බර වැඩි මහින්දද? රනිල්ද?

ටිරන් කුමාර බංගගමආරච්චි

ඉදිරි ජනාධිපතිවරණයට මහින්ද – සිරිසේන පාර්ශ්වයෙන් ඉදිරිපත් වන්නේ කවුද? ඒ සිරිසේනද? ගෝඨාභයද? බැසිල්ද? නැතහොත් චමල් හෝ වෙන කවරෙක්ද? ජනතාවට ඇති එකම ප්‍රශ්නය මෙය වන තරමට මාධ්‍ය එය මේ මොහොතේ දේශපාලන පැනය බවට පත් කොට ඇත. ඒ අතර එජාපය තුළ නායකත්වයේ සිහින දකින සිහින දේශපාලකයෝ බොහොමයක් සිටිති. ඒ අතර සජිත්, නවීන්, පරම්පරා උරුමයට නායකත්වය ලැබෙතැයි සිතා සිටින අතර ඇතැමුන් විශේෂයෙන්ම මහත්වරුන් යැයි පෙනී සිටින එජාප දැනමුත්තෝ සිට නායකයා තේරීම 2015 සිට ඒ අයගේ වගකීමක් කොට සලකති. දේශපාලන පූජකයන් වන මොවුන්ට අනුව එජාපයේ ඊළඟ නායකයා කරු විය යුතුය. කරු ජයසූරියගේ පසුගියකාලයේ පෙනී සිටීම් පිටුපස සිටි යෝධ ශක්තිය මේ දේශපාලන පූජකයන්ය. (මේ ගිහි පූජකයන්ය) දේශපාලන උපදේශකයෝය. මේ අය මහින්ද වටා සිටින සැබෑ පූජකයන්, චීවරධාරීන් තරමටම අනතුරුදායකය. මන්ද මතවාද හදනුයේ මොවුන් බැවිනි.

පසුගිය කෙටිකාලීන සිරිසේන – මහින්ද ආණ්ඩුවේදී රනිල්ව බේරා ගන්නට උපරිම කැප කිරීම් කළ මේ අය ඒ තුළ රනිල්ට වඩා කරු නම්‍යශීලී මෙන්ම තමන්ගේ අණට කීකරු බව දත්හ. මේ නිසා මේ අය උත්සාහ කරනුයේ ඊළඟ එජාපය ප්‍රමුඛ පිලේ නායකත්වය කරුට දෙන්නටය. කරුද මෙවැනි ලණු චුයිම්ගම් ලෙස හපන්නට දක්ෂයෙකි. ඔහු දැන් බරපතළව සිතනුයේ ඊළඟ එජාප අපේක්ෂකයා ඔහු කියාය. ඒ තැනට එජාප ගිහි පූජකයෝ කරු ව මෝහනය කොට ඇත. කරු යනු ඩී.බී. විජේතුංග පන්නයේ නායකයෙකි. ඒ නිසා රනිල්ට වඩා කරු මෙල්ල කිරීම සැමට ලේසිය. පහසුය.

මේ අතර ඒ සැම ඉවත ලූ කල තනිව කෙසේ හෝ එජාප නායකයා වීමේ ආශාවෙන් පෙළෙන තවත් චරිතයක් නම් චම්පික රණවකය. ඔහු සෑහෙන දත කනුයේ අනාගත නායකයා වන්නටය. එහෙත් එයට එජාපය බිලි වෙතැයි ඉක්මන් සිතිවිලි ඇති කරගත යුතුද? එජාපයට අහිමි බෞද්ධ චින්තනයක් සහිත නායකයෙක්ය. එහෙත් ඒ බෞද්ධ චින්තකයා චම්පික වනවාට එජාප පාක්ෂිකයෝ කැමති වෙත්ද? චම්පික බරට ඒ ගැන සිතනවා විය හැකිය. එහෙත් චම්පික වැන්නකු එජාප නායකත්වයට නොගැළපේ.

