ගැමි කාන්තා කොල්ලය

වික්ටර් අයිවන්

ග්‍රාමීය සමාජයේ දුප්පත්කම දුරැලන මාර්ගයක් වශයෙන් හා දුප්පත් කාන්තාවන්ට සුළු ජීවන මාර්ගයක් වශයෙන් ජීවන මාර්ග ආරම්භ කිරීමට අවශ්‍ය කරන ප්‍රාග්ධනය ඇප රහිත සුළු පොලියක් සමග කොටස් වශයෙන් අයකර ගන්නා ක්‍රමයකට ණය ලබාදෙන ක්‍රමයක් හඳුන්වා දෙන ලද්දේ බංග්ලාදේශයේ නොබෙල් ත්‍යාගලාභී ආචාර්ය මොහොමඞ් යූනුස්ය. ඔහු ඒ අරමුණ වෙනුවෙන් ආරම්භ කළ ග්‍රාමීන් බැංකුව අතිවිශාල සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට සමත් විය. ඉතා වැදගත්ම දේ ඒ ආකාරයට දුප්පත් කාන්තාවන්ට ලබාදෙන ණයවලින් සියයට 99ක්ම ආපසු ලැබෙන බව සනාථ කිරීමට එම අත්හදා බැලීම සමත්වීමය. දුප්පත් කාන්තාවන්ට ඇප රහිතව ලබාදෙන ණය ක්‍රමයක ඇති ආර්ථික වාසිය බැංකුකරුවන් පළමුවරට තේරුම් ගන්නට ඇත්තේ යූනුස්ගේ එම අත්හදා බැලීම නිසාය.
දුප්පත් කාන්තාවන් ආර්ථික වශයෙන් නගා සිටුවීමේ අරමුණින් හඳුන්වා දෙන ලද එම ක්‍රමය මේ වනවිට ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ග්‍රාමීය සමාජයේ දුප්පත් කාන්තාවන්ගේ ලේ උරා බොන දුෂ්ට ක්‍රමයක් බවට හරවාගෙන තිබේ. ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් දේපළ ඇප රහිතව ගම්බද දුප්පත් කාන්තාවන්ට ණය ලබාදීම සඳහා පවත්වාගෙන යන වැඩසටහනක් දැැවැන්ත වස්තු කොල්ලයක් ලෙස සැලකිය හැකි අතර එම කොල්ලයට එකතු වී තිබෙන සමාගම් සංඛ්‍යාව අතිවිශාල වන අතර ඒ සඳහා එකිනෙක සමාගම් අතර ලොකු පොරයක්ද පවතී. එහිදී මෙම සමාගම් දේපළ ඇප රහිතව දුප්පත් කාන්තාවන්ට ණය දෙන්නේ ජීවන මාර්ගයක් ආරම්භ කරගැනීම සඳහා නොව ඔවුන්ගේ පාරිභෝගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහාය. ණය ලබාදීමේදී ණය ගෙවීමට තිබෙන හැකියාව සලකා බලනු නොලැබේ.
දේපළ ඇපයකින් තොරව කාන්තා සමිතියක සාමාජිකයන් දෙදෙනකු විසින් ලබාදෙන නිර්දේශ මත පමණක් ණය ලබාගැනීමේ සැබෑ අරමුණ සොයා බැලීමකින් තොරව ණය ලබාදෙන ක්‍රමයක් ඇති කළ විට ණය ලබාගැනීමේ වේගවත් වර්ධනයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. මේ සමාගම් ලබාදෙන ණය සඳහා වාරික ගෙවීම් ප්‍රමාද වූ විට අය කරන දඩ මුදල්වල හිතුවක්කාරී බවක් පවතී. අධික පොලියකට ණය ලබාගෙන එම ණය පරිභෝජන අවශ්‍යතාවන් සඳහා යොදාගත් විට ණය ගැනුම්කරුවා ණය උගුලකට හසුවූ කෙනකු බවට පත්වී ඇගේ ජීවිතය පමණක් නොව පවුල් ජීවිතයද කාලකණ්ණි තත්ත්වයකට පත්වීම නොවැළැක්විය හැකිය.

