අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට දේශපාලන වැඩපිළිවෙළක් අවශ්‍යයි

ආචාර්ය හරිනි අමරසූරිය
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
සංවාදය -ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

රනිල් මෛත්‍රී යහපාලන රජය බලයට පත් වූ පසු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මහජන අදහස් ලබා ගැනීමේ කාර්යට ඔබද දායක වුණා. ඔබගේ අත්දැකීමට අනුව අලුත් ව්‍යවස්ථාවක් සෑදීමේදී අනුගමනය කළ යුතු මහජන අදහස්වල මූලික හරය වූයේ කුමක්ද?
මූලික හරය වුණේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍ය යයි කියන එක. ඒ කියන්නේ සාමය හා නැවත යුද්ධයක් ඇති නොවෙන්න මොකක් හරි වෙනසක් ව්‍යවස්ථාව තුළ විය යුතුයි කියලා. ඒක පළමුවන කාරණය. දෙවැනි කාරණය තමයි මට හිතෙන්නේ සෑම තැනකින්ම ආපු එකක් තමයි රටේ ආයතන වල බිඳ වැටීමක් තිබීම. මහජනයාගේ අවශ්‍යතාවන් සඳහා ප්‍රතිචාර දැක්වීමේ අඩුපාඩු රාශියක් තියෙනවා. එතැනදී බොහෝ දුරට තමන්ගේ සම්බන්ධතා මත, දේශපාලන හෝ සමාජ, වාර්ගික සම්බන්ධතා මත තමයි ඒ සේවාවන් ලැබීමේ ගුණාත්මකභාවය තීරණය වන්නේ. ලැබෙනවාද නැද්ද? කොච්චරක් ප්‍රතිචාර ලැබෙනවාද කියන කාරණය. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයේ ප්‍රබල කඩාවැටීම බොහෝ අයගේ ප්‍රතිචාරවල මෙන්ම බොහෝ අයගේ අත්දැකීම් වල තිබුණා. ඒක වෙනස් කිරීමට සේවාවන්, ඒ වගේම රාජ්‍ය ආයතන මීට වඩා සාධාරණව, විවිධ ජන කොටස්වලට සමාන විදියට සලකන විදියට සැලකීම තහවුරු වන විදියට යම්කිසි වෙනස්කම් ව්‍යවස්ථාව තුළින් එන්න ඕනේ කියන එක ආපු අනෙක් පොදු අදහසයි. සමාජ ආර්ථික සංස්කෘතිකමය වශයෙන්. මට නම් ආපු ලොකුම හැඟීම තමයි මිනිසුන්ට දැනෙනවා කියලා ඒ අයට සාධාරණව සලකන්නේ නැහැ කියන එක. එතකොට සමානාත්මතාවයක් ඒගොල්ලන්ගේ අත්දැකීම් වල නැහැ කියන එක. රාජ්‍ය ආයතනයක වේවා පුද්ගලික ආයතනයක වේවා සාමාන්‍ය පුරවැසියකු හැටියට සලකන්නේ නැති හැඟීමක් තිබුණේ. ඉතින් ඒක වෙනස් කිරීම සහ ඒකට යම් කිසි පිළියමක් ව්‍යවස්ථානුකූලව ලැබෙනවා කියන බලාපොරොත්තුව මිනිස්සු තුළ තිබුණා.
අලුත් ව්‍යවස්ථාවක් තුළින් රට කැබලි වලට කඩා දමා උතුරට ෆෙඩරල් තත්ත්වයක් ලබාදීමට උත්සාහ කරන බවටත් බුද්ධාගමට ව්‍යවස්ථාවේ හිමි තැන අහිමි කරන බවටත් චෝදනා එල්ල වෙනවා. ඒ චෝදනා ගැන ඔබගේ අදහස කුමක්ද?
