කිරිවලට ගොම දැමීම

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

බොහෝ දෙනාට නැතිවම බැරි ආහාරයක් බවට පත්ව තිබෙන කිරිපිටි පිළිබඳ මේ වන විට සමාජයේ ඇතිවී තිබෙන්නේ කථිකාවකටත් වඩා භීතිකාවකි. ආනයනික කිරිපිටිවල ඌරු තෙල් අඩංගු බවට පැතිරෙන පුවත් සමග ඇතැම් අය මෙරට නිෂ්පාදිත කිරිපිටි සොයා යෑමෙන් මේ දිනවල ඒවා ද වෙළෙඳපොළේ සොයා ගැනීමට නොමැති තත්ත්වයක් ද උද්ගතව ඇති බව පෙනේ. කිරිපිටිවලට ඌරු තෙල් මිශ්‍ර කර ඇති බවට පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී තිබෙන බවට කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයත් සමග මෙම කිරිපිටි භීතිකාව නිර්මාණය වී තිබේ.

කිරිපිටි චෝදනා

තමන්ගේ අමාත්‍යාංශය යටතේම තිබෙන පාරිභෝගික අධිකාරියට කිරිපිටි සම්බන්ධයෙන් තනි පුද්ගලයන්ගෙන් මෙන්ම ආයතන මගින් ද පැමිණිලි ලැබී තිබූ බව බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේය. 2009-10 වසර වලදී කිරිපිටි සම්බන්ධයෙන් වයඹ විශ්වවිද්‍යාලය බි්‍රතාන්‍යයේ කරන ලද පරීක්ෂණ වාර්තා ඇතුළත් පැමිණිල්ලක් ද තිබෙන බව ඔහු පවසයි.
තවත් චෝදනාවක් වන්නේ කිරිපිටි බීමෙන් ලෙඩ රෝග 21ක් සෑදෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයත් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඇතුළු ආයතන ගණනාවක අනුමැතියෙන් සකස් කර තිබෙන දැන්වීමය.

පින්තූරය – 1

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති ද වන රාජිත සේනාරත්න ඇමතිවරයා ලෙඩ රෝග 21ක් සෑදෙන බව කියමින් කිරිපිටි බොන්න කියාද පැවසීම යුක්තද යන්න නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ විමසයි. එලෙස ලෙඩ රෝග 21ක් සෑදෙනවා නම් සිගරට් පැකට්ටුවල සඳහන් වන සෞඛ්‍යට අහිතකර බව කියවෙන දැන්වීමක් කිරිපිටි පැකැට්ටුවල ද සඳහන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බව ද ඔහුගේ මතයය.

චෝදනාවලට ප්‍රතිචාර

මේ නැගුණු චෝදනාවලට ප්‍රතිචාර ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වහාම ප්‍රකාශ කර සිටියේ කිරිපිටි අහිතකර නොවන බවත් මෙම චෝදනා අසත්‍ය බවත්ය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කැඳවාගෙන විත් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඔහු පැවසුවේ කිරිපිටි අහිතකර නැති බවත් නගන චෝදනා අසත්‍ය බවත්ය. එහෙත් නැගුණු චෝදනාව සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයක වාර්තාවක් හෝ කොළ කැබැල්ලක්වත් ඔහු ඉදිරිපත් නොකළේය. චෝදනාවක් නැගෙන විටම එය අසත්‍යයැයි කීමට ඔහුට ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය කුමක්දැයි අපට නොවැටහෙන්නේ ඔහු ඒ වෙනුවෙන් කිසිදු වාර්තාවක් ඉදිරිපත් නොකරන බැවිනි. ඔහු නිර්ලජ්ජිත ලෙස ක්ෂණිකව කිරිපිටි සමාගම් වෙනුවෙන් පෙනී සිටින බැවිනි. එමෙන්ම මෙරට ඇතිවන වෙනත් සෞඛ්‍යමය ගැටලුවලදී මෙවන් ක්ෂණික මැදිහත්වීම් ඔවුන්ගෙන් සිදුනොවන බැවිනි. කතානායකවරයා ද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ මැතිඇමතිවරුන්ට ලැබෙන කිරි සුරක්ෂිත ඒවා බවය. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබුණේ තමන් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි වසර පහක කාලය තුළ මෙම ප්‍රශ්න සහගත කිරිපිටි සමාගම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගේට්ටුවලින් බැහැරව තැබීමට කටයුතු කරන ලද බවය. ඒ අනුව ඔහු අදහස් කරනුයේ දැන් ඒවාට ගේට්ටු ඇරී තිබෙන බවද?

