වැටත් නියරත් ගොයම කන විට රටට කාගේ පිහිට ද?

මහින්ද හත්තක

‘එල්ලවී ඇති චෝදනාවලින් නිදහස්වී පැමිණි පසු රටේ භෞමික අඛණ්ඩතාව සහ ඒකීය භාවයත් බුද්ධාගමේ තිරජීවනයත් සුරැකීම සඳහා නායකත්වය ගෙන කටයුතු කරන’ ලෙස විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමති රවි කරුණානායක මහතා සිරගතවී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ගෙන් ඉල්ලීමක් කළ බව පසුගිය දා පුවත් පත්වල පළ විය.

උසාවියට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී බන්ධනාගාර ගත කොට සිටින ගලබොඩඅත්තේ ඥනසාර හිමියන් බැලීමට බන්ධනාගාර රෝහලට ගිය රවි කරුණානායක මහතාගේ ඉහත සඳහන් ප්‍රකාශය මේ රටේ පවතින අවස්ථාවාදි දේශපාලනයටත් නීතිය නොසලකා කටයුතු කිරීමට දේශපාලකයන් තුළ ඇති නෛසර්ගික පෙළඹීමටත් තවත් නිදසුනකි. ඥානසාර හිමියන්ගේ පන්සලේ තාප්පයේ ප්‍රදර්ශනය කෙරෙන බැනරයකින් ප්‍රශ්න කරන්නේ රටේ ආරක්ෂාවට කටයුතු කිරීමට නීතිය කඩ කිරීමක් ද යනුවෙනි. රවි කරුණානායකගේ ප්‍රකාශයත් පන්සලේ තාප්පයේ ඇති බැනරයෙනුත් කියවෙන්නේ එකම කරුණකි. රටේ ජනමතය හා දේශපාලනය හසුරුවන මෙම පුද්ගලයන් රටේ සාමාන්‍ය නීතියට යටත් නොවන බව සහ යටත් නොවිය යුතු බව ඉන් ගම්‍යවන්නේය.

ඇමති රවි කරුණානායකගේ ප්‍රකාශය අනුව ඥනසාර හිමියන්ට එල්ල වී ඇති චෝදනාවලින් නිදහස් වන දිනයක් ඇත. කිසියම් ආකාරයකින් චෝදනාවලින් නිදහස් කළ හැකි නම් එය අධිකරණයෙන් කළ යුතුව තිබිණ. උසාවියට අපහාස කිරීමේ චෝදනාවට ඔහු වැරදිකරු බව අභියාචනා අධිකරණයෙන් ද තහවුරු විය. එවැනි තත්වයක් යටතේ සිදුවිය හැකි වන්නේ නියම කර ඇති දඬුවමෙන් නිදහස් කිරීම පමණි. කිසියම් ආකාරයකින් දඬුවමින් නිදහස් වුවත් වැරැද්දෙන් නිදහස් වන්නේ නැත. එසේ විය හැකි වන්නේ වින්දිතයා විසින් සමාව දීමෙන් පමණි. මේ රටේ දේශපාලකයන්ගේ වුවමනාව අනුව ස්ත්‍රී දූෂකයන්ට ද සමාව දීමේ ඉතිහාසයක් පවතී. ඒ නිසා ඥානසාර හිමියන්ට ද පවතින දේශපාලන ක්‍රමය යටතේ ජනාධිපති සමාව ලැබුණොත් පුදුමයට කරුණක් නොවේ. බරපතළ කාරණය වන්නේ මෙවැනි දේශපාලන භාවිතාවන් නිසා නීතිය සහ සාමය රැකෙන සාධාරණ සමාජයක් අපේක්ෂා කළ හැකි ද යන්නයි.

ස්ත්‍රී දූෂකයන්ට සමාව ලබා දුන් දේශපාලනය 88 – 89 සමයේ රටේ දේශපාලනය මෙන්ම ජන ජීවිතය මහත් අනතුරකට ලක් කළ භීෂණයක් කරා වර්ධනය වූ ආකාරය අපට තවම අමතක වී නැත. තරාතිරම නොසලකා නීතිය ක්‍රියාත්මක කරන බවට දේශපාලකයන් උස් හඬින් ප්‍රකාශ කළත් අවස්ථාව ලැබෙන හැම විටම නීතිය තමන්ගේ වාසියට හරවා ගැනීමට ඔවුන් පසුබට වන්නේ නැත. අද සමාජය ආර්ථික සහ දේශපාලනික වශයෙන් මෙතරම් ගැඹුරු පිරිහීමකට ලක්ව තිබීමට හේතු වී ඇත්තේ ද මෙම තත්වයයි.