එක බැංකුවකින් ණය ලබාගෙන ණය ගෙවීම පැහැර හැර තිබෙන පුද්ගලයන්ට සාමාන්‍යයෙන් වෙනත් බැංකු ණය දෙන්නේ නැත. එහෙත් ක්ෂුද්‍ර මූල්‍ය ණය සමාගම් එක සමාගමකින් ණයගෙන පැහැර හරින්නන්ටද ලබාගෙන තිබෙන එම ණයවලින් නිදහස්වීම සඳහා ණය දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. ණයකරුවන් තමන්ගේ ග්‍රහණයට ගැනීම සඳහා සමාගම් අතර ලොකු පොරයක් පවත්නා බව පෙනේ. ඒ අනුව එක සමාගමකින් ණය ලබාගෙන ගෙවාගත නොහැකිව අසරණ තත්ත්වයකට පත්ව සිටින්නකුටද ඒ ණය ගෙවීම සඳහා පහසුවෙන් ණයක් ලබාගත හැකිය. ඒ සමග එම ණයකරුවා පරණ ණයගැති භාවයෙන් අත්මිදී අලුතෙන් ණය දෙන ලද සමාගමේ ණයගැතියකු බවට පත්වේ. මෙසේ එක සමාගමකින් ලබාගත් ණය ආපසු ගෙවීම සඳහා එකකට පසු එකක් යනාදී වශයෙන් සමාගම් හත අටකින් ණය ලබාගත් කාන්තාවන් ගණනාවක් පොළොන්නරුවේදී දැනගැනීමට ලැබුණි.

පොළොන්නරුවේ තත්ත්වය

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දුප්පත් කාන්තාවන් කෙරෙහි ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නය බලපා තිබෙන ආකාරය සොයා බැලීම සඳහා එම ප්‍රදේශයේ ප්‍රකට ගොවි නායකයකු වන කවුඩුල්ලේ ජයතිස්ස සමග කරන ලද සංචාරයකදී ඇළහැර, හිඟුරක්ගොඩ හා මැදිරිගිරිය යන ප්‍රදේශ තුනේදී ණයගැතිභාවයෙන් අසරණභාවයට පත් කාන්තා කණ්ඩායම් තුනක් හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබුණි. මැදිරිගිරියේදී අපට හමුවූ කාන්තා කණ්ඩායමට ඇතුළත් අයගේ සංඛ්‍යාව 200ක් පමණ වී යැයි කිව හැකිය. එහි සිටින්නේ එම ප්‍රදේශයේ ණය ලබාගත් අයගෙන් ඉතා සුළු පිරිසක් පමණක් බවත් ප්‍රදේශයේ පවුල්වලින් සියයට 80ක් තරම් විශාල කාන්තාවන් පිරිසක් ණය ලබාගෙන තිබෙන බවත් ඔවුහු අපට කීවෝය. අපට එම කණ්ඩායම් තුනෙන් අසන්නට ලැබුණු කතා ඉතාමත් ශෝකජනක බව කිවයුතුය. මැදිරිගිරියේ ණය කණ්ඩායමක නායිකාවක් වස බී මරණයට පත්ව තිබෙන බව අසන්නට ලැබුණි.

ණය ලබාදීම හා ණය අයකර ගැනීම සඳහා ණයදෙන සමාගම් යොදාගෙන තිබෙන සංවිධාන ක්‍රමය රළු පරුෂ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. හැම සමාගමකටම එම කටයුතු සඳහා යොදා ගත් ක්ෂේත්‍ර නිලධාරීන් කණ්ඩායමක් සිටින්නේය. ක්ෂේත්‍ර නිලධාරීන්ගේ පැවැත්ම හා ඔවුන් උපයන ආදායම රැඳී පවතින්නේ ඔවුන් ණය ලබාදෙන අයගේ ප්‍රමාණය හා ඒවා ආපසු අයකර ගන්නා ප්‍රමාණයේ සඵලතාව අනුවය. ඔවුහු ණය වාරික අයකර ගන්නේ මාසිකව නොව, සතිපතා හෝ සති දෙකකට වරක් බැගිනි. ක්ෂේත්‍ර නිලධාරීන් තරුණ පිරිමින් වන අතර ඔවුන්ට ගනුදෙනු කරන්නට සිදුවී තිබෙන්නේ ගැහැනුන් සමගය. ණයකාරියන් සොයාගෙන ගොස් ණය ලැබෙන තෙක් ණයකාරියන්ගේ නිවෙස්වල අරක් ගෙන සිටින බවද බොහෝ අය ණය ලබාගැනීම සඳහා නිවෙස්වලට යන්නේ ස්වාමිපුරුෂයන් තමන් ජීවත් වන නිවසින් බැහැර වී පැල් රකින රාත්‍රී කාලවලදී බවත් අසන්නට ලැබුණි. උතුරු පළාත් සභාවට ණය එකතු කරන්නන්ට රාත්‍රී කාලයේදී ණයකාරියන්ගේ නිවෙස්වලට යෑම තහනම් කරන්නට ආඥාවක් නිකුත් කරන්නට සිදුවීමෙන් එම පළාත කෙරෙහි එම ප්‍රශ්නය බලපා තිබෙන තරම තේරුම් ගත හැකිය. වාරික ලබාගත නොහැකි අවස්ථාවලදී ක්ෂේත්‍ර නිලධාරීන් පරුෂ ලෙස බැණ වැදීම් කරන බවත්. ණය ගත්තා නම් ඇඟ විකුණා හෝ ණය ආපසු ගෙවිය යුතුයි කියන කියමන බහුලව පාවිච්චි කෙරෙන කියමනක් බවට පත්ව තිබෙන බවද අසන්නට ලැබුණි.

