කාන්තා මැදිරි වෙන් කිරීමෙන් තවත් හිංසනයක්

රසික ගුණවර්ධන

පොදු ප්‍රවාහනය දී කාන්තාවන්ට සිදුවන හිංසන වැළැක්වීමේ අරමුණින් කාන්තාවන් සඳහා පමණක් වෙන් කරන ලද දුම්රිය මැදිරි ක්‍රියාත්මක කළේ පසුගිය ලෝක කාන්තා දිනයට සමගාමීවය. එසේ වෙන්කරන ලද දුම්රිය මැදිරි පැනවීමෙන් කාන්තාවන් සැබෑවටම ආරක්ෂාවනවාද සහ එය බොහෝ පසුගාමී පිළිතුරක් යන්න මේ වන විට ප්‍රබල කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වී ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ස්ත්‍රී පුරුෂ භේදය මත වෙනස්කොට සැලකීම වරදකි. එහෙත් රජය විසින් කාන්තාවන්ට පමණක් දුම්රිය මැදිරි පනවමින් පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලුවලට විසඳුම් සොයමින් සිටී. මෙය එක්තරා ආකාරයකට රටක් ලෙස කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන ආ පසුගාමී තත්ත්වයකි. ලංකාවේ අධ්‍යාපනය මූලික කොට සැකසෙන්නේද ලිංග භේදය පදනම්කොට ගෙනය. බාලක, බාලිකා පාසල් ලෙස ද, මේවා ගෑනුන්ගේ වැඩ මේවා මේවා පිරිමින්ගේ වැඩ ලෙස ද, ස්ත්‍රී පුරුෂ භේදය මත වෙනස් කොට සැළකීම ආරම්භ වන්නේ සමාජයේ මූලික අවධියේ සිටය. එනිසා කාන්තාවන්ට පමණක් දුම්රිය මැදිරි වෙන් කිරීම පසුගාමී සමාජයේ තවත් පසුගාමී පියවරකි.
එසේම කාන්තාවන්ට පමණක් දුම්රිය මැදිරි වෙන් කිරීම එක්තරා ආකාරයකට පුරුෂ මූලික සමාජයේ නිරුවත තව දුරටත් හෙළි කරන්නකි. මෙය එක්තරා ආකාරයකට කාන්තාවන් පිරිමින් විසින් ආරක්ෂා කළ යුතුය යන පුරුෂ අධිපතිවාදී මනෝමූලිකය මතුකරවන්නකි. කෙසේ වෙතත් බලධාරීන්ට අනුව මෙම වෙන් කිරීම සිදුකර ඇත්තේ පොදු ප්‍රවාහනයේ දී සිදුවන කාන්තා හිංසනය වැළැක්වීමේ අරමුණින්ය. එසේම යමෙකුට එය සැබෑවටම සිද්ධ වන බවට ද තර්ක කළ හැකිය. එහෙත් එහිදී සිදු වන්නේ පොදු ප්‍රවාහනයේ දී කාන්තාවන්ට සිදුවන හිංසනයන් සැබෑවටම ආකල්පමය දියුණුවක් මත වැළැක් වී යාම දැයි අප නැවත වරක් සිතා බැලිය යුතුව ඇත. අප දකින ආකාරයට මෙහිදී සිදුවන්නේ අවස්ථාවක් නොමැති බැවින් හිංසනයක් සිදු නොවීමයි. ඒ හරහා කිසිසේත්ම හිංසකයන්ගේ ආකල්පමය වෙනසක් මත හෝ දැනුමේ වර්ධනයක් මත හිංසනය වැළැක්වීම සිදු නොවේ යන්න අපගේ අදහසයි. එක් අයෙක් තවත් අයකුට ගෞරවයක් ලබා දීමට ඔවුන් ඔවුන්ගේ ආකල්ප හැඩ නොගැසෙන තාක් හිංසනය වැළැක්විය හැකි නොවේ. මේ ආකාරයට ස්ත්‍රී පුරුෂ භේදය මත වෙන් කොට තැබීමෙන් යම් ආකාරයකට පුරුෂයාගෙන් ස්ත්‍රියට සහ ස්ත්‍රියගෙන් පුරුෂයාට පොදු ප්‍රවාහනයේ දී සිදුවන හිංසනය වැළැක්වීමක් සිදු වුවද හිංසකයාට වෙනත් අවස්ථාවක් ලැබෙන ඕනෑම විටක විටෙක ඔහුට හෝ ඇයට නැවතත් හිංසනයක් සිදුකිරීමට උත්සාහ ගැනීම වැළැක්විය නොහැකිය. ඒ නිසා සිදුවන්නේ හිංසනය වැළැක්වීම නොව හිංසනය සිදුවන ස්ථානය වෙනස් වීම පමණි.
