අය – වැය පරාජය කර මහ ඡන්ද සැලැස්මක්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

එජාප ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අය – වැය පරාජය කර, මහ මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබාගැනීමේ සැලැස්මක් ඒකාබද්ධ විපක්ෂය ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වැළකී සිටියහොත් සහ ශ්‍රීලනිප පිරිසක් අය – වැයට පක්ෂ නොවුණහොත් මෙම තත්ත්වය උදාකර ගැනීමේ හැකියාව ඇතැයි පොදු පෙරමුණේ නායකයෙක් රාවයට ප්‍රකාශ කළේය.

එජාපයෙන් විපක්ෂයට එක්වූ සහ ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එක්වූ පිරිසද සලකා ගණන් බැලුවහොත් කතානායකවරයාද ඉවත් කළ පසු එජාප ආණ්ඩුවට සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 106කි. ඒකාබද්ධ විපක්ෂයට 96 දෙනකු සිටින අතර, ඊට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ දෙදෙනා සහ අය – වැයට විරුද්ධව ඡන්දය දෙන බව පවසා ඇති ජවිපෙ 6 දෙනාද එක්වූ කල විපක්ෂ සංඛ්‍යාව 104ක් බවට පත්වේ.
එහෙත් ශ්‍රීලනිප කණ්ඩායම බ්‍රහස්පතින්දා වනවිටත් අය – වැය පිළිබඳ අවසන් තීන්දුවක් ගෙන නොතිබූ අතර ඔවුන්ගෙන් පිරිසක් අය – වැයට පක්ෂ වුවහොත්, දෙමළ සන්ධානය නිහඬව සිටියත් අය – වැය පරාජය කිරීමට හැකියාව ලැබෙන්නේ නැත.

ටීඑන්ඒ ඡන්දය දීමෙන් වැළකී සිටීම හා ශ්‍රීලනිපය අය – වැයට එරෙහිවීම යන තත්ත්වයක් උපකල්පනය කළද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් තුන් දෙනකුගේවත් සහයෝගය නොලැබුණහොත් අය – වැය පරාජය කළ නොහැකිය. ■