කොළඹ මාළු බැංකුව විනාශයි

නිමල් අබේසිංහ

වරාය නගරය නැතිනම් පෝට් සිටියට අවශ්‍ය වැලි මුහුදෙන් ගැනීම අවසන් බව පසුගියදා බස්නාහිර පළාත් සභා, මහ නගර සංවර්ධන ඇමති පාඨලී චම්පික පැවසුවේ උජාරුවෙන් වුවත් මුහුදෙන් වැලිගොඩ දැමීම තවමත් නතර කර නැති බව රාවයට සැලවිය.

උස්වැටකෙයියාව මුහුදේ සිට මුතුරාජවෙල වැලි සංකීර්ණයට නිතිපතා මුහුදෙන් වැලි පොම්ප කරන අයුරු උස්වැටකෙයියාව මුහුදු තීරයට යන ඕනෑම අයකුට දැකගත හැකි සුලබ දසුනකි. මෙසේ ගොඩ දමන කියුබ් ප්‍රමාණය කොතරම් දැයි දන්නා කෙනකුද නැත. මෙතරම් ප්‍රමාණයක් මුහුදෙන් වැලිගොඩ දැමීම තුළින් පීඩා විඳින්නෝ කොළඹ මෝදර සිට මීගමුව දක්වා වෙසෙන ධීවර ප්‍රජාවය.
මුහුදින් වැලිගොඩ දැමීමේ මුල් කාලයේදීත් ධීවර ප්‍රජාව මුලින්ම අත්වින්දේ ඛේදවාචකයකි. ඒ උස්වැටෙකයියාවේ පැවති සාමකාමී උද්ඝෝෂණයට වෙඩි තැබීම නිසාය. මේ වෙඩි තැබීමෙන් උස්වැටකෙයියාව ධීවර සංගමයේ සභාපතිවරයා, ධීවර කාන්තාවක සහ අසල නවතා තිබූ ත්‍රීවීල් රථයක රියදුරුද මිය ගියහ. වෙඩි වැදී තුවාල ලැබූවන්ගේ ගණන 16කි. එවන් කුරිරු අමිහිරි අත්දැකීම් සහිත ධීවර ප්‍රජාව අදටත් වැලි ගොඩ දැමීම නිසා සිය වෘත්තිය කරගෙන යෑමේ බාධාවන්ට මුහුණ දෙති. ධීවරයන් අත්අඩංගුවට ගැනීම, නඩු පැවරීම වැනි ක්‍රියාවන් එක පැත්තකි. පෝට් සිටිය, මුහුදේ ගල්බැමි ඉදිකිරීම, ෂෙල් ගෑස් බටනළ පද්ධති, විදුලි බලාගාරයෙන් නිකුත් වෙන උණු ජලය, බෝයවල් එලීම, තෙල් නළ පද්ධති, නැව් ගමනාගමනය නිසා දැල් කැපීම හෝ විනාශවීම මේ උවදුරුවලින් සමහරකි. මේ සියල්ල විඳගෙන ධීවර වෘත්තියේ යෙදෙන්නන්ට අත්විඳීමට සිදුවන ගැහැට අපමණය.

