සිදුවීමට නියමිත කුමක්ද?

කාලිංගගේ විග්‍රහය

ලංකාව සමාජ දේශපාලන අර්ථයෙන් දැන් තිබෙන්නේ එක් ඓතිහාසික යුගයක් අවසන් කොට තවත් අලුත් ඓතිහාසික යුගයකට ගමන් ගනිමින් තිබෙන සංක්‍රාන්ති අවස්ථාවකය. එය ක්‍රමයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා වර්ධනය වීම නිසා යාන්ත්‍රිකව සිදුවන ක්‍රියාදාමයක් මිස මහජනයාගේ මෙහෙයවීම මත හෝ සිදුවන්නක් නොවීමද එම ඓතිහාසික ක්‍රියාදාමයට ආවේණික වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එහෙත් මහජනයා එම ක්‍රියාදාමය තුළ ඉගෙන ගනිමින් එම ක්‍රියාදාමයට දැන හෝ නොදැන අනුගතවෙමින් සිටින්නේ යැයි කිව හැකිය. සිදුවෙමින් තිබෙන එම පරිවර්තන ක්‍රියාදාමයේ එක් ඓතිහාසික සංධිස්ථානයකදී එම පරිවර්තන ක්‍රියාදාමය සිය පාලනයට නතුකර ගනිමින් එය බුද්ධිමත් ලෙස යහපත් හා තර්කානුකූල අවසානයක් කරා මෙහෙයවීමට අවශ්‍ය පරිචයක් හිමිකර ගැනීමට මහජනයා සමත් වෙතොත්, පරණ කාලකණ්ණි යුගය අවසන් කොට පුරවැසියන්ට වැඩි ප්‍රමුඛතාව හිමිවන යුගයක් බිහිකිරීමට ඔවුන් සමත්විය හැකිය.

අලුත් පරිවර්තනයක් සඳහා යල්පැන ගිය පරණ දේවලට තිබෙන පිළිගැනීම අහිමි වන තත්ත්වයක් ඇතිවීම අත්‍යවශ්‍යය. දැන් සිදුවෙමින් තිබෙන්නේද එයයි. පැරණි නායකයන්ට තිබෙන පිළිගැනීම වාෂ්පවෙමින් පවතී. එය සිදුවෙමින් තිබෙන්නේද හිමින් හිමින් නොව මහත් වේගයකින් යුතුවය. හිටපු ජනාධිපති වර්තමාන විපක්ෂනායක මහින්ද රාජපක්ෂට, ඔහු පරාජය කොට පාලනයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හා අගමැති රනිල් වික්‍රමසිංහට තිබූ පිළිගැනීම දියවී යන තත්ත්වයක් ඇතිවී තිබේ. ඊට වඩා පොඩි දේශපාලන නායකයන්ගේ තත්ත්වයද ඊට වෙනස් නැත. ඒ සියලුදෙනා කෙරෙහි මහජනයා අතර විවිධ මට්ටම්වලින් තිබුණ පිළිගැනීම් වාෂ්පවෙමින් තිබෙන අතර දැන් රටේ මහජනයාට ඒ සියලු නායකයන් පෙනෙන්නේ ආත්මාර්ථකාමී, දූෂිත, රට විනාශයට පත් කළ අසාර්ථක නායකයන් ලෙසය. පළමු පෙළේ නායකයන් විනාශවීමේ ක්‍රියාදාමය තුළ එවැනි පක්ෂවල දෙවැනි පෙළ නායකයන්ද හිස ඔසවන බවක් පෙනෙන්නේ නැත. එසේම අලුතෙන් විකල්ප නායකයන් මතුවන බවක්ද පෙනෙන්නේ නැත.
මෙම අර්බුදය දේශපාලන නායකයන්ට තිබෙන පිළිගැනීම පමණක් නොව, රටේ ආයතනවලට තිබෙන පිළිගැනීමද අහිමි කිරීමට හේතුවී තිබෙන බව කිව හැකිය. මුලදී මහජනයාගේ විරෝධයට හේතුවී තිබුණේ ජනාධිපති ක්‍රමය පමණය. ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය පවරන ක්‍රමයක් ගැන ඔවුහු සිහින දැක්කෝය. එහෙත් දැන් ඔවුන්ට පාර්ලිමේන්තුව පෙනෙන්නේ කෝලං මඩුවක් ලෙසය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙනෙන්නේ දූෂිතයන් හා බොරුකාරයන් පිරිසක් ලෙසය. ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පටහැනිව ආණ්ඩුව වෙනස් කොට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට උත්සාහ කළ අවස්ථාවේදී එම පෙරළිය ආපස්සට හැරවීමට හේතුවන ලෙස අධිකරණය දෙන ලද තීන්දුව නිසා අධිකරණය කෙරෙහි ඇතිව තිබූ විශ්වාසයේ බිඳ වැටීම විශාල ලෙස වෙනස් කිරීමට හේතු වුවද සමහර පහළ අධිකරණ පද්ධතියෙන් විටින් විට දෙන ලද අමනෝඥ තීන්දු හේතුවෙන් අභියාචනාධිකරණයේ ඇතිවී තිබෙන අර්බුද නිසා නැවත අධිකරණය කෙරෙහි ඇතිවී තිබුණු විශ්වාසයේද ශීඝ්‍ර බිඳ වැටීමක් ඇතිවී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. දැන් මහජනයා සිටින්නේ දේශපාලකයන් කෙරෙහි පමණක් නොව, සමස්ත ආයතන ක්‍රමය කෙරෙහිද විශ්වාසය අහිමි කරගත් තත්ත්වයකය.

