ගෝඨාභය කලින්ම කියපු එක හොඳයි බැසිල් රාජපක්ෂ

සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ සංයුතිය, දැක්ම, අරමුණු සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කිසියම් අපැහැදිලිභාවයක් බොහෝ දෙනකුට තිබෙනවා. ඒවා පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

අපි මේ දවස්වල අපේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව, පක්ෂයේ දැක්ම, ඉදිරි වැඩපිළිවෙළ සකස් කිරීම ගැන ජනතාවත් එක්ක පිළිසඳරක යෙදෙනවා. ජනතාවත් සහභාගි කරගෙන ඉදිරියේදී ඒවා සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි තවම නිල ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කළේ නෑ. 2015 ජනවාරි 09 වෙනිදායින් පස්සේ ජාතික ආණ්ඩු සංකල්පයත් එක්ක එක්තරා විදිහකට මතුවෙලා, අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව තවදුරටත් රට තුළ උග්‍ර වෙච්ච දේශපාලන තත්ත්වය තමයි මේ පක්ෂය ආරම්භ කරන්නට මූලික හේතුව වෙන්නේ. එතනදි ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියන තනතුරු සියල්ලම එකම දේශපාලන කඳවුරකට හිමි වුණා. ශ්‍රීලංකා, යූඑන්පී, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය පක්ෂ සියල්ලම මේ කඳවුරට ඇවිල්ලා, රජය හැටියට පෙනී හිටින්න පටන් ගත්තා. එතනදි ඊට බාහිරව ඉන්න කට්ටියව නියෝජනය කරන්න කිසිම දේශපාලන පක්ෂයක් තිබුණේ නෑ. ඒ කියන්නේ ජනවාරි 08 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් සහ මහින්ද රාජපක්ෂ කියන නායකත්වයට ඡන්දය දීපු අය නියෝජනය වෙන කිසිම දේශපාලන සංවිධානයක් ගොඩනැඟුනේ නෑ. ඒකත් එක්කයි මේ පක්ෂයේ අවශ්‍යතාව ඇති වුණේ. ඒ තුළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහිවුණේ ජනතාවගෙන්. ජනතා අවශ්‍යතාවන් උඩ ජනතාව සංවිධානය කළ පක්ෂයක්. ශ්‍රීලංකා නිදහස් පක්ෂය කියන ගොයම් ගහෙන් අපේ බීජය බිහිවුණාට මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම නෙවෙයි. ඊට වැඩිය ටිකක් ඉස්සරහට ගිය දේශපාලන පක්ෂයක්.

2015 ජනවාරි 9 වැනිදායින් පසුව ‘පනස්අට ලක්ෂය’ට නියෝජනයක් නැතිවුණා කියා ඔබ කිව්වත්, ඒ දේශපාලන කඳවුරේ සාමාජිකයන් පිරිසක් කැබිනට් ඇමැති තනතුරු පවා ලබාගෙන කටයුතු කරමින් සිටියා නේද?

ඒ නිසාම තමයි පනස් අට ලක්ෂයේ ජනතාවට නියෝජනයක් නැති වුණේ. එක පැත්තකින්, අනෙක් පැත්තෙන් මැතිවරණයට ඉල්ලූ පුද්ගලයා පක්ෂයේ සභාපති හැටියට පත් කරගත්තා. කොටසක් ජාතික ආණ්ඩුවට එකතු වුණා. ජාතික ආණ්ඩු සංකල්පය එක්ක විපක්ෂ නායකයත් ඒකට එකතු වුණා නේ. විපක්ෂයේ සංවිධායකයා හැටියට ජනතා විමුක්ති පෙරමුණත් එක්තරා විදිහකට ඒ රාජ්‍ය යන්ත්‍රණයේ හිටියානේ. ව්‍යවස්ථාදායකය තුළත්, විධායකය තුළත් සමහර තීන්දු තීරණ ගන්නා විට ඔවුන් එක පිලකට ගොණු වුණා. එතකොට ඉතිරි වුණු අනෙක් කට්ටිය වෙනුවෙන් තමයි අලුත් විපක්ෂයක අවශ්‍යතාව මතු වුණේ. ඒකට තමයි පොදු ජන පෙරමුණ බිහි කළේ.