බොහෝ දෙනකුට ණයගැනීමට මුලදී පෙළඹී තිබෙන්නේ දේපළ ඇපයකින් තොරව ණය ලබාගැනීමට ලැබී තිබෙන පුළුවන්කම නිසාය. ණය ලබාගෙන තිබෙන්නේද ආදායම් උපයන ජීවන මාර්ග ආරම්භ කිරීම සඳහා නොව, පාරිභෝගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහාය. කලාතුරකින් ජීවන මාර්ග ආරම්භ කිරීම සඳහා ණය ලබාගත්තවුන්ට පවා ණය සඳහා අය කරන අධික පොලිය නිසා එම ජීවන මාර්ග සඵල කරගැනීමට හැකිවී නැත. ණය ලබාගැනීමේදී ඒවා ආපසු ගෙවීමේදී මුහුණ දෙන්නට සිදුවිය හැකි දුෂ්කරතාද සැලකිල්ලට ගෙන තිබෙන බවක් පෙනෙන්නට නැත. අවසානයේ ගම්බද දුප්පත් කාන්තාවන්ට සිදුවී තිබෙන්නේ ඇප නැතිව ලොකු මුදලකට ගිජුවී ඔවුන්ගේ ජීවිත කාලකණ්ණි කරගැනීමටය. ඔවුන්ගේ මේ ණය ප්‍රශ්නය ඔවුන්ගේ පවුල් ජීවිතවල තිබූ සමාදානය නැති කරන ප්‍රශ්නයක් බවට ද පත්වී තිබෙන්නේ යැයි කිව හැකිය.

මුදල් ඇමතිගේ ප්‍රකාශය

ලබා ගත් ණය ගෙවාගත නොහැකිව වවුනියාවේ මවක් සිය දරුවන් සමග දිවි නසා ගන්නට දරන ලද උත්සාහයක් දැනගන්නට ලැබීමෙන් පසුව වවුනියාවේ කාන්තාවක් ප්‍රකෝප වී වීදි බසින තත්ත්වයක් ඇතිවීමෙන් පසු හිඟුරක්ගොඩ නගරයට පැමිණි මංගල සමරවීර මුදල් ඇමතිවරයා ක්ෂුද්‍ර ණය පිළිබඳව කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් ණය අර්බුදයේ ස්වභාවය වඩා සංකීර්ණ කිරීමට හේතුවිය. ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවීමේ වගකීම රජය භාරගන්නා බවත්, ඒ නිසා ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ණය ලබාගෙන ඇති අය එම ණය ගෙවීමෙන් වැළකී සිටින ලෙසත් මුදල් ඇමතිවරයා එහිදී මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඒ සමග ණය වාරික ගෙවමින් සිටින සියලුදෙනාත්, ණය ගෙවීම අත්හැරියේය. එහෙත් ඒ සඳහා ඇති කරන ලද කොන්දේසි අනුව ණයකාර භාවයෙන් නිදහස් කෙරුණේ ඉතාමත් සුළු පිරිසක් පමණය. ඒ සමග නොගෙවන ලද වාරික වෙනුවෙන් හිඟ ණයවලට අතිරේකව සමාගම් විසින් පනවන ලද දඩ මුදල් ගෙවන්නටද ණයකරුවන්ට සිදුවූ අතර, ඒ නිසා දැන් ඔවුන් සිටින්නේ කබළෙන් ළිපට වැටුණු අසරණ තත්ත්වයකය.