මේ අතර ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් ගැටලු මතු වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර මීට පෙරද මෙලමයින් සහ ඩීසීඩී නමැති මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය ආනයනික කිරිපිටිවල තිබූ බවට රසායනාගාර පරීක්ෂණවලින් තහවුරුව ඇති බැවින් ආනයනික කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ චෝදනා පිළිබඳ විධිමත් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර ඇත. ඇමෙරිකාව, මැලේසියාව වැනි රටවල සිට වැඩිම ප්‍රමාණයක් ෆාම් තෙල් ආනයනය කරන රට බවට නවසීලන්තය පත්ව තිබීම අහඹු සිදුවීමක් දැයි සොයා බැලිය යුතු බවත් අද වන විට ලෝක වෙළෙඳපොළේ කිරි මේදය කිලෝග්‍රෑම් එකක මිල ශ්‍රී ලංකා රුපියල් 900කට ආසන්න අගයක් ගන්නා විට ෆාම් තෙල් කිලෝග්‍රෑම් එකක මිල රු. 150ක් පමණ බව විශේෂඥයන් පෙන්වා දෙන බව ද එම ලිපියේ ඔවුන් සඳහන් කරයි. මේ අතර මෙරට ආහාර සෞඛ්‍ය පිළිබඳ බලධාරීත්වය දරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධානීන් විශ්‍රාම ගැනීමෙන් පසු ඉතා ඉහළ වැටුපකට විදේශීය කිරිපිටි සමාගම් වල දේශීය ප්‍රධානීන් බවට පත්වන බවට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. එබැවින් ආනයනික කිරිපිටිවල කිරි මේදය වෙනුවට වෙනත් ආදේශක අඩංගුවී තිබේද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු සහ වර්තමාන බලධාරීන් හා කිරිපිටි සමාගම් අතර පවතින සම්බන්ධතා කවරේද යන කරුණු පිළිබඳ විමර්ශනයට ලක් කළ යුතු බව ඔවුහු අවධාරණය කරති.

“ඩෙංගු මරණ, වසංගත ලෙස පිළිකා පැතිරීම වැනි ඕනෑ තරම් සෞඛ්‍ය ප්‍රශ්න රටේ තිබූ අවස්ථාවලදී ඒ එකක් ගැනවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෝය දවසටත් ප්‍රවෘත්ති සාකච්ඡා තියලා මෙච්චර උනන්දුවකින් රටට තොරතුරු කිවුවේ නෑ. එහෙත් බුද්ධික පතිරණ නියෝජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී මේ ගැන ප්‍රශ්නය මතු කළ දවසට පහුවදා හදිසියේම රාජිත සේනාරත්න ඇමතිවරයා කීවා මේක සම්පූර්ණ බොරු කියලා. ඇත්තටම සෞඛ්‍ය ඇමතිවරයා මේකේ ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න නම් සාම්පල් යවලා පරීක්ෂා කරලා ඒකේ වාර්තා ගෙන්න ගෙනයි කියන්න ඕනෑ, ඒ කිසිවක් නැතිව පහුවදාම ඇවිත් මේක බොරුවක් කියලා කියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මේ කිරිපිටි සමාගම් අතර තිබෙන ගනුදෙනුව මේ හරහා පැහැදිලිව පෙනෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් කීපදෙනෙක් මේ සිදුවීමත් එක්ක අධ්‍යයන චාරිකාවකට නවසීලන්තයට ගිහින් තිබුණු බවට අපිට තොරතුරු ලැබී තියනවා. ඒ ගිහින් ඇවිත් රාජිත අමාත්‍යවරයාත් එක්ක වාඩිවෙලා ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වූවා. ඒ සමාගම් රැකගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලිවම කටයුතු කරන බව පෙනෙනවා.” ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේය.