මෙය පැහැදිලි කර ගැනීමට රවි කරුණානායක මහතාට සුපුරුදු පරිදි අමතක වී ඇති හෝ අමතක කිරීමට උත්සාහ ගන්නා කරුණු කීපයක් පැහැදිලි කර ගත යුතුය. ඔහු සඳහන් කරන ආකාරයට නිදහස් විය යුත්තේ උසාවියට අපහාස කිරීමේ චෝදනාවෙන් ය. ඇත්තෙන්ම එය තව දුරටත් චෝදනාවක් නොව අධිකරණයෙන් තහවුරු කර ඇති සත්‍යයකි. එහෙත් රවි කරුණානායක මහතාට අධිකරණයේ නිගමනය වැදගත් වන්නේ නැත. එමනිසා උසාවියට අපහාසයක් සිදු කෙළේ කුමන තත්වයක් යටතේ ද යන්න විමසා බැලිය යුතුය.

කවුරුත් දන්නා පරිදි ඥානසාර හිමියන් හෝමාගම උසාවියට ගියේ අධිකරණයේ කැඳවීමක් අනුව නොවේ. එහි විභාග වෙමින් පැවති නඩුවකට සවන් දීම සඳහාය. ප්‍රජාතන්ත්‍රවාදී රටක කිසියම් පුද්ගලයෙකුට එරෙහිව නඩු විභාගයක් පැවැත්විය යුතු වන්නේ ප්‍රසිද්ධියේ ය. සුවිශේෂී තත්වයන් යටතේ රහස් නඩු විභාග පැවැත්වෙන අවස්ථා තිබුණ ද එය ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය නොවේ. ඥානසාර හිමියන්ට මෙන්ම රටේ වෙනත් පුරවැසියෙකුට පමණක් නොව විදේශිකයෙකුට වුවද අධිකරණයක් ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයක් බැලිමට යා හැකිය. පුරාණ කාලයේ ග්‍රීසියේ පැවති සම්ප්‍රදාය අනුව වර්තමානයේ පාර්ලිමේන්තුව වශයෙන් හැඳින්විය හැකි එරට පුරවැසි සභා රැස්වීම් බැලීමට, සවන් දිමට පුරවැසියන්ට අවස්ථාවක් තිබිණ. අද පාර්ලිමේන්තු විවාදයකට සවන් දීම සඳහා විවිධ හේතූන් නිසා සාමාන්‍ය ජනතාවට ඇති අවස්ථාව සීමා වුව ද රටක සාධාරණ සමාජ ක්‍රමයක් පවතින බවට දර්ශකයක් වන්නේ පාර්ලිමේන්තු රැස්වීමකට මෙන්ම අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයකට සවන් දීමට පුරවැසියන්ට අවස්ථාව ලබා දීමය. එහෙත් එය එම ආයතනවල ගරුත්වය උත්තරීතර භාවය සුරැකෙන ආකාරයට සිදු විය යුතුය.

ඥානසාර හිමියන් කළ වැරැද්ද වූයේ එම අධිකරණයට අපහාස වන ආකාරයට හැසිරීමය. ඔහු බැලිමට ගියේ සිය සැමියා බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමක් සම්බන්ධයෙන් පැහැර ගත් පුද්ගලයාගේ බිරිඳ සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඒ පිළිබඳව යුක්තිය ඉටු කර ගැනීමට පවරා ඇති නඩුවකි. සිය සැමියා පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමෙන් එම කාන්තාවටත් දරු දෙදෙනාටත් ඇති වූ කම්පනයත් වේදනාවත් බෞද්ධයන්ට සිහි ගන්වන්නේ පටාචාරා ය. කෙසේ වුවත් මෙම නඩුවේ චූදිතයන් රණවිරුවන් සේ පිළිගන්නා ඥානසාර හිමියන්ට එම බිරිඳ කෙරේ පමණක් නොව නඩු විභාගය කළ විනිසුරුවරයා කෙරේ ද ඇති වූයේ කෝපයක් සහ වෛරයකි. ඔහු වින්දිතයන්ට සහ විනිසුරුවරයාට අපහාස වන ආකාරයෙන් හැසිරුණේ එම නිසාය. මෙම චෝදනාවෙන් නිදහස් විය හැක්කේ සිර දඬුවම ගෙවීමෙන් පමණක් ද?