දැන් ණය දුන් සමාගම් ඔවුන්ට ලැබිය යුතු ණය මුදල් අයකර ගැනීම සඳහා නීතිය ආයුධයක් කරගනිමින් සිටින බව පෙනේ. දැනටමත් සමහර සමාගම් ණයකරුවන්ට එරෙහිව නඩු පවරන බවට දැනුම් දී තිබෙන අතර පොළොන්නරුවේදී ළාබාල විවාහක කාන්තාවක් වෙත ලැබී තිබෙන සිතාසියක් මට කියවන්නට ලැබුණි. ඇයට කොළඹ වාණිජ දිසා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස එම සිතාසියෙන් දන්වා තිබුණි. ඇයට ගෙවන්නට තිබුණු හිඟ ණය රුපියල් 52,000කි. ඇය උසාවි දිනට පෙර එම ණය ගෙවා ප්‍රශ්නය විසඳා ගැනීමට අසමත් වෙතොත්, ඇය උසාවි දිනයට මැදිරිගිරියේ සිට කොළඹ යා යුතුය. ඇය එක වරක් හෝ කොළඹ ගොස් ඇතැයි මම නොසිතමි. ඇයට අලුත්කඬේ උසාවිය සොයාගෙන කොළඹ එන්නට සිදුවන අතර නීතිඥයකු සොයා ගැනීමේ දුෂ්කර ප්‍රශ්නය විසඳා ගැනීමට සිදුවේ. ඇය ලබාගත් ණය ආපසු ගෙවිය නොහැකිව මහත් අසරණභාවයට පත්ව සිටින ලක්ෂ ගණන් වන ග්‍රාමීය කාන්තාවන්ගේ අවිනිශ්චිත අනාගතය සංකේතවත් කරන කාන්තාවන් ලෙස සැලකිය හැකිය. ඇයට කුමක් වේද? නඩුවකට මුහුණ නොදී ප්‍රශ්නය විසඳා ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ හැකියාවක් ඇයට තිබේද? නොතිබෙන්නේ නම් ඇය ඊළඟට කරනු ඇත්තේ කුමක්ද?
මෙම ප්‍රශ්නයේදී වව්නියාව දිස්ත්‍රික්කයේ ක්‍රියාධරයෙක් ලෙස කටයුතු කරන නඩරාජා දේව ක්‍රිෂ්ණන්ගේ ඇස්තමේන්තුවලට අනුව එම දිස්ත්‍රික්කයේ ගම් 28කට පමණක් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ලබාදී තිබෙන ණය ප්‍රමාණය රුපියල් මිලියන 280කි. එක පුද්ගලයකුගේ සාමාන්‍ය ණයගැතිභාවය රුපියල් ලක්ෂ 5කි. උතුර හා නැගෙනහිර යන පළාත් දෙකේ පමණක් මෙම ණය ප්‍රශ්නය නිසා ජීවිත අහිමි කරගෙන සිටින අයගේ සංඛ්‍යාව 111කි.

අවසානය කුමක්ද?