පෝට් සිටිය ඉදිකිරීම හේතුවෙන් අපහසුතාවට පත්වූ ධීවරයන්ට වන්දි මුදල් ගෙවීම සිදුවුවත්, මෝදර, ලුණුපොකුණ, අලුත් මාවත, මට්ටක්කුලිය ධීවරයන්ට එම වන්දි නොලැබුණු බව ඔවුහු කියති. මෝදර ලුණුපොකුණ ශාන්ත අන්දරේ ධීවර සංගමයේ සභාපති ඩබ්ලිව්.ඩී. ජෝන් පියුස් කොස්තා, ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවෙන බාධාවන් ගැන කීවේ මෙලෙසය.
“අපේ අය වැඩියෙන්ම මුහුදු රස්සාව කළේ ඔය ගෝල්ෆේස් අවට ප්‍රදේශයේ. මාළු යහමින් හිටිය ප්‍රදේශයක්. හරියටම කියනව නම් මාළු බැංකුවක් වගේ. මට මතකයි අපේ තාත්තල 1960 ගණන්වල ඉඳන් ඔය පැත්තේ මාළු අල්ලනවා.”
“ඔය ගෝල්ෆේස්වල ඉඳල ගල්කිස්සට යනකල් මඩ තීරුවක් තිබෙනවා. වාරකන් කාලෙට ඔය ප්‍රදේශයේ බෝට්ටු 200ක් විතර ගිහින් මාළු අල්ලනවා. දැන් අපිට ඒ පැත්තට යන්න බැහැ. පෝට් සිටිය මගහැරලා ඒ පැත්තට යන්නත් පැය තුන හතරක් යනවා. ඒ ගියත් දැන් එච්චර මාළු නෑ. මාළු ඇල්ලීම කෙසේ වුවත්, පෝට් සිටිය නිසා ධීවර කර්මාන්තය කරගැනීමට බාධා ඇතිවුණා. සියලුම ධීවරයන්ට වන්දි ගෙවා තිබුණද මෝදර අවට ධීවර සමිති හතරේ කිසිදු සාමාජිකයකුට ඒ වන්දි මුදල ලැබී නැත. ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙකුත් ධීවර සමිති සාමාජිකයන්ට මේ වන්දි ලැබී හමාරය. එය ගණනින් එක් අයකුට රුපියල් හැටපන් දහසකි.

“වැලි වන්දි කියල පහත්බිම් ගොඩ කිරීමේ සංස්ථාවෙන් වන්දි ගෙව්වා. අපේ සංගම් හතරෙම අයට ගෙව්වෙ නෑ. මුහුදු රස්සාව කරගන්න අමාරුම පිරිස අපියි. ඒ අතරේ චම්පික ඇමතිතුමා කීවා දැන් මුහුදෙන් වැලි ගන්නේ නෑ කියල. එහෙම කියල සතියක් ගියේ නැහැ මුහුදෙන් වැලි මුතුරාජවෙලට පොම්ප කරනවා.”
හැඳල දික්ඕවිට ශාන්ත අන්තෝනි ධීවර සංගමයේ තෝමස් ඇන්ටනි ප්‍රනාන්දු තවමත් පාරම්පරික ධීවර කර්මාන්තයක් වන තෙප්පමෙන් ධීවර වෘත්තියේ යෙදෙන්නෙකි.
“මම නම් වැලි ගැන කතා කරන්නවත් කැමති නෑ. දැන් වෙන්න ඕනෙ දේවල් ඔක්කොම වෙලා ඉවරයි. වැලි ගොඩ දැමීම නවත්වන්න ගිහින් තුන්දෙනෙක් මළා. අපේ නැන්දම්මත් එතනදි වෙඩි වැදිලා මැරුණා. තව අයට තුවාල සිදුවුණා. කිසිම කෙනකුට සතපහක වන්දියක් නෑ. අසරණ වුණේ ඒ පවුල්වල උදවිය. දැන් ඉතින් අපේ දරුවන්ට මුහුදු රස්සාව පුරුදු නොකර ඉන්න එකයි අපට තිබෙන්නේ.”
තවමත් අත නොපා දෑතේ වීරියෙන් රස්සාව කරපු මිනිස්සු අපි. ඒත් ආණ්ඩුවලින් අපිට සලකන්නෙ අතපල්ලෙන් වැටුණු ගාණටයි.”
ඇන්ටනීගේ දිගු වදන් වැල තුළ දුක, වේදනාව, අමනාපය, චිත්ත පීඩාව මුසුවුණ සාධාරණ කේන්තියක්ද තිබෙන බව පෙනේ. තෙප්පමෙන් ධීවර රස්සාව කිරීම යනු ඇඟේ වීරියෙන්ම හබල් ගා දියඹේ මාළු ඇල්ලීමය.