අනෙක් පසින් එන්නේ ගෝඨාභය නම් මේ පසින් චම්පික නියම තුරුම්පුවක් ලෙස දකින අය සිටිති. එයින් ඔවුන් අදහස් කරනුයේ කුමක්ද? යකෙකුට යකෙකු තරග කළ යුතු බවද? මේ ළාමක දේශපාලන හිතලු පසෙකලූ කල එජාපය මෙවර නායකත්වයට තෝරනුයේ රනිල් වික්‍රමසිංහම විය හැකිය. පිළිතුර කුමක් වුවත් මෙවර තරගයට රනිල් දමන්නට ඇති ඉඩ වැඩිය. එයට හේතුව මේ මොහොතේ වඩා ලොකු අර්බුදය ඇත්තේ පොහොට්ටුව තුළ බැවිනි. මහින්ද රාජපක්ෂට බලය නොලැබෙන තැන ඔහු තම සහෝදරයකුට බලය දෙන්නට අකමැතිය. ගෝඨාභයට අකමැතිම බව තිරය යට කතාය. එහෙත් බැසිල් පෙන්විය හැකි චරිතයක් නොවේ. පෙන්නන්න බැරිකමක්ද? නැත. මහින්දගේ අශිර්වාදයෙන් කවුරු දැම්මද? ඔහු ඉහළට එතැයි මහින්දවාදීන්ගේ අදහසය. මේ අනුව සිරිසේන සහ මහින්ද විරසක වී නැවත එජාපයට තනි අශ්වයා ලෙස දුවන්නට හැකි වෙතැයි එජාපය හීන බලයි. මේ හීන දවල් හීනය. එජාපය විශ්වාස කරන්නට හෝ රැක ගන්නට කාට නම් කුමන වුවමනාවක්ද?

මහින්ද සෙලවීම

තමා විසිවැනි සංශෝධන පිළිබඳ ජවිපෙ සමග කතාබහ කරන බව මහින්ද කියා තිබුණි. මහින්ද ජවිපෙ සමග 20ට එකඟ වුවහොත් තමා මහින්දව අත්හරින බව විමල් වීරවංශ කීවේය. මේ බරපතළ කරුණකි. අද මහින්ද ඩිවෝස් කරනවා යැයි කියන්නට තරම් විමල් කේන්ති ගනුයේ දැන් මහින්ද යනු ඕනෑම මොහොතක අත්හළ හැකි බව දන්නා නිසාය. තමා දින පනස් ගණනක ආණ්ඩුවක් පිහිටුවාගෙන සවුත්තු වුණේ යැයි මහින්ද රාජපක්ෂ නොබෝදා වේදිකාවකදී කීවේය. තමාට එයින් අවාසියක් වුණු බවත්, එහෙත් රටේ ජනතාවට යහපතක් නිසා තමන් තමන්ගේ අවාසි නොතැකූ බවත් ඔහු කීවේය. ඇත්ත නම් ජනතාව අයින් කළ විට පසුගිය මහින්ද-මෛත්‍රී දීගෙන් මහින්ද හෙම්බත්ම විය. ඔහු තුළ ඒ වනවිට තිබූ ප්‍රතිරූපය නැවත මේ අර කෑදරයාම නේදැයි කියන තැනට මේ කෙටි කාලය පත්විය. ඒ කෙටි කාලය තුළ අගමැති ලෙස ගෙට වී සිටි රනිල් නාවා ගෙට ගත් පසු සියල්ල අමතක කොට සුපුරුදු පරණ යාම වී ඇත. රනිල් යනු අංක එකේ අවස්ථාවාදියෙකි. ඔහු පෙන්වනුයේ බලයට ආශා නැති බවය. එහෙත් ඇත්ත නම් ඔහු මහින්දට වඩා බලයට කෑදරය.