ඔය කියන ආකාරයට පනස්අට ලක්ෂය නියෝජනය කළ අය අතරින් ඉතිරි වුණ වැඩි පිරිසක් විවිධ දූෂණ, විෂමාචාර සහ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබපු අය නේද? ඇතැම් අය නඩු දෙක තුනක විත්තිකාරයෝ නේද? එහෙම බැලුවම පොදු ජන පෙරමුණ කියන්නේ එවැනි පිරිසකගේ එකතුවක්ද?

එහෙම කියන්න පුළුවන්කමක් නැහැ. ඔය චෝදනා ගැන මම මේ වෙලාවේ කතා කරන්න යන්නේ නෑ. මොකද ඒවා අධිකරණය ඉදිරියේ තිබෙන කාරණා නිසා. ඒවා විග්‍රහ කරනවා නම් එක්තරා ආකාරයක දේශපාලන දඩයමක් විදිහටත් විග්‍රහ කරන්න පුළුවන්. ඒ නිසා අධිකරණය ඉදිරියේ තියන කාරණා ගැන කතා කරන එක සුදුසු නෑ. ඒත් ඔය කියන ඔක්කොම චෝදනාත් එක්ක තමයි අලුත් පක්ෂයක් හැටියට අපි ජනතාව ඉදිරියට ගියේ. එහෙම ගිහිල්ලා අවුරුදු හැත්තෑ දෙකක් පැරණි එක්සත් ජාතික පක්ෂය සහ අවුරුදු හැට අටක් පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අවුරුදු පනහ පැනපු ජනතා විමුක්ති පෙරමුණත් යන ඒ සියලු පක්ෂ තමන්ගේ දේශපාලන ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතයක් ලබන තැනකට පත්කළා. ප්‍රාදේශීය සභා මැතිවරණයේදි පොහොට්ටුව පනස් ලක්ෂයක් ඡන්ද ගත්තානේ. ජනතාවගේ ඡන්දයෙන් තේරිච්ච මහජන නියෝජිතයන් තුන්දහස් නවසීයකට වැඩියෙන් අපිට දන් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ දින්න එකම එක කොට්ඨාසය පානදුර දින්නෙත් අපේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙච්ච නිසා. ඒ කියන්නේ කවුරු මොන චෝදනා එල්ල කළත් ජනතාව අපි කෙරෙහි ලොකු විශ්වාසයක් තිබ්බා.

ලංකාවේ දේශපාලන පරිසරය ඇතුලේ ඡන්දදායකයන්ට හැම මැතිවරණයකදීම පාහේ සිදුවෙන්නේ විරෝධාකල්පයේ ප්‍රකාශනයක් විදිහට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න. පොදු ජන පෙරමුණට ලැබුණ මේ විශාල ඡන්ද ප්‍රමාණයත් පවතින ආණ්ඩුවට විරෝධය පළ කිරීමේ ප්‍රකාශනයක් මිස, පොදු ජන පෙරමුණේ විශේෂ ගුණයක් හේතුවෙන් ලැබුණ ඡන්ද නොවෙයි කියා සිතිය නොහැකිද?