නිලධාරීන් ගැන සොයන්න

කිරිපිටි පිළිබඳ ඇතිවී තිබෙන සැකය හේතුවෙන් කිරිපිටි සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ වාර්තාවල තොරතුරු ලබාදෙන ලෙස අනුරාධපුරයේ අයෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් තොරතුරු පනත යටතේ ඉල්ලා තිබූ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබූ බව වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේය. තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම පුද්ගලයා අභියාචනා ගොනු කර ඇති අතර ඒ යටතේ එම තොරතුරු ලබාදෙන ලෙස නියෝග කළත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දන්වා තිබුණේ එම තොරතුරු දීම හරහා තුන්වන පාර්ශ්වයකට අගතියක් විය හැකි බැවින් එම තොරතුරු ලබාදීමට නොහැකි බව යැයි ඔහු පවසයි. තුන්වන පාර්ශ්වය ලෙස ඔහු අදහස් කරන්නේ කිරිපිටි ගෙන්වන සමාගම් බැවින් අගතියක් වේ යැයි කීමෙන් පැහැදිලිවන්නේ එම වාර්තාවල ගැටලු තිබෙන බවත් ඒවා ශුද්ධ වාර්තා නම් ප්‍රසිද්ධ කිරීමෙන් අගතියක් නොවන බවත් ඔහු පවසන්නේය.

“හිටපු සෞඛ්‍ය ලේකම් විශ්‍රාම ගිය පසු රුපියල් ලක්ෂ විස්සක පමණ වැටුපකට කිරිපිටි සමාගමක ප්‍රධාන දේශීය අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ලේකම්ට උපරිම තලයේදීත් ලැබෙන්නේ රුපියල් අසූදාහක පමණ වැටුපක්. විශ්‍රාම ගිය පසු රුපියල් ලක්ෂ විස්සක පමණ වැටුපක් එක්ක රැකියාවක් කිරිපිටි සමාගමකින් ලැබෙනවා නම් ඒ හරහා දෙන පණිවිඩය ඉතාම බරපතළයි. පසුගිය අවුරුදු හතර තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය කිරිපිටි සමාගම් සමග පැවැත්වූ ගනුදෙනු විමර්ශනයට ලක් කරන ලෙස අපි ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ කොමිෂන් සභාවටත් මේ පැමිණිලි භාර දෙනවා.” වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

කිරිපිටි මිථ්‍යාවක්ද?

“අපේ රටේ කිරි සම්බන්ධයෙන් සෞඛ්‍යමය මිථ්‍යාවක් තියනවා වගේම එයින් ආර්ථික හානියකුත් වෙනවා. කිරිපිටි කියන්නේ සෞඛ්‍යමය පැත්තෙන් ඇබ්බැහිවීමක්. ඒක වෙනස් කරන්න ඕනෑ. දැන් රට තුළ කිරිපිටි සම්බන්ධයෙන් යම් සංවාදයක් ඇතිවෙලා තියනවා. විශේෂයෙන්ම ආනයනය කරන කිරිපිටිවල අඩංගු දෑ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුව තියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙලාවේ කළ යුතුව තිබෙන්නේ එය ප්‍රයෝජනයට ගෙන ජනතාවට නිවැරදි සෞඛ්‍යමය පණිවිඩය ලබාදීමයි. ඒ වෙනුවට අපි දැක්කේ ඒ අය කිරිපිටි සමාගම් වෙනුවෙන් පෙනී සිටින ආකාරයයි.” ළදරු කාලයේ දී කිරි අත්‍යවශ්‍ය අතර එය මව් කිරිවලින් ලැබෙන බවත් අවුරුද්දකින් පසුව කිරිපිටි අත්‍යවශ්‍ය ආහාරයක් නොවන බව පෝෂණ විශේෂඥයන්ගේ සහ ඒ සම්බන්ධ වෛද්‍යවරුන්ගේ මතය බව ද ඔහු සඳහන් කරන්නේය. ශරීරයට ප්‍රෝටීන් ලබා ගැනීමේ ප්‍රභවයක් ලෙස කිරි ලබා ගත්තත් කිරි මි.ලී. 100ක තිබෙන ප්‍රෝටීන් ප්‍රමාණයට සාපේක්ෂව ඒ ප්‍රෝටීන් ප්‍රමාණයම වෙනත් විකල්ප ආහාරවලින් ලබාගතහැකි බව අද වන විට ඔප්පු වී ඇති බවද වෛද්‍යවරයා පවසයි.” උදාහරණ ලෙස කඩල, පරිප්පු, පොඩි මාළු කෑල්ලක් වගේ හැම එකකින්ම ඒ ප්‍රෝටීන් ප්‍රමාණය එනවා. කැල්සියම් වුණත් හාල්මැස්සෝ වගේ දේකින් ගන්න පුළුවන්. ඒ නිසා පළමු කාරණය කිරි කියන්නේ අත්‍යවශ්‍ය ආහාරයක් නෙමෙයි.”