මට හිතෙන්නේ ඒ චෝදනා එන්නේ යම්කිසි දේශපාලන කඳවුරකින්. ඒක දේශපාලන කඳවුරකින් තමයි එන්නේ. ඒ චෝදනාව ව්‍යවස්ථාවේ මොනවා තිබුණත් ඒ ජාතිවාදි මතභේද අවුස්සන එක තමයි ඒගොල්ලන්ගේ දේශපාලනය. ඉතින් ඒ නිසා ඒකට ඕනෑවට වඩා අපි අවධානය දිය යුතු නැහැ කියන එකයි මගේ නම් අදහස සහ මට මේ ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රධානම විවේචනයක් තමයි ඒ ජාතිවාදී බල කඳවුරට අනවශ්‍ය විදිහට ප්‍රතිචාර දක්වනවා කියන එක. මං හිතන්නේ අපගේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම කරන දෙයක් තමයි ජාතිවාදී කඳවුරට අනවශ්‍ය තැනක් දෙන එක. එකක් ෆෙඩරල් කියන්නේ රට බෙදීම නොවෙයි. ෆෙඩරල් කියන එකක් ආවත් ඒක තවම තීරණය වෙලත් නැහැ. එහෙම නැතකට ගිහිල්ලත් නැහැ. එහෙම තැනකට ගියත් ෆෙඩරල් කියන්නේ රට බෙදීමක් නොවෙයි. ඒ එකක්. බලය විමධ්‍යගත කිරීමක් රට බෙදීමක් නොවේ. කොච්චර දුරට බලය විමධ්‍යගත කළ යුතුද? නැද්ද? කියන එක තමයි අපි සාකච්ඡා කළ යුත්තේ. අර ජාතිවාදී කඳවුර දකින්නේ බලය විමධ්‍යගත කිරීමක් රට බෙදීමත් කියන එක. ඉතින් ඒක විචාරශිලී තර්කයක් නොවේ. අනවශ්‍ය විදියට අපි අවධානය දිය යුතු නැහැ. ඒ ජාතිවාදී ආකල්ප ඇති කිරීම තමයි ඒගොල්ලන්ගේ දේශපාලනය. ඒක අපි තේරුම්ගත යුතුයි. අනිත් එක තමයි 19 වන සංශෝධනය. ඒක ගැන මගේ අත්දැකීමට දිස්ත්‍රික්කවල ජනතාව මුණගැසුණ විට ඒගොල්ලන්ගේ විවිධ අදහස් තිබුණා ඒ ගැන. විවිධ අදහස් වලින් එකක් තමයි බුද්ධාගමට විශේෂ තැන දෙන එක අපි අයින් කළ යුතුයි කියලා. ඒක උතුරෙනුත් කිව්වා. දකුණෙනුත් කිව්වා. නැගෙනහිරිනුත් කිව්වා. ඒක හැම පැත්තකින්ම ආපු අදහසක්. ඒ මතයත් අපේ රටේ සැලකිය යුතු ජන කොටසක් තුළින් ආපු අදහසක්. ඒකටත් අපි ඇහුම්කන් දිය යුතුයි. එක තර්කයක් ආවා අනාගමික රාජ්‍යයක් විය යුතුයි කියලා. ඒක එක මත පිරිසකගෙන් ආවා. තවත් පිරිසකගෙන් ආවේ ඒක දැමීම තුළින් බුද්ධාගම ආරක්ෂා වෙන්නේ නැහැ කියන එක වගේම බුද්ධාගම දේශපාලනය එක්ක එකතු වෙලා බුද්ධාගම විනාශ වෙනවා කියන එක. එහෙම අදහසකුත් තිබුණා.
ශ්‍රී ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද? ඒ ඇයි?
