප්‍රකාශ කිරීම හා සමාන ක්‍රියාවලියක්, නැතහොත් ඇඳුම් ඇඳගෙන සිටින විට හැසිරෙන ආකාරයටම ඇඳුම් නැතිව සිටින විටත් හැසිරීමය. මෙය ඉතා බරපතළ කඩා වැටීමක් වන්නේ එය දේශපාලනයේදී සාමාන්‍ය තත්ත්වයක් බවට පත්කිරීමට, පිරිහුණු දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලකයන්ද දැනුවත්ව ක්‍රියාකරමින් සිටීම නිසාය. එය සදාචාරාත්මක ප්‍රශ්නයක් පමණක් නොව දේශපාලන ප්‍රශ්නයක් සේ ද දැකීම අත්‍යවශ්‍ය කාරණයක් නොවුණහොත් උදාවිය හැක්කේ ලැජ්ජා – භය නොමැති වංචාසහගත සමාජයක් මිස යහපත් දිශාවකට හැරවිය හැකි අපේක්ෂා සහගත සමාජයක් නොවන්නේය.

එජාප පසුපෙළ හා ජනපති

එජාප ආණ්ඩුව 2019 සඳහා සිය අය-වැය යෝජනා ඉදිරිපත් කර ඇති අතර ඊට පෙර සිටම එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට වෙන් කරන මුදල් යම් ප්‍රමාණයකින් කපා හැරීමට යෝජනා කරන බවය. එහෙත් එය සිදු කිරීමට යෝජනා කරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන කාර්යයන්වල ඇති නිරර්ථකභාවය නිසා නොව, ජනාධිපතිවරයා, එජාප ආණ්ඩුවට කරන කෙණෙහිලිකම්වලට පළිගැනීමක් ලෙසය.
මීට පෙර, කුප්‍රකට දින 51 ආණ්ඩුවේදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ යළි රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් නොකරන බවය. එහෙත් අවසානයේ සිදුවූයේ වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ධුරයට පත් කිරීමට සිරිසේන මහතාට සිදුවීමය.

එජාප නායකත්වයේ උපාය

ජනාධිපතිගේ වැය ශීර්ෂය පහත හෙළීමට යෝජනා ඉදිරිපත් කිරීමට යාම, එම පසුපෙළ මන්ත්‍රීවරුන්ගේම තනි අදහසක් යැයි සිතිය නොහැක. එය, ජනාධිපතිවරයා බියගැන්වීමට එජාප නායකත්වය පසුපෙළට භාර දුන් වැඩක් ලෙස සිතිය හැකි අතරම, එසේ නම් එය ක්‍රියාත්මකවීම සිදුවිය හැක්කේද අය-වැය විවාදය අතරතුර එජාප නායකයා ගන්නා වූ දේශපාලන තීන්දු මතය. විශේෂයෙන් ජනාධිපතිවරයා සමග සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී අයවැයට පක්ෂය ඡන්දය දීමට ඇති ඉඩකඩ වැඩිය. එසේ වුවහොත් එයින් එජාප නායකත්වය ඉටුකර ගැනීමට අපේක්ෂා කරන ඉලක්ක දෙකක් ඇතැයි සිතිය හැක.

පළමුවැන්න, ඉතා ශක්තිමත්ව, අය-වැය ජයග්‍රහණය කර තම ආණ්ඩුවේ කිසිදු අවිනිශ්චිතතාවක් නැතැයි රටට සහ ලෝකයට පෙන්වීමය. අනෙක් කාරණය ලෙස අනුමාන කළ හැක්කේ සිරිසේන ජනාධිපතිවරයා සහ රාජපක්ෂ විපක්ෂ නායකවරයා අර්බුදයට යැවීමය. ශ්‍රීලනිප පිරිසක් එවැනි මාවතක් තෝරා ගතහොත් පොදු ජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ, අයවැයට එරෙහිවීමේ මාවත, බරපතළ ලෙස දුර්වල වන අතර අයවැයේ දී ආණ්ඩුව පරාජය කිරීම උදෙසා යම් උපායක් තිබුණේ නම් එයද කඩාකප්පල් වන්නේය.

මේ නිසා ශ්‍රීලනිපය ලෙස අයවැය පිළිබඳව ගන්නා ස්ථාවරය පළමුව අතිශයින් වැදගත් වන්නා සේ ම ඊට පක්ෂ සභාපති ලෙස සිරිසේන ජනාධිපතිවරයාගේ මැදිහත්වීමද වැදගත් වන්නේය. බොහෝවිට ඔහු අය-වැයට එරෙහි පිළිවෙතක් අනුගමනය කරනු ඇතැයි සිතිය හැක; නැතහොත් නිහඬ පිළිවෙතක් අනුගමනය කර ශ්‍රීලනිප පිරිසට බහුතරයේ කැමැත්තෙන් තීරණයක් ගැනීමටද අවකාශ සලසන උපක්‍රමයක්ද අනුගමනය කළ හැකිය. එහෙත් අය වැයට විරුද්ධවීමට ජනාධිපතිවරයා යම් ස්ථාවරයකට පැමිණියහොත්, එයින් අය-වැයට පක්ෂවීමට සිතා සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කණ්ඩායමට එල්ල විය හැකි බලපෑම වෙනස් කර ගැනීම, එජාප පසුපෙළේ යෝජනාවේ හරය වීමේ සම්භාවිතාව වැඩිය.

