ක්‍රිකට් ක්‍රීඩකයෝ පිස්සු නටති, පාලකයෝ තාල අල්ලති

රජිඳු කාශ්‍යප

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ කයිවාරුකාරයන් පිරිසක් පමණක් ම යැයි නැවත නැවතත් ඔප්පු කරමින් සිටී. දකුණු අප්‍රිකාව සමග වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව දැමූ පඩ ෂෝ දැන් කිසිවෙක්ගේ නැත. රටක් රාජ්‍යයක් දිනූ සේ කී කතා කිසිවක් ද නැත. ඊට පෙර පැරදුණ තරග සේ ම දැන් පරාජය වන තරග ද පරාජය වන්නේ අප ය. දිනූ තරග උන්ගේ ය. කතාව ඒ ලෙසිනි.
කණ්ඩායමක් ලෙසින් මේ පරාජයන් හී වගකීම ගන්නේ ගන්නේ කවුද? කිසිවෙක් නැත. එක්දින නායක ලසිත් මාලිංග ද අනෙක් නායකයන් සේ ම හිතූවක් කියයි. නමක් නොකියා කෙනෙක්ට දෙදෙනෙක්ට දොස් තබයි. ඊට පසු ඊළඟ තරගයේ දී ඒ වරද නොවීමට වගබලා ගන්නවාට වඩා ඒක ම කරයි.
ජ්‍යෙෂ්ඨයෝ යැයි පාරම්බාන අය කරන දේ ම සිවුවැනි තරගයේ දී නවකයෝ ද කළෝය. මේ කිසිවෙක්ටත් ලැජ්ජාවක් නම් ගෑවිලාවත් නැත. මේ තරමින් තරග පරාජය වෙද්දී ටිකක් පරිස්සම් වී පිතිකරණයේ යෙදී කණ්ඩායම ගොඩ ගැනීමේ උවමනාවක් කිසිවෙක් තුළවත් තිබූ බවක් දුටුවේ නැත. අඩුම තරමින් තරගයක් සැලසුම් කරන අයුරක් මේ ක්‍රීඩකයන් තුළින් අප කිසිදු විටක නොදුටුවෙමු. එසේ වූ කල ප්‍රතිඵලය ද මීට වඩා වෙනසක් විය නොහැකි ය.
ආරංචිය අනුව මේ සියල්ලට මුල් වී ඇත්තේ කණ්ඩායමේ එකිනෙකා අතර පවතින විරසක බව ය. නායක ලසිත් මාලිංගට අකමැති පිරිස් කටයුතු කරනුයේ තම තමන්ට අවැසි ආකාරයට. දකුණු අප්‍රිකා ආරංචි මාර්ග අනුව ඔවුන් එරට ගත කරන්නේ හිතුවක්කාර ලෙසිනි. අඩුම තරමින් පුහුණුවීම්වලට හෝ සහභාගී නොවන බැව් ය පැවැසෙන්නේ. මේ ක්‍රීඩකයන්ට එසේ කළ හැකි ද? ඔවුන් එවැනි හිතුවක්කාරී තීරණ ගන්නා තුරු කණ්ඩායමේ කළමනකාරු කරනුයේ කුමක් ද?
මේ ක්‍රීඩකයන්ට පළමුවෙන් ම වටහා දිය යුත්තේ තමන් ක්‍රීඩා කරනුයේ එක් එක් අයට නොව රට ට බැව් ය. තරගයක් දිනීමෙන් හෝ පැරදීමෙන් එහි වාසිය හෝ අවාසිය එක් එක්කෙනාට නොව රටට ලැබෙන ප්‍රතිඵලයක් බැව් ය. එහෙත් පුහුණුකරු දිනවීමට ක්‍රීඩා කරන කණ්ඩායමකට ඒ බැව් ඒත්තු ගැන්විය හැකි ද?