අවශ්‍යයි කියලා මම හිතනවා. මම හිතන්නේ 1978 ව්‍යවස්ථාවේ අඩුපාඩු ගොඩක් තියනවා. අලුත් දේශපාලනික, සමාජ ආර්ථික තත්ත්වයන් තුළ සිට අපට අලුත් ව්‍යවස්ථාවක වුවමනාවන් දැනිලා තියෙනවා. 19 වන වතාවක් සංශෝධනය කරලා තියෙන ව්‍යවස්ථාවක්. දැන් 20 කුත් ගැන කතා කරනවා. මං හිතන්නේ එහෙම කෑල්ලෙන් කෑල්ල වෙනස් කරනවාට වඩා අද තියන තත්ත්වයත් සලකා බලලා අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ වැරැද්දකුත් නැහැ. ඒකේ අවශ්‍යතාවක් මම දකිනවා. එහෙත් අලුත් ව්‍යවස්ථාවක් ආපු පමණින් අපගේ සියලු ප්‍රශ්න විසඳෙනවා කියලත් මම විශ්වාස කරන්නේ නැහැ. අපේ රටේ සියලු දෙනාටම දැනෙනවා මේ යන විදිහට යන්න බැහැ කියලා. මොකක්හරි වෙනසක් අවශ්‍යයි. දේශපාලනික, සමාජ ආර්ථික සංස්කෘතික වශයෙන් වෙනසක් අවශ්‍යයි කියලා හැමෝටම දැනෙන දෙයක්. ඒ වෙනසක් කරා යෑමේදී වෙනස් විය යුතු එක දෙයක් තමයි අපේ ව්‍යවස්ථාව. ව්‍යවස්ථාව තුළින් තමයි රජයයි, පුරවැසියයි අතර සම්මුතියක් හැදෙන්නේ කොහොමද? අපගේ පාලකයන් එක්ක මොන වගේ සම්බන්ධතාවයක්ද ගිවිසුමක්ද තියෙන්නේ කියන එක තීරණය වෙන්නේ ව්‍යවස්ථාවෙන්. මම දකිනවා ඒ සම්මුතිය පුරවැසියා සහ පාලක පන්තිය අතර තිබෙන සම්මුතිය වෙනස් විය යුතුයි. මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී සමානාත්මතාවයට ගරු කරන සදාචාර සම්මුතියක් ඇති විය යුතුයි. ඒ සඳහා ප්‍රධාන වෙනසක් එක්ක සම්මුතියකට යාම අවශ්‍යයි. ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මම කිසිසේත්ම හිතන්නේ නැහැ ඒක සම්පූර්ණ කළ පමණින් සියලු දේම විය යුතු වෙනස්කම් සියල්ලම වෙයි කියලා.
අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට මේ දක්වා වත්මන් රජයට හැකියාවක් ලැබී නැහැ. ඒ සඳහා බලපාන ලද කරුණු ඔබ දකින්නේ කෙසේද?
ප්‍රධාන වශයෙන් වුවමනාව නැති එක. මං හිතන්නේ කොයි වේලාවකවත් අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට මේ රජය ප්‍රමුඛතාවක් දුන්නේ නැහැ. ඉතින් ඒක නිකම් කරන්නන් වාලේ අරයා මෙයා සතුටු කිරීම සඳහා ආරම්භ කළා ඇරෙන්නට ඒක ගැන ඇත්තටම වුවමනාවක් තිබුණේ නැහැ. ඒ නිසා අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට යම් කිසි දේශපාලනික වැඩ පිළිවෙළකුත් ගෙන ඒමට අව්‍යශයි. ඒ කියන්නේ මිනිසුන් සමඟ අපි කරන ලද ක්‍රියාවලිය හරහා අලුත් ව්‍යස්ථාවක් ගැන ලොකු උනන්දුවක් ජනතාවගෙන් ආවා. ලොකු බලාපොරොත්තුවකුත් ආවා. ඒත් බලාපොරොත්තු ඉදිරියට ගියේ නැහැ. රජයට ඒ සම්බන්ධය ඉදිරියට පවත්වාගෙන යාමට රජය අසමත් වුණා. ඒ වගේම රජය කරපු වෙනත් බරපතළ වැරදි නිසා රජයට තිබුණු බලාපොරොත්තු සහ විශ්වාස ඔක්කෝම බිඳ වැටුණා. ඒ බිඳ වැටුණු තත්ත්වයක් තුළදී අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම හරිම අමාරු දෙයක්. ඒකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රජය.