ඥානසාර හිමියන් උසාවියේ දි හැසිරුණ ආකාරයෙන් ගම්‍ය වන්නේ ඔවුන්ගේ දේශපාලන වුවමනාව රටේ පවතින නීතිය හා සම්මතයන් ඉක්මවා යෑමකි. රවි කරුණානායකගේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ ද ඒ බවයි. බන්ධනාගාරයෙන් නිදහස්වී පැමිණි පසු බුද්ධාගමේ චිරජීවනය සඳහා වැඩ කිරීමට ආරාධනය කර ඇත්තේ වැරදි නිවැරදි කර ගැනීමෙන් නොවේ. ඒ ගැන වචනයක්වත් ඔහුගේ ප්‍රකාශයෙන් සඳහන් වන්නේ නැත. වැරදිකරුවෙකුට හොඳ දෙයක් කළ හැකි වන්නේ වැරැද්ද තේරුම් ගෙන එය නිවැරදි කර ගැනීමට කැපවීමක් ඇති විට පමණි. රවි කරුණානායක මහතා සඳහන් කරන ආකාරයට වැරදි සිදුව ඇත්තේ ඥානසාර හිමියන් අතින් නොව “යම් යම් පිරිස් වෙතිනි” ඒ වෙනුවට ඔවුන්ට සමාව ලබා දෙන්නැයි ද ඔහු ඥානසාර හිමියන්ගෙන් ඉල්ලා ඇත. වෙනත් ආකාරයකට වැරදි කර ඇත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමට කටයුතු කළවුන් ය.

සත්‍යය උඩියටිකු-රු කර දැක්වීම රවි කරුණානායක මහතාට පමණක් සීමා වූවක් නොවේ. පසුගිය ඔක්තෝබර් මාසයේ පාර්ලිමේන්තුවේ දී රඟ දැක්වූ විකාර නාටකයට දායකත්වය දැක් වූවන් මෙන්ම ඔවුන්ගේ අනුග්‍රාහකයන් සිතන්නේ ද මේ ආකාරයටම ය. එම දේශපාලකයන්ට හැම විටම නිදහසට කරුණක් ඇත. නැතිනම් මවා දැක්වීමට ඔවුන් සමත් ය. රටේ ජනතාව නිහඬව ඒවාට සවන් දිය යුතුය. නැරඹිය යුතුය.
ජනාධිපති සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොතකා හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත් කිරීමෙන් පසුව පැවැත් වූ පාර්ලිමේන්තු රැස්වීම කඩා කප්පල් කිරීම පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාව විය. නීතියක් රීතියක් ගරු කරන පුද්ගලයන් නම් ඔවුන්ට කළ යුතුව තිබුණේ පාර්ලිමේන්ුවේ බහුතරයක් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඇත් ද යන්න තහවුරු කිරීමට අවස්ථාවක් ලබා ගැනීම ය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඔවුන් කළ යුතු වූයේ විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් සම්මත කිරීමය. එසේ නොමැතිනම් නව අගමැතිවරයාට විරුද්ධ අය කළ යුතු වන්නේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගැනීමය. හට ගෙන තිබු අර්බූදයට විසඳුම් වන්නේ එම ක්‍රියා මාර්ග දෙකකින් එකකි. එහෙත් සිදු වූයේ කුමක් ද? ගමේ බූරුවා පොළකදී හෝ නොවන ආකාරයේ අශෝභන ක්‍රියාවකි. පාර්ලිමේන්තුවේ මහජන දේපොළවලට හානි කිරීමට අමතරව බයිබලය හා කුරාණය වැනි සංකේතාත්මක වටිනාකමකින් යුත් ආගමික ග්‍රන්ථ කිසිම විලි ලැජ්ජාවක් නැතිව පොළොවේ ගසා දැමිමය. එහි ඇති ඛේදජනක තත්වය වන්නේ මේ පිළිබඳව කරුණ සොයා බලා වාර්තා කිරීමට නියෝජ්‍ය කතානායක කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කොමිටියේ වාර්තාවට දැක් වූ ප්‍රතිචාරයයි.