කිරිපිටි සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ලැබී තිබෙන පැමිණිලි පිළිබඳව සහ ඒ වෙනුවෙන් ගෙනයනු ලබන පියවර පිළිබඳව විමසීමට අප බොහෝ වාර ගණනක් උත්සාහ කළ ද පාරිභෝගික අධිකාරියේ අදාළ නිලධාරීන් පිළිතුරු ලබාදීම මගහැරියේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ විශේෂඥයින් කීපදෙනකුගෙන් ද අප මෙම ගැටලුව සම්බන්ධයෙන් විමසුවත් ඔවුන් විසින් ද පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරන ලදි.
මේ අතර වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පෝෂණ විද්‍යාඥ ආනන්ද චන්ද්‍රසේකර මේ සම්බන්ධයෙන් රාවයට අදහස් දැක්වීය. “කිරිපිටි ගැන දැන් ලොකු ඝෝෂාවක් තියනවා. ඌරු තෙල් දානවා, මෙලමයින් දානවා, ඩීසීඩී තියනවා, විෂ වර්ග තියනවා කියලා මිනිස්සු විශාල වශයෙන් බයට පත් කරනවා. සමහර අය කියනවා ආනයනික කිරිපිටිවල ප්‍රශ්න තියන නිසා දේශීය කිරිපිටි හොඳයි කියලා. ඒ වගේම තවත් පිරිසක් කියනවා කිරි වැඩිහිටියන්ට අවශ්‍ය දෙයක් නෙමෙයි කියලා. මේ සියල්ලම පෝෂණවේදය නොවෙයි. අපි ඉගෙනගත් පෝෂණවේදයේ කියන්නේ කිරි කියන්නේ පෝෂණයට අවශ්‍ය වන ආහාරයක් කියායි. හැබැයි කිරිපිටි කියන දේ මේ කිරි කියන කාණ්ඩයට අයත් වෙනවාද කියන දේ වෙනම කතාවක්.”