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර ඇති විරසකය නිමා වූ බවක් පසුගිය දා පැවැසුවේ ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු ය. ඒ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හා කළ කතාබහකින් අනතුරුව ය. එහෙත් ඒ බවක් නම් පෙනෙන්නට නැත. පෙනෙන්නට ඇත්තේ එකාට එකෙක් නැති ගාණය. ඇතැමුන්ට ඇතැමුන් නයාට අඳු කොළ ගාණය.
ලසිත් මාලිංගත්, තිසර පෙරේරාත් අතර බිරින්දෑවරුන් ඇති කළ විරසකය තවමත් කෙහෙවලු පටලා ගත් ගමන් ය. එය ලිහා ගැනීමට දෙදෙනාගෙන් කිසිවෙක්ටවත් උවමනා නැති බවකි පෙනෙන්නේ. මේවා කණ්ඩායම තුළට ඈඳා ගැනීම වැරදි බැව් ඔවුන්ට නොවැටහේ ද? අනෙක් අතට අතිශය පෞද්ගලික කරුණක් අරමුණු කර ගනිමින් කණ්ඩායම තුළ විරසකයන් නිර්මාණය කිරීම කෙතරම් නීච වැඩක් ද? මේ පැටලැවිල්ල පෞද්ගලිකව තබා නොගෙන ක්‍රීඩාංගණයට ගෙනෙන්නට ඉඩදීමේ ප්‍රතිවිපාකයන් ය මේ විඳිනුයේ යැයි නොවැටහෙන කළමනාකාරීත්වයක් නම් කණ්ඩායමේ ඇත්තේ මීට වඩා ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය හැකි ද?
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වයේ අදහස වී ඇත්තේ එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් දිමුත් කරුණාරත්නට එක්දින කණ්ඩායමේ නායකත්වය පැවැරීමට ය. ඔවුන් ඇතැම්විට මේ තීරණය ගන්නට ඇත්තේ ලසිත් මාලිංග සමග ක්‍රීඩා කිරීමට කණ්ඩායමේ කිහිප දෙදෙනෙක් ම අකමැත්ත ප්‍රකාශ කර තිබෙන නිසා විය හැකි ය. නැතහොත් තිලංග පාර්ශ්වය හා සමග ලසිත් මාලිංග ගේ තිබෙන විරසකය වීමට ද ඉඩ ඇත. මේ සියල්ල පෞද්ගලික කරුණු ය.
මාලිංග සමග ක්‍රීඩකයන් කිහිප දෙනෙක් විරසක වී ඇතැයි පවසමු. ඒ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නැංවීමට ගත් තීරණයක් හේතුවෙන් නොවේ. එය ඔවුන්ගේ පෞද්ගලික කරුණක් නිසා වූවකි. අනෙක් අතට මාලිංග හා තිලංග පාර්ශ්වය අතර නොක්කාඩුව ද එවැන්නක් ම ය. මේ දේවල් ගැන නොසිතන ක්‍රිකට් පරිපාලකයෝ 2015 වසරට පසුව එක්දින තරගයකට ක්‍රීඩා කර නොමැති දිමුත් කරුණාරත්න නායකත්වයකට කැඳවීමට සූදානම් වෙති.
ක්‍රීඩකයන් තරගවල දී පිස්සු නටන විට පාලකයන් කරන්නේ ඊට තාල ඇල්ලීම ය. මේ අවස්ථාවේ කණ්ඩායමේ පවතින ලොකුම ප්‍රශ්නය ලෙසින් පාලකයන් හඳුනාගෙන ඇත්තේ නායකත්වයේ දුර්වලකම ය. එය දුර්වලකමක් නොව එකිනෙකා අතර පවතින විරසකවීමක ප්‍රතිඵල බැව් කිසිවෙක් සිතන අයුරක් නැත. ඊට පිළියමක් ලෙසින් දිමුත් කරුණාරත්න ගෙන්වීමය ඔවුන් සිතන එක ම පිළිතුර.