විකාශනය වූ රූපවාහිනී රූප රාමු අනුව මෙම පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කළ ජනතාවගේ පිළිකුලට හේතු වන ආකාරයෙන් හැසිරුණ මන්ත්‍රීවරයකු පුවත් සාකච්ඡාවක් පවත්වමින් මෙම තත්වයට පාර්ලිමේන්තුවේ කතානායකවරයා ද වගකිව යුතුයැයි කීවේය. ඔහු පවසන ආකාරයට කතානායකවරයා ද කටයුතු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයට ය. කතානායකවරයා කඩ කළ ව්‍යවස්ථාව කුමක් ද යන්න ඔහු පැහැදිලි කෙළේ නැත. වැදගත් වන්නේ යම් අයෙකු නීති කඩ කරන්නේ නම් ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ ඊටත් වඩා බරපතළ ආකාරයෙන් නීති කඩ කිරීමෙන් ද යන්නයි.
තවදුරටත් කරුණු දැක් වූ මෙම මන්ත්‍රීවරයා බ්‍රසීලයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඔළුගෙඩි පලා දැමූ අවස්ථාවක් තිබුණ ද ඔවුන් උසාවි ගෙන ගියේ නැති බවත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ එවැන්නක් සිදු නොවු නිසා උසාවි ගෙන යෑමට කිසිම අවශ්‍යතාවයක් නැති බවත් පෙන්වා දුන්නේය. ඊට පසුව ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සුසිල් ප්‍රේමජයන්ත මහතාද එවැනිම අදහසක් පළ කර තිබුණි.

කෙසේ වුවත් මෙම මන්ත්‍රීවරුන් බ්‍රසීලයෙන් නිදසුන් නොගෙන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට මුල් වූ බි්‍රතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව ආදර්ශයට ගෙන නැත්තේ ඇයි ද යන්න ගැටලුවකි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන කතා කරන හැම විටම අර්ස්කින් මේ උපුටා දක්වන මෙම වියතුන් මෙවැනි අවස්ථාවක බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අනුගමනය කළ පියවරක් ගැන සඳහන් නොකරන්නේ ඇයි ද යන්න පැහැදිලි නැත. අප දන්නා ආකාරයට නම් ඔවුන්ට එවැනි නිදසුනක් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් උපුටා දැක්වීම පහසු නොවේ. බි්‍රතාන්‍ය ජන සමාජය තුළ ගැඹුරු බෙදීමකට තුඩු දී ඇති බ්‍රෙක්සිට් විවාදය පහළ මන්ත්‍රී මණ්ඩලයේ පැවැත්වෙන විට මහජන නියෝජිතයන් හැසිරුණ ආකාරය එය රූපවාහිනියෙන් නැරඹු මෙරට ජනතාවට අමතක වන්නේ නැත. විපක්ෂ නායක ජෙරමි කෝර්බින් මහතාට අගමැතිනිය තෙරේසා මේ චෝදනා එල්ල කරන විට ඔහු සන්සුන්ව ඒවාට සවන් දුන්නා මිස ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඔහුගේ පාක්ෂිකයන් උසි ගැන්වූයේ නැත.

විපක්ෂයේ ප්‍රබල නායකයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතා පැහැදිලි කරන ආකාරයට උත්තරීතර ආයතනයක් වන පාර්ලිමේන්තුව තුළ සිදුවන දේ විසඳා ගත යුතු වන්නේ පාර්ලිමේන්තුව තුළ දීමය. එය ඉන් බැහැරට ගෙන යා යුතු නැත. ඇත්තෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ කළ ආකාරයට කතානායකට හෝ වෙනත් බාහිර පුද්ගලයෙකුට මැදිහත්වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. කතානායකවරයාගේ ඉල්ලීම අනුව ගැටුම් වැළැක්වීමට සහ ඔහුගේ ආරක්ෂාවට පැමිණි පොලිස් නිලධාරීන්ට “සැලකූ” ආකාරය ද රූපවාහිනි රූප රාමුවලින් ලෝකයටම ප්‍රකාශ විය. දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන් ආකාරයට පාර්ලිමේන්තුවේ මංත්‍රීවරුන් ආරක්ෂා වන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේය. එමනිසා පාර්ලිමේන්තුව තුළ වූ සිදුවීම් අධිකරණය හමුවට ගෙන යා යුතු නැත.