මේ දිනවල ජනපති සිරිසේන තරමටම අගමැති රනිල්ද, පන්සල්වලට යයි. රණවිරු ගුණ වයයි. සැමගේ ඔළුව තෝන්තු වූ ගාණය. මහින්ද 2015ට පෙර මහා ඉහළින් කළ හැමදේම අද රනිල්ද කරමින් සිටී.
තිරුපති එදා 2015ට පෙර මහින්දගේ මිථ්‍යාවට සිනාසුණු අය කොතෙක්ද? අද ඔහුට කවුරු සිනාසෙත්ද? මහින්ද බුද්ධිමත් ජනතාව අතර හෑල්ලු වූ එක් හේතුවක් වූයේ මේ අන්ධ ඇදහිල්ලය. බලය සඳහා දෙවියන් සොයා සෑම අන්තිම භයානකය. 2015ට පෙර මහින්ද නොගිය, නොඇදහූ දේවාලයක්, දෙවියෙක් නොවීය. ඒ අතර තිරුපති යෑම ප්‍රමුඛ විය. ඉන්දියාවේ තිරුපති කෝවිලට යෑම අධික මුදල් යන වැඩකි. එහි යන රාජ්‍ය නායකයන් කෝවිලට පූජා කරනුයේ තම බරට වස්තුව බව විශ්වාස කෙරේ. එසේ නම් මේ අය තම බරට දෙනුයේ මෙරට භාණ්ඩාගාරයේ මුදල් බව සිතිය නොහැකිද? ඒ අතර රත්තරන් ප්‍රධානය. මහින්ද කිහිප වතාවක්ම තිරුපති කෝවිලට ගොස් ඉල්ලා ඇත්තේ ඔහුගේ ආශාවන්ය. මෙයට එකල කොතෙක් පිරිස් හිනාවීද? මහින්ද අතේ කුන්තයක් රඳවාගෙන ඇතැයි විහිළු කළේය. එහෙත් අද වී ඇත්තේ කුමක්ද? එදා මහින්ද හිටගෙන කළ දේ රනිල් දුව දුව කිරීමය. ඔහුගේ විශ්වාසය එජාප බෞද්ධ නායකයාත් තමාම විය යුතු බවය. මේ දිනවල අගමැති සිටිනුයේ උමතුවෙනි. ඔහුද මහින්ද මෙන් තිරුපති යන්නට පටන් ගෙනය. මෙවර ඔහු තිරුපති ගියේ හතර හෝ පස්වැනි වතාවටය. රනිල්ද දැන් අංක එකේ භක්තිවන්තයා වී ඇත. පන්සලක් නායක හිමිනමක් ආශ්‍රය කිරීම දේශපාලකයන්ට මරු ඉල්ලුමක්ය. ඒ අය පවතින්නේද අවසානයේ මේ අයගේම පිහිටෙනි. සැවොම එකට රැවටෙති.

කොළඹ හතේ ඉපිද ටයි කෝට් පැළඳුවද රනිල් තුළ පවා අද ඉන්නේ මිථ්‍යා දෘෂ්ටිකයෙකි. මහින්ද සමග කෝවිලට ශිරන්ති රාජපක්ෂ යෑම හරිය. එහෙත් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ යෑම ගැළපේද? මේ අය මෙතරම් තකහනියේ මේවාට යනුයේ අනාගත බලලෝභකම නිසාය. රනිල් දැඩිව විශ්වාස කරනුයේ මෙවර තමා දිනනු ඇතැයි කියාය. රනිල්ට දිනන්නට බැරිද නැත. එහෙත් ඔහු දිනවන්න අනෙක් අය අවංකව උදව් කරාවිද යන්න ප්‍රශ්නයකි. මේ අනුව මේ දෙපැත්තටම ප්‍රශ්නය බරපතළය. ඒ නිසාම පළාත් සභා වැනි මැතිවරණවලට ගොස් සැම ශක්තිය වැය කරන්නට බයය. ඔවුන්ට වුවමනා මියැදෙන්නට හෝ අන්තිම සටනට ඒමය. එහිදී අවසානය කුමක් වේදැයි සිතීම භයානක සෙල්ලමක් වී ඇත.

මේ කප්පරක් ප්‍රශ්න තිබුණද ඒ සියල්ල අමතක කොට මාධ්‍ය මතුකරනුයේ කවුද 2020 අපේක්ෂකයා යන්නයි. අද ජනප්‍රිය මාතෘකාව වී ඇත්තේ එයය. එහිදී තමා සූදානම් බව කීවේ ගෝඨාභය පමණය. ඒ නොකියවෙන තැන නොඅහන තැන කියාපෑමක් වැනිය. බලහත්කාරකමක්ද? ඒ තුළ ඇත. ගෝඨාට පුළුවන් නම් මට බැරිද? බැසිල්ගේ තර්කයය. එසේ නම් මහින්ද සිටිනුයේ පඹගාලකය. අනෙක් පසින් මට නේද දේපළ යැයි අලුත බැන්ද කසාදය විමසයි. ඒ සිරිසේනය. මහින්දට සිරිසේන අත්හැරිය නොහැකිය. අත්නොහැරද බැරිය. ඒ නිසා ඒ දේවල් විසඳා ගැනීම ඒ අයටම අයත් කරුණක්ය. මෙහිදී සිරිසේනට, මහින්දට මෙන්ම රනිල්ට වුවමනාද ජනාධිපතිවරණයක්ය. තමා රට වටේම ගියත් ඡන්ද ලැබේදැයි යන්න සිරිසේන නොහිතනවා විය යුතුය. ඔහුද තවමත් තමා තරග කරන බව නොකිව්වේය. එහෙත් තරගයට අවශ්‍ය සියල්ල කරමින් සිටී. රනිල්ද එම පන්නයේමය. ඔහුද අනාගත නායකයා වීමට බලමින් සිටී. එහෙත් නොකියයි.