අමතක කළ යුතු නැත. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ මාස දෙකහමාරක පමණ කාලයකි. එළැඹෙන 16 වැනිදා දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට සහභාගීවීමට වෙනත් එක්දින තරග ලෝක කුසලානය තෙක් ම නොමැත. මේ තරගාවලිය කණ්ඩායමේ ස්ථාවරත්වය තෝරා ගැනීමට තිබූ අවසන් අවස්ථාව ය. එහෙත් එය ක්‍රීඩකයන් සහ පාලකයන් විසින් සහමුලින් ම විනාශ කර දැමුවේ ය. ඒ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ද කාණු පල්ලමට ම ඇද දමමිනි.

හරින්
හරියට
හිතන්න
ටිරන් කුමාර බංගගමආරච්චි

ලංකාවේ ඇමතිවරු සුපර් මෑන්ලාය. විශේෂයෙන්ම යහපාලන ඇමතිවරුය. මේ ඇමතිවරු පවා තමන්ට අයත් විෂය පථයන් දන්නවාද යන්න සැකසහිතය. ක්‍රීඩාව යනු පුළුල් විෂයකි. ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියාත්මක කිරීමට ඊටම වෙන්වූ අමාත්‍යවරයකු සිටිය යුතුය. එහෙත් හරින් ප්‍රනාන්දුද තවත් ප්‍රබල ඇමතිකම් දරන්නෙකි. එහෙව් අයකු මේ හැම එකම කර ගසාගෙන කරනුයේ කෙසේද? ඊට කාලය, ශ්‍රමය කැප කළ හැකිද? ක්‍රිකට් වැනි එක ක්‍රීඩාවක් නම් බදාගෙන කළ හැකිය. එහි විවාදයක් නැත. එහෙත් හැත්තෑවකට ආසන්න ක්‍රීඩා තොගයක් දියුණු තියුණු කළ හැකිද?
අපට ක්‍රීඩාව සම්බන්ධව පත්වන අමාත්‍යවරු සමග අතහැර දැමිය නොහැකි වෛරයක් නැත. මුලින් කිවයුත්තේ එයය. මන්ද අප ක්‍රීඩා ඇමතිවරු විවේචනය කිරීම තෝරා බේරා ගැනීමකින් තොරව කරන බැවිනි. දයාසිරි ජයසේකර දක්ෂයකු වනු ඇතැයි අපි විශ්වාස කළෙමු. ඒ හැකියාව ඔහුට තිබුණි. එහෙත් අප ඔහුව මුරුංගා අත්තේ නග්ගා මුරුංගා දළු කැවීම වෙනුවට මුරුංගා අත්තේ හයිය නැති බැවින් ඇද වැටේ යැයි දන්න සුද්ද සිංහලෙන්ම කීවෙමු. එහෙත් නොඇසීය. අද දයාසිරිට තමන් කළ නොකළ දේ බෙදා වෙන් කළ හැකි නම් කළ සොච්චම සාක්කුවේ ලාගත හැකි බව පසක් වනු ඇත.
එන එන ක්‍රීඩා ඇමති සමග මිත්‍රවී රට යෑමට හෝ ඇමතිගේ ගජ මිතුරා වීමට අපට වුවමනා නැත. එහෙත් ගජ මිතුරන්ට වඩා අවංක ගරුත්වයක් අපට ක්‍රීඩා විෂය කරන ඇමතිවරයා සම්බන්ධවද ඇත. අන්න ඒ නිසාම අප විවේචනය අංක එකට ගෙන ඇත. ඒ ක්‍රීඩාව සැදෙනුයේ, නැගෙනුයේ, වැඩෙනුයේ ඔහුගේ සාත්තුව නිසා වන බැවිනි. එබැවින් නායකත්වය ප්‍රබල විය යුතුය. සුක්කානම ඇති අත අනුව රිය යනු ඇත. දයාසිරිට වැරදුණේ ඔහු ක්‍රීඩා කරන්නට ක්‍රීඩකයා වන්නට ගිය නිසාය. ක්‍රීඩා කරමින්ම ක්‍රීඩා කරනවාය යන තැනට දයාසිරි තල්ලු විය. එසේ නොවී ක්‍රීඩාව හදාරා එය ක්‍රියාත්මක කළා නම් ක්‍රීඩාව හැදෙන අතර ඔහුගේ ඇඟ වර්ධනය නොවේ. එහෙත් ඔහු ආසා කළේ ක්‍රීඩකයන්ට වඩා තම ක්‍රීඩකයා කියා ශරීරය ප්‍රදර්ශනය කරන්නටය. හිටපු දයාසිරි ගැන මෙතෙක් කියනුයේ සැබැවින්ම ඔහුට වැඩක් කළ හැකිව තිබූ බැවිනි. එහෙත් නොකළේ නම් කුමක් කරමුද? ඊළඟට ආ ෆයිසර් මුස්තාපා නම් වැඩකටම නැති ඇමැත්තෙකි. එබැවින් කිසිවක් නොලියමු.