ඒ දිනවල අගමැති වශයෙන් නම් කර සිටි මහින්ද රාජපක්ෂ මහතා ද දැක්වූයේ එවැනිම අදහසකි. පාර්ලිමේන්තුව තුළ සිදුවන ගැටුම් විසඳා ගත යුතු වන්නේ පාර්ලිමේන්තුව තුළ දීම ය. පාර්ලිමේන්තුවෙන් බැහැර මෙම සිද්ධිය වූයේ නම් වරප්‍රසාද ගැන තමා කතා නොකරන බවද හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.

සමස්තයක් වශයෙන් ගත් විට ඔවුන්ගේ තර්කය වන්නේ පාර්ලිම්න්තුව තුළ සිදුවන කුමන දෙයක් ගැන හෝ විසඳුම් සොයා ගත යුත්තේ ඒ තුලින්ම ය. ඒ අනුව අගමැති ඉවත් කර නව අගමැති පත් කිරීමේ අර්බුදය විසඳා ගත යුතුව තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොව පාර්ලිමේන්තුවෙනි. එම උත්සාහයේ උපරිම අවස්ථාව කතානායක පුටුව ගුවන් ගත කර ගරු මංත්‍රීවරුන් මිරිස් කුඩු මිශ්‍රිත වතුරෙන් නෑවීමෙනි. ගැටුම් විසඳා ගැනීමේ මෙම ක්‍රමය පාර්ලිමේන්තුවට ගැලපෙන්නේ වුවත් රටේ ජනතාවටනම් ගැලපෙන්නේ නැත.

රවි කරුණානායක මහතා බන්ධනාගාරයේ සිටින ඥනසාර හිමියන්ට කළ ආයාචනයෙන් සහ පසුගිය ඔක්තෝබරයේ පාර්ලිමේන්තුවේ වූ අශෝභන සිද්ධීන්වලින් කියවෙන්නේ එකම කතාවකි. එනම් පිළිගත් නීති රීති හෝ සම්ප්‍රදායන් ගරු කිරීමට අපේ දේශපාලකයන් තුළ ඇති අකමැත්ත යි. වඩාත් නිවැරදිව නීතිය හෝ සම්ප්‍රදාය ඔවුන්ට වැදගත් වන්නේ තම අභිමතාර්ථයන්ට ගැලපෙන තාක් පමණි. එය ඔවුන්ගේ වුවමනාවන්ට පරස්පර වන්නේ නම් ඒවා ඉවත දැමීමටත් එම ඉවත දැමීම හේතු යුක්ති කිරීමටත් ඔවුන්ට අපමණ වූ හේතු පවතී. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධීයැයි සම්පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණයම තීරණය කළ විට එය ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමක් ලෙස හැඳින්විය හැක්කේ එම තර්ක ක්‍රමය අනුවය. උසාවියට අපහාස කිරීම රට ආරක්ෂා කිරීමට ගත් උත්සාහයක් වන්නේ එවිටය.
මෙම වසරේ දී අඩුම වශයෙන් අවස්ථා දෙකක දී, පළාත් සභා ඡන්දය සහ ජනාධිපතිවරණයේ දී මෙම දේශපාලකයන්ට නැවත වරක් ජනතාවගේ පරමාධිපති බලය සිඟා කැමට හෝ කොල්ල කෑමට අවස්ථාවක් ලැබෙනු ඇත. දශක නමයකට ආසන්න කාලයක් තිස්සේ පුද්ගලයන් බලයට පත් කිරීමටත් බලයෙන් ඉවත් කිරීමට ඡන්ද බලය යොදා ගත් මෙරට ජනතාවට ඉදිරි ඡන්ද වලදී හෝ ඊට වෙනස් වූ විකල්පයක් නැත. බලය ලබා ගත් වහාම ජනතාවත් පොරොන්දුත් අමතක කරන දේශපාලකයන් හැර වෙනත් නායකයන් හෝ ජනතා ව්‍යාපාර පවතී ද යන්න ගැන සිතා බැලීමටත් එසේ නැතිනම් ජනතා ශක්තිය පිළිබිඹුවන ආයතන ගොඩ නගා ගැනීමටත් සිත් යොමු කළ යුතු කාලය එළඹ ඇත.