වැට කොටු බැමි නැති ඔරවිල්

වින්ද්‍යා ගමගේ

ගැහැනුන් හා පිරිමින් වෙනුවෙන් වෙන වෙනම දුම්රිය මැදිරි වෙන් කරමින් දිනෙන් දිනම බෙදීම ප්‍රවර්ධනය කිරීමට ක්‍රම සොයන ශ්‍රී ලංකාව වැනි රටක ජීවත් වන අපට මායිම් නැති, ජාති ආගම් භේද නැති ජාතිවාදීන්ගෙන් තොර ප්‍රදේශයක ජීවත් විය හැකි නම් එය කවරාකාරයේ අත්දැකීමක් වේවිද? එවැනි ප්‍රදේශයක් දැනටමත් දකුණු ආසියාව තුළ පිහිටා තිබෙනවා. මේ නගරයේ සියලුදෙනාටම සමානව සැලකුම් ලැබෙන අතර අපරාධ ප්‍රතිශතය 0%ක් ලෙස වාර්තා වෙනවා. අග්නිදිග ඉන්දියාවේ පිහිටා ඇති එම නගරය ‘ඔරවිල්’ (Auroville) නමින් හඳුන්වනවා.
මෙය 1968 දී ප්‍රංශ ජාතික කාන්තාවක් වන මරීසා ඇල්ෆසා විසින් ගොඩනැගූ පර්යේෂණාත්මක නගරයක්. එමනිසාම එහි පදිංචිකරුවන් ඇයට ‘අම්මා’ නමින් අමතනවා. ‘ඔබ යමක් කරද්දී කිසිවිටකත් පරිපූර්ණත්වය ඔබේ පරමාදර්ශය කරගන්න එපා. එසේ නොවුවහොත් ඔබ සැබවින්ම දිව්‍යමය මෙවලමක් බවට පත්වනු ඇති.’ ආධ්‍යාත්මික ගුරුවරියක් මෙන්ම යෝගිනියක්ද වන නැසීගිය මරීසාගේ එම ජීවන දර්ශනය ඔරවිල් බිහි වීමට පසුබිම් වූ බවට සැකයක් නැහැ. ඇත්ත වශයෙන්ම ඔරවිල් යනු සෑම රටකින්ම පැමිණි ගැහැනු හා පිරිමින් දේශපාලන, ජාති හා විවිධ විශ්වාසයන්ගෙන් වැනි බැඳීම් වලින් මිදී සාමයෙන් වාසය කිරීමට මරීසා විසින් තැනූ නිදහස් අවකාශයක්. ප්‍රධාන ධාරාවෙන් වෙන් වූ ප්‍රතිකූල සංස්කෘතියක් (Counter Culture) අති මුළු ඔරවිල් නගරයම වැඩිහිටි සෙල්ලම් පිටියක් වගේ. නගරය පුරාම එහි වැසියන් විසින් ඉවත ලන දේ භාවිත කර සිදු කළ නිර්මාණ රැසක් දැක ගත හැකි වෙනවා. පදිකයන් පාර මාරු වන ස්ථානයක් යැයි පෙන්වීමට මෙහි ඇත්තේ ‘බීට්ල්ස්’ සංගීත කණ්ඩායමේ සමාජිකයන් පාර මාරු වන අයුරින් නිම කළ සංඥා පුවරු පෙළක් වර්ග කිලෝ මීටර් 20ක් පුරා විහිදුණු ඔරවිල් නගරය ගම්මාන 5ක එකතුවක්. අද වන විට එහි රටවල් 57කට අයත් 3000කට අධික පදිංචිකරුවන් සංඛ්‍යාවක් ජීවත් වෙනවා. මෙහි වැසියන්ගෙන් 1/3 ඉන්දියානුවන් වන අතර මීළඟ බහුතරය පිළිවෙලින් ප්‍රංශ, පර්මන්, ඉතලි හා නෙදර්ලන්ත ජාතිකයන්ගෙන් සමන්විත වෙනවා.
‘ ඔරවිල් වල අපි රාත්‍රීකාලයේ ‘ෆූස් බෝල්’ (Foose Ball) ක්‍රීඩා කරනවා. හැම බ්‍රහස්පතින්දා දිනකම මෙහි ‘පීසා නයිට්’ (Pizza Night) එකක් තිබෙනවා.රු. 200ක වටිනාකමකට සීමා සහිතව පීසා කෑමට මෙහිදී අවස්ථාව ලැබෙනවා.’ ඒ ඔරවිල් වැසියකු වන ගෝපිගේ ඔරවිල් අත්දැකීමකි.