රටේ පවතින මෙම අවුල්සහගත තත්ත්වය මීට පෙර කවර කලෙකදීවත් ඇති නොවූ විශේෂ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. තවදුරටත් දේවල් සිදුවනු ඇත්තේද රටේ තිබෙන එම නරක තත්ත්වය උග්‍ර කිරීමට මිස සමනය කිරීමට හේතුවන ආකාරයට නොවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන නායකයන් තිදෙනාම සිටින්නේ ශක්තිමත් තත්ත්වයක නොව දුර්වල තත්ත්වයකය.

රටේ තරුණ පරපුර සිටින්නේද දේශපාලනයට ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමකින් තොරව රටේ සිදුවන දේවල් දෙස කෝපයෙන් හා පිළිකුළෙන් පැත්තකට වී බලා සිටින තත්ත්වයකය.
රටේ පවතින මෙම සුවිශේෂී තත්ත්වය පැවැත්වෙන මැතිවරණ කෙරෙහිද බලපානු ඇත. අර්බුදය වර්ධනයවෙමින් තිබෙන විශේෂ ස්වභාවය අනුව මැතිවරණ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා සේ ම, එසේ නොවී මැතිවරණ පැවැත්වුවද ඒවා ලබාදෙන ප්‍රතිඵල ලොකු අර්බුද ඇති කිරීමට හේතුවිය හැකිය.

තමන් ජීවත් වන නිවස ගරා හැලෙන තත්ත්වයට පත්වූ විට එම ගරා හැලීම තවදුරටත් වර්ධනය වෙන්නට ඉඩ නොදී නිවස ප්‍රතිසංස්කරණය කරගැනීම හෝ ප්‍රතිසංස්කරණයකට ඉඩක් නැති තරමට ගරා වැටුණු තත්ත්වයක තිබේ නම් එම නිවස කඩා බිඳ දමා අලුත් නිවසක් ඉදිකර ගැනීම එම නිවසේ ජීවත් වන නිවැසියන්ගේ වගකීම ලෙස සැලකිය හැකිය. එසේ නොවී නිවස උපරිම තත්ත්වයකට ගරා හැලෙන තත්ත්වයකට පත්ව තිබියදීත් නිවැසියන් එහිම ජීවත් වන්නේ නම් කොයි මොහොතක හෝ ගරා හැලෙන නිවස නිවැසියන්ගේ හිස් මත කඩා වැටිය හැක. දැන් ලංකාවට සිදුවන්නට නියමිතව තිබෙන්නේද එයයි.