එහෙමත් වෙන්න පුළුවන්. එහෙම නම් 2015 ජනවාරි 08 වැනිදා සිද්ධ වෙච්ච එකත් එහෙම තමයි. ඒක තමයි වඩාත් නිවැරදි. අනෙක මේක තමයි අවුරුදු ගානකට පස්සේ තමන්ගේ කොට්ඨාසයට නියෝජිතයෙක් හඳුනාගෙන ඡන්දය දෙන්නට ජනතාවට ලැබුණ අවස්ථාව. අනෙක් එක ආණ්ඩුවට විරෝධය පළ කරන්න නම් ජනතාවට පොදු ජන පෙරමුණ හැර තෝරාගන්න තව දේශපාලන පක්ෂ ගොඩක් තිබුණානේ. හැබැයි, ඒ වෙලාවේ ආණ්ඩුවේ එකට හිටපු පිරිස් ඡන්දෙදි දෙකට තුනට කැඩුණා. අපි විතරයි ආණ්ඩුවට විරුද්ධව නම් ඡන්දය දෙන්න තිබුණේ. එතනදි ඔවුන් මේක විරෝධය පළ කිරීමේ ඡන්දයක් බවට යොදාගත්තා වෙන්නත් ඇති. හැබැයි ඡන්ද කැඩිච්ච විදිහෙන් අපිට හොඳට පේනවා ජනවාරි 8 වැනිදා හංසයාට දීපු ඡන්ද ගොඩ තුනකට කැඩුණා. එදා මහින්ද මහත්තයාට දීපු ඡන්ද මේ පාර පොහොට්ටුවට ලැබුණා වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ.

පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මේ පක්ෂයට එක්වෙච්ච පිරිස පක්ෂයේ සාමාජිකත්වය ලැබුවාද නැත්ද කියන එක ගැන පසුව විවාදාත්මක තත්ත්වයක් මතු වුණා. එහිදී හැබෑවටම සිදුවූයේ මොකක්ද?
මෙහෙමයි. ඒක දේශපාලන රාමුව තුළ එකක්. නීතිමය තත්ත්වය තුළ වෙනත් එකක්. එදා ඒකාබද්ධ විපක්ෂයත් ඔය අර්බුදයටම මුහුණ දුන්නා. එක පැත්තකින් කථානායකතුමා බහුතරය පනස් හතරට වැඩිය දාසය ලොකුයි කියලා පිළිගත්තා. ඒකට හේතුව කිව්වේ මෙතන පක්ෂ දෙක තුනක් නෑ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු තමයි ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ කියලා. එතකොට නීතිමය රාමුව තුළ ඔවුන් සියල්ලක්ම ජාතික ආණ්ඩුවේ කොටස්කාරයෝ. හැබැයි ඔවුන්ගේ දේශපාලන මතවාදයයි දේශපාලන ක්‍රියාවලියයි තුළ ඔවුන් හිටියේ විපක්ෂයේ. ඒක පිළිගත්තා. හැබැයි කතා ගනිද්දිත් එක්සත් නිදහස් සන්ධානයට වෙන්කරන කාලය තමයි කථානායකතුමා ඒකාබද්ධ විපක්ෂයේ අයටත් බෙදලා දුන්නේ. වෙනම දුන්නේ නෑ. විපක්ෂ නායකකම දුන්නේ නැත්තෙත් ඒකනේ. එවැනි තත්ත්වයක්ම තමයි ඔය පිළිබඳවත් තියෙන්නේ. නීතිමය වශයෙන් ඔවුන් තවම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෝ. හැබැයි දේශපාලන වශයෙන් ඔවුන් ඉන්නේ වෙනත් කඳවුරක. අපිත් එක්ක.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් පිරිසක් පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නා උත්සවයක් මාධ්‍ය ඉදිරියේ පැවැත්වුවේ බොරුවටද?