මේ සියලු ව්‍යාධීන්, මිථ්‍යාවන් වපුරමින් මේ පිරිස් ඉදිරියට ඇදෙන්නේ බලයට ඇති කෑදරකම නිසාය. මිථ්‍යාවට ඇලෙන තරමට බලය ළඟ යැයි මොවුහු සිතති. බලය ලැබෙනුයේ ඊට සුදුසු නිසා නොව අතිරේක වරප්‍රසාදයක් නිසා යන්න මෙරට දේශපාලකයන් අදහන සත්‍යය. දේශපාලකයකු වී භුක්ති විඳින සැප කන්දරාව අනුව ඔවුහු දේශපාලකයකු වීම දේව වරමක් ලෙස අදහති. ඒ තැනට තමන් පත් කළ ජනතාවට වඩා මොවුහු විශ්වාස කරනුයේ දෙවිවරුය.

අගමැති අරලියගහ මන්දිරයට වී සිටි රනිල් එයින් එළියට නොආවේ, එය ඊළඟ මොහොතේ මහින්ද අල්ලා ගනිතැයි බියෙනි. බය නැති අගමැති ලෙස සටන් පාඨයක් හදාගත් රනිල් අන් සැමට වඩා බලය අතහරින්නට බයය. පක්ෂ නායකකම ඔහු අත අරින්නට සූදානම් නැත. සියල්ල ඒ ආකාරයටය. මේ අය මේවා අත අරින්නට මැලිය. රනිල් වික්‍රමසිංහගේ එජාපයට කොතරම් විදෙස් ආධාර ලැබෙනවා ඇත්ද? ඒවා දන්නේ රනිල්, මලික් සහ තව කිහිපදෙනෙක් විය හැකිය. රනිල් එජාපය අත නොහරින්නේ නිකම්ම නොවේ. ජවිපෙ පක්ෂයට එතරම් ලොකුවට වැජඹෙන්න පුළුවන් නම් එජාපයේ තත්ත්වය කවරාකාර විය හැකිද? මේවා රැක ගන්න තිරුපති නොව ඕනෑම තූත්තුකඩියක යෑමට මහින්ද සේ ම රනිල්ද කැමතිය. සිරිසේනද එකපයිනි. මේ අයට ඕනෑ බලයය. ඊට ඕනෑම දෙයක් කරති. තිරුපති මහින්ද මෙන්ම රනිල්ද, සිරිසේනද තරගයට මෙන් යති. එසේ නම් තිරුපති දෙවියෝ බලනුයේ කා දිහාද? වැඩි බර කෙනා දිහා විය නොහැකිද? දෙවියන්ට පුද දෙන රන් පුද්ගලයාගේ බරට තීන්දු වන්නේ නම් දෙවියන්ට වුව සිරිසේන දෙනුයේ අඩු ලංසුවකි. එසේ නම් ඉතිරි දෙපළගෙන් වැඩි බර කාටද? මහින්දටද? රනිල්ටද? කෙසේ වෙතත් සිරිසේනගේ බරට මහින්දගේ බරද එකතු වන බව දෙවියන් නොදන්නවා විය හැකිය. ඒ නිසා රනිල්ට කිහිප වතාවක් ළඟ ළඟ ගොස් තිරුපති වැඳීම බරට රන් දානය දීම අගනේය. වටිනේය. මහින්දට වටා රනිල් මිථ්‍යාවෙන් ටිකක් අඩුද? අඩු නම් ඒ බරෙනි. අනෙක් අතට සියල්ල සමානය. දෙකම එකය. දෙකම එක නම් එකකුට වැඩිපුර ගෙවන්නේ ඇයි?