මීගමුව වැල්ලවීදිය ධීවර සමිතියේ ජූඞ් ප්‍රනාන්දු පවසන්නේ, මුහුදෙන් වැලිගොඩ දැමීම දිගින් දිගටම සිදුවීම ඉදිරියේදී ධීවර කර්මාන්තය අනතුරේ වැටෙන බවය. මුහුදේ සිට දිනපතා විශාල නැවක කට මට්ටම් පුරවා වෙරළ තීරුවට ගෙනවුත් මුතුරාජවෙලට වැලි පොම්ප කරන බවය. එහි ප්‍රමාණය කොතෙක්දැයි නොදන්නාමුත් මුතුරාජවෙල ගොඩ ගැසෙන වැලිකන්ද දකින විට ප්‍රමාණය අනුමානවත් කරගත නොහැකි බවය.

කුඩාපාඩුව එක්සත් ධීවර සංගමයේ මැක්සිමස් කූඤ්ඤ.

අපේ තාත්තල කීවේ මේ මුහුදු තීරයේ මාළු බැංකු දෙකක් තිබෙනව කියල. එකක් කොළඹ වරාය අවට ප්‍රදේශය. අනෙක මන්නාරමේ. මේවායේ වාරකන් කාලයටත් මාළු හිටියා. දැන් කොළඹ මාළු බැංකුව විනාශ වෙලා තිබෙන්නේ. පෝට් සිටිය වගේම වැලිගොඩ දැමීම නිසාත් දැන් වෙන්නප්පුව පැත්තේ මුහුදු කෑම වැඩිවෙලා. ඒ එක පැත්තකින් වෙන විනාශයක්. අනෙක් පැත්තෙන් මාළු නෑ. මේ අනතුරු දෙකටම මුහුණ දෙන්නෙ ධීවරයො. ගම්පහ පිටිපන ධීවර සංගමයේ ජූඞ් නාමල් ප්‍රනාන්දු මුහුද ගැන මෙන්ම රටේ සමාජ ආර්ථික ප්‍රශ්න ගැනද හොඳ අවබෝධයක් ඇත්තෙකි.
ඔහු පවසන්නේ මින් වසර 10කට පමණ ඉහතදී මුහුදෙන් වැලි ගොඩ දැමීමත් සමගම පාරම්පරික ධීවර කර්මාන්තය විනාශවෙමින් යන බවය. මේ ගැන පර්යේෂණ කළ අයෙක්ද නොවන බවය. එමෙන්ම මුහුදට වන විනාශය ගැනද පර්යේෂණ කර නැති බවය. එසේ කළද ඔවුන් ධීවරයන් සතු පාරම්පරික ඥානය ගැන සැහැල්ලුවෙන් සිතන බවය. ඔවුන්ගේ ජීවන අත්දැකීම් නොසලකා හරින බවය. මේ හේතුවෙන් නිලධාරීන් කිසියම් පර්යේෂණයක් කර විසඳුමක් ලබා දුන්නද ඒවා අසාර්ථක වන බවය.

“සියල්ල අවසානයේ සිදුවන්නේ මුහුද මාළුන් නැති මුඩුබිමක් වීම පමණයි.” නාමල් කියන්නේය.
“රටේ සංවර්ධනයක් අවශ්‍යයි. අපි එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙත් සංවර්ධනය නිසාම එක් පිරිසකට හානියක් වෙනවා නම් ඒක සංවර්ධනයක් වෙන්නේ නෑ. ඉතින් ධීවරයත්, මුහුදත් විනාශ වෙන සංවර්ධනයකින් ඇති ඵලය කුමක්ද? නාමල් අපෙන් ඇසුවත් එය අසන්නේ රටේ සංවර්ධන වැඩසටහන් දියත් කරන්නවුන්ගෙන්මය. ඒ හඬට ඔවුන් කන්දේවිද යන පැනය පමණක් අන්තිමට ඉතුරු වේ.