දේශපාලන, සමාජ, ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව කුණු වු රාජ්‍යක් බවට පත්ව තිබෙන බවත් රට ගොඩ නැගීමට නම් අලුත් නිදහස් අරගලයක් පටන් ගත යුතු බවට වික්ටර් අයිවන් මහතා රාවය පුවත්පතට ලියන ලද ලිපි පෙළක් තුළින් කතිකාවක් ගෙන ගියා. ඒ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?
මේ වන විට විවිධ පාර්ශ්ව වලින් ඒ හා සමාන අදහස් සහ යෝජනා ඉදිරිපත් වෙමින් තිබෙනවා. එතැනදී පවතින රාජ්‍යය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙමින් පවතිනවා කියන අදහස එක්ක අපේ රජයන් පිළිබඳ. රාජ්‍ය ව්‍යුහය පිළිබඳ විශ්වාසය ඉතාම පහත තත්ත්වයක තියෙන්නේ කියන එකට මං එකඟයි. එතැනදී ප්‍රධාන දේශපාලන, සංස්කෘතිය, පාලක පන්තිය තුළ ලොකු වෙනසක් විප්ලවයක් සිදුවීම අවශ්‍යයි. එතැනදී මං එකඟයි. ඒ අදහස මං හිතන්නේ විවිධ තැන් වලින් මතු වෙනවා. ඕනෑ එක්කෙනෙක් එක්ක කතා කළාම ඒ ගැන එකඟයි. ඒ ගැන විරුද්ධ වෙන්න කිසිදු හේතුවක් මට නැහැ. අයිවන් මහතාගේ ඒ අදහසට මම එකඟයි.
ශ්‍රී ලංකාවට මහජන ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත් අයිවන් මහතා පෙන්වා දී තිබෙනවා. ඒ මහතාගේ එම සංකල්පය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
මම හිතන්නේ විශේෂයෙන්ම මේ රජය වැඩ කරන එක විදියක් තමයි ඒගොල්ලන් මහජනයා කෙරෙහි විශ්වාසයක් තියන්නේ නැහැ. මහජනතාව එක්ක හරිම දුරස්ථයි. ඒගොල්ල හිතන්නේ යම් කිසි විදියක වෙනස් වීමක් පෙන්වන්න පුළුවන් වෙන්නේ යම් කිසි විශේෂඥ කණ්ඩායමකට(Expert Group) කියලා. යම් කිසි විදියේ නිකම් තෝරාගත් විශේෂඥ දැනුමක් තියෙන, තමන්ට විශ්වාස පිරිසක් තුළින් තමයි මේ වෙනස ගේන්න පුළුවන්. එහෙම තමයි ඒවා කරන්න පුළුවන් කියන එක තමයි මේ රජය විශ්වාස කරන්නේ. මේ රජයට සහාය දෙන කණ්ඩායම්, සිවිල් සමාජය තුළ වේවා, බුද්ධිමතුන් අතර වේවා, වෘත්තිකයන් අතර වේවා, ඒ කොටස් තුළත් තිබෙනවා එහෙම විශ්වාසයක්. ඒගොල්ලෝ කියන්නේ මේ පුරවැසියන්ගෙන් මහජනතාවගෙන් වැඩක් නැහැ. සියල්ල කරන්න ඕනේ යම්කිසි විධිමත් කුඩා තෝරාගත් විශේෂඥ කණ්ඩායමක් තුළින් කියලා. මං හිතන්නේ ඒකම තමයි මේ රජයේ ප්‍රධානම දුබලතාව සහ කඩා වැටීමට හේතුව. මේ රජයට ජනතාව ගැන තිබෙන අවිශ්වාසය සහ ජනතාව එක්ක ගනුදෙනු කිරීම