ඊට හේතුව ලෙස සැලකිය හැක්කේ මෙවර අයවැය ඡන්ද විමසීමේදී ආණ්ඩුවේ බහුතරය පිළිබඳ නියම තත්ත්වය පෙනීමට ඇති ඉඩකඩය. දෙමළ ජාතික සන්ධානය ඊට සහයෝගය නොදුනහොත් එජාපයට ඍජුවම ඇත්තේ මන්ත්‍රීවරුන් 104 දෙනකුගේ සහයෝගය පමණය. එවැනි වටපිටාවකදී ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක සහයෝගය අතිශය තීරණාත්මක වන්නේය. අය-වැයට පෙර ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කර අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉහළ නංවාගෙන ශ්‍රීලනිප පිලට සැලකීමට එජාප ආණ්ඩුව මීට පෙර යම් උත්සාහයක් දැරුවේද මෙම තීරණාත්මක බව සැලකිල්ලට ගැනීමෙන් බව සිතිය හැක. එහෙත් එවැනි සහයෝගයක් නොලැබුණහොත් අය-වැය පරාජය වීමේ අවදානම මෙන්ම ඒ අනුව මහ මැතිවරණයකට යෑමට බලකෙරෙන පසුබිමක්ද නිර්මාණය විය හැක්කේය.

ලැජ්ජාව සහ භය

අනෙක් පැත්තෙන් මේ සියලු ස්ථාවරයන් ඕනෑම මොහොතක වෙනස් කිරීම, අපහසු කාර්යයක් වන්නේද නැත. මක්නිසාද, මේ කිසිදු ස්ථාවරයක් රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීම හෝ රට ගොඩ නැගීම පිළිබඳ ප්‍රතිපත්තියක් මත පදනම් වී නොමැති නිසාය. ඒ පිළිබඳ ලැජ්ජාවක් හෝ භයක්ද ප්‍රධාන දේශපාලන පක්ෂ හෝ දේශපාලකයන්ට ඉතිරිව ඇත්තේද නැත.
සිරිසේන ජනාධිපතිවරයා, වික්‍රමසිංහ මහතාව යළි අගමැතිවරයා ලෙස පත්කිරීම සහ එජාප පසුපෙළේ මෙම යෝජනාව පිළිබඳ පමණක් නොව, ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකේම, හිරි – ඔතප් බිඳ ගැනීමේ දේශපාලන ක්‍රියාකාරීත්වයට දිය හැකි නිදර්ශන බොහෝය. ඒවා එකිනෙක සිද්ධීන් ලෙස පෙන්වීම හෝ විග්‍රහ කිරීම වැදගත්වන්නේ යැයි සිතිය නොහැක. වැදගත් වන්නේ දේශපාලනයේ පැවතිය යුතු හරය විනාශවීමේ මාවත වෙනස් කර ගැනීම උදෙසා මාවතක් සොයා ගැනීමය. එසේ නොවුණහොත් ගෙදර කාමරයක කළ යුතු දේ, දැනට මැද සාලයේ කරමින් සිටීමෙන්ද, ඔබ්බට ගොස් මිදුලේ කරන තත්ත්වයක්ද උදාවිය හැකිය.

පුද්ගල පිරිහීම

මෙම බිඳ වැටීම පිළිබඳ වරදකරුවන් වන්නේ දේශපාලන පක්ෂ හෝ ඒවායේ දේශපාලකයන් පමණක් යැයි නිගමනය කිරීම සාධාරණ යැයි සිතිය නොහැක. ශ්‍රී ලංකාවේ දේශපාලනය පමණක් නොව, සියලු ක්ෂේත්‍රවල ඇත්තේ කඩා වැටීමකි. පොදු කාරණාවලදී පමණක් නොව, පෞද්ගලික කාරණාවලදී පවා මෙම කඩා වැටීම පෙනෙමින් තිබීම එක් පැත්තකින් ඛේදවාචකයක් වන්නේය. රටවැසියාද පුද්ගලයකු වශයෙන් පිරිහෙමින් සිටීම, ඊට ප්‍රධාන හේතුවක් ලෙස සැලකුවහොත් එය අසාධාරණයක් වන්නේ නැත. මෙවැනි තත්ත්වයකදී රටවැසියා නැතහොත් මහජනයාගේ වගකීම කුමක්ද යන්න පැහැදිලි කරගත යුතුවාක් මෙන්ම වැරදි මාවතෙන් ඉවත්වීම නැතහොත් ඉවත් කිරීමට කටයුතු කිරීමද නොසලකා හැරිය නොහැකිය.