එහෙත් හරින් ගැන නොලියා බැරිය. ඒ ඔහු මේ මොහොතේ ක්‍රීඩාව කරවන්නා නිසාය. ඔහු පත්වීද දැන් මාස කිහිපයක් ගෙවී ගොස්ය. එහෙත් ඔහු කරනුයේ කුමක්ද? සංගම් ගණනාවක නිලවරණ පැවැත්විය යුතුය. ඒවා වගේ වගක් නැති ගාණය. සංගම් මෑත කාලයේ අයාලේම යන්නේය. දින දෙකක් සංගම්වලට එන්නට කියා කතා කළාට ප්‍රශ්න විසඳෙන්නේ නැත. ඊට ලොකු සැලසුම් අවැසිය. අඩුම තරමේ වහ වහා පවත්වන්නට නියමිත නිලවරණ පවත්වා, ඊට පත්වන සංගම්හි නිලධාරීන් කැඳවා, ඒ අයගේ ඉදිරි දැක්ම, සැලසුම් වහා ඉල්ලා ගත හැකිය. ඊට අවැසි සම්පත් සොයා ගන්නා ආකාරය හෝ ලබාදෙන ආකාරය කතා කළ හැකිය. ඒවා නිසි පරිදි යන්නේද යන්න මාස තුනක් තුළ නිසි අධ්‍යයනයක් කළ හැකිය. එසේ නොමැතිව දැනට ඇති සංගම් ප්‍රධානීන් ගෙන්වා සාකච්ඡා පවත්වා ඇති වැඩක් වේද? මේ බොහෝ පිරිස් ඉදිරි නිලවරණවලින් පසු නැතිවිය හැකිය. ඒ වෙනුවට අලුත් අය ආ හැකිය.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සහ ලේකම්වරයා වැඩක් කරන්නට උත්සාහ කරනු ඇතැයි ඇතැම් සංගම් අපට කියන අතර තවත් සංගම් කියනුයේ එහි අනෙක් පැත්තය. දෙපැත්තම අහකට කළ කල අපට කීමට ඇත්තේ මුලින්ම ඇමති තරගයට ආ යුතු බවය. එසේ නොමැතිව අතුරු චරිත පමණක් යෙදීමෙන් පළක් නොමැති බවය.
ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් වැනි කතා කතා කිරීමත් ප්‍රතිපත්තියක් නැති වැඩකි. ආණ්ඩුවට පවා නිවැරදි ප්‍රතිපත්තියක් නැති කල ක්‍රීඩාවට එය සකස් කළහැකිද? අඩුම තරමේ මේ තියෙන සීමාවේ හෝ වැඩ කිරීම වටී. ක්‍රීඩා ඇමතිවරයා හමුවීම සැඟවුණු අමුත්තා සෙවීම තරම් කරුණක් බව සමහරු කියති. තව සමහරු කියනුයේ හමුවුවද හමුවූ වෙලාවේ සිට ඇමති ෆේස්බුක් එකේ බවය. ඇමති ෆේස් බුක් ගියද, රෑට රාත්‍රී සමාජ ශාලාවලට ගියද අපට කම් නැත. එහෙත් ඇමති කෙනකු ලෙස ඔහුට අමාත්‍යාංශ කිහිපයක්ම ඇති නිසා ඉන් එකක හෝ හරියට වැඩ කිරීම හරිය. හරින්ට එය හරියටම හරිය.