ගැන කිසිම දේශපාලනික අදහසක් නැති වීම, ඒ අර්ථයෙන් ගත්තහම ඒකට මහජන ව්‍යවස්ථාව කියලා නමක් තියෙනවාද කියලා මං හිතන්නේ ඕනෑම ප්‍රතිපත්තිමය නීතිමය බරපතළ විධියක වෙනස් වීඹකට රාජ්‍ය ව්‍යුහය අදහස් කරනවා නම් ඒක සිදු විය යුත්තේ අනිවාර්යයෙන්ම මහජනතාවත් සමඟ සංවාදයක් සමඟ. නැත්නම් ඒවා ක්‍රියාත්මක කරන්න ගියහම ප්‍රශ්න රාශියක් ඇති වෙනවා. ඒකට අපිට ඕනෑතරම් උදාහරණ තියෙනවා. අලුත් ව්‍යවස්ථාවක් ගේන්න බැරි වීමට හේතුවද මේ රජය කරන්න යන හැම දෙයකටම ලැබෙන ප්‍රතිචාර තුළින්ද අපිට හොඳට පේනවා. මහජනතාවත් එක්ක සංවාදයක් නොමැතිවීම තුළින් ඒගොල්ලන්ට කිසිදෙයක් කරගන්න බැරිවෙලා තියෙනවා. මහජනතාවගේ අදහස්වත් තේරුම් ගන්න බැරි එකවත්, ඒක ව්‍යවස්ථාව වේවා පසුගිය අවුරුදු දෙක තුන තුළ ගෙනෙන්න හදපු විවිධ ප්‍රතිසංස්කරණ වලදී අපිට ඒක පෙනුණා.
මෑතකම තියෙන එක තමයි ත්‍රස්ත විරෝධී පනත. ඒ හැම එකටම එනවා විරෝධයක්. විරෝධය එන්නේ ජනතාවගෙන් ඈත් වීම හරහා තමයි. ජනතා අදහස් වලට ගරු කිරීමක් පමණක් නොවෙයි සංවාදයක් ඇති කිරීමට අපොහොසත්. ඒ අර්ථයෙන් ගත්තාම මං කියන්නේ ඒක මහජන ව්‍යවස්ථාවක්ද මං දන්නේ නැහැ. එහෙත් ව්‍යවස්ථාවක් සාර්ථක වෙන්නේ ව්‍යවස්ථාවේ අයිතිකරුවන් පුරවැසියන් බවට පත්වුණාමයි. එහෙම නැතිනම් පුරවැසියන්ට විශ්වාසයක් එන්න ඕනේ මේ ව්‍යවස්ථාව අපේ ව්‍යවස්ථාව කියලා. එහෙම අදහසක්, ආකල්පයක්, හැඟීමක් නැතිනම් ඉතින් වැඩක් නැහැ.
මේ දිනවල දී විධායක ජනාධිපති ක්‍රමයක් රටට ඕනේ කියලා වගේම පාර්ලිමේන්තුවට බලය ලැබෙන ආණ්ඩුක්‍රමයක් ඕනේ කියා සංවාදයක් රට තුළ පවතිනවා. ඔබ ඒ සම්බන්ධයෙන් දක්වන ආකල්පය කුමක්ද?
මේ විදියේ විධායක බලයක් තිබෙන ජනාධිපති තනතුරක් අනවශ්‍යයි කියලයි මට හිතෙන්නේ. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධි එකක්. එහෙත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එහෙම නම් පාර්ලිමේන්තුවට හෝ අගමැතිවරයාට විධායක බලය සහමුලින්ම සහ වගවීමක් නැති ක්‍රමයකට යන්න ඕනේ කියන එක, එහෙම නම්, ඒ තියන ව්‍යුහය මීට වඩා වගවීමක් වෙන්න පුළුවන් ව්‍යුහයක් තියෙන්න ඕනේ. ඒක කොහොමද ඇති කරන්නේ කියන එක ගන්න ඕනේ සාකච්ඡාවකින්. මං හිතන්නේ නැහැ විධායක ජනාධිපති ක්‍රමය මේ විදිහට තියාගෙන ඒක කරන්න පුළුවන් වෙයි කියලා.