බොහෝ කලක සිට කෘෂිකර්මය ප්‍රධාන ජීවන මාර්ගය බවට පත් කරගත් ගම් තිබෙන්නේ අන්ත අසරණ තත්ත්වයකය. අන් සියලුදෙනාට වඩා වී ගොවිතැන ප්‍රධාන ජීවන මාර්ගය කොටගත් ගොවීන්ගේ තත්ත්වය ඉතාමත් අසරණය. රටේ ප්‍රමුඛතාව ලබාදී තිබෙන්නේ වී ගොවිතැනට වුවත් වී ගොවිතැනින් උපයා ගත හැක්කේ තණකොළ වැවීමෙන් උපයාගත හැකි ආදායමටත් වඩා අඩු ආදායමකි. වී ගොවිතැන ලංකාවේ ග්‍රාමීය දුප්පත්කම කෙරෙහි බලපා තිබෙන ලොකුම සාධකයක් ලෙස සැලකිය හැකිය. කෘෂිකර්මයෙන් යැපෙන මිනිසුන්ට ගංවතුර, නියඟය වැනි ස්වභාවික ආපදාවන්ගෙන් බැට කන්නට සිදුවේ. ඊට අතිරේකව අලින්, වඳුරන්, රිලවුන්, වල්ඌරන්, මොනරුන්, ඉත්තෑවන් හා දඬු ලේනුන් වැනි සතුන් කෘෂිකර්මයට කරන විනාශයේ තරම අතිවිශාලය. ඒ නිසා කෘෂිකර්මයට සිදුවන හානියේ තරම සමස්ත නිෂ්පාදනයෙන් සියයට 40කටත් වැඩි තරම්ය. වන සතුන්ගෙන් කෘෂිකර්මයට වන හානි පිළිබඳ ප්‍රශ්නය විසඳාගත හැකි ප්‍රශ්නයක්ව තිබියදීත් ආගම නිසා ආණ්ඩුව එයට අතගසන්නට කැමති නැත. ඔවුන්ට බරපතළ ණය ප්‍රශ්නයකට කර ගසන්නට සිදුවී තිබෙන්නේ ඒ ප්‍රශ්නය නිසාය. දැන් ලංකාවේ ගොවි ජනතාව සිටින්නේ නිදහසින් පසු මීට පෙර අන් කවරදාකවත් නොවූ තරම් අසරණ හා ඛේදජනක තත්ත්වයකය. බැලූ බැල්මට ගම්බද ගොවීන්ට උළු සෙවිලි කළ ගෙවල්ද, ගෘහ භාණ්ඩද, ටෙලිවිෂන් හා ශීතකරණ වැනි විදුලි උපකරණද, මෝටර් සයිකල්, ත්‍රිරෝද වැනි යාන වාහනද තිබෙන්නේය. මතුපිටින් බලන කෙනකුට ඔවුන් පෙනෙනු ඇත්තේ යමක් කමක් ඇති ගැමි ගොවි ජනතාවක් ලෙසය. එහෙත් ඔවුන් අත්පත් කරගෙන සිටින ඒ සියලු දේ නොවේ නම්, ඒවායින් වැඩි හරියක් අත්පත් කරගෙන සිටිනුයේ විවිධ මාර්ගවලින් ලබාගත් ණය මුදල්වලිනි. ලබාගත් ණය සඳහා ගෙවිය යුතු වාරික හා පොලිය සඳහා ඔවුන් කපා හැර ඇත්තේ ආහාර හා ඇඳුම් පැළඳුම් සඳහා කරන වියදම්ය. බොහෝ දෙනකු ජීවත්වන්නේ අඩ හාමතේය. ඔවුන්ගේ ණයගැතිභාවය උපරිම මට්ටමක පවත්නා අතර, එම තත්ත්වය ඔවුන්ගේ ජීවිත ශෝකාන්තයක් බවට පත්කිරීමට හේතුවී තිබේ. ගම්වල තිබෙන තත්ත්වය ලෙනාඞ් වුල්ෆ්ගේ ‘බැද්දේගම’ කතාවේ නූතන ප්‍රතිනිර්මාණයක් ලෙස සැලකිය හැකිය.

ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රශ්නය ග්‍රාමීය ජන ජීවිතය ශෝකාන්තයක් බවට පත්කිරීමට හේතුවන තරම් දුරදිග ගිය ප්‍රශ්නයක් බවට පත්වන්නට ඉඩ හැරීම ගැන වැඩියෙන්ම වගකිව යුත්තේ මහ බැංකුවය. ක්ෂුද්‍ර මූල්‍ය විෂය භාරව තිබෙන්නේ මහ බැංකුවටය. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමේ පුළුවන්කම තිබෙන්නේ මහ බැංකුවේ ලියාපදිංචි සමාගම්වලට පමණය. එහෙත් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන සමාගම්වලින් වැඩි හරියක් මහ බැංකුවේ ලියාපදිංචි වී නැති සමාගම් ලෙස සැලකිය හැකිය. ලියාපදිංචියක් ඇති සමාගම් පවා නීතියට අනුකූලව ක්‍රියාකර නැත. ලියාපදිංචි සමාගම් සේ ම ලියාපදිංචි නැති සමාගම්ද කරමින් සිටිනුයේ දැවැන්ත කොල්ලයකි. මහ බැංකුව සේ ම බලයේ සිටින ආණ්ඩුව හා වෙනත් දේශපාලන පක්ෂද මෙම කොල්ලකරුවන්ට සිත් සේ ගම් කොල්ල කන්නට ඉඩහැර අහක බලාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඒ සියලුදෙනා එසේ කරනවා ඇත්තේ ඒ කොල්ලයෙන් ඒ සියලුදෙනාට අනියම් ලාබ ප්‍රයෝජන සලකා විය හැකිය. ලංකාවේ කාන්තා ව්‍යාපාර මේ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි? මේ විනාශය ඔවුන්ට නොපෙනෙන්නේද? මේ ප්‍රශ්නය ගිනි කන්දක් බව ඒ සියලුදෙනා දැනගත යුතුය. ඔවුන් ඉන්නේ ඒ ගිනි කන්ද උඩය. එය ඕනෑම මොහොතක පිපිරිය හැකිය.