හරින් සම්බන්ධයෙන් වුව අපට දැනට ඇත්තේ ප්‍රසාදයකි. මේ විවේචන එබැවිනි. වැඩක් නැති ෆයිසර් කෙනකු නම් අපි එකෙන්ම ඒ බව කියමු. එහෙත් හරින්ටත් යමක් කළ හැකිය. ඒ තුළ සියල්ල නොවිය හැකිය. අඩුම තරමේ දයාසිරි මෙන් සාක්කුවේ හෝ දමාගෙන යන යමක් විය හැකිය. එහෙත් ඒ මට්ටම් කුමකටද?
ඇමතිවරුන්ට මාරුවිය හැකිය. ආණ්ඩුවලට මාරුවිය හැකිය. එහෙත් අමතක නොකළ යුත්තේ මේ අවුරුද්දේ දිනන ක්‍රීඩකයාට ලබන වසරේ දිනිය නොහැකි බවය. ක්‍රීඩකයා යනු වේගයෙන්ම මතුව වේගයෙන් සැඟව යන්නෙකි. ඒ සියල්ල දරා ගැනීම, ශක්තිය මත පවතින නිසාය. හෙට දයාසිරිට නැවත ක්‍රීඩා ඇමති විය හැකිය. එහෙත් පාරමීට හෙට දිනිය නොහැකි විය හැක. මන්ද ඇය රැක ගැනීම අත්හල සැණින් ජයග්‍රහණය අතුරුදන් වන බැවිනි.
ජයග්‍රහණ යනු ක්‍රීඩකයා පෙන්නූ සැණින් යාන්ත්‍රණයක්ම විසින් රැකිය යුතු අගනා වස්තුවකි. එය අත්හැර දැමූ සැණින් එහි වටිනාකම අහවර වේ. අහවර නැති වේ. එනිසා මේ ක්‍රීඩා ඇමතිවරුන්ගේ මෝඩ ක්‍රියා පිළිවෙත් නිසා කොතෙක් නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් පසුගිය වසර කිහිපය තුළ විනාශ වන්නට ඇත්ද? අප ජාත්‍යන්තර තරගාවලි කීයක් පරාජයන් පමණක් වැලඳ ආවේද? ජයග්‍රහණ අප කෙරෙන් ඈතටම යන්නේ ඇයි? මෙරට දුව පැන දිනය හැකිය. එවිට මෙරට ජයග්‍රාහකයෙකි. එහෙත් ජාත්‍යන්තරය දිනීමට යනවිට ඔහු රටේ ක්‍රීඩකයෙකි. රටේ ක්‍රීඩකයෙක් වූ කල ඔහු රැක ගැනීම රටේම වැඩකි. එය රට වෙනුවෙන් කරන්නට අමාත්‍යාංශයක් ඇමති කෙනෙක් පත් කර ඇත. ඔහු ක්‍රියා කළ යුත්තේ රටම වෙනුවෙනි. ජයග්‍රහණ නිකං ලැබෙන්නේ නැත. අප මෙරටින් පිට ජය ගන්නට නම් ඒ අයගේ සූදානම, ජයග්‍රහණවල රහස් අධ්‍යයනය කළ යුතුය. මෙරටදී ජයග්‍රහණ ලබන විට ලැබුණු පෝෂණය ඊට මදිය. ඊට අවැසි පෝෂණය ලබාදීම අමාත්‍යාංශයේ වැඩකි. මෙරට පුහුණුව මදිය. ඊට අවැසි පුහුණුව අදාළ සංගමය හා මැදිහත්ව ලබාදීම ක්‍රීඩා ඇමති ප්‍රමුඛ අමාත්‍යාංශ බලධාරීන්ගේ වැඩකි. ඒවා නොවී ක්‍රීඩා උළෙලවලට ජය ලබා එන අයට තෑගි දෙන්නට ඇමති ගිය පමණින් ප්‍රශ්න විසඳෙන්නේ නැත. ගිය වසරේ දිනූ ක්‍රීඩකයන්ගේ මේ වසරේ තක්සේරුවක් ක්‍රීඩා අමාත්‍යාංශ සතුද? මේ වසරේ මතුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන ලැයිස්තුවක් ඇත්ද? පුහුණුකරුවන් යාවත්කාලීන කිරීම, ජාත්‍යන්තර පුහුණුව මෙරටට ගෙන ඒමට සැලසුම් ඇත්ද? ඇත්නම් ඒවා ක්‍රියාත්මකද? වැඩමුළුවක් පවත්වා සහතික බෙදූ පමණින් ඒවා සම්පූර්ණද?