ඔහුගේ අදහස වූයේ කිරි බොනවා කියන අර්ථයෙන් කිරිපිටි බොන්නේ ලංකාව වැනි රටවල් කීපයක් බවය. වෙනත් බොහෝ රටවල කිරි යන අර්ථයෙන් ගනු ලබන්නේ දියර කිරිය, කිරිපිටි දියකර කිරි බොනවා කියන අර්ථයෙන් බොහෝ රටවල භාවිත වන්නේ නැත. එසේ කිරිපිටි දියකර කිරි බොන්නේ සීමිත රටවල් සංඛ්‍යාවකි. එමෙන්ම ලෝකයේ බොහෝ රටවල කිරිපිටි යොදාගන්නේ කේක්, බිස්කට් වැනි ආහාර නිෂ්පාදනයටය. “මගේ පෞද්ගලික අත්දැකීමක් තමයි ඕස්ටේ්‍රලියාවට පළමුවරට ගිය අවස්ථාවේ සුපිරි වෙළෙඳසැල් කීපයක කිරිපිටි හෙව්වත් තිබුණේ නැහැ, ඒ ගැන විමසුවාම ඒ අය කීවේ ඒ කේක් හදන බඩු තියන තැන්වල තියනවා කියලායි. එවැනි රටවල කිරිපිටි බොන්න පාවිච්චි කරන්නේ නැහැ, දියර කිරි ඕනෑතරම් තියනවා. සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යන දියර කිරි කර්මාන්තයක් එහේ තියනවා. අනෙක් දේ ඒ හැම නිවසකම ශීතකරණයක් තියනවා. දියර කිරි කියන්නේ ඉතාම ඉක්මනින් නරක් වන නිසා දියර කිරි භාවිත කරනවා නම් නිවසක ශීතකරණයක් තිබිය යුතුයි. එලෙස දියර කිරි නොලැබෙන නිසා අපි පෝෂණ ගුණයෙන් ඉහළ කිරි කියන දේම නොවුණත් කිරි සහිත ආහාරයක් ලෙස ලංකාවේ මිනිස්සු කිරිපිටි ගැනීමේ වැරැද්දක් මම දකින්නේ නැහැ. හැබැයි කිරි කියන්නේ දියර කිරි හෝ දියර කිරි ආශ්‍රිත දේවල් වන යෝගට්, චීස් වැනි දේවල්වලට මිස කිරිපිටිවලට නෙමෙයි. රටේ ආර්ථිකය ගැන සහ අනෙක් ප්‍රශ්න කෙසේ වෙතත් කිරිපිටි ගන්න කෙනකුට ඒවා ගන්න අයිතිය තියනවා. හැබැයි ඒක පෝෂණ ගුණයෙන් ඉහළද කියලා අපිට කියන් බැහැ.” පෝෂණ විශේෂඥවරයා කිරිපිටි සම්බන්ධයෙන් දැක්වූ අදහස එසේය.

කිරිපිටි නොවන කාණ්ඩ

එමෙන්ම ඔහු මතු කළ තවත් වැදගත් කරුණක් වූයේ දැනට ලංකාවේ වෙළෙඳපොළේ බහුජාතික සමාගම්වලින් ගෙන්වන ලද කිරිපිටි අතර කිරිපිටි කාණ්ඩය යටතටම දමා කිරිපිටි නොවන වෙනත් කිරි සහිත ආහාර ද තිබෙන අතර ඇතැමෙක් කිරිපිටි අර්ථයෙන් ඒවා පරිභෝජනය කරන බවය. “තේ සුදු පැහැ කිරීමට පාවිච්චි කරන ටී වයිට්නස් කියලා දෙයක් ලෝකයේ හැම රටකම වගේ පාවිච්චි කරනවා. ඒවා කිරීම නොවෙයි. කිරිවල යම් යම් දේත්, මේද වර්ගත් එකතු කරලා හදන ඒවාත් ලංකාවේ වෙළෙඳපොළේත් තියනවා. ඒ සියල්ලම එකම කාණ්ඩයකට දාලා කිරිවලට එක එක දේ දානවා කියලා කියනවා. මේවා වෙළෙඳපොළට ඉදිරිපත් කරන අය කියන්නේත් නෑ මේවා කිරි නොවෙයි කියලා, එතැන ආචාරධර්ම පිළිබඳ ප්‍රශ්නයක් තියනවා. කිරිපිටි ගෙන්වීමට බදු අඩු නිසා කිරි එකතු කළ ආහාරත් කිරි හැටියටම විකිණීම ලාබදායී නිසා එහෙම කරනවා වෙන්න පුළුවන්. වියළන ලද කිරි සහ කිරිවලට වෙනත් ද්‍රව්‍ය එක් කර නිෂ්පාදනය කළ වෙනත් කිරි ආහාර වෙන් කර විකුණන්නේ නැතිකමින් සමහර වෙලාවට මිනිස්සු මේ ගැන අවබෝධයක් නැතිව එක එක වර්ග ගන්නවා. හැබැයි ඒවා විස සහිත දේවල් නෙමෙයි. ඒ වගේම ඒවා කිරි කාණ්ඩයටත් අයත් නොවන ආහාර කාණ්ඩයි. මේවා බිව්වාම විවිධ රෝගාබාධ ඇතිවෙනවා කියන දේ කිසිදු විද්‍යාත්මක පදනමක් නැති ප්‍රකාශ විතරයි.”