වෛi මධ්‍යස්ථාන, ක්‍රීඩාගාර, නවීන පන්නයේ අවන්හල් මෙන්ම අත්කම් නිර්මාණ විකුණන වෙළඳසැල් මෙහි නොඅඩුවම දක්නට ලැබෙනවා. පාසල් 10ක් පමණ පිහිටා ඇති ඔරවිල්හි සෙසු ලෝකයෙන් වෙනස් සුවිශේෂි අධ්‍යාපන රටාවක් හඳන්වා දී තිබෙනවා. මෙහි ඇති එක් පාසලක සිසුන් අධ්‍යාපනය ලබන්නේ විවිධ ස්ථානවල සංචාරය කිරීම තුළින් ලබන අත්දැකීම් උපයෝගී කොටගෙනයි. කිසිසේත්ම විෂය නිර්දේශයක් නොමැති පාසලකුත් මෙහි තිබෙනවා. එහිදී තමන් ඉගෙන ගැනුමට අවශ්‍ය දේ තීරණය කිරීමේ සම්පූර්ණ නිදහස සිසුවාට හිමි වෙනවා.
නිදහස් චින්තකයන් මෙන්ම වෙනස් නිර්මාණකරුවන්ගේද පාරාදීසයක් වන ඔරවිල්හි පිහිටා ඇති රන් ගෝලයක් වැනි ගොඩනැගිල්ල ගෘහනිර්මාණාත්මකව මෙන්ම භාවිතාව අතිනුත් සුවිශේෂි එකක් වෙනවා. ‘මාත්‍රී මන්දීර්’ නමින් හඳුන්වන එය මේ නගරයේ වැසියන්ගේ කායික හා ආධ්‍යාත්මික මධ්‍යස්ථානයයි. විශේෂයෙන්ම ආධ්‍යාත්මික කටයුතු සඳහා වෙන්ව තිබෙන මෙහි යාඥා කිරීම, වන්දනා කිරීම, හඳුන්කූරු හෝ ඉටි පන්දම් දැල්වීමට ඉඩක් නැහැ. නිශ්ශබ්දතාව ඇගයීම එහි ඇති එකම රීතියයි.
අග්නිදිග ඉන්දියාවේ පිහිටි නගරයක් වුවත් ඔරවිල්හි ස්වාධීන ජාත්‍යන්තර ප්‍රජාවක් ජීවත් වෙනවා. මෙහි අයවැය සකස් වන්නේ පදිංචිකරුවන්ගේ මාසික දායකත්ව මුදලින්. පිටස්තර ආයතන වන යුනෙස්කෝව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ට මූල්‍ය ආධාර ලබාදෙනවා.
1968 පෙබරවාරි 28 වනදා ඔරවිල්හි යුනෙස්කෝ තරුණ සම්මේලනය පැවැත් වුණා. ඒ සඳහා රටවල් 124ක තරුණයින් සහභාගී වූ අතර තම රටවලින් පැමිණෙත්දී ඔරවිල් නගරයට පස් දෝතක් රැගෙන ඒමට අමතක කළේ නැහැ. එසේ ගෙනා පස් විශාල සුදු පැහැති උස් රවුම් පෝච්චියක් තුළ තැන්පත් කොට තිබෙනවා. මෙසේ එක් එක් රටවලින් ගෙනා පස් තැනපත් කර ඇත්තේ එක්සත්භාවයේ සංකේතයක් ලෙසයි.
වෛiවරුයකු, ගුරවරයකු, යෝගා පුහුණුකරුවකු හෝ ඕනෑම රැකියාවක් කරන ඔරවිල් වැසියකු ඉන්දියානු රුපියල් 12,000ක එකම තාලයේ මාසික වැටුපක් ලබනවා. ඊට අමතරව දිවා ආහාරය, සෞඛ්‍ය රක්ෂණයක්, දරුවන් වෙනුවෙන් පාසල් අධ්‍යාපනය ලබාදීම මෙන්ම විදුලිය ආදී පහසුකම් ඔවුන්ට නොමිලයේ හිමි වෙනවා. මුදල් රහිත ආර්ථිකයකට බොහෝ දුරට හිමිකම් කියන ‘ඔරවිල්’ හි රැකියාවට අමතරව යමකු මුදල් උපයන කාර්යයක නිරත වුවහොත් එහි ලාභයෙන් 33% ඔරවිල් පදනම හරහා ප්‍රජාවට සහන සැලසීමට යොදවනු ලබනවා.
කඩදාසි මුදල් භාවිතය වෙනුවට, මෙහි සෑම පදිංචිකරුවකුටම ගිණුම් අංකයක් ලබාදී තිබෙනවා. එනිසා භාණ්ඩ මිලදී ගැනීමේදී ගිණුම් අංකය ලියා තබා, මුදල් රහිත ගනුදෙනු කිරීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. මෙහි සිටින සෑම දෙනාම එකිනෙකා පෞද්ගලිකව හඳුනන නිසා මේ ගනුදෙනු විශ්වාසය මත පදනම් වු ඒවා ලෙස හැඳින්විය හැකිය.
ලෝකය තනි යායක් කරන්නට යත්න දැරූ මිනිසුන්ගේ උත්සාහය කිසි ලෙසකින් අපතේ ගොස් නැති බවත් දියුණු මිනිසුන් පිරිසකට අපරිමිත වෙනසක් සිදුකළ හැකි බවටත් නිහඬවම කියාපාන ‘ඔරවිල්’ නගරය විශ්වීය මිනිසකු වීමට වෙර දරන බොහෝ දෙනකු තුළ නව බලාපොරොත්තුවක් ඇති කරනු නොඅනුමානය.