ක්‍රීඩකයකු එක දිගට රැක ගැනීම ලේසි පහසු නැත. ඔහුව ක්‍රීඩාව කර ඇති පළක් වේද යන සිතුවිල්ල ආ සැණින් ඔහු වෙනස් වේ. ඒ සඳහා අවැසි, ඔහු රැක ගන්නා යාන්ත්‍රණය සැදිය යුත්තේ ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන්ය. රැකියාවකට සම්මුඛ සාකච්ඡා පවත්වන ආකාරයට ක්‍රීඩකයන් තෝරා ගත නොහැකිය. ඇතැම්විට අද දක්ෂතා දක්වන ඉසව්ව නොව ඔහු ඉදිරියේදී ජයගනු ලබනුයේ එසේ නම් ක්‍රීඩා ටිකක් හෝ තෝරාගෙන දියුණු කරනවා යැයි කයිවාරු නොගසා එලෙස කිරීම වහ වහාම ආරම්භ නොකරන්නේ ඇයි?
ජාත්‍යන්තරය දිනන්න ලොකු වෙහෙසක් ගත යුතුය. ක්‍රීඩකයා තරමටම ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා නිලධාරීන්ද ගත යුතුය. එබැවින් අප ක්‍රීඩා ඇමතිට දැඩි විවේචන එල්ල කරනුයේ මේක සෙල්ලමක් නොවන බැවිනි. අද ප්‍රතිඵල නැත්තේ මීට පෙර ඇමතිවරු ක්‍රීඩාව සෙල්ලමක් කර ගත් නිසාය. හරින් මේ කියන දේ හරි නම් හිතන්න.

ආරංචියක්

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරි මාර මාර වැඩ කරනවා කියලා ආරංචියි. ඒකේ අයි.පී. කෙනෙක් නමින් රත්න වුණාට කරන්නේ මළකඩ වැඩ කියලයි ආරංචිය. මේ දිනවල හොංකොංවල පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට යන නිලධාරියකුට ළමයින්ගේ අත්සන්වලට හැදුවා කියලා ආරංචියි. ළමයි කවුද යන නොයන නිලධාරීන් තෝරන්න. ළමයිට එහෙම බලයක් ලැබුණේ කොහොමද? හොයලා බලපුවහම ආරංචි වුණේ අර අයි.පී. කාරයලු වැඬේ ලීඞ් කරලා තියෙන්නෙ. එයාට රිසි කෙනෙක් දාන්න ළමයිට කියලා අහවලාට අකමැතියි කියලා ලියුමක් දෙන්න කියලා. කවුරු ගියත් අපිට කමක් නෑ, මෙයාට රිසි කෙනා ගියත් අර විරුද්ධ කතා ගියත් කමක් නෑ. හැබැයි ප්‍රශ්නය ළමයි කොහොමද යන නොයන නිලධාරීන් තෝරන්නේ කියලයි. හෙට ඒ අය එන කාටත් විරුද්ධව ලියුමක් දුන්නොත් මොකද කරන්නේ? අයි.පී.ලගේ දෙකයි පනහේ වැඩ නිසා ක්‍රීඩාව බාල්දු වෙනවා කියලයි හැමතැනම කතාව කියලයි ආරංචිය.