කිරිපිටිවලින් රෝගාබාධ 21ක් සෑදෙන බවට රෝහල්වල ද ප්‍රදර්ශනය වන දැන්වීම අදාළ වන්නේ ළදරු කිරිපිටි සම්බන්ධයෙන් බවත් ළදරුවන්ට දිය යුත්තේ මව් කිරි පමණක් වන අතර ඒ වෙනුවට පිටිකිරි ලබාදීමෙන් රෝග සෑදෙන බව එම දැන්වීමේ සඳහන් කර තිබෙන බවත් ළදරුවන්ට කිරිපිටි ලබා දීම ලෝකයේ කිසිදු රටක අනුමත නොකරන බවද ඔහු පවසන්නේය. ඇතැම් අය එම දැන්වීම ද මෙම කිරිපිටි ගැටලුව සමග පටලවාගෙන ඇතත් එය මේ හා කිසිදු සම්බන්ධයක් නැති බව ද ඔහු පැහැදිලි කරයි.

බය නොකර පියවර ගන්න

“කිරිවල මේදය අයින් කරලා ඒ මේදය වෙනත් ආහාර නිෂ්පාදනයට යොදාගෙන ඒ වෙනුවට කිරිපිටි නිෂ්පාදනයේ දී වෙනත් දේ එකතු කරන බව පැවසුවත් පූර්ණ යොදය සහිත කිරිපිටි ලෙස නම් කරනවා නම් නීතියට අනුව ඒවායේ මේදය ඉවත් කර වෙනත් මේදය එක් කරන්න බැහැ. හැබැයි ඒවා හරියට පරීක්ෂා කරනවාද කියන දේ නම් අපි දන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ ඒවා පරීක්ෂා කරනවා කියලායි. ඒවගේම රටේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් කිරිපිටිවලට වැය කරනවාද කියන එකේ ප්‍රශ්නයකුත් තියනවා. එය ලංකාව වගේ රටක ආර්ථිකයකට එතරම් ගැළපෙන්නේ නැහැ. ඒ නිසා කිරිපිටි ප්‍රචාරය කිරීමත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. හැබැයි මිනිස්සු බය කරන එක වැරදියි, කිරිපිටි අත්‍යවශ්‍ය නොමැති බව මිනිස්සුන්ට අවබෝධ කර දිය හැකියි. දුම් බීමටත් වඩා කිරිපිටි බීම අහිතකරයි වැනි පණිවිඩ සමාජගත වීම වැරදියි. ඊට වඩා සීනි වැනි දේ භයානක විධියට සෞඛ්‍යට බලපානවා. කිරිපිටි එහෙම සෞඛ්‍යට තර්ජනයක් කියන්න සාක්ෂි නැහැ. පවතින චෝදනා පිළිබඳ පරීක්ෂණයක් කිරීම අපහසු දෙයක් නොවෙයි. කිරිවල වෙනත් මේද වර්ග තිබේ නම් ඒවා වෙන්කර හඳුනාගැනීම අසීරු පරීක්ෂණයක් නෙමෙයි.” තමන් වයඹ විශ්වවිද්‍යාලයට පැමිණීමටත් ප්‍රථම කිරිපිටි සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලය මගින් පරීක්ෂණයක් සිදුවූ බවට අසන්නට ලැබුණත් එහි වාර්තාවක් සොයාගැනීමට නොහැකිවූ බව ද ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් කිරිපිටි සම්බන්ධ භීතිකාවකට වඩා ඒ පිළිබඳ කථිකාවක් ඇතිවීම කාලෝචිතය. එය ක්ෂණික චෝදනා ප්‍රතික්ෂේප කිරීමකින් අවසන් විය යුතු නැත. නැගෙන චෝදනා අසත්‍ය නම් ඒවා තහවුරු කිරීමට සාක්ෂි ද ඉදිරිපත් විය යුතුය. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සහ ආනයනික කිරිපිටි සමාගම් අතර තිබෙන සබඳතාවල ස්වරූපය රටට හෙළිදරව් කළ යුතුය. මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පෙනී සිටින්නේ රටේ ජනතාව වෙනුවෙන් නොව කිරිපිටි සමාගම් වෙනුවෙන් නම් ඒ පිළිබඳ කඩිනමින් මැදිහත්ව තීරණ ගැනීමට ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේනට ද අතිවිශාල වගකීමක් තිබේ.