නීතිමය රාමුව තුළ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් නැහැ. එදා මම එතන හිටියෙත් නැහැ. මම කියන්නේ ඒක නීතිමය වශයෙන් කතා කළොත් එකක්. දේශපාලන වශයෙන් කතා කළොත් වෙන එකක් කියන එකයි. මේ පක්ෂය ජනතාවට අයිති පක්ෂයක්. නායකයෝ ඉන්නේ පිට. හැබැයි මේකේ පරමාදර්ශී නායකයා හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, පක්ෂය පිහිටවපු දා ඉඳලා ඉන්නවා. ඔහු නිල වශයෙන් පක්ෂයේ සාමාජිකයෙක්ද, නැත්ද කියන එක දැනගන්න ජනතාවට අවශ්‍ය වුණේ නෑ. එතුමාගේ දැක්මක් අනුව පිහිටවපු පක්ෂයක් කියලා ජනතාව දන්නවා.
දෙසැම්බර් නව වැනිදා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙක් ජනාධිපති ලෙස දිවුරුම් දෙන කතාවක් ඔබ ප්‍රකාශ කර තිබුණා. කොහොමද එහෙම කියන්නේ කියා පැහැදිලි කිරීමක් කළ හැකිද?
මැතිවරණ නීතිය අනුව අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය තියන්න පුළුවන් අවසාන දිනය දෙසැම්බර් නවය. ඒත් සෙනසුරාදා දවසක තියනවා නම් තියන්න වෙන්නේ දෙසැම්බර් 07 වැනිදා. දෙසැම්බර් 07 ඡන්ද විමසීම කළොත් දෙසැම්බර් 08 ගණන් කරලා නව ජනාධිපතිවරයාට දිවුරුම් දෙන්න වෙන්නේ දෙසැම්බර් 09 වැනිදා. ඒ අනුව තමයි මම එහෙම කිව්වේ. 09 වැනිදා දිවුරුම් දීලා දහ වැනිදා ඉඳලාම රටේ අවශ්‍යතා වෙනුවෙන් වැඩ කරන්න අපි සූදානම්.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද?

අපේ රටේ ක්‍රමයයි වෙනත් රටවල ක්‍රමයි දෙකක්. ඇමරිකාවේ නම් පක්ෂය තුළ අපේක්ෂකයා වීමට අවුරුද්දක කාලයක් යනවා. ප්‍රයිමරිස් කියලා එංගලන්තේ වගේ ටවුන් හෝල් මීටින්ස් තියලා, ප්‍රශ්න අහලා, පක්ෂයේම කට්ටිය විවාද කරලා, අපේක්ෂකයා විවාදවලට සහභාගි වෙලා, ඒ දෙගොල්ල අතර, අපේක්ෂකයෝ අතර, විවාද කරලා තමයි පක්ෂයේ නාම යෝජනාවට අවස්ථාවක් ලැබෙන්නේ. හැබැයි ලංකාවේ එහෙම නෑ. අවසානය දක්වා ඒක රහසක් විදිහට තබා ගැනීම පක්ෂවල පුරුද්දක් වෙලා තියනවා. සරත් ෆොන්සේකා මහත්තයා තරඟ වදින්නට මාසයකට ඉස්සෙල්ලා යුද හමුදාපතිවරයා වෙලා හිටියා. එයින් අස්වෙලා තරඟ වැදුණා. එතකන් කවුරුවත් ඒ අපේක්ෂකයා ගැන දන්නේ නෑ. ප්‍රේමදාස මහත්තයා නම් කළෙත් අවසන් මොහොතේ සම්මේලනයක් තියලා. ඒ වෙනකොට ලලිත් ඇතුලත්මුදලි එනවා… ගාමිණී දිසානායක එනවා… කියලා ලොකු රාවයන් තිබුණා. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා නම් කළෙත් “අනුර බණ්ඩාරනායක ද? මහින්ද රාජපක්ෂ ද?” කියලා ලොකු වාදයක් අවසන් මොහොත වෙනකම් ගිහින්. ඒ ලංකාවේ ක්‍රමය. ඒ නිසා ඒ අනුව සුදුස්සා එළියට ඒමත් සුදුසු කාලයක සිද්ධ විය යුතුයි කියන මතයේ පක්ෂ නායකත්වයේ හුඟ දෙනෙක් ඉන්නේ. තාම ඒ කාලය ඇවිල්ලා නෑ.

ඇමරිකානු පුරවැසියකුත් වන ඔබගේ මතයත් ඔය කියන පක්ෂ නායකයන්ගේ මතයමද?