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයේ දී සිදුවන හිංසනය පිළිබඳව සැළකීමේදී ඊට හේතුවක් ලෙස ඉතා විශාල බරක් ප්‍රවාහනයට ඇති ඉල්ලුමට සරිලන සැපයුම නොමැතිකමට තැබිය හැකිය. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය භාවිත කරන පිරිසගෙන් සම්පූර්ණයෙන් අර්ධයකට වඩා වැඩි කොටසක් එම පොදු ප්‍රවාහන ක්‍රම භාවිත කරන්නේ එහි එහිදී දී ලබාගැනීමට හැකි අවම පහසුකම් ලබා නොගෙනය. එසේ සිදුවී ඇත්තේ දැනට පොදු ප්‍රවාහනයට තමාට ඇති ඉල්ලුම දරාගැනීමට නොහැකි තරම් ඉහළ ගොස් ඇති බැවිනි. සරල උදාහරණයක් නම් ලංකාවේ මගී ජනතාවට අවශ්‍ය ප්‍රමාණයට බස්රථද දුම්රිය ද ඇත්තේ නැත. කොළඹට පිටතින් කොළඹ වෙත උදෑසන පැමිණෙන කාර්යාල දුම්රියද බස්රථද පිළිබඳව සැලකීමේදී ඒ පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිය. ඒවායේ බොහෝ දෙනා ගමන් කරන්නේ ඉතාමත් අනාරක්ෂිත ආකාරයටය. එවිට ඇඟෙහි නොගෑවී නොගැටී ගමන් කළ හැක්කේ නැත. ඒ නිසා ප්‍රවාහන ක්ෂේත්‍රය විශාල නොකර පැළැස්තර විසඳුම් ලබාදීම ප්‍රමාණවත් නොවන බව පැහැදිලි ය.
එසේම කාන්තාවන් සඳහා පමණක් වන දුම්රිය මැදිරි වෙන්කළේ අලුතින් මැදිරි එක්කර නොවේ. එහිදී සිදුකෙළේ දුම්රියක දැනට ඇති දුම්රිය මැදිරියක් හෝ දෙකක් පමණක් කාන්තාවන්ට වෙන් කළ මැදිරි බවට පත් කිරීමය. එනම් මෙහිදී මෙහිදී සිදුවූයේ තදබදය තව තවත් ඉහළ යාම පමණි.