ඒ මතය නෙවෙයි, මගේ තියෙන්නේ. ජනතාවට තමුන්ගේ නායකයා කවුද කියන එක තීරණය කරන්න කල් ඇතිවම අවස්ථාව, අයිතිය තියෙන්න ඕනේ. විධායක ජනාධිපති ක්‍රමය තුළ ඉස්සෙල්ලාම තෝරාගන්නේ පුද්ගලයෙක්. එහෙම වෙලාවට හදිසියේ පුද්ගලයෙක් ඉදිරිපත්වීමෙන් ජනතාව නොමඟ යන්න පුළුවන්. පහුගිය සැරේ වුණේ ඒකනේ. ඒ නිසා මම සන්තෝෂ වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමුන් ඉදිරිපත් වෙන්න සූදානම් කියන එක කලින්ම ජනතාවට දැනුම් දීපු එක ගැන. එතකොට එතුමාටත් ජනතාවගේ අදහස් ගන්න පුළුවන්. ජනතාවටත් ඔහු ගැන සලකා බලන්න පුළුවන්.

පොදු ජන පෙරමුණට ජනාධිපතිවරණ ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු තියාගන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක කිසියම් හෝ එකඟතාවක් ඇති කරගැනීමට සිදුවෙනවා නේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන බවට මේ වෙනකොටත් තීරණය කර තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. පොදු ජන පෙරමුණ යෝජනා කරන්නේ ගෝඨාභය නම් එහිදී යම් අවුල් සහගත බවක් මතුවෙනවා නේද?

මාධ්‍ය මගින් ඉදිරිපත් කරන දේවල් අනුව ජනතාවත් සමහර විට ව්‍යාකූල වෙනවා වෙන්න පුළුවන්. අපේ පක්ෂය තුළ නම් එහෙම කිසිම අවුල් සහගත බවක් නෑ. අපි පැහැදිලිව දන්නවා මේකට සුදුස්සා කවුද කියලා. ඒ ගැන අපි බොහොම පැහැදිලි තැනක ඉන්නවා. අපේ ප්‍රතිපත්ති අනුගමනය කරන, ඒවා ක්‍රියාත්මක කරන්න සුදුසු ජනාධිපතිවරයෙක්, පාර්ලිමේන්තුවක්, පළාත් සභාවක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒත් එක එක පක්ෂවලට තම තමන්ගේ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට තියන අයිතියත් අපි පිළිගන්නවා. සමහර විට පසුව ඒවා සාකච්ඡා කරලා එක්කහු වෙනවා විය හැකි වුවත්, තමන්ගේ අපේක්ෂකයාව ඉදිරිපත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් පුළුවන්. සාහිත්‍ය සම්මාන දෙනකොටත්, නාට්‍යවලට සම්මාන දෙනකොටත්, හැම පොතක්ම, හැම නාට්‍යයක්ම තරඟයට යෝජනා කරන්න පුළුවන්. අන්තිමට තෝරලා එකකට තමයි සම්මානය ලැබෙන්නේ. ඒක ඉතිං බොහොම කල්පනාවෙන් ගත යුතු තීන්දුවක්. අපි මීට කලින් ගත්ත තීන්දු තීරණ පදනම් කරගෙන තීරණයක් ගැනීම අමාරු දෙයක් නෙවෙයි. ඒක අපි ඉස්සරහට තියාගමු. දැන්ම අවශ්‍ය වෙන එකක් නෑ ඒ ගැන පැහැදිලිව යමක් කියන්න.

ඔබලාගේ දේශපාලන කඳවුරේ පදනම සිංහල බෞද්ධ ඡන්ද පදනම නේද? එහෙම තියාගෙන කොහෛාමද සමානාත්මතාව ගැන කතා කරන්නේ ?

අපේ පක්ෂයේ නම් එහෙම එකක් නෑ. අපිත් එක්ක ඉන්න අනෙක් පක්ෂවලත් එහෙම එකක් නෑ. ඒත් අපි සාධාරණව පිළිගන්න ඕනේ මේ රටේ පදනම සිංහල බෞද්ධ පදනම කියලා. අපේ පක්ෂය හැම වෙලාවෙම වැඩි දෙනා වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් නෙවෙයි, හැම දෙනා වෙනුවෙන්ම පෙනී සිටින පක්ෂයක්. අධ්‍යාපනය පැත්තෙන් බැලුවොත් වැඩි දෙනකුට හොඳ අධ්‍යාපනයක් දෙන්න නෙවෙයි හැම දෙනාටම හොඳ අධ්‍යාපනයක් දෙන්නයි අපි වැඩ කරන්නේ. විදුලිය දෙනකොට වැඩි දෙනකුට විදුලිය දීම නෙවෙයි අපේ පරමාර්ථය හැම දෙනාටම විදුලිය දිම. ඒ වගේම බහුතරය නොවෙයි සියලු දෙනාගේම කැමැත්ත ඇතිව හැම දෙනාම සතුටු කරන සමාජයක් බිහි කරන්නයි අපි කටයුතු කරන්නේ.

එවැනි කාරණාවලදි නොවෙයි ඔය ගැටලුව මතුවෙන්නේ. ආගමික සහ බලය බෙදීම ආදී දේශපාලන කාරණා ආදියේදියි. බුද්ධාගමට මුල් තැන දෙනවා කිව්වොත් අනෙක් ආගම්වලට වෙනස් තැනක් හිමිවන බවත්, අසමාන සැළකීමක් සිදුවන බවත් එයින් පෙනෙනවා එතකොට ඔබ අර කලින් සඳහන් කළ සමානාත්මතාවය කියන කාරණය ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැති වෙනවා නේද?

එහෙම වෙන්න හේතුවක් නෑ. දැන් ඇමරිකාවේ ජනාධිපතිතුමා දිවුරුම් දෙන්නේ බයිබලේ අතගහලා. ඒකෙන් කියන්නේ නෑ අනෙක් ආගම් පස්සට යනවා කියලා. ඕක අපේ රටේ කළොත් එහෙම, ජාතක පොතේ හරි ධම්ම පදයේ හරි අත තියලා දිවුරුම් දෙන්න ගියොත් ඕක වැරදි විදිහට විග්‍රහ කරන්න පුළුවන්. එංගලන්තයේ රාජ්‍ය ආගම හැටියට තියෙන්නේ එංගලන්ත සභාව, රැජිනගේ ආගම. එකෙන් මම හිතන්නේ නෑ අනෙක් ඒවාට අසාධාරණයක් කරන්න ඉඩ කඩක් තියනවා කියලා. මේවා තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ කාරණා. සුඩානය වගේ මෑතක පවා ගෝත්‍රිකවාදී සටන් තිබුණු රටවල් පවා අද ඉදිරියට ඇවිත් තියනවා ඒවායින් අපි ඉගෙන ගන්න ඕනේ. ඇමරිකාවේ රජයේ පමණක් නොවෙයි පුද්ගලික අංශයේ රක්ෂාවකට දාන ඉල්ලුම් පත්‍රයේවත් අයදුම්කරු ගැහැනුද පිරිමිද කියලාවත් අහන්න බෑ. ජාතිය හෝ ආගම ගැන ඉල්ලුම් පත්‍රයේ කැමැති නම් ලියන්න පුළුවන්. නැත්නම් නොලියා ඉන්න පුළුවන්. අපේ ආණ්ඩුව තුළ අපි සිවිල් සමාජය පුරවැසි අයිතිවාසිකම් වගේ දේවල් ගැනත් විශේෂ අවධානයක් යොමු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම පහළ මට්ටම දක්වා පුරවැසි සහභාගිත්වය ලබාදෙන රාජ්‍ය පරිපාලන ක්‍රමයක් ඇති කරන්න. 2005 මහින්ද චින්තනයෙත් කිව්වා ජනතාවට බලය බෙදනවා කියලා. ඒ නිසා මම ඉල්ලන්නේ අපේ පක්ෂය දිහා පාට කණ්ණාඩිවලින් බලන්නේ නැතිව, නැවුම්ව බලලා, නව ඇරඹුමක් රටේ ඇති කරන්න හැම දෙනාම සම්බන්ධ වෙන්න කියලා.