එක් දුම්රියක දුම්රිය මැදිරි දහයක් ඇතැයි අපි උපකල්පනය කරමු. එසේම එක් මැදිරියක මගීන් එකසිය පනස් දෙනෙක් ගමන් කරන්නේ යැයි ද උපකල්පනය කරමු. එවිට දුම්රියේ ගමන් ගන්නා සමස්ත මගීන් ගණන එක්දහස් පන්සීයකි. ඉන් දහසක ප්‍රමාණයක් පිරිමිද පන්සීයක ප්‍රමාණයක් කාන්තාවන්ද යනුවෙන් උපකල්පනය කළ හැකිය. මෙවැනි දුම්රියක කාන්තාවන් සඳහා පමණක් වන දුම්රිය මැදිරියක් වෙන්කළා යැයි උපකල්පනය කරමු. එවිට ඒ මැදිරියක ගමන් ගන්නා කාන්තාවන් ගණන එකසිය පනහකි. එනම් කාන්තා මැදිරියේ ගමන් කළ නොහැකි කාන්තාවන් ගණන තුන්සිය පනහකි. බලධාරීන්ට අනුව කාන්තා මැදිරියේ ගමන් කිරීමෙන් පමණක් කාන්තා හිංසනය සිදු නොවන්නේ නම් ඉදිරි කාන්තාවන් තුන්සිය පනස් දෙනාම හිංසනයට ලක්වෙති. එසේනම් බලධාරීන් සිදුකර ඇත්තේ කාන්තාවන් පිරිසක් පමණක් හිංසනයෙන් මුදවාගෙන තවත් කාන්තාවන් පිරිසකට හිංසනයක් සිදුකිරීමයි. ඕනෑම රජයක් විසින් සිදුකරන සැමරුම්කාරී ක්‍රියාවල අවසාන ප්‍රතිඵලයද මෙයයි. ඒ නිසා කාන්තාවන් සඳහා පමණක් වන දුම්රිය මැදිරි වෙන්කොට පොදු ප්‍රවාහනයේ තදබදය අවම කිරීම මෙයට දීර්ඝ කාලීන විසඳුමක් වනු ඇත.
එසේම ලංකාවේ ජනතාවගෙන් බහුතරයකට ගුණාත්මක ජීවිතය පිළිබඳව හැඟීමක් හෝ අවබෝධයක් නොමැති වීමද මෙයට එක්තරා හේතුවකි. ඒ නිසා ඔවුන්ට ගුණාත්මක ප්‍රවාහනය පිළිබඳවද එතරම් සැළකිල්ලක් නැත. ගුණාත්මක ප්‍රවාහනය සඳහා ප්‍රවාහනයේ දී ඇති තදබදය නොමැතිවීම සැප පහසුව යන කාරණා ඉතා වැදගත් වේ. එහෙත් තමා කාර්යාලයෙන් හෝ වෙනත් කටයුත්තක් සඳහා භාවිත කරන පොදු ප්‍රවාහන මාධ්‍යවල ඒ පිළිබඳව සැළකිලිමත් වන්නේ කීයෙන් කී දෙනාද යන්න ගැටලුවකි. එනිසා කාන්තා දිනය දා සිදු වූ කාන්තාවන්ට පමණක් වන දුම්රිය මැදිරිය කෙරෙහි පමණක් බොහෝ දෙනකු සිය අවධානය යොමු කර ඇත. එනිසා එය හරහා මතුවන පොදු ප්‍රවාහනයේ තදබදේ පිළිබඳව කිසිවකුට ඒ තරම් තැකීමක් නැත. එනිසා පැළැස්තර විසඳුම් ගෙන ඒම පාලකයන්ට ඉතා පහසු කාරණයක් බවට පත් වී ඇත.
කොළඹ නගරය ආශ්‍රිතව වාහන තදබදයට විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති අමාත්‍ය චම්පික රණවකගේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු කරන බව පසුගිය කාලේ දැනගන්නට ලැබුණි. ඒ ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර ලබා දෙන්නේ ජයිකා ආයතනය විසිනි. එහෙත් මීට වසර කිහිපයකට පෙර ජයිකා ආයතනය ලංකාවේ සමීක්ෂණයක් සිදුකර නිර්දේශ කරනු ලැබුවේ කෙටි දුර බස්රථ ධාවනයයි. ඔවුන්ට අනුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් යනු වැඩි වියදම් අකාර්යක්ෂම ව්‍යාපෘතියකි. එහෙත් ක්‍රියාත්මක වන්නේ ඒ වැඩි වියදමක් සහ කාර්යක්ෂමතාවය නොමැති සැහැල්ලු දුම්රිය ව්‍යාප්තියයි. ඉතිරිය ඔබට සිතා ගත හැකියි.